ගෝඨාභය රාජපක්ෂ වැනි අභිමානවත් නායකයෙක් රටට අවැසි මොහොතක් උදාවී තිබෙනවා – පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද පැතීමේ අධිෂ්ඨාන පූජාවක් අද (12) සවස රුවන්වැලි මහ සෑ මළුවේදී පැවැත්විණි.

අටමස්ථානාධිපති, උතුරු මැද දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම ආශිර්වාද පූජාව, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් මෙහෙයවූ අතර භික්ෂූන් වහන්සේ 1500ට අධික ප‍්‍රමාණයක් මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

රුවන් වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කළාවියේ ප‍්‍රධාන සංඝ නායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ආශිර්වාද පූජාවට එක්විය.

අනාගත නායකත්වය අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික අභිමතාර්ථයන් පසෙකලා මාතෘ භූමිය රැක ගැනීමට ප‍්‍රමුඛතාවය දිය යුතුව ඇතැයි ආශිර්වාද පුජෝත්සවයේ ප‍්‍රධාන අනුශාසනාව කළ පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියෝ් එහිදී සඳහන් කළහ.

තිස් වසරක යුද්ධයක් අවසන් කර රෝස මලක් මෙන් පිබිදෙමින් පැවැති රට ගෙවුනු වසර හතරහමාරක කාලය තුළ කුණුගොඩක් බවට පත් කර ඇතැයි ආශිර්වාද පූජාව මෙහෙයවූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ එහිදී අනුශාසනා කළහ.

රටේ ජනතාවට මෙන්ම මහා සංඝරත්නයටද පසුගිය කාල සීමාවේ දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවූ බව සිහිපත් කළ උඩුවේ ධම්මාලෝක හිමියන් රුවන් වැලි සෑ භූමියට වැඩම කර සිටින භික්ෂූන් වහන්සේගේ ප‍්‍රධාන අරමුණ වී ඇත්තේ වැටී තිබෙන ආගාධයෙන් රට මුදවා ගෙන සියලූ දෙනාගේ මුහුණුවල සිනාව රැදි ලස්සන රටක් බිහි කිරීමේ අධිෂ්ඨානය යැයිද අනුශාසනා කරමින් සදහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි ශක්තිමත් අභිමානවත් නායකයෙක් රටට අවැසි මොහොතක් උදාවී ඇති හෙයින් ගෝඨාභය රාජපක්ෂ මහතාට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිතැතින් හිමිවන බවද උඩුවේ ධම්මාලෝක හිමියෝ වැඩිදුරටත් අනුශාසනා කරමින් සඳහන් කළහ.

මෙම ආශිර්වාද පැතීමේ අධිෂ්ඨාන පූජාව සඳහා එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු, මන්තී‍්‍රවරුන්, හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන් හා පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු අති විශාල ජනකායක් එක්ව සිටියහ.

Recommended For You

About the Author: Editor