රාජපක්ෂ යුගයේ තහවුරු වුණේ පවුලේ ආරක්ෂාව පමණයි – අගමැති රනිල් වික්‍රමසිංහ

රටේ ආරක්‍ෂාව තහවුරු කරලීම උදෙසා තමන්ට යලිත් බලය ලබාදෙන ලෙස මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ ඉල්ලා සිටියත් ඔවුන්ගේ පාලන කාලයේ තහවුරු වී තිබුනේ රටේ ආරක්‍ෂාව නොව ඔවුන්ගේ හිතවතුන්ගේ ආරක්‍ෂාව පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15) දින යාපනයේදී පැවසීය.

රවිරාජ්, මහේෂ්වරන් යන මන්ත්‍රීවරුන් අධිආරක්‍ෂිත කලාප තුළ මරා දැමුනු අතර, ඒ කිසිඳු ඝාතනයකට වගකිව යුත්තෙක් නීතිය ඉදිරියට පැමිණවීමට රාජපක්‍ෂවරු අසමත් වූ බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් හෙළි කළේය.

යාපනය තිරුනේල්වේලි කෘෂිකර්ම මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසුව පැවති උත්සව සභාව අමතමින් වික්‍රමසිංහ මහතා තවදුරටත් පෙන්වා දුන්නේ එදා තමන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කරමින් සහ හිංසාවට ලක්කරමින් හිතවතුන්ට පමණක් ආරක්‍ෂාව සැලසු කණ්ඩායමක් දැන් රටේම ආරක්‍ෂාව ගැන කතා කිරීම අර්ථශඣන්‍ය ක්‍රියාවක් බවය.   

මෙහිදි අදහස් දැක්වූ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා කියා සිටියේ අවුරුදු 60කට පසු යාපනයේ නව පර්යේෂණ ආයතනයකට ගොඩනැගිල්ලක් ලැබීම පිළිබඳව තමා පෞද්ගලිකවම සතුටු වෙන බවයි.

දේශීය නිෂ්පාදනවලට වැඩි මිලක් ලබාදීම අරමුණු කර ගෙන සියලූ නිෂ්පාදනවල බදු මිල වැඩි කළ බව පැවසූ පී. හැරිසන් මහතා 2018 වසරේ වගා හානි වූ ගොවිජනතාවට වන්දි මුදල් ලබාදීම ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, 2019 වර්ෂයේ වගා හානි වූ අය වෙනුවෙන් වන්දි ලබාදීමට මේ වන විට අලාභය තක්සේරු කරමින් සිටින බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්. එම්. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ශ්‍රී සරවණභවන්,  අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෙඣීවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිව ඥාණසෝති, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එෆ් රුවන් චන්ද්‍ර, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය එම්. ඩබ්. වීරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වී සිටියහ.

Recommended For You

About the Author: Editor