Voice of දියවන්නා SLPP: රටක් බලා සිටි ඒ සුබ පණිවිඩය

සටහන – ගජබා නාගහවත්ත

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ හදිසි සාකච්ඡාවක් මහින්දගේ ප්‍රධානත්වයෙන් විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනය පසුදින පැවැත්වීමට නියමිත පසුබිමක මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ ජනාධිපති අපේක්ෂකයා ඇතුළු කාරණා සම්බන්ධයෙන් පක්ෂ නායකයන් දැනුවත් කිරීමටය.

අපේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මම ගෝඨව නම් කරනවා

“හෙට පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයේ දී අපේ ජනාධිපති අපේක්ෂකයා නම් කරනවා. මම අපේක්ෂකයා ගැන තීන්දුවක් ගත්තේ හැම කාරණයක්ම සලකලා බලලයි. මහා සංඝරත්නය, ජනතාව වගේම පක්ෂ නායකයනුත් විටින් විට දක්වපු අදහස් ගැන මම අවධානය යොමු කළා. මේ වන විට හැමෝම හිතනවා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කියලා. ඒ වගේම විනාශ වෙලා තියෙන රට ගොඩනගන්න පුළුවන් විනයගරුක පුද්ගලයෙක් ගැන තමයි හැමෝම කතා වෙන්නේ. ඒ සියලු මත සලකලා බලලා මම තීරණයකට ආවා මේ සියලු අපේක්ෂාවන් සපුරන්න පුළුවන් හොඳම අපේක්ෂකයා කවුද කියලා. ඒ අනුව හෙට සම්මේලනයේ දී අපේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මම ගෝඨව නම් කරනවා“ මහින්ද පැවසීය.

මහින්දගේ තීන්දුව ඇසූ පක්ෂ නායකයන් සියලුදෙනාම අත්පොළසන් දෙන්නට පටන් ගත්හ. අනතුරුව දිනේෂ්, වාසු, විමල්, ගම්මන්පිල ඇතුළු පක්ෂ නායකයන් මහින්දගේ තීන්දුව ඒකමතිකව අනුමත කළා පමණක් නොව එම තීන්දුව ගැනීම සම්බන්ධයෙන් මහින්දට ප්‍රසාදය ද පළ කළහ. සියලුදෙනාගේ අදහස වූයේ ගෝඨාගේ ඉදිරිපත්වීම තුළ එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට පෙරම අන්ත අසරණ වන බවය.

එම සාකච්ඡාව නිමා කළ වහාම මහින්ද සුගතදාස ක්‍රීඩාගංණය බලා පිටත්ව ගියේ පසුදින සම්මේලනයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමටය. මහින්ද එහි යන විට බැසිල්, ඩලස්, ප්‍රසන්න, සී. බී, කාංචන ඇතුළු සංවිධාන කටයුතුවල නියැලෙමින් සිටියහ. එම කටයුතුවල ප්‍රගතිය සොයා බැලූ මහින්ද අවශ්‍ය උපදෙස් ලබා දි මන්ත්‍රීවරුන් සමඟ සුහදව කතා බහ කරමින් සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික මහා සම්මේලනය

ශ්‍රී ලංකාවේ ලාබාලතම පක්ෂය ලෙසින් හැඳින්විය හැකි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික මහා සම්මේලනය ඉරිදා සවස 3.00ට ඇරැඹීමට නියමිතව තිබුණු අතර සවස 2.00 වන විට ශාලාවේ අසුන් සියල්ල පිරී ගොස් තිබුණි. එහෙත් අසුන්ගෙන සිටි පිරිසට සමාන වූ ආරාධිත පිරිසක් ඒ වන විටත් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දොරටු අසළ පොදිකමින් සිටියහ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් ඒ වන විට එහි පැමිණ සිටි අතර පවිත්‍රා සහ කාංචන යුවළගේ ඡායාරූප ගනිමින් සිටියේ ප්‍රසන්න හෙන්නායක විසිනි. ඒ දුටු ඩලස්, ප්‍රසන්න සහ රෝහිත යුවළට විහිලු කරන්නට ගත්තේ දෙන්නා මංගල උත්සවයෙන් පසුව ඡායාරූප ගන්නවාමදැයි අසමිනි. කෙසේ වුවත් ඡායාරූප ගැනීම නම් නතර වුණේ නැත.

පිරිමින්ට ජාතික ඇඳුම හෝ යුරෝපීය ඇඳුමත් කාන්තාවන්ට කුරහන් පැහැති ඔසරියත්

පක්ෂ සමුළුව ගෞරවාන්විත ආකාරයෙන් පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම බැසිල් විසින් ගෙන තිබුණු අතර සමුළුවට සහභාගී වන්නන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් පවා එහිදී අවධානය යොමු කර තිබුණි. පිරිමින්ට ජාතික ඇඳුම හෝ යුරෝපීය ඇඳුමත් කාන්තාවන්ට කුරහන් පැහැති ඔසරියත් නියම තිබුණු අතර බොහෝ දෙනා ඒ උපදෙස් අනුගමනය කර තිබෙනු ද දක්නට ලැබුණි.

මන්ත්‍රීවරුන් සියලුදෙනාම පාහේ සුදු පැහැති ජාතික ඇඳුම්වලින් සැරසී සිටියත් ඩලස් සහ රෝහිත සැරසී සිටියේ මෙරූන් පැහැති කමිසවලිනි. ඒ දුටු ප්‍රසන්න ඇසුවේ “මේ දෙන්නට විතරක් නීතිය වලංගු නැද්ද? කියාය.

“අපි දෙන්නා තමයි නීතිය හරියටම පිළිපැද්දේ. බලන්නකෝ ඇඳලා ඉන්නෙත් පක්ෂයේ පාටනේ? රෝහිත පැවසීය.

“ඒ වුණාට අනික් අය වගේ ඔයාලත් සුදු අඳින්න එපැයි“ ප්‍රසන්න කීවේ විහිලුවටය.

සමුළුව ආරම්භ වන විට ප‍්‍රසන්නගෙන් කොල් පිට කෝල්

සමුළුව ආරම්භ වන වේලාව ආසන්න වෙත්ම ප්‍රසන්න වෙත පැමිණි බැසිල් උපදෙස් දුන්නේ ඒ වන විටත් පැමිණ නැති මන්ත්‍රීවරුන් සියලුදෙනා වහා ශාලාව වෙත ගෙන්නවා ගන්නා ලෙසය. ඒ අනුව ප්‍රසන්න වහාම මන්ත්‍රීවරුන් හට දුරකථන ඇමතුම් දෙමින් ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කළේය. බොහෝ මන්ත්‍රිවරුන් ඒ වන විටත් කොළඹ ආසන්නයේ සිටීම නිසා එම කටයුත්ත පහසුවෙන් කරන්නට ප්‍රසන්නට හැකි විය.

සම්මේලනය සවස තුනට ආරම්භ කෙරුණේ බෙර වාදන මැද මහින්ද ප්‍රධාන පීඨිකාවට පිවිසීමත් සමඟය. දෙරණ රූපවාහිනිය ඔස්සේ සජීවිව විකාශය කෙරුණු පොදුජන පෙරමුණේ සම්මේලනයේ ප්‍රථම කාර්යය වූයේ පක්ෂ නායකත්වය මහින්දට පිරිනැමීමය. පක්ෂයේ සභාපති ජී. එල් පක්ෂ නායකත්වය මහින්දට පිරිනැමීමෙන් අනතුරුව මහින්ද සභාව ඇමතුවේය.

මහින්දගේ කතාවට රැස්ව සිටි පිරිසගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි. මහින්ද යහපාලන ආණ්ඩුවේ සහ කලින් පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවල අඩුපාඩුකම් ගැන කියන විට මහින්දට අමතක වූ බොහෝ කාරණා සභාවෙන් මතක් කරනු ලැබුවේ තරගයට මෙනි. ඒ සියල්ලත් යළි යළිත් කියමින් මහින්ද සිය කතාවේ තීරණාත්මක මොහොතට එනම අපේක්ෂකයා නම් කරන තැනට පැමිණි විට සභාව සාවධානව කන්දෙන්නට පටන් ගෙන තිබුණි.

රටක් බලා සිටි ඒ සුබ පණිවිඩය

අනතුරුව මහින්ද රටක් බලා සිටි ඒ සුබ පණිවිඩය ඉදිරිපත් කළේය. එනම් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය නම් කිරීමයි. ඒ සමඟ නැගුණු ජය ඝෝෂාව මිනිත්තු දහයක් පමණ රැව් පිළි රැව් දුන්නේය. තමන්ට තවත් දෙයක් කියන්නට ඇතැයි කියමින් සභාව නිහඬ කරගන්නට මහින්දට මඳ වේලාවක් ගත විය. සභාව නිහඬ වූ පසු මහින්ද කීවේ “මට පළමුවත් දෙවනුවත් තෙවනුවත් වටින්නේ මගේ රටයි, ගෝඨා එය ඔබටත් එසේ විය යුතුයි“ කියාය.

ඒ සමඟම සභාවේ අනෙක් පැත්තේ දොරටුව විවෘත වී ගෝඨාභය පිටතට පැමිණියේ ජයඝෝෂා හඬ මධ්‍යයේය. මහා සංඝරත්නයට වැඳ නමස්කාර කළ ගෝඨා කෙළින්ම ප්‍රධාන පීඨිකාව වෙත පැමිණ මහින්දට වැන්දේය. සිය වැඩිමල් සොහොයුරාගේ ආශිර්වාදය එසේ ලබා ගත් ගෝඨා මැති ඇමැතිවරුන් වෙතට ගියේය. එහිදී බැසිල් වැඳගත් ගෝඨා චමල්ට ද වැන්දේ සොහොයුරු පෙම තරම් අනෙකක් නැති බව කියමිනි.

ගෝඨා ජීවිතයේ ප්‍රථම වතාවට දේශපාලන වේදිකාවක

මැති ඇමැතිවරුන්ගේ සුබ පැතීම්වලින් පසුව ගෝඨාභය සභාව ඇමැතුවේය. ජීවිතයේ ප්‍රථම වතාවට දේශපාලන වේදිකාවක කතා කළත් එම කතාවේ ආධුනික බවක් දක්නට ලැබුණේ නැත. ඒ වෙනුවට එහි තිබුණේ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීමට සූදානම් දේශපාලනඥයකුගේ ලකුණුය. ජාතික ආරක්ෂාව, රටේ දියුණුව, ස්වෛරීත්වය සම්බන්ධයෙන් ගෝඨා දැක් වූ අදහස් කාගෙත් පැසසුමට ලක්විය.

සම්මේලනයෙන් අනතුරුව මහින්ද සහ ගෝඨා ඇතුළු පිරිස කැලණිය බලා ගියේ ආගමික වතාවත්වලට සහභාගී වීමටය. ප්‍රථමයෙන් ගියේ විද්‍යාලංකාර මහ පිරිවෙනටය. පරිවෙණාධිපති මහාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ගෝඨාභයට ආශිර්වාද කරමින් මහින්දට ස්තුති කළේ රට ඉල්ලූ අපේක්ෂකයා ජනතාවට ලබාදීම සම්බන්ධයෙනි.

ගෝඨාට ආනන්දයේ දී අකුරු කළ ගුරුතුමිය මුණ ගැසෙයි

විද්‍යාලංකාර පිරිවෙනෙන් පිටතට පැමිණෙමින් සිටි ගෝඨාභයට තමන්ට ආනන්දයේ දී අකුරු කළ ගුරුතුමිය මුණ ගැසුණේය. මහත් ලෙන්ගතුකමින් ගුරුතුමිය අසළට ගිය ගෝඨාභයට ආශිර්වාද කළ ගුරුතුමිය රට ගොඩනැගීමට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කළාය.

අනතුරුව කැලණි රජමහා විහාරස්ථානය වෙත ගිය ගෝඨාභය මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය. කැළණි රජ මහා විහාරාධිපති කොල්ලුපිටියේ සංඝරක්ඛිත හිමියන් ගෝඨාභයට ආශිර්වාද කරමින් කියා සිටියේ ගෝඨාභය ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීම ජාතියේම වාසනාවක් බවය. නව ජනාධිපති අපේක්ෂකයාට සුබපැතීමට පැමිණි ජනතාවගෙන් කැලණි විහාරය පිරී ඉතිරී ගොස් තිබුණි.

පසුවදා උදෑසන මහින්ද සහ ගෝඨාභය ඇතුළු පිරිස අනුරාධපුරය බලා පිටත්ව ගියේ එදින සවස රුවන්වැලි මහා සෑ රදුන් අභියස පැවැත්වීමට නියමිතව තිබුණු ආශිර්වාද පූජාවකට සහභාගී වීම සඳහාය. මිරිසවැටිය විහාරාධිපති හිමියන් අනුශාසනාවක් කරමින් කියා සිටියේ මෙරට රාජාවලියේ රජවරුන් 163ක ගේ නම් සඳහන් වන නමුත් මෑත ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ තරම් ජනතා ගෞරවයට පාත්‍ර වූ තවත් නායකයකු නොමැති බවය.

අනුරාධපුර ජයන්ති විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් දී බළලුන් දෙදෙනකුගේ කතාවක්

අනුරාධපුර ජයන්ති විහාරයේ විහාරාධිපති හිමියන් සිය අනුශාසනාවේ දී බළලුන් දෙදෙනකුගේ කතාවක් කීහ. එක් යුවළක් තමන්ට දරුවන් නොමැතිකම නිසා බළලුන් දෙදෙනෙක් ඇති කරන්නට වූහ. මෙම බළලුන් දෙදෙනාගේ සිරිත වූයේ පොරකෑමය. මේ කරදරය නොඉවසූ සැමියා දිනක් බිරිය සිල් සමාදන් වීමට ගිය අවස්ථාවක බළලුන් දෙදෙනාට පොල්ලකින් පහර දුන්නේය.

අවාසනාවකට මෙන් බළලුන් දෙදෙනාම පොලු පහරින් මිය ගියහ. බිරිඳ සිල් පවාරණය කර පැමිණීම පෙර පිළියමක් කළ යුතු නිසා උපායක් කල්පනා කළ සැමියා කළේ බළලුන් දෙදෙනාගේ වලිග පමණක් වෙනම ගෝනියකට බහා තැබීමය. සවස නිවසට පැමිණි බිරිය බළලුන් දෙදෙනා ගැන අසන විට සැමියා කීවේ බළලුන් පොරකන නිසා ගෝනියක බහා තැබූ බවය.

ගෝනිය ලිහා බැලූ විට බිරියට දක්නට ලැබුණේ වල්ග දෙක පමණි. ඒ දෙස බැලූ සැමියා කීවේ බළලුන් දෙදෙනා එකාට එකා කාගෙන ඉතිරිව ඇත්තේ වලිග දෙක පමණක් බවය. මේ කතාව කී ජයන්ති විහාරාධිපති හිමියෝ ගෝඨාභයට අනුශාසනා කළේ අද රට ඇත්තේත් එවන් තැනක බවය. එකාට එකා කුළල් කාගන්නා එම තත්ත්වය වහාම නතර කළ යුතු බවත් උන්වහන්සේ කීහ.

පසුදින උදෑසන ගෝඨාභය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය. ඒ අවස්ථාවට විශාල ජනකායක් එක්ව සිටි අතර මහින්දට සහ ගෝඨාභයට ජනතාවගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. අනුරාධපුරයේ ආගමික වතාවත් අතර ප්‍රසන්න, රෙෂාන් සහ සී. බි රත්නායක කතාකරමින් සිටියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟය.

ප්‍රසන්න මහත්තයා කොහොම හරි තමන්ට ඕනේ දේ කරගත්තා නේද?

“ප්‍රසන්න මහත්තයා කොහොම හරි තමන්ට ඕනේ දේ කරගත්තා නේද? ආනන්ද හිමියෝ ඇසූහ.

“ඒ කිව්වේ අපේ හාමුදුරුවනේ? ප්‍රසන්නට හිමියන්ගේ පැනය තේරුම් ගියේ නැත.

“නෑ ඉතින් මම කිව්වේ විශ්‍රාම යන්න හිතාගෙන මැදමුලනට ගිය මහින්ද මහත්තයා නැවත දේශපාලනයට ගේන එකේ ලොකු මෙහෙවරක් තමුන්නාන්සෙත් ඉෂ්ඨ කළානේ. දිනේෂ්, වාසු, විමල්, ගම්මන්පිල එක්ක එකතු වෙලා නුගේගොඩ රැලිය තියලා මහින්ද සුළඟ රට පුරා හැදුවේ නැත්නම් මේ මොනවත් නැහැනේ. එදා නුගේගොඩ රැලියට යන්න බයේ නිදහස් පක්ෂයේ අය හැංගෙන කොට පළාත් සභාවේ මහ ඇමැති වෙලත් එතැනට බය නැතුව ආවේ ඔබතුමා කියන එක අපිට අමතක නැහැ“ ආනන්ද හිමියෝ කීහ.

අන්තිමට බැසිල් මහත්තයා පක්ෂය හදලා ඉල්ලපු පළමු මැතිවරණයෙන්ම විශිෂ්ට ජයක් අපි ලැබුවා

“ඒක නම් එහෙම තමයි අපේ හාමුදුරුවනේ. හැබැයි අපි වගේම බැසිල් මහත්තයාත් මේකේ ලොකු වැඩ කොටසක් කළා. මහ මැතිවරණයේ ඉඳලම මගේ මතය වුණේ අපි වෙනම තරග කරන්න ඕනේ කියන එකයි. හැබැයි ගොඩක් අය කිව්වා වෙනම ඉල්ලුවොත් පරදියි කියලා. හැබැයි අපි එදා පැරදුණේ වෙනම ඉල්ලුවේ නැති නිසයි. අන්තිමට බැසිල් මහත්තයා පක්ෂය හදලා ඉල්ලපු පළමු මැතිවරණයෙන්ම විශිෂ්ට ජයක් අපි ලැබුවා. ඒ නිසා මේ ගෞරවය එතුමටත් අපි එක්ක හිටපු සියලු මන්ත්‍රීවරුන් සහ ජනතාවටත් එක වගේ අයිතියි“ ප්‍රසන්න පැවසීය.

“සජිත් ගේන රැලියට මොනවා වුණාද දන්නේ නැහැ නේද? එතැන සිටි අයකු අසා සිටියේ ප්‍රසන්නගෙනි.“

“මොනවා වෙන්නද ඉතින් පුස් වෙඩිල්ල වගේ තමයි. ජනාධිපති වෙන්න තියා අපේක්ෂකමවත් ෂුවර් නැතුව බොරුවට රැස්වීම් තියලා රට රවට්ටනවා. උදේ රනිල් එක්ක ගිහින් හොර පූසා වගේ නිවාස ව්‍යාපෘතිය විවෘත කරලා හවසට බදුල්ලේ ඇවිත් සිංහ වෙස් පෙන්නනවා. කාටද ඉතින් ඔය බොරු කරන්නේ? ප්‍රසන්න කීෆව්ය.

බුද්ධික පතිරණලා අසරණ වුණෙත් සාජිත් වෙනුවෙන් පෙනී ඉන්න ගිහිල්ලයි

“ඒක ඇත්ත. සජිත්ගේ වැඩපිළිවෙළ හැමදාම ඔහොම තමයි. ඔය දයාසිරිලා, බුද්ධික පතිරණලා අසරණ වුණෙත් සාජිත් වෙනුවෙන් පෙනී ඉන්න ගිහිල්ලයි. අන්තිමට සජිත් රනිල්ට ඔලුව පාත් කරලා කැබිනට් ඇමැතිකම් අරගෙන පැත්තකට වෙනවා. කඩේ ගිය මිනිස්සු අනාථයි“ රොෂාන් පැවසීය.

“එහෙමනම් ඉතින් සජිත්ට පුළුවන්නේ අර ගිනි පෙට්ටි ගම්මානයක් හදලා සදා අනාථ බුද්ධික පතිරණ ගම වගේ නමක් දාලා පොඩි හරි ගෞරවයක් දෙන්න. මිනිහගේ ගම්වල නමුත් මිනිහා වගේමයි. කොටින්ම කිව්වොත් මෙලෝ රහක් නැහැ“ ප්‍රසන්න කීවේය.

“රනිල්ට දැන් වෙලා තියෙන්නේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී කියන එක වගේ වැඩක්. සජිත්ට අපේක්ෂකම දුන්නොත් පක්ෂ නායකකමත් නැහැ. අපේක්ෂකම නොදුන්නොත් පාක්ෂිකයන්ගෙන් ඉන්න ලැබෙන්නේ නැහැ. එහෙම බලන කොට දැන් අනාත වෙලා තියෙන්නේ සජිත් නෙමෙි රනිල්. සජිත්ට තියෙන්නේ සදා පරාජිත, සදා අනාථ රනිල් වික්‍රමසිංහ ගම්මානය කියලා එකක් හදලා රනිල්ගේ අතින්ම විවෘත කරවන්නයි“ රොෂාන් පැවසීය.

අනුරාධපුරයේ ආගමික වතාවත්වලින් අනතුරුව ගෝඨාභය ඇතුළු පිරිස නුවර බලා එන්නට පිටත් වූයේ 14 වැනි දා උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ආගමික වතාවත්වලට සහභාගී වීමට නියමිතව තිබුණු නිසාය. අනුරාධපුරයේ සිට එන ගමනට ගෝඨාභයලාට දවසක්ම ගත වුණේ මග දිගට තැනින් තැන තිබුණු පිළිගැනීම් නිසාය. දඹුල්ලට එන විට සවස පහත් පසු වී තිබුණි.

සී.බී ට දෙලොව රත්වෙයි

දඹුල්ලේ පිළිගැනීමේ උත්සවය සූදානම් කර තිබුණේ ජනක බණ්ඩාරය සහ ප්‍රමිත බණ්ඩාර විසිනි. ජනක සහ බිරිඳ නගරයේ පිළිගැනීමේ උත්සවයට ගොස් සිටින අතර සී. බී කෙළින්ම ආවේ ජනකගේ නිවසටය. සී. බී සිතුවේ පිළිගැනීම තිබෙන්නේ ජනකගේ නිවසේ කියාය. ඒ වන විට නිවසේ කිසිවකුත් නොසිටි නිසා ජනක එනතුරු සී. බී එහි රැඳී සිටියේය. මේ අතර දඹුල්ලේ පිළිගැනීම යන අතරේ ප්‍රමිත එහි රැඳවූ ජනක වහා නිවස වෙත ආවේ ගෝඨාභය එන විට සූදානම් වන්නටය.

තකහනියේ නිවස වෙත ඇදෙන වාහන පෙළ දුටු සී. බී සිතුවේ මේ එන්නේ ගෝඨාභය කියාය. සී. බී ට දෙලොව රත් වුණේ ජනකත් බිරිඳත් නිවසේ නොසිටි බැවිනි. වහා බුලත් අතකුත් ගත් සී. බී වහා දිව ගියේ ගෝඨාභය පිළිගන්නටය. අන්තිමේ දී ජනකට තමන්ගේ නිවසේදිම බුලත් අතක් ලැබුණේ පළමු වතාවටය. වෙච්ච දේ ගැන සී. බිට මෙන්ම ජනකටත් සිනාය.

අනතුරුව ගෝඨාභය ජනකගේ නිවස බලා ආවේය. එහි තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබුණි. තේ පැන් සංග්‍රහය පැවැති ස්ථානයට ප්‍රමිත ආවේ කේක් ගෙඩියක්ද උස්සාගෙනය.

“මේක ගෙන්නුවේ විශේෂ කෙනෙකුගේ උපන් දිනයට.” කියමින් ජනක කේක් ගෙඩිය මේසය මත තැබුවේය.

ජී. එල් ට තම උපන්දිනයත් අමතක වෙයි

අසල සිටි හැමෝම එකිනෙකාගෙ මුහණ දෙස බැලුවේ කාගේ උපන්දිනයදැයි වටහා ගත නොහැකි වූ නිසාය. ඒ අතරතුර ජනක පොදුජන පෙරමුණේ සභාපති ජී එල්ට කේක් කපන්නට ආරාධනා කළේය. එදින ජී එල් ගේ උපන්දිනය යෙදී තිබිණි. කාර්යය බහුල තාවය නිසා ජී එල් ටද ඔහුගේ උපන්දිනය අමතක වී තිබිණි. පසුව ජී එල් හැමෝගෙම අත්පොලසන් මැද කේක් කපා  පළමු  කේ කැබැල්ල ගෝඨාභයට කැවුවේය.

ගෝඨාභය දැක බලා ගන්නට පැමිණි මහ ජනතාවගේ තෙරපුම නිසා ජනකගේ නිවසේ ඉදිරපස දොරටුව බිදි ගොස් තිබිණි. එය දුටු ජානක කීවේ ඉස්සෙල්ලා අයියා ආපු වෙලාවේ සෙනග තෙරපලා දොර කැඩුනා. දැන් මල්ලී ආපු වෙලාවේ සෙනග තෙරපිලා දොර කැඩුනා කියාය.

“එහෙනම් ඡන්දය ඉවරවෙනකම් දොර හදන්න එපා. මනත්‍රීතුමා” CB ජානකට කීවේය.

” ඔව් ඔව් මාත් හිතුවේ ඒක තමයි. මොකද හැමදාම මේ වැඩේ වෙනවානේ..” ජානක සිනා සෙමින් කිවේය.   

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධයක් ඇති ගෝඨාභයට ජනතා අපේක්ෂා ඉටුකළ හැකියි

දඹුල්ලේ සිට මාතලේ හරහා නුවර යාමට පිටත් වූයේ සවස පහට පමණය. ඒ වන විට නාවුල, පලාපත්වල, මාතලේ නගරවල පිළිගැනීම් සංවිධාන කර තිබුණු අතර මාතලේ දිස්ත්‍රික් මායිමේ දී කෙහෙළිය, ලොහාන් ඇතුළු පිරිස රැස්ව සිටියේ අභිනව ජනාධිපති අපේක්ෂකයා නුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් පිළිගැනීමටය. ගෝඨාභය මාතලේ නගරයට එන විට රාත්‍රි හත පමණ වි තිබුණු අතර රෝහණ දිසානායක ඇතුළු පිරිස එහිදී මල්දම් පළදවා ගෝඨාට සුබපැතූහ.

පසුදින ගෝඨාභය දළදා මාලිගාවට ගොස් ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව මල්වතු සහ අස්ගිරි නාහිමිවරුන් බැහැ දැකීමටත් ගෝඨාභය කටයුතු කළේය. එහිදී ගෝඨාභයට ආශිර්වාද කළ මල්වතු නාහිමියන් කියා සිටියේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධයක් ඇති ගෝඨාභයට ජනතා අපේක්ෂා ඉටුකළ හැකි බවය. රටේ ආරක්ෂාව තහවුරු කළ හැකි අයකු වෙත ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් වහන්සේගේ ආශිර්වාදය හිමිවන බවත් උන්වහන්සේ කීහ.

හින්දු සහ ඉස්ලාම් බැතිමතුන් හමුවීමටත් ගෝඨාභය අමතක නොකරයි

මල්වතු නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ගෝඨාභය මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් බැහැ දැකීමට ගියේ උන්වහන්සේ අසනීප තත්ත්වයකින් පසුවන බව අසන්නට ලැබුණු නිසාය. අනුනාහිමියන්ගේ සුවදුක් විමසූ ගෝඨා කීවේ “ඔබවහන්සේ බැහැදකින්න වෙනම එන්න හිටියත් අසනීපත තත්ත්වය ආරංචි වූ නිසා අදම ආවා“ කියාය.

අනතුරුව ගෝඨාභය ගැටඹේ රාජතපෝවනාරාමය වෙත ගොස් විහාරාධිපති හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව කටුකැලේ ශ්‍රී සෙල්විනයාගර් කෝවිලිට සහ මහනුවර මීරා මක්කම් මුස්ලිම් දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබාගෙන හින්දු සහ ඉස්ලාම් බැතිමතුන් හමුවීමටත් ගෝඨාභය අමතක කළේ නැත.

Recommended For You

About the Author: Editor