රස ගුණ සපිරි ‘පේර’

කාලාන්තරයක් පුරා අපේ ගෙවත්තේ අනිවාර්යයෙන් තිබූ පලතුරක් වූ ‘පේර’ වර්තමානයේදී ජනප‍්‍රිය පලතුරක් වගේම ලාභ ලැබිය හැකි වගාවක් බවට පත්වෙලා තිබෙනවා.

අනුරාධපුරය, පුත්තලම ඇතුළු දිස්ත‍්‍රික්ක කිහිපයක මේ වන විට ව්‍යාපාරික මට්ටමින් පේර වගාව ජයටම කෙරෙනවා. මේ තත්ත්වය තුළ පසුගිය කාලයේ පාර දිගට අලෙවි කළ පුත්තලමේ කිලෝ පේරවලට අමතරව අනුරාධපුරයේ පේරත් වෙළෙඳපොළට ඇවිත් තිබෙනවා. අනුරාධපුරයට ආසන්න පාර දෙපස අද මේ පේර අලෙවි කරන තැන් බහුලව දැකිය හැකියි.

පේර ආහාරමය වශයෙන් වගේම ඖෂධීය ගුණයෙනුත් අනූනයි කියලා අපේ ජනතාව දැනගෙන හිටියා. ඒ නිසා තමයි ගෙවත්තේ, විශේෂයෙන් ගෙමිඳුලේ පේර ගහක් සිටුවන්න ඔවුන් අමතක නොකළේ. ඒ වගේම තමයි මුළු රටේම ලඳු කැලෑවල, බඩවැටිවල පේර වර්ග රැසක් තිබුණා. වැලිපේර, ඇඹුල් පේර, පැණිපේර, රතුපේර, සුදුපේර ඒ අතර ඉදිරියෙන්ම සිටියා.

පේර නිතර නිතර දැක්කත්, කෑවත් බොහෝ දෙනෙක් පේරවල ගුණාගුණ නිවැරදිව දන්නවාද කියන එක නම් සැකයි. ඒ නිසා බොහෝ වැඩිහිටියෝ විශේෂයෙන් කුඩා ළමුන්ට පේර කෑමට දෙන්න මැලිබවක් දක්වනවා.

‘‘ජම්ඹු, ජම්බල, පේර වරකා – පුංචි ළමයින් කෑම නරකා’’ කියලා පොඩිපහේ උපදේශනාත්මක කවියකුත් තිබෙන නිසා මේ තත්ත්වය අපේ වැඩිහිටියන්ගේ හිතෙන් පහසුවෙන් බැහැර නොවන බවත් පැහැදිලියි.

පේර පලතුරක් මෙන්ම ඖෂධයක් නිසා ‘කාර්යබද්ධ ආහාරයක්’ ලෙස හැඳින්වෙනවා. පේරවල රස වර්ග කිහිපයක් තිබෙනවා. පැණි රස, තිත්ත රස, කහට රස, ඇඹුල් රස මේ අතර තිබෙනවා.

ඖෂධීය ගුණය

පේරවල පහත සඳහන් පෝෂක පදාර්ථ අඩංගු බව විද්‍යාත්මකව සොයා ගෙන තිබෙනවා.
විටමින්, ඛනිජ ලවණ හා රෝග ඇති කිරීමට විරුද්ධව ක‍්‍රියාකරන ප‍්‍රතිඔක්ෂිකාරක බහුල වශයෙන් තිබෙනවා.

පේර ග‍්‍රෑම් 100ක

ආහාරමය තන්තු ග‍්‍රෑම් 5.4
විටමින්, B1 B2B3B11විටමින් E සහ විටමින් K
Leucopene, Lutein, crypoxanlhin නමැති ප‍්‍රතිඔක්ෂිකාරක.
කැල්සියම්, යකඩ, මැග්නීසියම්, සින්ක්, පොටෑසියම්, සෙලෙනියම් යන පෝෂක පදාර්ථ බහුල වශයෙන් තිබෙනවා.

මේ ලෙඩවලට පේර දිව ඔසුවක්

පිළිකා වැළැක්වීමේ ගුණය පේර සතුයි
රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය හෙවත් ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කරයි.
තරුණ පෙනුම රැකදෙනවා.
දියවැඩියා රෝගීන්ට මදක් පැසුණු පේර ඉතාමත් ගුණදායකයි.

පේරවල ආහාරමය කෙඳි බහුල නිසා,
මල බද්ධය වළක්වනවා.
අන්ත‍්‍රගත පිළිකා වළක්වනවා.
අර්ශස් රෝගීන්ට ඉතා හිතකරයි.
සමේ පිළිකා ඇතිවීම වළක්වනවා.
සෙම්ප‍්‍රතිශ්‍යාවට ඉතාම ගුණදායකයි.
පේර කොළ තැම්බූ ජලය තුවාල පිරිසිදු කිරීමට ගුණදායකයි.
පේරවල පොටෑසියම් නම් ඛනිජලවණ බහුලයි. එබැවින් හෘද රෝගීන්ට හා අධික රුධිර පීඩනය ඇති රෝගීන්ට හිතකරයි.
පේරවල ‘කොපර්’ නමැති ඛනිජලවණ බහුලයි. එය රතු රුධිර ෙසෙල නිෂ්පාදනය වැඩි කරනවා. ලේ හිඟකම වළක්වනවා.
පේර නිතර ආහාරයට ගැනීම නිසා අධික තරබාරුව අඩු වෙනවා.

පේර ආහාරයට ගත හැකි ක‍්‍රම

අපි බොහෝ දෙනෙක් හුරුවෙලා තිබෙන්නේ පේර අමුවෙන්ම කන්න. ඒත් පේර ආහාරයට ගත හැකි තවත් ක‍්‍රම රැසක් තිබෙනවා.

සලාදයක් ලෙස – පැසුණු අමු පේර ළුෑණු, අමුමිරිස්, ලූණු, දෙහි, ගම්මිරිස්, අබ, පොල්කිරි දමා සාදාගත් සලාදය.
පේර බීම – ඉඳුණු හෝ පැසුණු පේර අඹරා ජලය මිශ‍්‍රකර සීනි දමා බීමක් ලෙස පානය ඉතා රසවත්. මෙය පෙරා බීම සුදුසු නැහැ.
පේර ජෑම් – පේර වාරය අධික කාලයේදී පේර ජෑම් හෝ චට්කි වශයෙන් ද පහසුවෙන් සකසා ගත හැකියි.

ආයුර්වේද දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත විසින් නිකුත් කළ පත‍්‍රිකාවක් ඇසුරිණි.

Recommended For You

About the Author: Editor