World News Review

‘ලෙකීමාගෙන්’ චීනයේ 22ක් මරුට

චීනයට බලපා ඇති ‘ලෙකීමා’ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර 187ක වේගයෙන් හමා යන බවයි වාර්තා වන්නේ.

සුළි කුණාටුවෙන් පුද්ගලයින් මිලියනයකට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බවත් සී ජියෑන්ග් සහ ෂැන්හයි ප්‍රාන්තවලට අද දිනයේ දි සුළිකුණාටුව පැමිණීමට නියමිත බවත් චීන කාලගුණ අංශ නිවේදනය කර තිබෙනවා.

සුළි කුණාටුව හේතුවෙන් දුම්රිය සේවාවන්ද තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර නිවාස හා ගොඩනැගිලි රැසක් කඩා වැටී තිබෙනවා.

මියන්මාරයේ නායයාම්වලින් 41 දෙනෙකු පණපිටින් වැළලෙයි

මියන්මාරයේ ‘යියාර්කෝන්’ නගරයේ විශාල පස් කණ්ඩියක් නාය යාමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර පුද්ගලයින් 80දෙනෙක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෝසම් වර්ෂාව හේතුවෙන් මෙම නාය යාම් ඇතිවූ බවයි මියන්මාර වාර්තා සඳහන් කරන්නේ.

නිවාස 27ක් නාය යාමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර සුන්බුන් අතර රැදී සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුගේ දිවි බේරාගෙන තිබෙනවා.

දකුණු හා බටහිර ඉන්දියාවේ ගංවතුරින් 200ක් මරුට

මෝසම් වර්ෂාව සමග ඉන්දියාවේ දකුණු සහ බටහිර ප‍්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය රජය නිවේදනය කරනවා.

ගංවතුුර හේතුවෙන් කේරල ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වසර 100කට පසුව කේරල ප්‍රාන්තයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය පසුගිය වසරේ දී වාර්තා වූ අතර එම ගංවතුරෙන් පුද්ගලයින් 200 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ගංවතුර පවතින ප්‍රදේශවල ජීවත්ව සිටි පුද්ගලයින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන තිබෙනවා.

ටැන්සානියාවේ ඉන්ධන බවුසරයක් පිපිරි 60ක් මරුට

මේ අතර ටැන්සානියාවේ මොරගෝරෝ ප‍්‍රදේශයේදී ඉන්ධන ප‍්‍රවාහන බවුසරයක් පිපිරී යාමෙන් පුද්ගලයන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 70 දෙනකු තුවාල ලබා තිබෙනවා.

බවුසරය පෙරළීයාමත් සමඟ ඉන් ඉන්ධන එකතු කිරීමට පැමිණි ජනතාව පිපිරීමෙන් මිය ගොස් තිබෙනවා.

ඉන්ධන ප‍්‍රවාහන රථ අනතුරට ලක්වූ අවස්ථාවල ඉන් ඉන්ධන ඉවත් කරගැනීමට පැමිණෙන ජනතාව ප‍්‍රබල අනතුරු වලට මුහුණ දුන් අවස්ථා කිහිපයක් මීට පෙර ද අපි‍්‍රකා රටවලින් වාර්තා වුණා. පසුගිය මාසයේ මධ්‍යම නයිජීරියාවේ එවැනි සිද්ධියකින් පුද්ගලයින් 45 දෙනකු මිය ගිය අතර 2010 වසරේදී කොංගෝ රාජ්‍යයේ දී සිදු වූ මෙවැනි අනතුරකින් 292 දෙදෙනක් මිය ගියා.

Recommended For You

About the Author: Editor