‘ලාහෝර් ප‍්‍රහාරයෙන් ’ වසර 10කට පසු ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයට

දිනය 2009 මාර්තු 03 – ස්ථානය පාකිස්ථානයේ ලාහෝර් නුව ‘ගඩාෆි ක‍්‍රීඩාංගණය’’

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම ක‍්‍රීඩාංගණය වෙත රැුගෙන යමින් සිටි බස් රථයට නාඳුනන තුවක්කුකරුවන් 12 දෙනකුගෙන් දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල වුණා. ප‍්‍රහාරයෙන් පාකිස්ථාන පොලිස් නිලධාරීන් 06 දෙනකු සහ සිවිල් වැසියන් 02 දෙදෙනකු ජීවිතක්ෂයට පත් වුණා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයින් 06 දෙනෙක් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් සහ එක් විනිශ්චකරුවෙක් තුවාල ලැබුවා. මේ ප‍්‍රහාරයෙන් මුළු ලෝකයම කම්පනයට පත් වුණා. ඒ සමග පාකිස්ථානයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවත් අර්බුදයට ලක් වුණා. බොහෝ රටවල් පාකිස්ථානයේ සංචාරය කිරීමෙන් වැළකුණා.

මේ තත්ත්වය තුළ පසුගිය දශකයකටත් අධික කාලය පුරාම ශ‍්‍ර‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමක් පාකිස්ථානයේ සංචාරය කළේ නැහැ. ඊට ප‍්‍රධාන හේතුව වුණේ ආරක්ෂාව.

පාකිස්ථානය ඉස්ලාම් අන්තවාදීන්ගේ කෙළිබිමක් බවට පත්ව තිබෙන තත්ත්වය තුළ ලෝකයේ බොහෝ රටවල් පාකිස්ථානයේ සංචාරය කරන්නේ නැහැ. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම මුලුමණින්ම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.

එහෙත් ලාෙහා්ර් ප‍්‍රහාරයෙන් පසුව කෙසේ හෝ තම රටේ ක‍්‍රිකට් රැුක ගැනීමට පාකිස්ථානය ක‍්‍රියා කළා. ඒ අනුව සිම්බාබ්වේ පිල පමණක් එක්දින තරගාවලියකට එක්වූ අතර අනතුරුව ශ්‍රී ලංකා පිලද විස්සයි 20 තරගයකට මෙයට වසරකට පමණ පෙර එක් වුණා. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඩුබායි හිදී ටෙස්ට් එක්දින හා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් පවත්වා අවසන් විස්සයි 20 තරගය පමණක් පාකිස්තානයේ ලාහෝර් හී ගඩාෆී ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා.

එමෙන්ම ලොව දක්ෂතම ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ලෝක ක්‍රිකට් පිල හා පාකිස්තානය අතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක්ද පාකිස්තානයේදී පැවැත්වුණා. එම ලෝක ක්‍රිකට් පිලට දකුණු අප්‍රිකාවේ ඩූ ෆ්ලෙසීස්, හසීම් අම්ලා, එංගලන්තයේ පෝල් කොලින්වුඩ්, කොදෙව් ක්‍රීඩක ඩැරන් සමී, බංග්ලාදේශයේ ටමීම් ඉක්බාල් හා ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා වැනි ක්‍රීඩකයන් එක්වුණා.

ඒත් දශකයකට පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායමක් යළි පාකිස්ථානයේ සංචාරය කිරීමට සූදානමි වෙමින් සිටින බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකා පිල පාකිස්තානයේදී ටෙස්ට් තරග දෙකකට සහභාගි කරවන ලෙස පාකිස්තානු ක්‍රිකට් ආයතනය පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කිරීමයි.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකක් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පාකිස්තානයේ කරච්චි හා ලාහෝර් නුවරදී ලබන ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ( ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ටෙස්ට් තරග දෙක ඩුබායිහී පැවැත්වීමට තීරණය කර තිබුණා)

මෙම ඉල්ලීම පරිදි පාකිස්තානයේදී ශ්‍රී ලංකා පිලට ටෙස්ට් තරග දෙකකට සහභාගි වීමට සුදුසු ආරක්‍ෂක තත්ත්වයක් තිබේද යන්න පරීක්‍ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙක් පාකිස්තානය බලා ඊයේ (6) පෙරවරුවේ පිටත්ව ගියා.

මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක ප්‍රධානී, විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විදේශ ක්‍රිකට් ප්‍රධානී චන්දිම මාපටුන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක අංශ නිලධාරී පාලිත සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළත් වූ බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ.

ඉස්ලාම් ත‍්‍රස්තයින්ගේ ප‍්‍රහාර හා බෝම්බ පිපිරීම් පාකිස්තානයේ නිතර සිදුවන හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයේ සංචාරයක නිරත වුවහොත් විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් සැපයීම අනිවාර්ය බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කියන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා පිල නවාතැන් ගන්නා හෝටල් හා ක්‍රීඩාංගණය අතර ඇති දුර හා මාර්ගයේ පවතින ආරක්ෂාව කෙරෙහි විශේෂ සොයා බැලීමක් ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ගොස් ඇති පිරිස විසින් සොයා බැලීමට නියමිතයි.

එම නියෝජිතයන් විසින් ලබාදෙන වාර්තාව සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන සංචාරය පිළිබඳ අවසන් නිගමනයකට එළැඹෙන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor