Research: කප්රුක වනසන අපිට ‘එලොව පොල්’ කන්න වෙන දවස අතළඟද ?

සංගීත් ප‍්‍රසාද් ප‍්‍රනාන්දු, සංඛ්‍යාන විද්‍යා පශ්චාත් උපාධිධාරී, කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

පොල් (Cocos nucifera) යන තාල කුලයේ ශාකය අපගේ ජීවතයනට බොහෝ සමීපව හමාරය.

2013 වසරේ සිදු කරන ලද කෘෂිකාර්මික සංගණනයට අනුව හෙක්ටයාර 440,451 වපසරයකින් යුක්ත භූමි පෙදෙසක පොල් වගාව ව්‍යප්තව ඇති අතර එය මුළු කෘෂිකාර්මික භූමි පෙදෙසින් 20% පමණ වේ (පතිරාජ ඇතුළු පිරිස, 2015). පොල් ශාකයේ සිටළුම කොටස් ආර්ථිකමය වටිනාකමකින් යුක්තවන නිසාම එය “ජිවන ශාකය“ (Tree of Life) මෙන්ම “කප්රුක“ යන නාමයන්ගෙන් හදුන්වනු ලබයි.

පොල් අප රටෙහි පවතින ප්‍රධාන වැවිලි බෝගයක් වන අතරම වාර්ෂිකව සැලකිය යුතු විදෙස් විනිමයක් අප රටට රැගෙන ඒමට සමත් බහු වාර්ෂික බෝගයකි. එසේම විවිධ වු රැකියා අවස්ථාවන් රැසක් ශ්‍රි ලංකාව තුල ජනිත කරවීමට සමත් මෙම අපුරු වු බෝගය සියළුම පුරවැසියන්ගේ ආහාර රසකර ගැන්මට මෙන්ම පෝෂණ තත්ත්වය මනාව පවත්වාගැනිමටද ඉවහල් වේ. ගෙවී ගිය දස වසරක කාලය සලකන විට ශ්‍රි ලංකාව තුළ වාර්ෂික පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 2,450 – 3,056 ක් අතර පරාසයක ව්‍යාප්තව ඇත.

ශ්‍රි ලංකාව තුළ පොල් වගාව සම්බන්ධයෙන් පවතින ආයතනයන්ගේ ගණනයට අනුව වර්ථමානය වන විට ශ්‍රි ලංකාවේ ගෘහ ආශ්‍රිත පරිභෝජනයට සහ කර්මාන්ත කටයුතු සඳහා පොල් ගෙඩි මිලියන 3600 ක් පමණ වාර්ෂිකව අවශ්‍ය වන බව සොයාගෙන ඇත. මෙයින් 63% ක් පරිභෝජනය සඳහා යොදා ගැනෙන අතර ඉතිරිය කර්මාන්ත කටයුතු සඳහා යොද ගැනේ. කෙසේ වුවද තවමත් එම ඉලක්කය කරා ලඟාවීමට අපොහොසත්ව ඇති අප ඉන්දුනිසියාව වැනි රටකින් ඌණපුර්ණය පියවා ගැනීමට කටයුතු කරමින් සිටියි. මෙය කෙතෙක් දුරට පොල් වගාවේ හෙට දවස කෙරෙහි බලපාන්නෙද යන්න විමසා බලමු.

ඉහත සදහන් පොල් ඉඩම් ප්‍රමාණයන්ගෙන් 82%  ක් කුඩා පරිමාණ ඉඩම් වන අතර ඉතිරි 18% පෞද්ගලික හා රාජ්‍ය ආයතන මගින් පාලනය වන මහා පරිමාණ වතු වේ (පතිරාජ ඇතුළු පිරිස, 2015 සහ ජයන්ත ජයවර්ධන, 2019). එසේම වාර්ෂික පොල් නිෂ්පාදනයෙන් 70% ක් පමණ කුඩා පොල් ඉඩම් මගින් ලබා දුන්නද එය අපගේ වාර්ෂික පොල් අවශ්‍යතාවය සපුරා ගැනීමට ප්‍රමාණවත් වි නොමැත (ජයන්ත ජයවර්ධන, 2019).

අපනයන වෙළදපොල ගත් කළ ශ්‍රී ලංකාවේ දිසිඳි පොල් කර්මාන්තය සඳහා ලෝකයේ හොඳ වෙළදපොළක් පවතින අතර පිළිවෙළින් ඇමෙරිකාව, ජර්මනිය, එක්සත් රාජධානිය, චිනය, ජපානය, නේදර්ලන්තය, ඔස්ට්‍රෙලියාව, ප්‍රංශය, කැනඩාව සහ මෙක්සිකෝව, අපගේ ප්‍රධාන ගැනුම්කරුවන් වේ (ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය). කැපී පෙනෙන සුදු පැහැයකින් යුක්ත වීම, මනා වයනයක් පැවතිම හා ප්‍රනීත රසයකින් යුක්ත වීම ආදි කරුණු මේ සඳහා මනා පිටුවහලක් වී ඇත. එමෙන්ම පොල් මදය ආශ්‍රිතව සිදු කරන නිෂ්පාදනයන්ගෙන් (දිසිඳි පොල්, පොල් වතුර, පොල් ක්‍රිම් සහ කිරි/පිටි, පොල්තෙල්) ශ්‍රී ලංකාව ලෝක අපනයන වෙළදපොලෙහි 4 වන ස්ථානයත් දුඹුරු පොල් කෙඳි අපනයනය අතින් ලෝකයේ පළමු ස්ථානයත් දිනා ගැනීමට සමත්ව ඇති අතර එය අප සැමට මහත් ගෞරවයක් ගෙන දෙන එන්නක් මෙන්ම විදෙස් විනිමය උපයා ගැන්මට හේතුවක් වි ඇත.

2018 වසරේදී පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් (පොල් මදය, පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන, පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන) නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 589.06 ක් උපයා ගැන්මට අප රටට හැකිව ඇති අතර 2019 වර්ෂයේ මැයි මස අවසානය දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 259.52 ක් උපයාගෙන ඇත. 2016 වසරේ සිට 2019 වසරේ මේ දක්වා අපනයනය කරන ලද භාණ්ඩයන්ගෙන් පිළිවෙළින් පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් 5.59% ක්, 5.24%, 5.06% ක් හා 5.36% ක් අපනයනය කර ඇති අතර 2016 වසරට පෙර වසර කිහිපයෙහි එහි අගය 5% වඩා අඩු අගයක් ගෙන ඇත.

පොල් ආශ්‍රිතව පවතින ප්‍රධාන ආයතනයන් වන පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය හා පොල් පර්යේෂණ ආයතනය යන ආයතනයන් පොල් වගාව සහ කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටියද විවිද වු හේතුන් නිසා එයට බලපැම් සිදුවෙමින් පවතී. මේ සඳහා සෘජුවම දේශගුණික සාධක බලපෑම් ඇති කරන අතරම ප්‍රධාන ලෙස වර්ෂාව හා උෂ්ණත්වය බලපානු ලබයි.

තවද දේශගුණික වෙනස්වීම් පුරෝකථනයට අනුව පරිසර උෂ්ණත්වය ඉහළ යාම පොල් පලදාව අඩුවීමට හේතු වන බව අනාවරණය කරයි. උදාහරණයක් ලෙස ගත් කළ 2016 හා 2017, කාලයන්හි පැවති අඩු වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් 2016 වර්ෂයේ පොල් ගෙඩි මිලියන 3,011 ව පැවති ශ්‍රි ලංකාවේ පොල් නිෂ්පාදනය 2017 වසරේදී මිලියන 2,450ක් දක්වා පහත වැටුණි. ශ්‍රි ලංකාවේ පවත්නා වු මුළු පොල් ඉඩම් ප්‍රමානය 57% ක් පවතිනුයේ පොල් ත්‍රිකෝණය වන පුත්තලම, කුරුණෑගල හා ගම්පහ දිස්ත්‍රික්යන්හි වන අතර පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කයන් හි පවතිනුයේ වියලි හා අතරමැදි කළාපයන්ය.

නියන් තත්ත්වයන් නිසා බොහෝ ලෙස හා මද ලෙස තර්ජනයට ලක් වු ඉඩම් පිළිවෙලින් හෙක්ටයාර 88,000ක් හා 108,000 මේ ප්‍රදේශයන්හි පිහිටා ඇත. එසේම ගංවතුර තත්ත්වයන් හමුවේ පොල් ගස් වලට දින කිහිපයක් නොනැසි පැවතිය හැකි මුත් දිර්ඝකාලීනව එයද අපහසු කටයුතක්තක් වේ. තවද නායයාම් අධික පෙදෙස් (නුවරඑළිය වැනි) පොල් වගාව සඳහා සුදුසු නොවන අතර එම ප්‍රදේශයන්හිද හෙක්ටයාර 2,400 පමණ පොල් වගාව ව්‍යාප්තව ඇත. තවද මුහුද ක්‍රම ක්‍රමයෙන් රට අභ්‍යන්තරයට කා වැදීම නිසා වෙරළ ආශ්‍රිතව පැවති පොල් වගාව සඳහා ඉඩකඩ සිමීත විම හා පසෙහි ලවණතාවය වැඩි විම නිසා දවසින් දවස පොල් වගාව තර්ජනයකට ලක් වෙමින් පවතී.

එම තත්ත්වයන් තේරුම් ගත් නිසාවෙන් ඉහත කී රාජ්‍ය ආයතන පොල් වගාව රැකගැනීමට විවිධ වු ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. මේ අතර පොල් වගාවේ ඵලදායිතාවය වැඩි කිරීමට යෝග්‍ය වන ප්‍රෙභ්ද බිහි කිරීම පොල් පර්යේෂණ ආයතනය මගින් සිදු කරන අතර එය සැබැවින්ම ඇගයිය යුක්තකි. එසේම පොල් වගා කීරිමේ මණ්ඩලය පොල් වගාව ව්‍යාප්ත කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කරන අතර එයද ප්‍රසංශනීය කරුණකි.

පොල් සංවර්ධන අධිකාරීය පොල් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාප්ත කීරිමට, අපනයන වෙළදපොල සකසාදීමට කටයුතු කරන අතර එයද ඇඟයීමට භාජනය විය යුතුය. නමුදු දැන් දැන් දේශගුණික සාධකයන්ගෙන් ඔබ්බට ගියා වු හේතුන් නිසා පොල් වගාව සහ පොල් කර්මාන්තය සම්බන්ධයෙන් රතු එළියක් දිස්වන සේයාවක් ඇත.

පසුගිය වසර වල පැවතී නියන් තත්ත්වය නිසා ගිය වසරේදී පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 90.00 සිට 120.00 වැනි ඉතා ඉහළ මිලක් වාර්තා කළ අතර මේ මොහොත වන විට එයට හාත්පසින්ම වෙනස් වු අවම අගයක් වාර්තා වේ (රුපියල් 35.00 – 60.00 දක්වා). මේ මොහොත වන විට එහි තොග මිල රුපියල් 22.00 ක් පමන අගයක් ගනී. එම නිසාම පොල් වැවිලි සමාගම් පොල් වගාව සම්බන්ධයෙන් කලකිරී ඇති සේයාවක් විද්‍යාමාන වේ.

තවද කර්මාන්තකරුවන් ද කාර්මාන්ත කටයුතු සම්බන්ධයෙන් එතරම් තෘප්තිමත් නැති බවක් කර්මාන්තකාරුවන් කිහිප දෙනෙකුගෙන් කරුණු විමසිමේදී අනාවරණය විය. මේ නිසාම ඒ පිළිබඳව සොයා බලා පොල් වගාව සහ කර්මාන්තය ආරක්ෂා කරගනු වස් අධ්‍යයනයන් දියත් කරවීම කාලීන අවශ්‍යතාවයක් වන අතර  එහිදී පොල් ගෙඩිවල මිල උච්චාවචනය වීමට බලපාන හේතුන්, ඒ නිසා සිදුවන බලපෑම් සහ ගෙවතු වගාවන් තුළ පොල් වගා කිරීමේ විභවතාවය සොයා බැලීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

ඉහත කාරණා පදනම් කර ගනිමින් සිදු කළ මුලික විමර්ශනයකදී, ගෙවී ගිය වසරේ කර්මාන්ත සඳහා ප්‍රමාණවත් පොල් නොමැතිවීම හේතු කොට ගෙන ඉන්දුනිසියාවෙන් මෙරටට පොල් ආනයනය කර නැවතත් ප්‍රතිඅපනයනය කර ඇති බව වාර්තා විය. කෙසේ වුවද මේ සඳහා විදෙස් අපනයන වෙළදපොලෙහි ප්‍රසාදයක් නොලැබී ඇති අතර එයද දිසිඳි පොල් කර්මාන්තය සඳහා බලපැම් ඇති කර ඇත. තවද මෙහිදි අනාවරණය වු කරුණක් ලෙස දේශිය පරිභෝජනය සඳහා පාම් ඔයිල් අපට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආනයනය කරන බවද එබැවින් දේශිය පොල් වලින් තෙල් නිෂ්පාදනයට කාර්මාන්තකරුවන් යොමු නොවන බවද වාර්තා විය. පාම් ඔයිල් සඳහා රජය මගින් බද්ධක් පැනවුවද ආනයනකරුවන් විවිධ වු අනිසි ක්‍රියාමාර්ග හරහා බදු ගෙවිමෙන් වැලෙකෙන බවද වාර්තා විය.

පොල් සංවර්ධන අධිකාරීයේ ලියාපදිංචි දිසිඳි පොල් කර්මාන්තශාලා සහ පොල් නිෂ්පාදනයන් සිදු කරන කර්මාන්තකරුවන් සම්මුඛ සාකච්ඡාවට බදුන් කිරීම මගින් මෙහි නිරවද්‍යතාවය කොතෙක් දුරට පවතිද යන්න තහවුරු කරගත හැක. පොල් වැවිලිකරුවන්ගේ සංගමයට අනුව 2000 වසරේදී දේශිය පරිභෝජනය සඳහා අවැසි තෙල් ප්‍රමාණයෙන් (මේට්රික් ටොන් 84,000) 50% ක් පාම් ඔයිල් ලෙස ආනයනය කර ඇත. 2010 වසරේදී  එසේ ආනයනය කරන ලද පාම් ඔයිල් ප්‍රමාණය 60% වන විට 2018 වසරේදී එය 88% ක් පමණ වී ඇත. මේ වන විට එහි තත්ත්වය තවත් වැඩි වී ඇති අතර දිගින් දිගටම පාම් ඔයිල් ශ්‍රි ලංකාව තුළට පැමිණිම නිසා අනාගතයේදී කොප්පරා හා පොල් තෙල් කර්මාන්තය දැඩි තර්ජනයකට ලක්වෙමින් වෙමින් පවතින බව පිළිබිඹු වේ. මේ මොහොත වන විට පොල් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට යන වියදම හා ගත් කළ පොල් ගෙඩියක් සඳහා ලැබෙන විකුණුම් මිල ඉතා අඩු අගයක් ගැනීමටද ඉහත කී අසිමාන්තික පාම් ඔයිල් ආනයනය හේතු වන බව මුලික කරුණු විමසිමේදී අනාවරණය වී ඇත.

මෙහිදි දේශිය පොල් කාර්මාන්තය ආරක්ෂා කර ගනිමින් අවශ්‍ය ප්‍රමාණයට පමණක් පාම් ඔයිල් ආනයනය කිරීම මෙන්ම එහි ප්‍රමිතිය පරික්ෂා කර දේශිය පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහාද අදාල බලධරයින්ගේ අවධානය යොමු වීම ඉතා වැදගත්ය. එසේ කිරිම මගින්ම පමණක් තිරසර පොල් වගාවක් හා කාර්මාන්තයක් හෙට දවසේ අපට බලාපොරොත්තු විය හැකිය. එමගින් දේශිය වැවිලිකරුවන්, නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් යන සෑම අංශයක්ම අපට ආරක්ෂා කර ගත හැකි අතර පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් අපනයනයෙන් ලැබෙන අනෙක වු විදේස් විනිමය ද අපට ආරක්ෂා කර ගත හැකිය. ඒ උදෙසා කළ හැකි දැ නොපමාව සිදු කිරීම අප සැමගේම වගකීමක් වන අතර එය හේතුකොට ගෙන පොල් වගාවේ හෙට දවස තිරණය වනු ඇත.

මුලාශ්‍ර       –     මහ බැංකු වාර්තාව, 2017, එරන්දති පතිරාජ, පර්යේෂණ පත්‍රිකාව 2015, ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය

Foot Note   –     එරන්දති පතිරාජ, පොල් පර්යේෂණ ආයතනය – ලුණුවිල, ජයන්ත ජයවර්ධන, පොල් පර්යේෂණ මණ්ඩලය – හිටපු සභාපති

Recommended For You

About the Author: Editor