ගෝඨා දක්ෂ කළමනාකරුවෙක් වගේම හොඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් – ගෝඨා ගැන බැසිල්ගෙන් නිල සහතිකයක්

ගෝඨාභය රාජපක්ෂ දරුණු පාලකයෙක් නොවන බවට සහතිකයක් තමන්ට ලබාදිය හැකි බවත් ඔහු දක්ෂ කළමනාකරුවෙක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇති නායකයෙක් බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අවධාරණාත්මකව පවසනවා.

ලබන 11 වැනිදා කොළඹ සුගතදාස ගෘස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සම්මේලනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අද (08) උදෑසන පැවැති මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගනු ලැබුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා මිස තමන් නොවන බව කී බැසිල් රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා දරුණු මිනිසෙකු නොවන බවත් ඒ අනුව ඔහු නම්‍යශීලී නොවන ඒකාධිපති පාලකයෙකු වනු ඇතැයි කිසිවෙකු ඔහුට බියවිය යුතු නොමැති බවත් මාධ්‍ය විසින් දිගින් දිගටම කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ සඳහන් කළා.

මෙම සමුළුව සඳහා කැඳවා ඇත්තේ නිල ලෙස නම් කරන ලද පිරිසක් පමණක් බවත් එම පිරිස පක්ෂ ව්‍යවස්ථාවට අනුව අනිවාර්යෙන්ම කැඳවිය යුතු පිරිසක් බව කී බැසිල් රාජපක්ෂ මහතා එම සමුළුවේදී මහින්ද රාජපක්‍ෂ මහතා පක්ෂ නායකයා ලෙස පත් කරන බවත් ඔහු විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට නියමිත බවත් සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද එක්ව සිටි අතර ප්‍රතිපත්තියක් හඳුනා ගැනීමට නොහැකිව ආණ්ඩුව අභ්‍යන්තරයේම ආණ්ඩුව පිළිබඳ අරගලයක් හට ගෙන ඇතැයි ඒ මහතා සඳහන් කළා.

Recommended For You

About the Author: Editor