News of the day: ‘ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් – හතුරුසිංහ’ අරුම පුදුම ගිවිසුමක්: කවුද දන්නේ මේ ලක්ෂ 70න් කීයක් කාගේ හරි සාක්කුවට යනවද කියලා ? – ක‍්‍රීඩා ඇමැති හරීන්

කවුද දන්නේ හතුරුසිංහට දැනට ගෙවන විශාල මුදලින් කොටසක් කාගේ හරි සාක්කුවකට යනවද කියලා ?

චන්දික හතුරුසිංහ මහතා සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අත්සන්කර ඇත්තේ අරුම පුදුම ගිවිසුමක් බවත් ඔහුට ගෙවන ලක්ෂ 70ක් කොටසක් කාගේ හෝ සාක්කුවට යනවා දැයි තමාට සිතෙන බවත් ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (8) බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර එහිදී ඇමැති හරීන් පැවැසූවේ වෝහාරික විගණන වාර්තා කෙටුම්පත මුද්‍රා තබා ලිපියක්ද සහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පෙරේදා යැවූ බවයි.

මෙහිදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පැහැදිලි කළ ඇමැති හරීන් හතුරුසිංහ මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මේ වනවිට චෝදනා පත්‍රයක් ලබාදී ඇති බැවින් සිදුවන්නේ කුමක්ද යන්න විමසිල්ලෙන් බලා සිටින බව පැවසීය.

‘‘ක්‍රිකට් ආයතනයට සම්පූර්ණ නිදහස දී තිබෙනවා පුහුණුකරු සම්බන්ධ තීරණ ගැනීමට. ක්‍රිකට් ආයතනයට අවශ්‍ය නම් තියා ගන්න පුළුවන්. මා කියන්නේ ඔහු සමග දීමනා සම්බන්ධව ඇති කොන්දේසි යළිත් සලකා බලන ලෙසයි. කවුද දන්නේ හතුරුසිංහට දැනට ගෙවන විශාල මුදලින් කොටසක් කාගේ හරි සාක්කුවකට යනවද කියලා ? ඔහු සමග ඇති ගිවිසුම පරිදි හතුරුසිංහ මහතාගේ කැමැත්තෙන් ඉවත් වෙනවා නම් ඔහු මාස 3ක වැටුප ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දිය යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට්වල අවශ්‍යතාවට යවනවා නම් ගිවිසුම අවසන්වන තුරු වැටුප් ගෙවිය යුතුයි. නිවාසල වාහන ඇතුළු අනෙකුත් දීමනාවලට අමතරව මාසයකට රුපියල් ලක්ෂ 70කට වැඩි මුදලක් ලබන වසරේ දෙසැම්බර් මාසය දක්වා ගෙවිය යුතුයි. මේක පුදුම ගිවිසුමක් නේ ?’’ යැයි ද ක‍්‍රීඩා ඇමැතිවරයා සිය මවිතය පළ කරමින් කියා සිටියේය.

මෙම ගිවිසුම ගැන සිය මවිතය සහ කණස්සල්ල පළ කරමින් ඇමැති හරීන් මෙසේ ද සඳහන් කළේය.

‘‘පොල් ෆාර්බේස් හා ග්‍රේහැම් ෆෝඩ් කියන පුහුණුකරු එක රැයකින් ගෙදර යවන්න පුළුවන් වුණා නම් හතුරුසිංහ සම්බන්ධව තද ගිවිසුමක් ගැහුව්වේ කවුද ? මට තියෙන ප්‍රශ්නය ඒකයි. මා කොතැනකවත් කියා නෑ හතුරුසිංහ ඉවත් කරන්න කියා. ඔහු සම්බන්ධ ඉදිරි සැලසුම් පිළිබඳ පැය 24ක් ඇතුළත මට සැලසුමක් දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කිවුවා. නමුත් ලැබුණේ නෑ. ක්‍රීඩා පනතේ 39 (1) යටතේ මට හැකියාවක් තියනවා ඕනෑම සංගමයකින් විමසීමක් කරන්න. ඒ අනුවයි මා කටයුතු කළේ. එක් අයෙකුට පමණයි මේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. මට අවශ්‍ය ක්‍රිකට් හදන්නයි’’ ක‍්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

එහිදී එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් සිදුකළ වගකීම් විරහිත වාර්තාකරණයක් ගැන ද ඇමැතිවරයා සඳහන් කළේය. ‘ක‍්‍රීඩා ඇමති විසින් වෝහාරික විගණන වාර්තා කෙටුම්පත අත්හිටුවයි’ කියා එක්තරා මාධ්‍යයක පළවී තිබුණා. ඒක සම්පූර්ණ බොරුවක්. පසුගිය ජනවාරි 28 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව වෝහාරික විගණනයක් ඉල්ලුවේ මමයි. විගනනයක් ඉල්ලා සිටි මා එය අත්හිටුවන්නේ මොකටද ? මේ වගේ බොරු ලියන්නේ ඇයි කියා මා දන්නේ නෑ’’ ඇමැතිවරයා විමසීය.

රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ වෝහාරික විගණන වාර්තාවේ කෙටුම්පත ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාට ලැබී ඇති අතර එය ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කොට ඇත.

පිටු 2000කට ආසන්න වෝහාරික විගණන වාර්තාවේ කෙටුම්පත පෙන්වාදෙන කරුණු සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානීහු දින 7ක් ඇතුළත පිළිතුර සැපයිය යුතු බවද අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම්දී ඇත.

2016 සිට 2018 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ සියලු ගනුදෙනු සම්බන්ධව වෝහාරික විගණන වාර්තා කෙටුම්පතින් කරුණු අනාවරණය කොට තිබිණි.

වෝහාරික විගණන වාර්තාවෙන් සලකා බලා ඇති විශේෂිතවූ කරුණු

1. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩකයන් පුහුණුකිරීම සඳහා උසස් තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට පියවර ගැනීම හා ඒ සඳහා බදු පදනම මත ඉඩමක් අතපත්කර ගැනීමට කරන ලද පරීක්ෂාව

2. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජාත්‍යන්තර රූපවාහිනී විකාශ, ගුවන් විදුලි ප්‍රචාරය, ජංගම හා අන්තර්ජාතික විකාශ හා අනුග්‍රාහකත්වය ආදී අයිතීන් අලෙවි කිරීම සඳහා ආදායම් එකතු කිරීමේ හා ඊට අදාල අනෙකුත් අනුග්‍රාහකත්ව කරුණු පරීක්ෂාව

3. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බඳවා ගැනීම පිළිබඳ පරීක්ෂාව

4. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර තරග පිළිබඳ දේශීය ගුවන් විදුලි විකාශන අයිතිය අලෙවි කිරීම සම්බන්ධව කරුණු පරීක්ෂාව

5. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ඒඩ් ගැරන්ටි ලිමිටඩ් නමින් වූ ඇපයන් සීමිත සමාගමක් පිහිටුවීමට අදාළ කරුණු පරීක්ෂා

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor