Voice of දියවන්නා SLPP: කොහොමද අප්පා ඔයා ඕවා දන්නේ ? – පවිත‍්‍රා වන්නිආරච්චි

සටහන – ගජබා නාගහවත්ත

පොදුජන පෙරමුණේ e කැන්වසින් වැඩසටහන පසුගිය 03 සහ 04 දිනවල රට පුරා පැවැත්වුණේ බැසිල්ගේ මඟ පෙන්වීම යටතේය. ඊ කැන්වසින් වෙනුවෙන් නිර්මාණය වූ ජංගම දුරකථන ඇප්ලිකේෂනයත් සමඟ පොදුජන පෙරමුණේ සාමාජික සාමාජිකාවෝ රට පුරා නිවාස ලක්ෂ 70ක් ආවරණය කිරීමට යෙදවීම බැසිල්ගේ සැලසුම වී තිබුණේය.

බැංකොක්වල සිට කැන්වසින් කරන්න ගිය නියෝජිතයා බැසිල්ට අතේ මාට්ටු

සතියකට පමණ පෙරාතුරව ඊ කැන්වසින් වැඩසටහන අත්හදා බැලීම සඳහා තෝරා ගත් ප්‍රදේශවල ගෙන් ගෙට යාමේ වැඩපිළිවෙළක් ද බැසිල් සකසා තිබුණේය. ඊ කැන්වසින් වැඩසටහනේ නියෝජිතයන් අදාළ ඇප් එක ක්‍රියාත්මක කරන ස්ථාන ප්‍රධාන කාර්යාලයේ සිට දැක ගැනීමේ අවස්ථාව සලසා තිබුණි. අත්හදා බැලීම යන අතර බැසිල්ට දැනගන්නට ලැබුණේ එක් නියෝජිතයකු රැවටීමක් කරන බවය.

නියෝජිතයාට අදාළ ප්‍රදේශයේ ඊ කැන්වසින් වැඩසටහන ක්‍රියාත්මක වන නමුත් ප්‍රධාන කාර්යාලයේ තිරයේ සටහන්ව ඇති අන්දමට අදාළ නියෝජිතයා ඒ වන විට සිටියේ බැංකොක්වලය. බැසිල්ටත් කොළේ වසා බැංකොක් සිටින අතරතුර ඊ කැන්වසින් ගිය බව පෙන්නීමට උත්සහ දැරූ වංචාකාර නියෝජිතයා වහාම පොහොට්ටුවේ කටයුතුවලින් ඉවත් කිරීමට පියවර ගැනිණි.

ඊ කැන්වසින් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් බැසිල් ද සෙනසුරාදා උදෑසන සුබ මොහොතින් ඊට එක්ව සිටියේය. සෙනසුරාදා සහ ඉරිදා දින දෙකම බැසිල් සිටියේ නෙළුම් මාවතේ කාර්යාලයේය. පොදුජන පෙරමුණේ නියෝජිතයන් ඊ කැන්වසින් සමඟ නිවෙස්වලට යන විට බැසිල් නෙළුම් මාවතට වී ඒ කටයුතු අධික්ෂණය කළේය.

UNP – JVP පවුල්වලින් ප‍්‍රසන්නට සහතිකයක්

බැසිල්ගේ ඊ කැන්වසින් වැඩසටහනට ගම්පහ දිස්ත්‍රික්කයෙන් නායකත්වය දුන්නේ ප්‍රසන්නය. සෙනසුරාදා උදෑසනම පොදුජන පෙරමුණේ සාමාජිකයන් සමඟ මඟට බට ප්‍රසන්න නිවාස කරා යමින් ඊ කැන්වසින් ක්‍රියාත්මක කරන්නට දායකත්වය දුන් අතර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට ලැදි ජනතාව හමුවීමට ද ප්‍රසන්න අමතක කළේ නැත.

ඒ සෑම තැනකදීම ජනතාව ප්‍රසන්නගෙන් විමසා සිටියේ පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියාය. “තව ටික දවසනේ ඉවසලා ඉන්න, මහින්ද මහත්තයා හොඳම අපේක්ෂකයා දෙයි“ ප්‍රසන්න උත්තර දුන්නේ සිනාසෙමිනි.

එක්සත් ජාතික පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික නිවාස කිහිපයකින්ම ප්‍රසන්නට අවධාරණය කර සිටියේ ගෝඨාභය හැර වෙනත් කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බවය.

“ඔබතුමාලා හොඳට කල්පනා කරලා බලලා අපේක්ෂකයා දාන්න. අපි පරම්පරාවෙන් යූ. ඇන්. පී වුණත් මේ පාර ගෝඨාභය මහත්තයා ආවොත් කතිරේ ගහනවා. මේ හොරු රැල එලවලා රට බේරගන්න පුළුවන් ඒ වගේ කොන්ද පණ තියෙන නායකයකුට විතරයි“ බොහෝදෙනා ප්‍රසන්න සමඟ කීහ.

කැන්වසින් ඇප් එකට සයිබර් ප‍්‍රහාරයක්

ඊ කැන්වසින් වැඩසටහන යන අතරතුරේ ඇප් එක ඉලක්ක කරගනිමින් හැකර්වරුන්ගේ සයිබර් ප්‍රහාරයක් ද එල්ල වී තිබුණු අතර පොදුජන පෙරමුණේ පරිගණක ඉංජිනේරුවෝ විශාල වෙහෙසක් දරමින් වැඩසටහන යථා තත්ත්වයට ගෙන ආහ. සෙනසුරාදා රාත්‍රියේ පමණක් 20,000ක් පමණ ඇප් එකට අනවසරයෙන් ලියාපදිංචි වීමට උත්සහ දරා තිබුණේ බැසිල්ගේ කර්තව්‍ය අඩාළ කිරීම සඳහා වුවත් එය ද වළක්වා ගැනීමට හැකිවිය.

සියලු බාධක මැද ඊ කැන්වසින් වැඩසටහන ඉරිදා සවස සර්ථකව අවසන් වන විට සියයට 82ක ඉහළම සාර්ථකත්වයක් ලැබූ ගම්පහ දිස්ත්‍රික්කය සියලු දිස්ත්‍රික්ක අතරින් පළමු ස්ථානයට පත්ව තිබුණේය. දෙවැනි ස්ථානය මාතරටත් තෙවැන්න ගාල්ලටත් හිමිව තිබුණේය.

ජනතාවාදී දේශපාලනඥයෙකු සදහටම සමුගනී

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක පසුගිය දිනවල සිටියේ අසනීප තත්ත්වයෙනි. පසුගිය සතිය වන විට සාලින්ද කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔහුගේ දියණිය වන ලාවන්‍යා සහ බිරිඳ කුමාරි යන දෙදෙනා සාලින්ද අසළටම වී හිඳිමින් ඔහු බේරා ගැනීමට වෛද්‍යවරුන් දරන උත්සාහය දෙස කඳුළු පිරි දෙනෙතින් බලා සිටියෝය.

මහින්ද පසුගිය සතියේ බ්‍රහස්පතින්දා හදිසියේම කුරුණෑගල ගියේ සිය දීර්ඝකාලීන මිතුරා මෙන්ම 2015 ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුවත් තමා අත නොහැර ගිය හිතවත් මන්ත්‍රීවරුන් අතලොස්ස අතරින් කෙනකු වූ සාලින්දගේ සුවදුක් විමසීමටය. බිරිය කුමාරි සහ ලාවන්‍යා දියණිය මහින්දට සාලින්දගේ තත්ත්වය විස්තර කළ අතර සාලින්දව ඒ මොහොතේම කොළඹ ගෙන ඒමට මහින්ද පියවර ගත්තේය.

ඒ අනුව සාලින්ද හෙලිකොප්ටර් යානයකින් කොළඹ ගෙනැවිත් ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට මහින්ද සියලු කටයුතු යෙදුවේය. අනතුරුව සිකුරාදා සවස රෝහල වෙත පැමිණි මහින්ද නැවත වතාවක් සිය මිතුරාගේ සුවදුක් විමසා ඉදිරි ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් සාලින්දගේ පවුලේ අය සහ වෛද්‍යවරුන් සමඟ කතාබහ කිරීමට ද අමතක කළේ නැත.

බන්දුල ගුණවර්ධනගේ ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල සඳුදා මොරටුවේ පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එම උත්සවය අතරතුර මහින්දට දැනගන්නට ලැබුණේ සිය කල්‍යාණ මිතුරා වන සාලින්ද දිවියෙන් සමුගත් වගය. වහාම ජොන්ස්ටන් සමඟ රෝහල වෙත පැමිණි මහින්ද සාලින්දගේ බිරිය සහ දියණිය සනසා අවමංගල්‍යයේ මූලික කටයුතු සඳහා අවශ්‍ය පියවර ගත්තේය.

ඒ කටයුතු අවසන්ව රෝහලෙන් පිටව යන අතරතුර මහින්ද ජොන්ස්ටන්ට කීවේ සාලින්දගේ හිතවත්කම ගැනය.

2015 මං පැරදුණ වෙලාවේ මාව අතඇරලා නොගිය අය අතර සාලින්ද ඉස්සරහින්ම ඉන්නවා

“සාලින්ද කවදාවත් තනතුරු, ලාබ ප්‍රයෝජන පස්සේ දිව්වේ නැහැ. 2015 මං පැරදුණ වෙලාවේ මාව අතඇරලා නොගිය අය අතර සාලින්ද ඉස්සරහින්ම ඉන්නවා. මම පෞද්ගලිකව දන්නවා සමහරු විවිධ තනතුරු දීලා සාලින්දව නම්ම ගන්න හැදුවා කියන එක. හැබැයි ඒ වගේ යෝජනාවක් ආපු ගමන් සාලින්ද කරන්නේ මට කෝල් එකක් දීලා කියන එක.

මමත් හොඳටම දැනගෙන හිටියා සාලින්දව ඕවට නම්ම ගන්න බැරි බව. ඉස්සරහට එන්නේ තීරණාත්මක වෙලාවක්. එතැනදී සාලින්දලා වගේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව අපිට තදින්ම දැනෙනවා. සාලින්දව ඕනේ වෙලාවකට තමයි එයා අපට නැති වුණේ. මොනවා වුණත් සාලින්ද කියන්නේ හොඳ යාලුවෙක් කියන එක මට අමතක වෙන්නේ නැහැ“ මහින්ද හැඳුම්බරව කීවේය.

මහින්ද – මෛත‍්‍රී තීරණාත්මක හමුවක්

එදින මහින්දට තවත් සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්වීමට සිදුව තිබු‍ෙණ්ය. එබැවින් විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසට ගොස් සූදානම්ව මහින්ද කෙළින්ම ගියේ පැජට් පාරේ පිහිටි මෛත්‍රිගේ නිල නිවසටය. මහින්ද එහි යාමට ප්‍රථම මෛත්‍රි නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි සහ සන්ධානයේ මහලේකම් අමරවීර යන දෙදෙනා සමඟ සාකච්ඡා කර පූර්ව සූදානමකට පැමිණ සිටියේය.

මහින්ද මෛත්‍රි අතර තීරණාත්මක සාකච්ඡාව පැවැත්වුණේ ඉදිරි ජනාධිපතිවරණය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙනි. පක්ෂ දෙකේ නියෝජිතයන් අතර සාකච්ඡා වට කිහිපයක් කලින් පවත්වා තිබුණු අතර අනතුරුව නායක මට්ටමේ සාකච්ඡාවක අවශ්‍යතාව දෙපාර්ශවයම වරින් වර ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව පැවැති මහින්ද මෛත්‍රී සාකච්ඡාව උපරිම සුහදත්වයෙන් යුතුව පැයකට ආසන්න කාලයක් ගලා ගියේය. සාකච්ඡාවට සහභාගී වූයේ ඔවුන් දෙදෙනා පමණකි. එසේම සාකච්ඡාවට ලක් කෙරුණු කාරණා රහසක්ව තබා ගැනීමට දෙදෙනාම කටයුතු කර තිබුණු අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වය, සන්ධානය සම්බන්ධයෙන් දෙදෙනා එකඟත්වයකට පැමිණි බවය.

මෛත‍්‍රී සමග කතා කළ දේ ගැන මහින්ද මන්ත‍්‍රීවරු දැනුවත් කරයි

විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණි. එහිදී ප්‍රථමයෙන් අදහස් දැක් වූ මහින්ද පෙරදා තමා සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කළේ සාකච්ඡාවේ රහසිගත බවට බාධාවක් නොවන ආකාරයටය.

“ජනාධිපතිවරයා සහ මම ඊයේ සාකච්ඡා කළා අපේ ඉදිරි දේශපාලන වැඩ කටයුතු සම්බන්ධයෙන්. ඉතාමත් සාර්ථකව සාකච්ඡා අවසන් වුණා. ඒ අනුව අවශ්‍ය ක්‍රියාමර්ග ඉදිරියේ දී ගන්නවා. තමුන්නාන්සේලාව ඒ සම්බන්ධයෙන් අදාළ අවස්ථාවල දී දැනුවත් කෙරෙනවා ඇති. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායමට මේ සාර්ථක සාකච්ඡාවට මඟ පෙන්වීම සම්බන්ධයෙන්“ මහින්ද පැවසීය.

මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පොදුජන පෙරමුණට අනුබද්ධ නිදහස් කලා සන්ධානය විසින් සකස් කරන ලද වාර්තා චිත්‍රපටයක් නැරැඹීමේ අවස්ථාව මන්ත්‍රිවරුන්ට හිමිවිය. සුදත් රෝහණ විසින් අධ්‍යක්ෂණය කරන ලද එම චිත්‍රපටයේ නම පෙනෙන නොපෙනෙන දේශපාලන යථාර්තයය. සාකච්ඡාවෙන් අනතුරුව මහින්ද සමඟ වාසු, සුදර්ශනී, අලුත්ගමගේ සහ ලන්සා කතාබහ කරමින් සිටියේ පෙරදින හමුව ගැනය. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාව සාර්ථකව සිදුකෙරුණු බව මහින්ද එහිදී කීවේය.

එදින දහවල් ආහාරය සඳහා මහින්ද පාර්ලිමේන්තු භෝජනාගාරයට ගියේ බන්දුල, ප්‍රසන්න ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් ගැනය. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාව සම්බන්ධයේන මහින්ද එහිදී ද මන්ත්‍රීවරුන් දැනුවත් කළේය.

“මම හිතන විදියට අපට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. අපි සැලසුම් කරපු විදියට ඉස්සරහට කටයුතු කරමු“ මහින්ද පැවසීය.

“සාකච්ඡා කරපු එක හොඳයි සර්. හැබැයි අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ“ ප්‍රසන්න

ඒ අතරතුර අනුර කුමාර දිසානායක එතැනට එනු දුටු මහින්ද බන්දුලගෙන් ඇසුවේ “ඔයාගේ පොතේ වැඩේ අනුරට කිව්වේ නැද්ද? යනුවෙනි.

“විමල්ට කිව්වොත් අනුර එන්නේ නැති නිසා කිව්වේ නැහැ. අන්තිමට විමලුත් නැහැ, අනුරත් නැහැ“ බන්දුල කීවේය. සාකච්ඡාව අතරතුර බන්දුල තමන්ගේ දුම්පානය නතර කිරීමෙට හේතු පැහැදිලි කළේ මෙසේය.

“දින සීයේ ආණ්ඩුවේ මුදල් ඇමැතිකම ගන්න මට එන්න කිව්වා. මම බැහැ කිව්වා. ඕක දැනගත්තම අර්ජුන ද සිල්වා මගෙන් ඇහුවා මුදල් ඇමැතිකම නොගෙන ඉන්න පුළුවන් නම් දුම්පානය නොකර ඉන්න බැරි ඇයි කියලා. මටත් හිතුණා ඒක නම් ඇත්ත තමයි කියලා. අනෙක් අතට මම ඕවා බිබී හිටියොත් මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක් එනවා දකින්න වෙන්නේ නැති වෙයි කියලා හිතුණා. ඒ හින්දා නරක පුරුද්ද අතහැරලම දැම්මා“ බන්දුල කීවේය.

වෙනදාට වඩා පාඨලී චම්පික විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ ඇඟෑලුම්කම් පානු නිරීක්ෂණය වී තිබුණේ ෂෙහාන් ඇතුළු පිරිසකටය. වෙනදාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් සමඟම සිටින පාඨලී පසුගිය දිනවල විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සිටින ආකාරයත් ඔවුන් සමඟ ආහාර ගැනීමට යන ආකාරයත් දුටු ෂෙහාන් මහින්දානන්ද, ඉන්දික ඇතුලු මන්ත්‍රීවරුන් සමඟ ඒ ගැන කතා කරමින් සිටියේය.

“මට පේන විදියට චම්පික ඇමැතිතුමා කරණමක් ගහන්නයි හදන්නේ. බැලුවොත් ඇත්තනම් එයා ඉන්නේ විපක්ෂයේ කා එක්ක හරි. කන්න යන්නේත් අපේ අය එක්කමයි” – ෂෙහාන්

“ඒක නම් ඇත්ත තමයි. මමත් දැක්කා පහුගිය සතියෙම අපේ අය එක්කම ඉන්න හැටි. දැන් රනිල්ව එපා වෙලා ද දන්නේ නැහැ“ ඉන්දික ද පැවසීය.

ප්‍රසන්න, පවිත්‍රා, ලන්සා, ෂෙහාන් ඇතුළු පිරිසක් පාර්ලිමේන්තු ලොබියේ කතාබහ කරමින් සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි. එහිදී රනිල් වික්‍රමසිංහට මුහුණ දෙන්නට සිදුවූ ඇබැද්දියක් ගැන තොරතුරු හෙලිදරව් කළේ ප්‍රසන්නය.

“රනිල්ට පහුගිය සතියේ මාර වැඩක් වෙලානේ. එයා හදිසියෙම කැලණි පන්සලට ගිහින් තියෙනවා කොල්ලුපිටියේ සංඝරක්ඛිත හාමුදුරුවෝ හම්බ වෙන්න. හාමුදුරුවෝ රනිල් උන්නැහෙට දෙහි කපන්න අරගෙන තියෙන්නේ අගමැති කියලවත් බලන්නේ නැතුවලු. හාමුදුරුවෝ ඇහුවලු රනිල් ඔයා රන්ජන් ලව්වා මට මඩ ගහන්න පටන් ගත්තා නේද කියලා.

රනිල් කිව්වලු අනේ නැහැ හාමුදුරුවනේ මම මොකුත් දන්නේ නැහැ කියලා. හාමුරුදුවෝ කිව්වලු ඔයා දන්නේ නැති වුණාට අපි දන්නවා. අන්න දායක සභාව තීන්දුවක් අරගෙන තියෙනවා තමුන්නැහෙව දායක සභාවෙන් අයින් කරන්න කියලා. රනිල් කිව්වලු ඒක නම් කරන්න එපා හාමුදුරුවනේ මම හෙටම රන්ජන්ව එලවලා දාන්නම් කියලා.

හාමුදුරුවෝ කිව්වලු මට කරන්න දෙයක් නැහැ, ඒක දායක සභාවේ තීන්දුවක්. ඔයාලා මට විතරක් නෙමෙයි මුළු සංඝරත්නයටම අපහාස කරනවා. ඇමැතිවරුන් කියන කතා නිසා භික්ෂුවකට පාරේ බැහැලා යන්න විදියක් නැහැ. ඔයාලා හදන්නේ බෞද්ධාගමත් විනාශ කරන්නද කියලා ඇහුවලු. රනිල් හාමුදුරුවන්ට වැඳලා කිව්වලු දායක සභාවෙන් අයින් කරන්න එපා කියලා“ ප්‍රසන්න හෙලි කළේය.

“කොහොමද අප්පා ඔයා ඕවා දන්නේ? – පවිත්‍රා

“මටත් ඉතින් ඕවා ආරංචි වෙනවනේ. රනිල් යන්න හදනකොට තමයි හාමුදුරුවෝ හොඳම කතාව කියලා තියෙන්නේ. හාමුදුරුවෝ කිව්වලු තවත්නම් මේ රටේ මිනිස්සු රවට්ටන්න ඔබතුමාලට බෑ කියලා  ප්‍රසන්න පැවසීය.

“හොඳ වැඩේ. බලය රැකගන්න ඕනේම ජරා වැඩක් කරන ඔය වගේ දේශපාලනඥයන්ට ගහලා පන්නන්නයි ඕනේ. හාමුදුරුවන්ට වුණත් පේනවා ඇති සංඝයා වහන්සේලාට, කාදිනල්තුමාට අපහාස කරලා හරි ජනාධිපතිවරණය දිනන්න මේ ආණ්ඩුව ගන්න උත්සාහය“ ෂෙහාන් පැවසීය.

“ඕක කිව්වමයි මතක් වුණේ යූ. ඇන්. පිය නිතියක් දාලලු කිසිම ඇමැති කෙනෙක්ට, මන්ත්‍රීවරයෙක්ට ගෝඨාභය හමුවීම තහනම් කරලා. කබීර් හෂීමුයි සාගලයි දෙන්නා ගෝඨාභය බලන්න ගිය එකට මුළු යූ. ඇන්. පියම හෙල්ලිලා ගිහින් තියෙන්නේ“ ප්‍රසන්න කීවේය.

“ඔව් ඔව් මටත් ආරංචි වුණා. එදා කෘත්‍යාධිකාරියේ දී නවීන් කෙළින්ම කබීර්ටයි සාගලටයි බැන්නලුනේ. මට පේන විදියට අපිටත් වඩා ගෝඨාභය මහත්තයා හම්බ වෙන්න පෝලිමේ එන්නේ යූ. ඇන්. පී සෙට් එක වගෙයි“ පවිත්‍රා පැවසුවාය.

“බොරුවට රනිල් රනිල්, සජිත් සජිත් කිව්වට ඔය කවුරුත් දන්නවා මේ වතාවේ දිනන්න ලැබෙන්නේ නැහැ කියලා. රනිල් ඉස්සරහා රනිල් ඕනේ කියන අය සජිත් ඉස්සරහා සජිත් ඕනේ කියනවා. හැබැයි හිතයටින් හිතනවා මුන් දෙන්නම පැරදුණාම උදව්වක්වත් ගන්න ඉන්නේ ගෝඨාභය, ඒ නිසා එයාව ෂේප් කරගන්නේ කොහොමද කියලා. බලන් යනකොට අපේ අපේක්ෂකයා නම් කරන්නත් කලින්ම දිනුම ලැබිලා ඉවරයි“ ප්‍රසන්න සිනාසෙමින් පැවසීය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරට සම්බන්ධ ආණ්ඩුවේ පතෝල වැඩ සාකච්ඡාවට

පසුගිය බදාදා (07) සවස විජේරාමයේ පිහිටි මහින්දගේ නිල නිවසේදි විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. සාකච්චාවට ලන්සා, අරුන්දික, සනත් නිශාන්ත, ජොන්ස්ටන්, සුදර්ෂිණි ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ඊට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්  පිරිසක්ද වුහ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන දියාරු පිළිවෙත මෙහිදී සාකච්ඡාවට ලක්විය.

” පාස්කු ප්‍රහාරය එල්ලවෙලා දැන් මාස 03කටත් වැඩියි. ඒත් ආණ්ඩුවට මේ පරික්ෂා වලින් මග අරින බවයි පේන්නේ” මහින්ද කිවේය.

” ආණ්ඩුව මේකට පත් කරපු කොමිසම හරියට නාඩගමක් වගේ. ආණ්ඩුවේ පිටපතට ලියවුන නාඩගමක්” ලන්සා

” මේ බෝම්බවලට ලක්වූ මිනිස්සු තවම මැරෙනවා. ආණ්ඩුව තමන්ගේ ඇග බේරගන්න හදනවා.” සනත් කිවේය.

” කාදිනල්තුමා කියන්නේ මේ ගැන සාධාරණයක් ඉටුවෙන්න ඕනේ කියන එකයි. දැන් කාදිනල්  තුමාටත් ආණ්ඩුව අභියෝග කරන්න අරන්” අරුන්දික කීවේය.

” කාදිනල් තුමාගේ කථාවේ කිසිම වැරද්දක් නෑ. ආණ්ඩුව මේකට වග කියන්නේ ඕනේ.. ඒ නිසා විපක්ෂයේ මන්ත්‍රීවරු අනුමත කරන අයගෙන් සමන්විත ස්වාධීන කොමිසමක් පත් කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරන්න ඕනෑ.” මහින්ද කීවේය.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් බල තල සහිත ස්වාධින පරීක්ෂණ කොමිසමක් පත් කර ලෙස රජයට බල කිරීමට මෙහිදී තීරණය කෙරිණි.

මහින්ද පසුගිය බ්‍රහස්පතින්දා උදෑසනම කුරුණෑගලට ගියේ අභවපාත්‍ර වූ සාලින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ  දේහයට අවසන් ගෞරව දැක්වීමටය. මහින්ද යන විටත් එහි විශාල පිරිසක් සිටියේ  සාලින්දගේ දේහයට අවසන් ගෞරව දැක් වීමටය.

මහින්ද සාලින්දගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නිවස ඇතුලට ගිය විට ආරක්ෂක අංශ ජනතාවට ඇතුලු විම මදකට නතර කළේ මහින්දගේ ආරක්ෂාව වෙනුවෙනි. එය දුටු මහින්ද ආරක්ෂක අංශ වලට කීවේ ” තමන්ගේ නායකයට ගෞරව දක්වන්න එන සෙනගට බාධා කරන්න එපා ඒ අයට එන්න දෙන්න කියාය” ඒ අනුව ආරක්ෂක අංශ පැමිණ සිටි පිරිසට ඒ සදහා නැවතත් ඉඩ දුන්හ..

Recommended For You

About the Author: Editor