පළාත් ඡන්දේ ගැන තීන්දුව ගන්න පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

විභාගය අගෝස්තු 23 දා තීන්දු 30දාට පෙර

නීතිඥ සංගමයටත් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට අවස්ථාව

සීමානිර්ණය වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳ අර්ථ නිරූපණයක් ඉල්ලා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් යොමුකර ඇති අයැදුම්පත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් තීරණය කළේය.

ඒ අනුව අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන්, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 23 වැනිදා පෙරවරු 10.00ට ජනපතිවරයාගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිත අතර ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මේ මස 30 වැනිදාට පෙර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්ති යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක් සිදු කර ඇත

ජනාධිපතිවරයාගේ මෙම අයැදුම්පතට අදාළ නීතිමය ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන 21 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත යොමුකර ඇති ලිපියකින් සඳහන් කර තිබෙන්නේ සීමා නිර්ණය පිළිබඳ වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය ඉඩකඩ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්ති යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක් සිදු කර ඇති බවයි.

ඒ අනුව මෙම කරුණට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින්ට ද ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන බව එම ලිපියෙන් පෙන්වා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා එම ලිඛිත දේශන මේ මස 21 වැනිදා දහවල් 12.00 ට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා විසින් යොමු කර ඇති මෙම මත විමසීමට අදාළ විභාගය මේ මස 23 දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිත අතර එහි තීරණය මේ මස 30 වැනිදාට පෙර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත යැයි ද එම ලිපියේ සදහන් වේග

Recommended For You

About the Author: Editor