දිනේෂ් චන්දිමාල් සහ අකිල ධනංජය ටෙස්ට් සංචිතයට යළි කැඳවයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග ලබන 14 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සහ පිටදඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඇතුළත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

මෙහිදී දිනේෂ් චන්දිමල් යළි කැඳවීම පිළිබඳව ක‍්‍රිකට් ක‍්‍රීඩා විචාරකයින්ගේ දැඩි අවධානය යොමුව තිබේ. ඊට හේතුව වන්නේ දිනේෂ් චන්දිමල් ශ්‍රී ලංකාවෙන් මෑතකදී බිහිවූ විශිෂ්ට පිතිකරුවකු වන නිසාය.

ඔහුට ශ‍්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගාවලියේදී සංචිතයේ ස්ථානය අහිමිවූ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේදී සංචිතයේ ද ස්ථානය අහිමි විය. මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා විචාරකයින් සේම පේ‍්‍රක්ෂකයින් ද දැඩි විවේචන එල්ල කළේය.

දකුණත් පිතිකරුවකු වන දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරග 53කදී ලකුණු 3768ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍යය 41.86 කි. ඔහු 29 වැනි වියේ පසුවන අතර තවත් කාලයක් ක‍්‍රීඩා කිරීමට ද හැකියාව ඇත්තෙකි.

අකිල ධනංජය ද යළි කැඳවීම විශේෂ අවධානයට ගත යුත්තකි. ටෙස්ට් තරග පහකදී කඩුළු 27 ක් දවාගෙන සිටින අකිලගේ පන්දු යැවීම මතභේදයට ලක්ව ඇති අතර ශ්‍රී ලංකාවේදී පසුගිය වසර අගදී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි තහනමක් පැනවීම හේතුවෙන් ඔහුට වසරකට ආසන්න කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවිය.

Recommended For You

About the Author: Editor