‘පළිබෝධ පාලක’ වසරක පාඨමාලාවක් සහ ජාත්‍යන්තරය පිළිගත් සහතිකයක්

සහතිකය NVQ 4 මට්ටමේ, ස්වාධීන ව්‍යාපාරයකට වුවත් සුදුසුකමක්

පාඨමාලාව රජයේ කෘෂිකර්ම විද්‍යාල වලදී නොමිලේ

සුදුසුකම අ.පො.ස. (සා.පෙ.) හා මනා ශරීර සුවතාවය

තරුණ පරපුරට අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව වෘත්තීය නිපුනතාවය ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව සමාජය තුල දැන් දැන් වැඩිපුර කතාබහ කෙරේ.

මේ වෙනුවෙන් විශේෂිත පාඨමාලා පවත්වමින් සහතිකපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය මුලින්ම එංගලන්තයේදී ඇරඹුණු අතර, ජාතික වෘත්තීය සුදුසුකම් වෙනුවෙන් ජාත්‍යන්තරය පවා පිළිගත් සහතික පතක් ලබාදෙන පාඨමාලා සමූහයක් මෙරටදීද ඇරඹීමට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම කලකට ඉහතදී පියවර ගන්නා ලදී.

උපාධිය අරමුණු කරගත් අධ්‍යාපනය වැඩිපුර යැපෙන්නේ සිද්ධාන්ත මගිනි. එය හරහා වැඩිපුරම සිදුවන්නේ අධ්‍යාපනය තවදුරටත් කරගෙන යාමට මාවතක් විවර වීමය. ලංකාවේ උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන දරුවන්ගෙන් 10%-15% අතර ප්‍රමාණයකට පමණක් සරසවි සිහිනය සැබෑවෙන නිසාත්, ඒ අතරින් වුවද සෑහෙන පිරිසක් වෘත්තීය පුහුණුවක් නොමැති නිසා රැකියා පෝලිමට එකත්වී කාලය අපතේ යවන නිසාත්, මෙම පාඨමාලා ගැන දැන් දැන් තරුණ පරපුරේ වැඩි අවධානය යොමුවෙනවා දකින්නට පුළුවන.

පලිබෝධකයින් මර්දනය කිරීමේ ක්‍රමවේදයන් ගණනාවක් ලොවපුරා ක්‍රියාත්මකය. ඇතැම් ඒවා පරිසරවේදීන්ගේ විවේචනයන්ට පවා හසුවෙන්නේ, පරිසරය ගැන අවධානයක් නොමැතිව ක්‍රියාත්මක වන බැවිනි. පලිබෝධකයින් යටතට ගැනෙන්නේ ගොවිතැනට වින කරන සතුන් පමණක් නොවේ. මැස්සන්, මදුරුවන්, කැරපොත්තන් හා මීයන් වැනි ගෘහාශ්‍රිත පලිබෝධකයින් මෙන්ම වේයන් වැනි දැව හා ගොඩනැගිලි විනාශ කරන්නවුන්ද මීට අයත්ය.

Vector illustration of a house with a magnifying glass showing a termite attack

කෘෂිකාර්මික පලිබෝධකයින් මෙන්ම ඔවුන්ගෙන්ද සැලකිය යුතු හානියක් සිදුවේ. මර්දන ක්‍රම වලදී පරිසරයට යම් බලපෑමක් ඇතිකෙරෙන්නේ රසායන ද්‍රව්‍ය හරහා පලිබෝධකයින් වැනසීමට යාමේදීය. විෂ රසායන ද්‍රව්‍ය පරිහරණය හා ආරක්‍ෂිත පියවරයන් පිළිබඳව නිසි අවබෝධයක් හා පුහුණුවක් නැතිව මේවා කරන්නට යාමෙන් පුද්ගලයාට පමණක් නොව අවට සිටින්නවුන්ටද අනිසි ප්‍රතිපල අත්විඳීමට සිදුවේ. පලිබෝධ පාලනය සම්බන්ධයෙන් වෘත්තීය නිපුනතා පාඨමාලාවක් ඇරඹීමේ අවශ්‍යතාවය අප පුවත්පත මගින්ම කලක සිට පෙන්වා දෙමින් තිබේ. එය යාතාර්ථයක් වන ලකුණු පහලව තිබීම සතුටට කරුණකි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අංශයත්, පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයත් එක්ව මේ සඳහා ආරම්භයක් ලබාදීමට අවැසි මූලික කටයුතු සම්පාදනය කර අවසන් බව පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතා පවසා සිටී. මෙය NVQ 4 මට්ටමේ පාඨමාලාවකි. එවන් සහතිකලාභියෙකුට තවත් පාර්ශවයක අධීක්ෂණයෙන් තොරව ස්වාධීනව ව්‍යාපාරයක් පවත්වාගෙන යා හැකිවේ.

මේ ගැන වැඩිදුරටත් කරුණු පැහැදිලි කිරීමට එක්වූයේ පේරාදෙණියේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ලසන්ත රත්නවීර මහතාය.

“මෙම පාඨමාලාව හැදෑරීම සඳහා මූලික සුදුසුකම වන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සම්මාන දෙකක් සහිතව ගණිතය හා විද්‍යාව ඇතුළුව විෂයයන් හයකින් සමත්වීමයි. ඉංග්‍රීසි භාෂාව සමත්වීම අතිරේක සුදුසුකමක්. අයදුම්කරුවන් ආබාධිත තත්වයෙන් තොරව මනා සෞඛ්‍යය තත්වයෙන් සිටිය යුතු වෙනවා. වයස අවුරුදු 17-35 අතර අයට ඉල්ලුම් කල හැකියි. මෙය එක අවුරුදු පූර්ණ කාලීන පාඨමාලාවක්.”

වසරක පුහුණු කාලයෙන් මාස හයක් ආයතනයික පුහුණුවක් වන අතර ඉතිරිය රැකියාස්ථ පුහුණුවක් වේ. පලිබෝධකයින් හඳුනාගැනීම, පැමිණීම වැලැක්වීම හා පාලනය සම්බන්ධ පූර්ණ දැනුමක් පාඨමාලාව තුලදී ලබාදේ. තෝරාගන්නා අයදුම්කරුවන් යොමුකෙරෙන්නේ කුණ්ඩසාලේ, අඟුණකොළපැලැස්ස, පැල්වෙහෙර හා කරපිංච යන ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වෙතටයි. පාඨමාලාව නොමිලේ පැවැත්වුවත්, ප්‍රායෝගික පුහුණු සඳහා ඇතුලත් ක්ෂේත්‍ර චාරිකා සඳහා වන වියදම නම් සිසුන් විසින් දැරිය යුතුය. සාර්ථකව පාඨමාලාව අවසන් කරන්නෙකුට හිමිවන සහතිකයත් සමග ඔහු හෝ ඇය සහතිකලත් පලිබෝධ පාලකයෙකු බවට පත්වේ. මෙම සුදුසුකම මත විදෙස්ගත රැකියා අවස්ථා පවා විරල නැත. මන්දයත් ඒවාහි පලිබෝධ පාලනය සිදුවන්නේ අනිවාර්යයෙන්ම මෙවන් සුදුසුකම් සහිත බලයලත් පිරිසක් අතින් නිසාය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බෝගයන්හි පලිබෝධ පාලනයට හැම විටම යෝජනා කරන්නේ පරිසර හිතකාමී ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රමවේදයන්ය. ගොවියා සතු සාම්ප්‍රදායික දැනුම, දේශීය ශාක ද්‍රව්‍යයන් ඇසුරෙන් නිපදවෙන නාශක මෙන්ම කෘමීන්, පක්ෂීන් වැනි ස්වභාවික සතුරන්ගේ සහයෝගයත් මෙහිදී යොදාගැනේ.

එවන් ක්‍රමවේදයන් හරහා මර්දනය කරගත නොහැකි හදිසි වසංගත තත්වයක් හමුවේ වුවද දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ මිනිස් සිරුරට හා පරිසරයට ඉතා අවමයෙන් විෂ සහිතවන පලිබෝධනාශකයි. මෙම තත්වය තවත් සමාජ හිතවාදී කිරීමට ගත් පියවරක් ලෙස මෙම පුහුණුව හැඳින්විය හැකි වන්නේ නොදන්නාකමට සිදුවන අවිධිමත් පරිහරණය නිසා, කෙතරම් අවම විෂ ද්‍රව්‍යයකින් වුවද යම් උවදුරක් ඇතිවිය හැකි නිසාය. දැනට දියුණු රටවල පවත්නා ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුගතවීමේ හැකියාව මේ හරහා විවර වෙන බව පාඨමාලා සංවිධායකයින් සුභවාදී බලාපොරොත්තු තබාගෙන ඇත. එවන් රටවල වෙළඳසැල වෙත ගොස් හිතේ හැටියට වස දියර මිලදී ගන්නට නොහැකිය.

දොස්තර මහතාගේ තුන්ඩුවකින් ෆාමසියකින් බෙහෙතක් ගන්නා සේ, ඒ සඳහා සහතිකලත් පලිබෝධ පාලකයෙකුගේ නිර්දේශයක් අවශ්‍යවේ. වස දියර ඉසීමටද සැමටම අවසර නැත. එයද වාහනයක් පදවනවා සේ බලපත්‍ර දරන්නෙකු ලවා කරවා ගත යුතුය. දියර ඉසින්නාගේ බලපත්‍රය බස් රියදුරාගේ මෙන් නිතිපතා කෙරෙන යෝග්‍යතා පරීක්ෂණයක් හරහා අලුත් වෙන බැවින් ශාරීරිකව නුසුදුස්සන් හිතේ සවිය මත බෙහෙත් ඉසින්නට ගොස් තවත් අමාරුවේ වැටෙන්නේද නැත. දියුණු රටවල පලිබෝධනාශක පරිහරණයේ නියාමනය එසේය. ඉතා අවමයෙන් විෂදායී වස දියරයක් වුවද මේ නිසා පරිසරය හා මුසුවන්නේ, වරදක් විය හැකි සියලු තැන් අවුරා දමා තිබියදීය..

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ අරඹන්නේ සුභවාදී බලාපොරොත්තු ගොන්නක් කරපින්නාගත් දුර ගමනකි. ඊට අනුබලදීමත්, පහසුකම් සැපයීමත්, සියලු සමාජ තලයන් සතු කාලීන වගකීමක්ද වන්නේය.      

සනත් එම්. බණ්ඩාර

Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

Recommended For You

About the Author: Editor