දේශපාලන ලොසිංජර් සහ දේශපාලන බිස්කට් ලබා දෙන කාලය අපි නතර කරනවා – සජිත් පේ‍්‍රමදාස

අපගේ උදා ගම්මාන නිවාස වැඩසටහනේ පළමු පියවර තුළ අප ඉදි කරන්නේ තනි මහලේ නිවාසයි. නමුත් රටේ පවතින ඉඩම් සම්පත සීමා සහිත බැවින් දෙවන, තුන්වන සහ හතරවන පියවර අප ක්‍රියාත්මක කරන්නේ ‘තට්ටු නිවාස’ වැඩපිළිවෙල යටතේයි

ඔබේ හදවතේ ඇති කැක්කුම ගැන මට කාගෙන්වත් ටියුෂන් අවශ්‍ය වන්නේ නැහැ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ යාපනය දිස්ත‍්‍රික්කයේ ඉදිකළ ‘‘සෙන්තමිල් ග‍්‍රාමම්’’ සහ ‘‘තිරුවේරපුරම්’’ යන උදාගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදීය.

එහිදී වැඩි දුරටත් අදහස් ඇදැක්වූ ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා,

දිවංගත මාගේ පියාණන් ජීවත්ව සිටියදී එතුමට තිබුණා ඉලක්කයක්. එනම්, වසර 2000 වන විට රටේ ‘සැමට සෙවණ’ ලබා දීමයි. නමුත් 1993 වසරේ මැයි මාසයේ 01 වැනිදා එතුමට එල්ල වුණු මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වීම නිසා වසර 2000 දී සැමට සෙවණ ලබාදීම අඩපණ වුණා.

ඉන් පසුව 2015 වසරේදී වත්මන් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය සමඟ නව ආණ්ඩුවක් බිහිවුණා. එම යහපාලන ආණ්ඩුව විසින් 2015 දී ‘සැමට සෙවණ උදාගම් වැඩසටහන’ නැවත ආරම්භ කළා. අපේ මූලික ඉලක්කය වසර 2025 වන විට රටේ ‘සැමට සෙවණ’ ලබා දීමයි. ඒ සඳහා උදා ගම්මාන 20,000 ක් අපි රටේ ඉදිකරනවා.

2025 දී රටේ ‘සැමට සෙවණ’ ලබා දීමේ වැඩසටහන අප ක්‍රියාත්මක කරන්නේ පියවර 4 ක් යටතේයි. එහි පළමු පියවර වන්නේ උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීමයි. දෙවන පියවර උදා ගම්මාන 5,000 ක් ඉදිකිරීමයි. තුන්වන පියවර උදා ගම්මාන 10,000 ක් සහ සිව්වන පියවර නැවත උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීමයි.  මෙසේ පියවර 4 කින් වසර 2025 වන විට රටේ උදා ගම්මාන 20,000 ක් ඉදි කර ජාති, කුල – මල, පන්ති, පක්ෂ, පාට භේදයෙන් තොරව මාතෘ භූමියේ ‘සැමට සෙවණ’ ලබා දෙන්නට කටයුතු කරන බව මා සතුටින් ප්‍රකාශ කරන්නට කැමතියි.

අපගේ පළමු පියවර වූ උදා ගම්මාන 2,500 ඉලක්කය අවසන් කිරීමට අප අපේක්ෂා කළේ මේ වසරේ සැප්තැම්බර් මාසය අග වන විටයි. නමුත් එම ඉලක්කය ජූනි මාසයේදීම අවසන් කිරීමට අපට හැකි වුණා. රටේ ඉදිවන 2,500 වන උදා ගම්මානයට ජුනි මාසයේ 15 වනදා මුල්ගල තබා අප වැඩ ආරම්භ කළා. එසේ කිරීමට හැකි වුණේ නිවාස, ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිටින ඉතාම දක්ෂ නිළධාරීන් නිසයි. එය අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. අපගේ ඉලක්කය කල්වේලා ඇතිව ජයගන්නට හැකි වීම  පිළිබඳව මා බොහෝ සෙයින් සතුටට පත්වනවා.

අද වන විට රට පුරාම ශීඝ්‍රගාමී නිවාස සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ වන විට රට තුළ උදා ගම්මාන 2,548 ක වැඩ කටයුතු අප ආරම්භ කර තිබෙනවා. අපගේ උදා ගම්මාන නිවාස වැඩසටහනේ පළමු පියවර තුළ අප ඉදි කරන්නේ තනි මහලේ නිවාසයි. නමුත් රටේ පවතින ඉඩම් සම්පත සීමා සහිත බැවින් දෙවන, තුන්වන සහ හතරවන පියවර අප ක්‍රියාත්මක කරන්නේ ‘තට්ටු නිවාස’ වැඩපිළිවෙල යටතේයි. ඒ අනුව එක ඉඩමක අනු පවුල් දෙක තුනකටම නිවාස ඉදිකෙරෙනවා. එලෙස රටේ සීමා සහිත වූ භූමිය වඩාත් ඵලදායිව හා විධිමත්ව ප්‍රයෝජනයට ගනිමින් අප ‘සැමට සෙවණ’ ලබා දෙන්නට කටයුතු කරනවා. 

මම ඉලක්කයට වැඩ කරන පුද්ගලයෙන්. මට ඉලක්කයක් තිබෙනවා. එම ඉලක්කය කරා මා යන්නේ කාලසටහනකට අනුවයි. නොවැම්බර් මාසයේදී රටේ ජනතාව මට හයිය ලබා දෙන විට උතුරුකරයේ පමණක් නොවෙයි, මුළු ලංකාවේම නිවාස ප්‍රශ්නය අංග සම්පූර්ණව විසඳා රටේ සැමට සෙවණ ලබා දෙන්නට මා කටයුතු කරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

“යළි පිබිදුනු ගම් උදාව” වැඩසටහන යටතේ යහපාලන රජය ජනතා අයිතියට පත්කළ 244 සහ 245 වන උදා ගම්මාන වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ ඉදි වූ “සෙන්තමිල් ග්‍රාමම්” සහ “තිරුවේරපුරම්” උදා ගම්මානයි. මෙම උදා ගම්මාන දෙක අංග සම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 416 ක් පමණ වැය කර තිබෙනවා. නව නිවාස 44 කින් සමන්විත වන මෙම උදා ගම්මාන දෙක පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් සමන්විතයි. යාපනය, වලිකාමම් බටහිර ප්‍රදේශයේ ඉදිවු “සෙන්තමිල් ග්‍රාමම්” උදාගම්මානය ඉදිකර ඇත්තේ ඉන්දීය රජයේ ආධාර මතයි.

උතුරු නැගෙනහිර බල ප්‍රදේශයේ කාන්තා මූලික පවුල් ලක්ෂ ගණනක් සිටිනවා. එම පවුල්වල නායකත්වය දරන්නේ කාන්තාවන්. ඔවුන් ගත කරන්නේ ඉතා දුෂ්කර ජන ජීවිතයක්. ඔවුන් සිය දූ දරුවන් බලා ගන්නේ ඉතාම අමාරුවෙන්. එම කාන්තා මූලික පවුල් සිය දරුවන්ට අධ්‍යාපනය ලබා  දී හොඳ ජීවිතයක් ලබා දෙන්නේ අමාරුවෙන්. එම නිසා මෙම කාන්තා ගෘහ මූලික පවුල් සඳහා විශේෂිත වූ වැඩසටහනක් ආරම්භ කර, ඔවුන් සඳහා විශේෂ වූ අධ්‍යාපන, නිවාස, සෞඛ්‍ය සුබසාධන වැඩපිළිවෙළක් දියත් කර, එම පවුල් ආරක්ෂා කර ගනිමින් හොඳ ආදායම් මාර්ග ඇති කර එම පවුල්වල සුබසාධනය වෙනුවෙන් ඇපකැප වනවා බව මා ඔබට පොරොන්දු වනවා.

රටේ පුරවැසියන් සියලු දෙනාම එක හා සමාන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වී තිබෙනවා. ජාතිය, ආගම, පන්තිය කුමක් වුවත් රටේ උත්තරීතර නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි. නමුත් රට පුරාම ඇවිදින විට මට ප්‍රශ්නයක් තිබෙනවා. ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කළාට හැමෝම සමානයි කියා, ඇතැම් ප්‍රදේශවලට යන විට සමානාත්මතාවයට වඩා අසමානාත්මතාවය ඇති බව අපට පෙනෙනවා.

උතුරු පළාතට පැමිණියාම අපට පෙනෙන්නේ අධ්‍යාපනය පහළ මට්ටමක තිබෙන බවයි. සෞඛ්‍යය ක්ෂේත්‍රයත් ඒ වගෙයි. යටිතල පහසුකම්ද පවතින්නේ පහළ මට්ටමකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සියලුදෙනා සමානයි කියා පැවසුවද, එය එසේ නොවන බව ඉන් අපට පැහැදිලි වනවා. මෙය රටේ උතුරු පළාතේ පමණක් නොව, නැගෙනහිර පළාතේ මෙන්ම මුළු රටේම තිබෙනවා. නමුත් උතුරු නැගෙනහිර පළාත්වල මෙය විශේෂිතයි.

මෙම කරුණ නිසා උතුරු නැගෙනහිර මෙන්ම රටේම අසරණ වී ඇති පොදු ජනතාවට මා පොරොන්දුවක් ලබා දෙනවා, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි ‘සියලු දෙනා එක හා සමානයි’ යන මට්ටමට ආර්ථික ප්‍රතිපත්තිය, සමාජීය ප්‍රතිපත්තිය, සංවර්ධන ප්‍රතිපත්තිය සහ අපේ දර්ශනය හා වැඩපිළිවෙල නිර්මාණය කර, ‘එක කොටසකට වැඩි සැලකිල්ලක් – තවත් කොටසකට අඩු සැලකිල්ලක්’ යන ක්‍රමවේදය සහමුලින්ම ඉවත් කර රටේ සමාජ සාධාරණත්වය ඇති කරන බව. ජනතාවට ලබා දිය යුතු ශක්තිය එක හා සමානව ලබා දී උතුරු නැගෙනහිර බල ප්‍රදේශය ඇතුළුව රටේ පහළ මට්ටමක සිටින සියලු ජනතාව ඉහළ මට්ටමකට ගෙන ඒමට සජිත් ප්‍රේමදාස විශේෂිත වූ සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කරන බව මා ප්‍රකාශ කරනවා.

දැන් මේ එළඹ තිබෙන්නේ දේශපාලන සමයයි. මෙය දේශපාලන සංගීත පුටු තරගයක්. ජනතාවට දේශපාලන ලොසින්ජර් හා බිස්කට් බෙදන කාලයක්. උතුරු නැගෙනහිර ජනතාව මෙම දේශපාලන සමය තුළ බොහෝ අය බයිට් එකට ගන්නවා. තම දේශපාලන ඉලක්ක සම්පූර්ණ කර ගැනිමට මෙම උතුරු නැගෙනහිර ජනතාව යොදා ගන්නවා. මා කිසිවිටක දේශපාලන බයිට් ලබා දෙන අයෙක් නොවෙයි. මගේ පියාත් ඔබ වගේම පුංචි තැනක සිට ජනාධිපති පුටුව කරා ගිය පුද්ගලයෙක්.

මගේ පියා සමග මා රට වටේම ඇවිද තිබෙනවා. අද මමත් රට වටේම ඇවිදිනවා. ඔබේ හදවතේ ඇති කැක්කුම ගැන මට කාගෙන්වත් ටියුෂන් අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ  හදවතේ කැකෑරෙන දුක කඳුල වේදනාව පිළිබඳව හොඳ අවබෝධයක් මට තිබෙනවා. මෙම දේශපාලන සමයේ මෙදා සැරේ ඔබව කාටවත් දේශපාලන බයිට් එකට ගන්නට ඉඩ තබන්නේ නැහැ. දේශපාලන ලොසිංජර් සහ දේශපාලන බිස්කට් ලබා දෙන කාලය අපි නතර කරනවා.

පැහැදිලිවම ඔබේ ඇස්වලට පෙනෙන, පපුවට බඩට දැනෙන, සුවිශාල සංවර්ධන විප්ලවයක් රටේ දියත් කරනවා. එම සංවර්ධන විප්ලවය දියත් කරන විට 30 වසරක යුද්ධයෙන් විපතට පත්වූ ඔබේ ජීවිතය ආරක්ෂා කර ශක්තිමත් කර ඔබට රැකවරණය ලබා දී කිසිවකුගේ වහලෙකු නොවි තම දෙපයින් නැගීසිට ආත්මාභිමානය රැක ගෙන ජන සමාජයේ ජීවත් වීමට අවස්ථාව ලබාදෙන ජාතික වගකීම ලබා දෙනවා කියා මා පොරොන්දු වනවා.

Recommended For You

About the Author: Editor