පොහොර භාවිතය ගැන ‘ඇත්ත ඇති සැටියෙන්’ දැන ගන්න: පුරුද්දට කරන පොහොර දැමිල්ලෙන් පස ලෙඩින් !

පස් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන රට පුරා

සමහර ප්‍රදේශවල පස පොහොර ගබඩාවක්

නිර්දේශය නෙවෙයි භාවිත පිළිවෙතයි වැරදි

පරිසරය වැනසීමක්, මුදල් නාස්තියක්

ග්‍රාම නිලධාරි මට්ටමෙන් ගොයමට පොහොර නිර්දේශ දැන් තිබෙනවා

සනත් එම්. බණ්ඩාර – සහකාර අධ්‍යක්ෂ – කෘෂිකර්ම, ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය.

ලංකාවේ සිදුවූ සහල් විප්ලවයට වගකිවයුතු විද්වතුන්ගේ මහගෙදර ලෙස සැලකිය හැකි බතලගොඩ වී පර්යේෂණායතනය වසර තුනකට පමණ වරක් මහජනතාව වෙනුවෙන් දින කීපයක් පුරාවට ක්ෂේත්‍ර වැඩසටහනක් පවත්වනු ලබයි. විශාල ජන සහභාගිත්වයකින් යුතු මෙවර වැඩසටහනද පසුගිය මාසයේදී දින තුනක් තිස්සේ එහි පැවැත්වුනි.

වෛද්‍ය ප්‍රදර්ශනයක් සරසවි සෙවනක පැවැත්වෙනවා කීවානම් ජනතාව පෝලිම් ගැසෙන්නේ කුකුලා අතින් අරගෙනය. මිනිස් සිරුර තුල ඇති, මෙතෙක් නොදුටු අවයවයන් බෝතල් තුල දියරයන්හි ගිල්වා හෝ පෙන්වන විට ‘අනේ අපොයි’ කියමින් එය නරඹන්නට ස්වාභාවිකවම අප තුල ඇත්තේ බලවත් උනන්දුවකි. සෞඛ්‍යයට ඇති ඒ උනන්දුව කෘෂිකර්මය කෙරෙහි ඇතිබව පෙරදී එතරම් නොදුටුවත්, මේ වතාවේ බතලගොඩ වන්දනාවේ පැමිණි නඩය දෙස බලන විටනම් සිතෙන්නේ ගොවිතැනත් විදු ඇසින් නරඹන්නට නව පරපුර තුලද යම්කිසි උනන්දුවක් ඇති බවයි.

විටෙක හිස කසමින්ද, වටපිට බලමින්ද, ඇදහිය නොහැකි දෙයක් ඇසුවාක් මෙන් නළලේ රැලි මතුවෙන්නට දෙබැම ඉහල දමමින්ද, නොසන්සුන්ව හැසිරෙන පිරිසක් වෙත මාගේ අවධානය යොමුවූයේ නිරායාසයෙන්මය. ප්‍රමාණයෙන් එය අක්කර භාගයකට නොවැඩි කුඹුරකි. ලියදි ගණන හතරකි. චන්ඩ මාරුතයක් හමා යන්නාක් මෙන් නැගෙන ප්‍රශ්ණ වැලකට මුහුණ දෙමින් නිලධාරියෙක් නියරක් මත සිටී. තම මතය තහවුරු කිරීම උදෙසා ඔහු හුදකලා සටනකය.

‘සත්‍යය වනාහී දිවාකාලයේදී සූර්යයා මෙන් දීප්තිමත්ය. මේ නිසා ප්‍රකෘති ඇසින් ඒ දෙස බැලීමට නොහැකිය.’ දකුණු ඉන්දියානු මල්ගුඩි ප්‍රබන්ධකයා වූ ආර්. කේ. නාරායන් වරෙක පවසා ඇති එම වැකිය මගේ මතකයට නැගේ. රැස්ව සිටින්නන් නිලදරුවා දෙස කෙලින් නොබලන්නේ, වටපිට බලමින් ඔලුව කසන්නේ, අසන්නට ලැබෙන සත්‍යයයෙන් නැගෙන ඒ දීප්තිය නිසා විය හැකිය.

“මාව විශ්වාස කරන්න, මේ ලියැදි හතරට අවුරුදු 40 කින් වත් පොහොර දාල නෑ.”  ඔහු නැවත වරක් උගුර පාදමින් කතා කරයි.

කෘෂි පර්යේෂණායතනයක් තුල පොහොර නොදමන ඉඩමක්! එපමණක් නොව වසර 40 ක් පුරා, එනම් අඩුම තරමින් විද්වතුන්ගේ පරම්පරා දෙකක්වත් තිස්සේ රැකුණු එවන් ප්‍රතිපත්තියක්.! කරකවා අතහැරියාක් මෙන් වික්ෂිප්තව සිටින්නවුන් අතරට මාද රිංගුවේ විස්තරය හොඳින් අසා දැන ගන්නටය. පොහොර යනු මහත් ආන්දෝලනාත්මක මාතෘකාවකි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉතාමත් සාධාරණ නිර්දේශයන්ට එළඹෙමින් ප්‍රකාශයට පත්කර ඇති දැනුම් සම්භාරය තුට්ටුවකටවත් මායිම් නොකරන පිරිසක් විසින් සිදුකරන අවභාවිතයන් නිසා ‘පොහොර’ යන අකුරු තුන මේ වනවිට රුදුරු බිල්ලෙකුට පණදී තිබේ. ඇතුන් කුඹුර වැනසූ විට ගෙයි තිබූ වංගෙඩි බැඳ තැබුවා සේ, මෙම අවභාවිතය නිසා පරිසරයට හා පුද්ගල සෞඛ්‍යයට සිදුවෙන හානි වලට පිළියම, පොහොර මිටියට දෙහි කැපීම නොවන බව නම් පළමුව කිව යුතුය.

පොහොර භාවිතයට ඇත්තේ වසර දහස් ගණනක ඉතිහාසයක්

පොහොර භාවිතයට ඇත්තේ වසර දහස් ගණනක ඉතිහාසයක්ය. ඊජිප්තු, බැබිලෝනියා හා ජර්මානු වැනි ආදී ශිෂ්ටාචාර වැසියෝ පවා තම ගොවිපලවල නිෂ්පාදන ධාරිතාවය වැඩිකර ගැන්මට පොහොර භාවිතා කල බවට සාක්ෂි තිබේ.

ශාක පෝෂණය පිළිබඳව නූතන විද්‍යාව ඇරඹෙනුයේ ජර්මානු රසායන විද්‍යාඥ ජස්ටස් වොන් ලේබිග් යටතේ 19 වෙනි ශත වර්ෂයේදීය. 1837 දී ඉංග්‍රීසි ජාතිකයෙක් වූ ජෝන් බෙනට් විසින් පෝච්චිවල සිටවූ ශාක වලට විවිධ කාබනික ද්‍රව්‍ය දමා එහි ප්‍රතිචාරය සොයන්නට මුලින්ම පටන්ගෙන ඇති අතර ඊට වසර දෙකකට පසු ක්ෂේත්‍ර පර්යේෂනයන්ටද ඔවුන් යොමුවී තිබේ.

රසායනික පොහොර භාවිතා නොකරන්නේ නම් අද ලෝකයේ නිපදවන ආහාර ප්‍රමාණයෙන් තුනෙන් එකක් අහිමිව යන බවට මෑතකදී පලවූ වාර්තාවක් මගින්ද පෙන්වා දී ඇත.       

ශාකයක් වර්ධනයට ප්‍රධාන වශයෙන් මූල ද්‍රව්‍ය 17 ක් පමණ අවශ්‍යයය. ඉන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වැනි ඒවා හැරුණුවිට අන් සියල්ල ලැබෙනුයේ පාංශු ද්‍රාවනය හරහාය. මුල් මගින් උරාගැනීමමේදීද, යම් විශේෂ ඒකකයක් බවට මූලද්‍රව්‍යය පත්විය යුතුවේ. බොහෝවිට මෙය ‘අයන’ නමින් හඳුන්වන අතිශය කුඩා ඒකකයකි. ශාකයකට බහුලව අවශ්‍ය මූලද්‍රව්‍යයක් වන නයිට්‍රජන් මේ අනුව උරාගන්නේ, එය ඔක්සිජන්ද සමග එක්වී සෑදුනු නයිට්‍රේට් නමැති අයන වශයෙන්ය.

යුරියා වශයෙන් පසට වැටුනත්, ගොම පොහොර හෝ කොම්පෝස්ට් හරහා පසට මුසු වුවත්, අකුණු ගැසීම වැනි සිද්ධීන් හරහා වායුගෝලයේ තිබෙන නයිට්‍රජන් බිම්ගත වුවත්, ශාකයක් තුලට මෙම මූලද්‍රව්‍යය පිවිසෙන්නේ නයිට්‍රේට් අයන ස්වරූපයෙනි. ශාකය තුලදී මෙම නයිට්‍රජන් යොදාගෙන විවිධ සංයෝග සෑදේ. ප්‍රෝටීන් සහ හරිතප්‍රද නමැති වර්ණකය, මෙසේ සෑදෙන ප්‍රධාන නයිට්‍රජන් සංයෝග දෙකකි. පොහොර ලෙස නොදැම්මත් වසර 40 ක් තිස්සේ බතලගොඩ ලියැදි හතර තුල ගොයම් හැදුනාසේ, පොළොවේ ස්වභාවිකව එකතුවෙන නයිට්‍රජන් උරාගනිමින් මහපොළොව මත ගස් වැඩීම අඛණ්ඩව සිදුවෙනවා ඇත. පොලොව මතුපිට ගලායන ජලයෙන් හෝ අකුණු ගැසීමේදී පොළොවට එකතුවීමෙන් හෝ පසේ වෙසෙන බැක්ටීරියා වැනි ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරිත්වය නිසා හෝ නයිට්‍රජන් යම් ප්‍රමාණයක් ස්වභාවිකවම පසට එකතුවීම මීට හේතුවයි.

නියර මැද සිට කෙරෙනා දේශනයට නැවතත් සවන් යොමු කලෙමි.

“ස්වභාවික ක්‍රමයට පසේ ගොඩනැගෙන පෝෂක ප්‍රමාණයෙනුත් ගහකොළ හැදෙනවා තමයි. හැබැයි අපිට අවශ්‍ය ප්‍රමාණයට එහි පලදාවක් එන්නේ නෑ. දැන් මේ පොහොර නොදාන කුඹුරේ සාමාන්‍ය අස්වැන්න අක්කරයකට බුසල් තිහ හතළිහක් වගේ ගණනක්. ඒත් අපි පොහොර යොදා වවන කුඹුරු වලින් බුසල් 200 ක් වුවත් ගන්නවා. ඒ නිසා අපේ ආහාර ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් කරන්න නම් පසේ තිබෙන ස්වභාවික පොහොර සමග බෑ. පිටින් ටිකක් දාන්නම වෙනවා. ලෝකේ හැමතැනම මේ වනවිට භූමිය සීමාකාරී සාධකයක් වී ඇති නිසා කෘෂිකර්මය කරන්නේ එහෙමයි.”

පොහොර නොයොදා වවන කුඹුරක් මැද හිඳිමින්, වගා බිමකට පොහොරවල අවශ්‍යතාවය පෙන්වා දෙන ඔහු වී පර්යේෂණායතනයේ පාංශු විද්‍යාඥයෙකි. නමින් ආචාර්ය ජයතිලක බණ්ඩාර ය.

ඔහු පවසන පරිදි පොහොර හදන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්නේත් මහ පොලොවෙන්මය. යකඩ, මැග්නීසියම් වැනි දෑ වාතයේ ඒ මේ අත පාවෙමින් පවතින්නේ නැත. පසෙන් ලබා ගන්නා මෙම ද්‍රව්‍ය නිසි පිරිපහදුවකට ලක්කිරීමෙන් හා අවශ්‍ය සංඝටකය නිස්සාරණය කිරීමෙන් පොහොර නිපදවනු ලබයි.

පසෙහි ඉතා සුළු වශයෙන් පවතින නිකල්, කැඩ්මියම් වැනි බැරලෝහද, ආසනික් වැනි ලෝහාලෝහද (ලෝහ හා අලෝහ යන දෙකට අතරමැදි මූලද්‍රව්‍ය) මෙම පොහොර තුල සුළු වශයෙන් අන්තර්ගත විය හැකිය.

මෙවැනි අහිතකර මූලද්‍රව්‍යයන් නැත්තටම නැතිවෙන පරිදි හෝ මිනිස් සිරුරට අහිතකර නොවන මට්ටමකට අඩුවෙනතුරු හෝ තවදුරටත් පිරිපහදු කිරීම කල හැකි වුවත්, එය මිල අධික කාර්යාවලියකි. ඒ නිසාම එවන් ඉහල ශ්‍රේණියේ පොහොර වර්ග මිලෙන්ද අධිකය, නමුත් වඩාත් ආරක්ෂිතය. අතමිට මුදල් ඇති හැටියට මිලදී ගැනීම උදෙසා මේ සියලු ප්‍රමිතීන්ගේ පොහොර, ලොව පුරා හරි හරියට නිෂ්පාදනය වේ.

‘බාල පොහොර’ නමැති යෙදුමක් අපගේ ජන වහරට එකතුවී ඇත්තේ මේ හේතුවෙනි. පොහොරක් බාල විය හැකි ප්‍රධාන හේතුවක් වන්නේ අදාළ සංඝටකයන්ට අමතරව වෙනත් අනවශ්‍ය මූලද්‍රව්‍යයන් නොහොත් අපද්‍රව්‍යයන් එහි අන්තර්ගත වීමයි. ඒවා වෙළඳපොළට පැමිණීම වැලක්වීමට රාජ්‍ය ආයතන ගණනාවක් තිබේ. ඒ හරහා යුතුකම් ඉටුවේනම් රසායනික පොහොර යනු බිල්ලෙක් වන්නේ නැත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බෝග වර්ග සඳහා පොහොර නිර්දේශයන් ලබාදීමේදී අවධානය යොමුකරන්නේ නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් (NPK) යන මූලද්‍රව්‍යයන් යෙදිය යුතු ප්‍රමාණයත්, යෙදිය යුත්තේ බෝගයේ කුමන අවධියේද යන්නත් පිළිබඳවය.

සුළු ප්‍රමාණ වලින් අවශ්‍ය අනෙක් මුලද්‍රව්‍ය සඳහා ඔවුන් කියන්නේ වගාබිමට කාබනික පොහොර යම් ප්‍රමාණයක් යොදා එම අඩුව පුරවා ගන්නා ලෙසයි. ඒ සඳහා සත්ව වසුරු, කොම්පෝස්ට් වැනිදේ භාවිතා කල හැක. ප්‍රධාන මූලද්‍රව්‍ය තුන වුවත් යෙදීමේදී පස පරීක්ෂා කරවාගෙන අවශ්‍ය ටික පමණක් යොදන මෙන් ඔවුහු උපදෙස් දෙති. වැඩේ පහසු කිරීම සඳහා කලින් කෘෂිකර්ම පර්යේෂණ ස්ථානවලට පමණක් සීමාවී තිබුණු පස් පරීක්ෂාකිරීමේ පහසුකම්, මේ වන විට ගොවිජනසේවා මධ්‍යස්ථාන දක්වා ව්‍යාප්ත කර තිබේ.

තමාගේ ගොවිබිමට කුමන පොහොර වර්ගය කෙතරම් ප්‍රමාණයකින් මෙවර යෙදිය යුතුද යන්න දැනකියා ගන්නට මේ අනුව වැයවෙන්නේ රුපියල් 290 ක් වැනි සුළු ගණනකි. සති 3 ක් වැනි සුළු කාලයකි. දෙපාර්තමේන්තුව එතනින් නැවතී නැත. දිවයිනේ සියලු ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි කුඹුරු වලට යෙදිය යුතු පොහොර ප්‍රමාණයන්ද ඔවුන් විසින් මේ වනවිට වෙන වෙනම ගණනය කර ප්‍රසිද්ධකර අවසන්ය. මෙය එසේ මෙසේ කාර්යයයක් නම් නොවේ. මේ හරහා රට වෙනුවෙන් වැයකළ මුදල, නිලධාරි ශ්‍රමය කෙතරම් දැයි තක්සේරු කිරීමටවත් අප උත්සාහ නොකරමු. දැන් ඉතින් ගොවිජනතාව මැණික් ඉල්ලම පහුරුගාමින් බොරළු ඇහිඳිය යුතු නැත.

මහපොළොව සුරැකීමේ ඕනෑකම වැඩියෙන්ම ඇත්තේ එය හරහා ගනුදෙනු කරන ගොවියාට නම්, තමාගේ භූමිය පිරික්සන්නේ නැතිව පොහොර අහුරක් පසට දමන්නට ඔහු ඉක්මන් නොවනු ඇතැයි කෘෂි විද්වත්තු බලාපොරොත්තු පළකරති. ඔවුනට මේ කල මෙහෙයට සම්මාන, සහතික අවශ්‍යය නැත. වැඩකළ ඔවුන්ගේ මහන්සියට අගයක් ගොවියා වෙතින් ලැබෙන්නේ නම් එය හොඳටම ප්‍රමාණවත්ය. පස හා කෙරෙන සංවාදයකින් පසු පොහොර සාත්තුව දෙන්නට ගොවියා අදිටන් කරගන්නා දාට, ඔවුන්ගේ ඉස්මුදුනේ මල් පිපෙනවා ඇත.

නියර මැද සිට දෙසුම පවත්නා පාංශු විද්වතාගේ හඬ, වෙල්යාය හරහා හඹායන සුළං පහර පරයා නැවතත් නැගී එයි.

“හිතු මනාපෙට පොහොර දාන එකට අපි කොහොමත් විරුද්ධයි. අවමයෙන් දමන්න කියන එක තමයි අපේ නිර්දේශය. කුඹුරට දාන යූරියා නොහොත් නයිට්‍රජන් පොහොර තීරණය කරන්න දැන් අපි තවත් ක්‍රමයක් හඳුන්වා දීල තියෙනවා. ඒ තමයි ගොයමේ පත්‍ර වල කොළ පාට බලල, ඒ මත දැමිය යුතු යූරියා ගණන් බැලීම. ගොයම් ගසේ පත්‍රවල කොලපාටේ තීව්‍රතාවය වයස අනුව වෙනස් වෙනවනේ. එම පාට අනුවයි යූරියා ප්‍රමාණය තීරණය කෙරෙන්නේ. මේ සඳහා සුළු එහාමෙහා වීම් සහිත කොළ පාට කීපයක් අඩංගු වර්ණ වගුවක් තිබෙනවා. ගොවියා කලයුත්තේ තමාගේ ගොයමේ වයසට අනුව ගොයම් පත්‍රයේ වර්ණය වගුවේ පාට සමග සසඳලා බලන එකයි. දැමිය යුතු යූරියා ප්‍රමාණය එවිට වගුව මගින්ම බලා ගන්න පුළුවන්”

ආචාර්ය ජයතිලක බණ්ඩාර ශූරීන් හඳුන්වාදෙන එම ක්‍රමය පස් පරීක්ෂා කරනවාට වඩා පහසු යයි මට සිතේ. දැනට හතර වතාවකට කුඹුරට ලබාදෙන යූරියා සලාකය මේ අනුව තවත් කොටස් වලට බෙදාගෙන වාර හය හතකින් වුවත් යෙදිය හැකිවීම මේ ක්‍රමයේ වාසියකි. සුළු ප්‍රමාණ වලින්, වැඩි වාර ගණනකින් යොදන නිසා අපතේ යාම තවත් අඩුවේ. එහෙත් මේ ක්‍රමය නයිට්‍රජන් පොහොර සඳහා පමණය. අනෙක් පොහොර සඳහා නම් පස් පරීක්ෂා කල යුතුමය.

“අපි මෑතකදී පර්යේෂණ ශ්‍රේණියක් පටන් ගත්ත පේරාදෙණිය සරසවියත් සමග එකාබද්ධව. අපිට පහසුකම් නැහැ වී ඇටයට පසේ තිබෙන බැරලෝහ යනාදිය එකතු වෙනවද කියල බලන්න. නමුත් විශ්ව විද්‍යාලයේ එය කරන්න පුළුවන්. එහි ප්‍රතිපල ආවහම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් යම් ලෙසකින් පසට බැරලෝහ එකතුවෙලා තිබුනත්, මාස තුනක් වැනි කෙටි කාලීන බෝගයක අස්වැන්නට එය එකතුවෙන්න පුලුවන්ද කියල.”

 ක්ෂේත්‍ර නිරීක්ෂණයට පැමිණ සිටින ඇතැමුන් ඉතා සූක්‍ෂමව ප්‍රශ්න නගති. ආචාර්ය ජයතිලක එසේ පිළිතුරු දුන්නේ පසුගිය කාලයේ කනින් කොනින් ඇසුණු ‘බාල පොහොර’ කතන්දර මතක තබාගෙන සිටින්නකු නැගූ ප්‍රශ්නයකට විය හැකිය.

කුඹුරේ පොහොර ගැටලුව, කෘෂි විද්වතුන්ගේ මැදිහත් වීමෙන් එසේ විසඳුනද, එළවලු වගාවේ පොහොර යෙදීමනම් තරමක් සංකීර්ණ වී තිබේ. පස් පරීක්ෂාකර අවශ්‍ය තරමට පොහොර දැමීම ඔවුන්ද පිළිපැදිය යුතු ආචාර ධර්මයකි. එසේ නමුත් අමිශ්‍ර පොහොර වශයෙන් තම වගාවන් සඳහා නිදහසේ මිලට ගැනීමට ප්‍රමාණවත් පොහොර තොග වෙළඳපොලේ නොමැතියයි ඔවුහු මැසිවිලි නගති. මේ නිසා එළවලු පොහොර වශයෙන් නම්කොට වෙළඳපොළෙහි අලෙවිකරණ ‘මිශ්‍ර පොහොර’ දෙස බලන්නට ඔවුනට සිදුවී තිබේ. ඇතැම්විට එලවලුවේ නම් යොදමින්ම වෙළෙන්දෝ පොහොර අලෙවි කරති. ඒවා කෙතරම් යුක්ති ගරුකදැයි මට නම් සැක සහිතය. මෙම මිශ්‍රනයන්හි NPK යන වර්ග තුනම ඇත. කොස්ස ඇත්තේ එතැනය.

පොස්පරස් යොදන්නේ බෝගයක් ස්ථාපනය කිරීමේදීය. මුල් පද්ධතිය හොඳින් වැඩෙන්නට පොස්පරස් අත්‍යවශ්‍ය නිසා මූලික පොහොර මිශ්‍රණයේ එය තිබිය යුතු වුවත්, පසුව යොදන පොහොර සලාක වලට එය අවශ්‍ය නොවේ. එහෙත් අවාසනාව වන්නේ මේ තත්වය උඩරට එළවලු ගොවියා නොසලකා හැරීමයි. ඔහු වගා කන්නය අවසන් වනතුරා පොස්පරස් සහිත ‘මිශ්‍ර පොහොර’ පසට යොදයි. ඊට අමතරව ටොන් ගණනින් සීමාවක් නොතකා කාබනික පොහොරද වගා බිමට හලයි. ඒ තුලින්ද පසට පොස්පරස් එකතුවේ.

මේ වන විට අවුරුදු කීපයක් යනතුරු පොස්පරස් පොහොර නොමැතිව උඩරට එළවලු වගාව කලහැකි මට්ටමට පසෙහි පොස්පරස් ගොඩනැගී ඇතිබව කෘෂි විද්වත්තු පෙන්වා දෙති.

පසෙහි පොස්පරස් සාන්ද්‍රණය, කොටස් දශ ලක්ෂයකට කොටස් 10 ක් තරමේ නම් (10 ppm) පොස්පරස් යෙදීමේදී කල්පනාකාරී වියයුතු බව ඔවුහු පැවසුවත්, මේ වනවිට උඩරට ඇතැම් එළවලු වගා බිම් වල පොස්පරස් සංයුතිය 700 ppm තරමේ වෙයි. කාටද ආඩම්බර! දැන් පස විසවී තිබේ. මෙම පසෙහි වැවෙන බෝග නිසි අස්වැන්න නම් නොදෙන්නේමය. ගොවියා කනස්සල්ලෙනි.

ඔහු තවත් ගොම ලොරියක් ඇනවුම් කරන්නේය. අනද කයිප්පු කැවුනා සේ පසට හලනා මේ පොහොර තොගය එතනම තිබෙන්නේ නම් අපට කමක් නැත. අවි ගත්තෝ අවියෙන්ම නැසුනාවේ කියා ඉවත බලාගත හැකි ක්‍රමයක්ද තිබේ. එහෙත් කඳුකරයට කඩා පාත්වෙන මහවැසි හමුවේ මෙම පොස්පේට් තොග ගසාගෙන විත් පළමුව ගංගා ඇලදොලද අනතුරුව රජරට වැව් අමුණුද වනසන්නේය. මේ ගැන ලිපි කීපයක් ලියා ඇති නිසා නැවතත් නොලියමි.

බෝග වර්ග වෙන වෙනම රැගෙන ඒවාහි පොහොර අවශ්‍යතා ගැන පර්යේෂණ පවත්වමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පරිසර හිතවාදී අවම පොහොර භාවිතයක් හරහා, උපරිම අස්වැන්නක් ගොවියාට ලබාදීමට කටයුතු කරමින් සිටී.

NPK සැපයුම පමණක් රසායනිකව කරන්නට උපදෙස් දෙන ඔවුන් විශේෂ අවස්ථාවකදී හැර, අනෙකුත් මුලද්‍රව්‍ය සඳහා කාබනික පොහොර පසට යොදන ලෙසද උපදෙස් දෙයි. ඒ හරහා පසේ වයනයත්, ක්ෂුද්‍රජීවී ගහනයත් සංවර්ධනය වන නිසාය. මේ ටික තේරුම් ගන්නට සමත් ගොවි ජනතාවක් බිහිකිරීමේ අභියෝගය එසේ මෙසේ එකක් නොවේ. පොහොර වස බව සැබෑය. එහෙත් අප පොහොර නොකන නිසා අනියත බියක් ඇතිකර ගතයුතු නැත. රජය විසින් මහත් ධනස්කන්ධයක් වැය කොට, පස ගැන විමසා බලා පොහොර දමන්නට පහසුකම් සලසා ඇත්තේත්, කෘෂි විද්වතුන් නිර්දේශ ඉදිරිපත් කරන්නේත්, පරිසරයට ගැලපෙන්නට පොහොර භාවිතා කරවන්නටය.

ගොවි ජනතාවට මේ ටික තේරුම් ගියදාට පසට අවැසි පමණට පොහොර යොදා පරිසරය සුවපත් කරන්නට ඔවුන්ගේ සහය දෙනවා ඇත. ස්වභාවික පරිසර පද්ධතියකට පොහොර අවශ්‍ය නොවන්නේත්, මිනිසා විසින් මෙහෙයවන, නිෂ්පාදනය පාදක කරගත් පරිසර පද්ධතියකට පොහොර අවශ්‍ය වන්නේත් ඇයිදැයි ගොවියා විසින්ම ගොවිතැන නොදන්නා අයටත් කියලා දෙනු ඇත. සෙවනැල්ලක් වැටුනාට බියවිය යුතු නැත. සෙවනැල්ල වැටෙන්නේ දීප්තිමත් ආලෝකයක් අනෙක් පැත්තේ ඇති බැවිනි. අප බැලිය යුත්තේ ඒ දෙසයි. ප්‍රයෝජනයට ගත යුත්තේ ආලෝකයයි. සෙවනැල්ල ඔහේ තිබුනාවේ!

Recommended For You

About the Author: Editor