තිත්ත චොක්ලට්වල රසවත් ඇත්ත

චොක්ලට් කියන්නෙ සිරුරට ඉතාම ගුණදායක කෑමක්.එය දිනපතා ඔබේ ආහාරයට එකතු කර ගන්න කවුරුන් හෝ උපදෙස් දෙනවා නම් එයින් ඔබේ සතුට දෙගුණ තෙගුණ වෙනවා නොඅනුමානයි.චොකලට් පෙත්තක රස බලන්න අකමැති කෙනෙක් මිහිපිට නැති බව ඔබත් හොදාකාරවම දන්නවා ඇති.

සාමාන්‍ය චොකලට් නිතර ආහාරයට එක් කර ගැනීම සුදුසු නැතත් ඩාක් චොකලට් නම් ආහාරයට එක් කර ගන්නා තරමට ලැබෙන ප්‍රතිඵල අතිමහත් ය.ඩාක් චොකලට් එහෙමත් නැතිනම් තිත්ත චොකලට් මේ තරම්ම ගුණ මේ හේතු නිසයි.

චොකලට් ශාකමය ආහාරයකි.තද පැහැති එළවළු මෙන්ම මෙම තද පැහැති චොකලට් වලද ඖෂධීය ගුණ රාශියකි.මේවා ප්‍රතිඔක්සිකාරක ගණනාවකින්ම සමන්විත වීම නිසා සෞඛ්‍ය නංවන ආහාරයක් ලෙසට ඩාක් චොක්ලට් හදුන්වනු ලබයි.විශේෂයෙන්ම හදවතේ සුවය නංවන ප්‍රතිඔක්සිකාරක ගණනාවකින්ම මේවා පොහොසත් ය.

පළතුරු ලොවේ හැඩකාරයා වන ස්ට්‍රෝ‍බරි ගෙඩියකට වඩා අට ගුණයක ප්‍රතිඔක්සිකාරක මෙහි අඩංගු වේ.හදවතේ නීරෝගී බව වගේම මෙහි අඩංගු රසායන වලට රුධිර පීඩනය අඩු කිරීමටත් සිරුරේ ඇතැම් හෝමෝන සමබරව තබා ගැනීමටත් හැකියාව තිබේ.දිනකට කුඩා ඩාක් චොක්ලට් කැබැල්ලක් රස බැලීමෙන් හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු වන අතර අධික රුධිර පීඩනයද අඩු කරයි.එපමණකින් නොනැවතී අහිතකර කොලෙස්ටරෝල් 10% කින් අඩු කරන්නටද ඩාක් චොක්ලට් වලට හැකියාව පවතී.

ඕනෑම චොකලට් පෙත්තක රස බැලීමේදී මෙන්ම ඩාක් චොක්ලට් පෙත්තක රස බැලීමේදී ද එන්ඩෆින් නම් සතුට ගෙන දෙන හෝමෝනය නිපදවන නිසා ඔබව ප්‍රබෝධයෙන් තබයි.සෙරොටොනින් නම් මානසික අවපීඩනය (විෂාදය) නැති කරන රසායනය මෙහි අඩංගු ය.ඩාක් චොක්ලට් වල මේදය ඇතත් එය අපේ අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ නංවන්නේ නැත.ඔලිව් තෙල් වල අඩංගු අපේ සෞඛ්‍ය නංවන ඕලියක් අම්ලයද මෙහි අන්තර්ගත වේ.

ඩාක් චොක්ලට් කොතරම් ගුණදායක වුණත් ඕනෑම හොද දෙයක් පමණට වඩා අහිතකර වනවා මෙන්ම ඩාක් චොකලට් ද අධික වශයෙන් ගැනීම සුදුසු නොවේ.එයට හේතුව අධික කැළරි ප්‍රමාණයක් ලබා දෙන ආහාරයක් නිසයි.දිනකට ඩාක් චොක්ලට් ග්‍රෑම් 100 ක් හෝ අවුන්ස 3-5 අතර ප්‍රමාණයක් ගැනීම ප්‍රමාණවත් වේ.

ඩාක් චොක්ලට් මිලදී ගැනීමේදී තනි ඩාක් චොකලට් හෝ ඇට වර්ග,දොඩම් ලෙලි යෙදූ ඒවා තෝරා ගන්න.සීනි,කැරමල්,කිරි ආදී ම්ශ්‍රණ අඩංගු ඩාක් චොකලට් තෝරා ගැනීමෙන් නිසි ගුණයක් නොලැබී යන බව කිව යුතුම ය.නවතම පර්යේෂණ වලට අනුව දියවැඩියා රෝගීන්ටද ඩාක් චොකලට් හිතකර ආහාරයකි.කෙසේ වෙතත් ඕනෑම ආහාරයක පමණ ඉක්මවා ගැනීම නම් සුදුසු නොවන බව නැවත නැවතත් සිහිපත් කල යුතු ය.

සටහන – උරේෂා මධුභාෂිණි

Recommended For You

About the Author: Editor