ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් පාකිස්ථානය විසින් සලසා ඇති ආරක්ෂක විධිවිධාන පිළිබඳ සතුටු වෙනවා – මොහාන් ද සිල්වා

ලබන ඔක්තෝබර් මාසයේ පාකිස්ථානයේ දී පැවැත්වීමට සැලසුම්කර ඇති ශ‍්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් තරග දෙක පැවැත්වීම සඳහා සුදුසු ආරක්ෂාවක් පාකිස්ථානයේ තිබේද යන්න සොයා බැලීමට ගිය නියෝජිත පිරිස සිය වාර්තාව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක සභාවට භාරදීමට නියමිත බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්ෂක උපදේශක එයාර් වයිස් මාෂල් රොෂාන් ගුණතිලක, ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් සංවිධාන කමිටු ප්‍රධානී චන්දිම මාපටුන හා දූෂණ මර්දන නියෝජ්‍ය කළමනාකරු පාලිත සෙනවිරත්න යන මහත්වරු මේ සංචාරයට සහභාගී වුණා. ඔවුන් කරච්චි ජාතික ක්‍රීඩාංගණය සහ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණය වෙත ගොස් තත්ත්වය නිරීක්ෂණ කර ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්ථානය විසින් සලසා ඇති ආරක්ෂක විධිවිධාන පිළිබඳ සතුටු වෙනවා – මොහාන් ද සිල්වා

තම නිරීක්ෂණ සංචාරය පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම්, මොහාන් ද සිල්වා මහතා කියා සිටියේ, පාකිස්තාන ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් සමග ඉතා සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූ බවත් ටෙස්ට් තරගය පැවැත්වීම සඳහා සලසා ඇති විධිවිධාන පිළිබඳව පූර්ණ අවධානය යොමු කළ බවයි. පාකිස්ථානය විසින් සලසා ඇති එම විධිවිධාන පිළිබ ඳ සතුටුවන බවත් මොහාන් ද සිල්වා මහතා පැවසුවා.

මෙහිදී මාධ්‍ය වෙත වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සිල්වා මහතා,

‘‘පාකිස්ථානයේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් ඉතා සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම් කිහිපයක් අපට ලබාදුන්නා. ඒ ගැන අප සතුටු වෙනවා. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ ඉතා ශක්තිමත් සහ සුහද සම්බන්ධතාවයක් පවත්වන රටවල් දෙකක්. අපි තරගාවලිය පැවැත්වීමේ හැකියාව ඉතා හොඳින් සොයා බැලුවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පිල නවාතැන් ගන්නා හෝටල් හා ක්‍රීඩාංගණය අතර ඇති දුර හා මාර්ගයේ පවතින ආරක්ෂාව කෙරෙහි අපි විශේෂ සොයා බැලීමක් කළා’’

තම කණ්ඩායම විසින් ලබා දුන් මෙම වාර්තාව සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන සංචාරය පිළිබඳ අවසන් නිගමනයකට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව එළැඹෙනු ඇති බවයි මොහාන් ද සිල්වා මහතා කියා සිටියේ.

2009 වසරේදී පාකිස්ථානයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ප‍්‍රහාරයට දස වරක් පිරෙන 2019 වර්ෂයේදී මෙම සංචාරය සූදානම් කර තිබීම විශේෂත්වයක්. එමෙන්ම පාකිස්ථානය තුළ ද පසුගිය කාලය තුළ අන්තවාදී ක‍්‍රියාකාරකම් සහ ප‍්‍රහාර උත්සන්න වී ඇති අතර ශ‍්‍රී ලංකාවට ද පසුගිය අපේ‍්‍රල් මස 21 වැනිදා ඉස්ලාම් අන්තවාදීන්ගේ දැඩි ප‍්‍රහාරයක් එල්ල වුණා. මේ තත්ත්වය තුළ පාකිස්ථානයේ සංචාරය කරන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව අතිෂය වැදගත් කරුණක් බවට පත්ව තිබෙනවා.

අනෙක් අතට ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ටෙස්ට් තරග දෙක ඩුබායිහී පැවැත්වීමට තීරණයවී තිබියදී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලවත් ඉල්ලීම අනුව කරච්චි හා ලාහෝර්හීදී එම තරග පැවැත්වීට සූදානම් වන්නේ. එම නිසා තරග පැවැත්වීමේ හැකියාව සොයා බැලීම අතිෂය වැදගත් කරුණක් බවට පත්ව තිබෙනවා.

විශේෂයෙන් ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම් පාකිස්තානයේ නිතර සිදුවන හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයේ සංචාරයක නිරත වුවහොත් විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් සැපයීම අනිවාර්ය කරුණක් වෙනවා. අනෙක් අතින් ලංකාව ද මේ වන විට ඉස්මාලාම් අන්තවාදීන්ගේ වෛරයට ලක්ව තිබෙනවා.

ලාහෝර් ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්

2009 දී ලාහෝර් නුවරදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ දැවැන්ත ත‍්‍රස්ත ප‍්‍රහාරය සමග පාකිස්ථානයේ ජාත්‍යන්තර තරග පැවැත්වීම අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් නවදා දැම්මා. එතැන් සිට පාකිස්තානයේ පැවැත්වීමට නියමිතවූ සියලු ජාත්‍යන්තර ක්‍රිකට් තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට සිදුවූ අතර පාකිස්තානයේ දේශීය ක්‍රිකට් තරග පමණක් පැවැත් වුණා.

එහෙත් එම තීන්දුව තුළ ද සිම්බාබ්වේ පිල පාකිස්ථානය සමග එක්දින තරගාවලියකට එක්වූ අතර අනතුරුව ශ්‍රී ලංකා පිලද විස්සයි 20 තරගයක් පාකිස්තානයේ ක්‍රීඩා කළා. එමෙන්ම ලොව දක්ෂතම ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ලෝක ක්‍රිකට් පිල හා පාකිස්තානය අතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක්ද පාකිස්තානයේදී පැවැත් වුණා.

Recommended For You

About the Author: Editor