දැන් ඉතිං පොහොට්ටුව එක්ක මොන කතා ද ? ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර

ජාතික ලැයිස්තුවෙන් පත්කළ බොහෝ දෙනෙක් පක්ෂය පවා දුන්නා

කොන්ද පණ තියෙන විශාල පිරිසක් අප සමග ඉන්නවා

ජනපතිවරණයෙන් පසුවත් ජනපතිට ශ‍්‍රීලනිපයට නායකත්වය දෙන්න පුළුවන්


ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුව සමග තවදුරටත් කිරීමට දෙයක් නැති බවත් ජනපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ අති බහුතර පිරිස ශ‍්‍රීලනිපය පාවා දුන් බවත් ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම සමග ඔවුන් සමග ශ‍්‍රීලනිපය පවත්වන ඒකාබද්ධවීම පිළිබඳ සාකච්ඡුාවල අනාගතය ගැන අප කළ විමසකීමකදී ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.

‘‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපක්‍රමිකව අවශ්‍ය වුණේ ශ්‍රීලනිපය එතැනට තල්ලු කිරීම බව ඉතාම පැහැදිලියි. ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ අති බහුතරය මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවා දී අවසන්

සමුළුවක් සංවිධානය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතියක් තිබෙනවා. ඒත් පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා නොකොට මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ආරාධනා පත් යැවීම සදාචාරසම්පන්න ක‍්‍රියාවක් නොවෙයි.

තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා පක්ෂය පාවා දීම ලංකාවේ දේශපාලනයේ අනන්‍ය ලක්ෂණයක් බව අපි අමතක නොකළ යුතුයි. ඒත් බඩගෝස්තරවාදයට වැටුණු දේශපාලකයන් සම්බන්ධයෙන් ඊළඟ මහමැතිවරණයේදී ජනතාව තීරණයක් ගන්නා බව නම් සහතිකයි’’ යැයි ද ජයසේකර මහතා කීවේය.

මෙහිදී දයාසිරි ජයසේකර මහතා විසින් එස්.බී දිසානායක හා ඩිලාන් පෙරේරා යන ශ්‍රී.ල.නිපය නියෝජනය කළ ද දිගින් දිගටම කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වමින් යැයි ද සඳහන් කළේය.

‘‘ඒ කවුරු පක්ෂය පාවා දුන්නත් පක්ෂ සංවිධායකවරුන් 160 දෙනෙක් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 1100ක් සමග කොඳු ඇති විශාල පාක්ෂිකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉන්න බව අපි අමතක නොකළ යුතුයි. ඔවුන් සමග එක්ව පක්ෂය ප්‍රතිසංවිධානය කර ඉදිරියට ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිවරණයෙන් දේශපාලනය අවසන් නැහැ. ඉන් පසුවත් ශ‍්‍රීලනිපයට නායකත්වය දෙන්නට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා’’ යැයි ද ශ‍්‍රීලනිප මහලේකම්වරයා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor