SL vs NZ: අකිල ධනංජයගෙන් අති විශිෂ්ඨ පන්දු යැවීමක්

වැස්ස වළාහක දෙවියන්ගෙන් ක‍්‍රිකට්වලට හොඳටම අපල බව පසුගිය ලෝක කුසලානෙදී වගේම ඊට පසුව පැවැති තවත් ජාත්‍යන්තර තරග රැසකදී පැහැදිලිව පෙනී ගියා. ඒ අනුව ඉන්දිය – බටහිර ඉන්දිය කොදෙව් එක්දින තරගයක් ද වැස්සට සේදී නොගිහින් අනූනමයෙන් බේරුණා.

ඔන්න ඉතිං වියළි / ගිම්හාන අගෝස්තුවේදී ලංකාවේ අහසත් බුම්මා ගෙන ඉන්නවා. ඒ නිසා ඊයේ (15) ආරම්භ වූ ශ‍්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයත් වර්ෂාවෙන් සේදී යයි කියලා බියක් තිබුණා. මොකද ඊට පෙරදා පැවැති පුහුණු තරග වැස්ස නිසා සේදිලා ගියා.

කොහොම වුණත් වර්ෂාව ගැන අවධානමක් තිබියදී පවා ඊයේ ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය ආරම්භ වුණා. මෙවර ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය ශ‍්‍රී ලංකාවට වගේම නවසීලන්තයටත් අතිෂයින් වැදගත්. ඒ මේ තරගාවලිය හුදකලා තරගාවලියක් නොව තවත් තරග රැුසක් සහිත ක‍්‍රියාවලියක් වටා ගොනුව තිබෙන නිසයි. ඒ ලෝක ටෙස්ට් ශූරතාවලියටය මේ තරගය ද ඇතුළත් වන නිසයි.

කොහොම වුණත් ඊයේ ශ‍්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වුණේ සුවිශේෂතා රැුසක් සමග. තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ නවසීලන්ත නායකයා. ඒ අනුව ඔහු මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.

ඊයේ උදෑසන සිටම තියුණු දඟ කැවීමක් පෙන්නුම් කළ ගාලු තණතීරුවේ දී තම දඟපන්දු යවන්නන්ගේ දස්කම් උරගා බැලීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පියවර ගත්තා. ඒ 8 වැනි ඕවරයේ සිටයි.

ඕවර 7කින් පසුව ළහිරු කුමාර නවතා පන්දු යැවීම සඳහා අකිල ධනංජය කැඳවීමට දිමුත් පියවර ගත්තා. ඒ අනුව අකිල පිටදඟ පන්දුවෙන් නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරුවන්ගේ ඉවසීම පරීක්ෂාවට ලක් කරද්දි 18 වැනි ඕවරය යැවීමට තවත් පිටදඟ පන්දු යවන්නකු වන තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවීමට දිමුත් පියවර ගත්තා. ඒ අනුව 22 වැනි ඕවරයේදි වමත් දඟ පන්දු යවන්නා වන ලසිත් ඇඹුල්දෙණියත් පන්දු යැවීමට කැඳවීමෙන් පසුව නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරුවන්ගේ පීඩනය තවත් ඉහළ ගියා.

ඉන් පසුව පළමු කඩුල්ලට ලකුණු 64ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිටි ටොම් ලේතම්, ජීට් රාවල් සහ නායක කේන් විලියම්සන් දවාලමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල දෙසට හරවා තැබීමට අකිල ධනංජය සමත් වුණා. එහි විශේෂත්වය වන්නේ නවසීලන්ත පිලේ මුල් කඩුළු 3ම දැවී ගියේ ලකුණු 7ක් ඇතුළත වීමයි.

ලකුණු 30ක් ලබා සිටි ටොම් ලේතම් අකිල යැවූ 27 වැනි ඕවරයේ තුන්වැනි පන්දුවෙන්දැවී යද්දී අවසන් පන්දුවෙන් නායක කේන් විලියම්සන් ආපසු ක්‍රීඩාගාරයට හැරී ගියේ ලකුණු ලබාගැනීමටත් පෙර වීම සුවිශේෂ තත්ත්වයක්. අනතුරුව අකිල31 වැනි ඕවරයේ 2 වැනි පන්දුවෙන් ජිට් රාවල් දවාලීමත් සමග දිවා ආහාරය සඳහා තරගය නතර කළා. ඒ වනවිට නවසීලන්ත පිල ලකුණු 71කට කඩුලු 3ක් දැවී ලබා ගොස් සිටියා.

දිවා ආහාරයෙන් පසුව හෙන්රි නිකොල්ස් සමග එක්ව නවසීලන්ත ඉනිම ගොඩනැගූ රොස් ටේලර් මිනිත්තු 100කදී තම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා. ඔහු ඒ සඳහා පන්දු 86ක් වැය කළ අතර ඒ කාලය තුළ එල්ල කළේ හතරේ පහර 3ක් පමණක් වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පිලේ දඟපන්දු යවන්නන්ට ඉතා පරිස්සමින් යුතුව මුහුණ ටේලර් නිකොල්ස් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 100ක සම්බන්ධතාවක් ගොඩනගා ගත්තා. ඒ අනුව යළිත් නවසීලන්ත කණ්ඩායම ස්ථාවර වන ලකුණු පළ කළා.

නවසීලන්තයට ස්ථාවරභාවය පිළිබඳ සතුටු සැමරීමට ලැබුණේ තවත් ස්වල්ප වේලාවක් පමණයි. නවසීලන්තය ලකුණු සංඛ්‍යාව 171ක්ව තිබියදී අකිල ධනංජය ලකුණු 42ක් ලබා සිටි නිකොල්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමට සමත් වුණා.

ඉන් අනතුරුව පිටියට පිවිසි කඩුළු රකින පිතිකරු බී.ජේ. වොට්ලින්ට ද කෙටි වේලාවකදී අකිල පස්වැනි කඩුල්ල බවට පත් වුණා. අකිල ඔහු දවාගත්තේ ද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනුයි. වොට්ලින්ගේ දැවී යාමත් සමග පස්වරු තේ පානයට තරග නතර කරන විට නවසීලන්තය කඩුළු 5ක් දැවී ලකුණු 179ක් ලබා සිටියා. රොස් ටේලර් නොදැවී ලකුණු සංඛ්‍යාව 70ක් ලබා ගෙන හිටියා.

තේ පානයට තරගය නතර කිරීමෙන් පසු පස්වරු 3.42ට පමණ ගාල්ලට වර්ෂාව පතිතවීමට පටන් ගැනීම නිසා තරගය අත්හිටුවීමට විනිසුරුවන් තීරණය කළා. ඒ ඒ වන විට පන්දු වාර 68කට නවසීලන්තය කඩුළු 5ක් දැවී ලකුණු 203ක් ලබා සිටියා. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ නවසීලන්ත පිලේ කඩුළු 5ම බිඳ වැටුණේ අකිල ධනංජයගේ පන්දු හමුවේ වීමයි.

අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව් නීතිවිරෝධි බවට තහවුරු වී ජාත්‍යන්තර තරග තහනමකට හසුවීම නිසා මාස 9ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඈත්වී සිටි අතර තරග තහනම නිමා වීමෙන් පසු ඔහු පන්දු යැවූ පළමු තරගය ද මෙය වීම විශේෂත්වයක්. අකිල ධනංජය තහනමට පෙර වසර 2018 නොවැම්බරයේ පල්ලෙකැලේ පිටියේදි එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේ එංගලන්ත දෙවැනි ඉනිමේදි ද කඩුළු 6ක් දවා ගැනීම ද විශේෂත්වයක්.

නවසීලන්ත පිලේ මුල් පෙළ පිතිකරුවන් 05 දෙනකුම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයද්දී ඉනිම පිළිසකර කළ මැදපෙළ පිතිකරු රොස් ටේලර් තරගය නිමාවනවිට නොදැවී ලකුණු 86ක් ලබා සිටියා.

මේ තරගයට දිනේෂ් චන්දිමාල් නම් කර නොතිබුණු අතර පිතිකරු ඕෂධ ප්‍රනාන්දු සහ වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු තරගයට නම් කර සිටියේ නැහැ.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor