ගොඩ ගොවිතැනේ වතුර නාස්තියට වැට බඳින්න කාලය ඇවිත්

ගොවියා වතුරට සලකනවා මදි!

වැස්සට වැටෙන ජලය භාගයකටත් වඩා මුහුදට

කාලගුණය වෙනස්වෙලා, ගංවතුර හා ඉඩෝර දැන් නිතරම

වගා කන්නයම ආවරණය වෙන කාලගුණ අනාවැකි දැන් නිකුත්වෙනවා

බෝගයට වෙනුවට ගොවීන් වතුර දාන්නේ පසට

වගාබිම තෙමෙන්නට වතුර ටිකක් නොව, දෙතොල සනහා ගන්නට දිය පොදක් නැතිව හූල්ලන වියලි කලාපයේ ගොවි ගෙවිලියන් පිරිසක් වටකරගත් ඔහු පැවසූ දෙයින් අසා සිටියවුන්ගේ ඇඟේ හිරිගඩු පිපෙන්නට ඇත. බවලතුන් දෙදෙනෙක් අඩසඳ හැඩයට කට ඇද කරගෙන  එකිනෙකාගේ මුහුණ බැලූහ.

“මේ මහ පොලොව දිය බුබුලක්, තුන් කාලකටත් වඩා තියෙන්නේ වතුරෙන් යටවෙලා”

            ඔහු පැවසුවේ මහත් උජාරුවෙනි. එහෙනම් අපිට මේ පලදීල තියෙන්නේ අහවල් කරුමයක්දැයි ගොවීනට සිතෙන්නට ඇත. පෞද්ගලික සමාගමක් මගින් බෙදාහරිනු ලබන වගා ජලසම්පාදන කට්ටල කීපයකුත් රැගෙන වෑන් රියකින් ඔවුන් පාන්දරින්ම ගමට පැමිණ ඇත්තේ අර පිරිමැස්මෙන් ජලය භාවිතා කරන අයුරු ගමට කියා දෙන්නටත්, තම නිෂ්පාදනයන්ට අලෙවි අඩිතාලමක් සකසා ගන්නටත්ය. මහපොළොව දිය බුබුලක් යයි කීවේ මිනිස් සිතුවිලි කිතිකවා අවදිකරගන්නටය. ඇත්තටම මෙය දිය බුබුලකි. පොලොව මතුපිටින් හතරෙන් තුනක්ම ඇත්තේ ජලයෙන් යටවෙලා නම්, තවත් කිනම් කතාද? එයිනුත් 95% කටත් වැඩියෙන් ඇත්තේ මුහුදු ජලය නිසා දිය බුබුලේ සුන්දරත්වයට හා ගෞරවයට ඇති තැන නම් මඳක් පලුදුවී යන බවක් සිතේ. අනෙක් අතට පොළොවේ ඇති 4% ක් තරම් වූ ඉතිරි මිරිදිය ජල ස්කන්ධයෙනුත්, පහසුවෙන් පරිහරණය කිරීම සඳහා මිනිසාට ලංවිය හැක්කේ සියයට එකකටත් වඩා අඩු, එනම් දශම ගණනක ප්‍රතිශතයක් බව කියවෙන නිසා, වෙළඳ නියෝජිතයාගේ ගම් දනවු සම්ප්‍රාප්තියට දොසක් කියන්නටත් හිත් දෙන්නේ නැත.

            ද්‍රව තත්වයෙන් ජලය පවතින එකම ග්‍රහලෝකය ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ පෘථිවිය පමණි. අඟහරු ග්‍රහලොව වෙත ඇමරිකානුවන් යැවූ යානයක්, ඒ මත ඝන අයිස් තට්ටු ඇති බවක් වාර්තා කලත්, මහපොලොවෙන් පිට ද්‍රව ජලය පිහිටන තැනක් ගැන අප තවමත් අසා නැත. අප සතු මෙම කුඩා ජල ප්‍රමාණය පවා පෘථිවිය මත බෙදී විහිදී ගොස් ඇත්තේ විෂමාකාරයෙනි. ඝර්ම කලාපයට අයත් ආසියාතික රටවල් අතරින් ඒ අනුව අප වාසනාවන්තයයි සිතිය හැක්කේ ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වැනි දෑ සංසන්දනාත්මකව බලද්දී අපට ඇති තරම් ජලය තිබේයැයි පෙනෙන නිසාය. කතාව නිවැරදිය. අතීත රජ දරුවන් පවා සුවිසල් හා කාර්යක්‍ෂම වාරි ව්‍යාපෘතීන් තනවා මේ රට පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කෙරුවේ අපට ඇතිතරම් වතුර තිබුණු බැවිනි. එපමණක් නොව එම ජලය අරපිරිමැස්මෙන් භාවිතා කල බැවිනි. පැරකුම් රජු විසින් පැවසූවායයි කියන පොළොවට වැටෙන වැසි ජලයේ කතාව මෙම අරපිරිමැස්මේ තරම සනාථ කරන්නට හොඳ උදාහරනයක්වේ.

එදා මිනිස් ප්‍රයෝජනයට නොගෙන එක ජල බිඳක්වත් මුහුදට නොයවන්නයයි එතුමා අවවාද දුන් අතර, මහ වැව් තනවා ජලය රැස් කරමින්, තම වචනයට ප්‍රායෝගික අරුතක්ද එකතු කරන ලදී. ජල සංචිතය ක්‍රමවත්ව පරිහරණයද  කල නිසා  මුළු රජරටම අස්වැද්දවූ පසු මුහුදට ගලා ගියේ නම්, ඒ ඉතා සුළු ප්‍රමාණයකි. පැරකුම්බා රජුගේ කළමනාකරණයට හසුවූයේ රජරට ප්‍රදේශය පමණක් වන අතර එතුමාණන්ගේ අණසකට කළු, ගිං, කැළණි වැනි ගංගා හසුවූයේ නැත. වාර්ෂිකව මිලි මීටර් 2000 ක පමණ සාමාන්‍ය වර්ශාපතනයක් ලබන අප රටේ ඉන් 56% ක් පමණම මේ වනවිට මුහුද පිරවීම පිණිස පල්ලම් බසින්නේ, දකුණේ පොල් වගාව පැතිරවීමට කටයුතු කෙරුවත්, එතුමාණන්ට එම පළාතේ ජල කළමනාකරණයට අත ගසන්නට නොහැකිවූ නිසා වන්නට පුළුවන.

එදා සිටම අපට යල මහ වශයෙන් වගා කන්න දෙකක් තිබුනේය. වැස්ස අඩු යයි සැලකෙන වියලි කලාපයේ මහ කන්න ගොවිතැන ප්‍රධාන වශයෙන් වැසි ජලය භාවිතයෙන් කෙරුණු අතර, වැව් පුරවා ජලය ගබඩා කරගැනීමක්ද ඒ කාලයේ සිදුවුනි. වැස්ස අඩු යල කන්නයට ඔවුන් ගොවිතැන් කෙරුවේ පිරී තිබූ වැව ආධාරයෙන්ය. වැස්ස වලාහක දෙවිඳුන් කිසිදු කලබලයක් නොකොට, මිනිසුන්ගේ මෙම චාරිත්‍රයෙන් පිට නොගොස් නියම කාලයට, නියම ප්‍රමාණයට වැසි ලබා දුනි. ඉඳහිට හෝ දේව කෝපයක් නිසා යම් අරියාදුවක් කෙරුණත්, අපේ පැරැන්නන්ට එම සිදුවීම් ගැන දින වකවානු සහිත හොඳ මතකයක්ද තිබේ. ඔවුහු 48 ගංවතුර ගැන තවමත් කතා කරති. මෙරටට නිදහස ලැබූ 1948 වසරේදී ඇතිවූ මහා ගංවතුර මෙරටට පමණක් ඇතිවූවක් නොවේ. එහෙත් එය මතක හිටින්නට ගැලූ වතුරක් විය. ඒ කාලයේ ඉඩෝරයක් ආවත් එන්නේ කලාතුරකින් වගේම පරම්පරා ගණනාවකට මතක හිටින්නටය.

            එහෙත් දැන් සියල්ල උඩු යටිකුරු වී තිබේ. ලොව පුරා දේශගුණ රටා වෙනස්වී ඇති අතර මේ පුංචි දූපතේ වෙසෙනා අපද, එය අඩු නැතිව අත්විඳිමින් සිටිමු. මහ කන්නයේ වැස්ස තම එකම බලාපොරොත්තුව කරගෙන සිටි වියලි කලාපීය ගොවියා, නියං සහනාධාර පෝලිමේ ගැවසෙමින් දවස ගෙවා දමයි. එදා හතලිස් අටේ ගැලූ ගංවතුර වැනි ඒවා දැන් වසර දෙක තුනකට වරක් ඇවිත්, ආපසු යන්නේ කඳු කීපයකුත් පොළොවට සමතලා කරගෙනය. ඉඳහිට එවැනි අවාසනාවන්ත දින කීපයක් ගෙවුනද සමස්තයක් ලෙස රට අත්විඳින්නේ වියලි කාලගුණයකි. රටට අවශ්‍ය විදුලිබලයට ජලයේ දායකත්වය ඉතා ස්වල්පයක් වේ. මහා ජලාශයන්හි හා වැව්වල ජල මට්ටම ගැන හැමදාමත් අසන්නට ලැබෙන්නේ කාලක් වත් පිරී නැතැයි කියාය. එසේනම් වාර්ෂිකව මිලි මීටර 2000 ක සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබුනත්, මේ අසාමාන්‍ය වර්ෂාපතන ව්‍යාප්තියත්, වැටෙන වතුර ටික වුවත් රක්ෂා කරගැනීමට අප සතු නොහැකියාවත් නිසා මෙය දැන් ජලය හිඟ රටක් බවට පත්වී හමාරය.

            එසේනම් ජලය වෙනුවෙනුත්, ප්‍රවේසමෙන් පරිහරණය කරන්න යනුවෙන් අවවාද පතුරුවා හරින්නට සිදුවී තිබේ. වගා කන්නයකටම ගැලපෙන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කාලගුණ පුරෝකථන වාර්තා ඉදිරිපත් කෙරුවත්, ගොවීන් කී දෙනෙක් ඒ ගැන දන්නවාදැයි සැක සහිතය. සාම්ප්‍රදායික දේශගුණ රටාවෙන් ඉදිරි මාස තුන හතර වෙනස්වන්නේ කෙසේදැයි එම අනාවැකි වලින් පෙන්වාදී තිබෙන අතර, එයට අනුකූලව ආරම්භයේදී පටන්ම වී වගාවේ වුවද අනුගමනය කලයුතු ක්‍රියාකාරකම් ගැනද ඉතා විස්තරාත්මකව එහිදී සඳහන් කෙරේ. මෙහිදී බලධාරීන් පෙන්වා දෙන්නේ තිබෙන ජල ප්‍රමාණය අපතේ නොයවා උපරිම වශයෙන් ගොවිතැන වෙනුවෙන්ම භාවිතා කළහැකි උපාය මාර්ගයන්ය. ගොවිතැනේ නියැලෙන්නන්, දිනපතා රූපවාහිනියෙන් ඇසෙන කාලගුණ අනාවැකියට වඩා, වගා කන්නයක් පුරාවටම වලංගු මෙම අනාවැකියට වැඩිපුර ගරුකළ යුතුව තිබේ. පසුගිය දිනවල කෘෂිකර්මයේ ඇත්තන් නිකුත් කල අනාවැකි මගින් වැඩිපුර බර තබා තිබුනේ බලාපොරොත්තු මට්ටමකට වැසි නොලැබෙන තත්වයක් වෙතටය. ගොඩබෝග වගා කිරීමේදී අනුගමනය කලයුතු ජල කළමනාකරණ උපදෙස් වැලක්ද පුරෝකථන වාර්තාවටම අමුණා තිබිණ. කලදුටු කල වල ඉහගැනීමට මෙන් ආම්පන්න කට්ටල කීපයකුත් සමග ගම්මුන් හමුවෙන්නට අමුත්තන් ආවේත් මේ නිසාම වන්නට පුළුවන.

අහිතක් නොසිතන්න. ඒ පැමිණීම කිසි විටෙකත් අප අවතක්සේරු නොකරන්නෙමු. මේ ගමන රජයේ ආයතනයන්ට පමණක් තනිව යා හැකි ගමනක් නොවේ. පෞද්ගලික අංශයේ දායකත්වය ඉඹලා පිළිගත පිළිගත යුත්තේ ඒ නිසාවෙනි. ගෘහස්ත මට්ටමමේදී නම් යම් තරමක ජල කළමනාකරණයක් කිසිවෙකුගේ මෙහෙයවීමකින් හෝ උපදෙස් දීමකින් තොරව, ස්වයං පාලනයකින්ම ක්‍රියාත්මක වන්නේ ගිල දමන වතුර උගුර වෙනුවෙන් පවා ජල මීටරය කරකැවෙන බැවිනි. එහෙත් ගොවිතැනට එන ජලයේ මීටර නැත. කළමනාකරණ පාඩම රජයේ අනුග්‍රහයෙන් පුන පුනා කියා දිය යුත්තේත්, පුද්ගලික ව්‍යාපාරිකයින් පිරිමැසුම්දායී මෙවලම් ගොවීනට සැපයිය යුත්තේත් එබැවිනි.

“ජල සම්පාදන ක්‍රම බෝග සමග වෙනස් වෙනවා. වී වගාවේ නම් කුඹුර මඩකරන නිසා එය කොහොමත් මතුපිට ජල සම්පාදනය තමයි. නමුත් ගොඩ බෝග වලට ජලය සැපයීමේදී පෙරදී භාවිතා කල අගල් නොහොත් කානු දිගේ වතුර ගෙනිහිල්ල පාත්ති වලට හරවන මතුපිට ජල සම්පාදන ක්‍රමය දැන් කරන එක සුදුසු නෑ. එතනදී අපි තෙමන්නේ බෝගය නෙවෙයි. පස. මෙය ඉතාම නාස්තිකාරී ක්‍රමයක්. ලොකු ජල ප්‍රමාණයක් අපතේ යනවා.”

            වාරි ජලය ලැබෙන වියලි කලාපීය ගොවියාගේ ජල සම්පාදන ක්‍රමවේදයන් කාලයට අනුකූලව ප්‍රතිසංවිධානය විය යුතු බව පෙන්වා දෙමින් කතා කලේ, මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ජල කළමනාකරණ පර්යේෂණ පිලිබඳ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ චමිල පෙරේරා මහතාය.

ඔහු කියන ආකාරයට ජල කළමනාකරණයට, ජල සම්පාදනයත් ජල වහනයත් යන දෙකම අයත්වේ. ජල වහනය යනුවෙන් අදහස් කරන්නේ පොළොවට වැටුණු ජලය ඒ මත හෝ තුල බෙදී පැතිරී යන ආකාරයයි. ගොවිතැනේදී බෝගය සිටුවීමට පෙරදීම, එනම් මූලික බිම් සැකසීමේදීම, ජලවහනය ගැනත් ගොවියා සිතාබලා අවසන් විය යුතුය. භූමියේ වතුර පිරුන පසු කානු කපමින් දැඟලීම අසාර්ථක ව්‍යායාමයකි. පැපොල්, දොඩම්, මිරිස්, ළූණු වැනි බෝග, රැඳී ජලයට බෙහෙවින් සංවේදී ඒවා බැවින් පැය කීපයක් තිස්සේ ජලයෙන් යටවී තිබීම පවා ඒවාට අහිතකර වන්නට පුළුවන. මේ නිසා කුඹුරු වැනි භූමියන්හි ගොඩබෝග වැවීමේදී ජලවහන තත්වය ගැන වඩාත් කල්පනාවෙන් සිතිය යුතුවේ.

වියලි කලාපීය පස මතුපිටදී පැරණි සිරිතට අනුව කෙරෙන මෙම වතුර හරවා පස තෙමා දැමීමේ ජල සම්පාදන ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාවය 30%-40% ක් අතර අගයක පවතී. එනම් 60% කට වැඩි ජල ප්‍රමාණයක් බෝගය වෙතට පැමිණීමට පෙර අතරමගදී වාෂ්පීකරණය වීම නිසා හෝ, ශාක මගින් උරා නොගෙන පස තුලට කාන්දුවීම නිසා හෝ අපතේ යයි. පරිවහනයෙදී සිදුවෙන හානිය අත්දැකීමෙන් දැන හඳුනාගත් නිසාම එය පාලනය කිරීම උදෙසා, අඟල් දෙකේ ඇල්කතීන් බට ඔස්සේ බෝගය අසලට ජලය ගෙනයාමට ගොවීන් පුරුදුවී සිටියත්,  අවසානයේ ඔහු භූමිය වෙතට ජලය මුදාහරින්නේ නම් අනුකම්පා විරහිතවය. මතුපිට පෝෂ්‍යදායී පාංශු තට්ටුවද ඇතැම්විට ගලායන ජල පහරින්ම සේදී යනු දැකිය හැකිවේ. තවමත් අපට මේ නාස්තියේ බැරෑරුම්කම අවබෝධවී නැතුවා වෙන්නටත් පුළුවන. එහෙත් ජලය ඉතාමත් සීමාකාරී සාධකයක්ව පවතින තුර්කිය, ඊශ්‍රායලය වැනි රටවල් මීට වසර බොහොමයකටම පෙර සිට පසට ජලය නොහැලීමට වග බලාගත් බව පෙනෙන්නට තිබේ. මුළු ගසම තෙමෙන පරිදි ‘වතුර මල්’ මගින් වගාවට ජලය යොදන විසිරුම් ජල තාක්ෂනයට හෝ එයටත් වඩා ජලය පිරිමසන ක්‍රමයක් වන බිංදු ජල තාක්ෂණයට හෝ ඔවුන් අවතීර්ණ වුයේ මෙහි ප්‍රතිපලයක් වශයෙන්ය.

ගමට පැමිණි අමුත්තන් රැගෙන විත් තිබුනේද නවීන තාක්ෂණයේ යයි කියාගන්නා මෙවැනි උපකරණ කට්ටලයන්ය. වෙළෙන්දාගේ කාර්යය බඩු විකිණීමයි. නග්න දෙපතුල් දුටු තැන ඔහු සැරසෙන්නේ එය පාවහන් යුගලකින් සරසන්නටය. එහෙත් ඉන් සැරසී දෙපා තබා යා යුත්තේ ගොඩේද, මඩේද, වතුරේද කියා වෙළෙන්දාට නිනව්වක් නැත. අමුත්තන් රැගෙනවිත් තිබූ ක්‍ෂුද්‍ර ජල සම්පාදන වශයෙන් අප මෙතැන් සිට හඳුන්වනු ලබන මෙවෙලම් වුවත් ගොවීනට ලබාදිය යුත්තේ සෙරෙප්පු කතාවේදී කීවාසේ, භාවිතා කරන්නේ කොතැනද, කුමකටද යන්න හොඳින් විපරම් කිරීමෙන් පසුවය.‘දේසේ හැටියට වාසේ’ කියා පැරැන්නන් පවා මෙය තේරුම් ගෙන තිබුණි. මේවා නව තාක්ෂනය බව සැබෑය. එහෙත් එය නියම විධියට දුන්නේ නැත්නම් ගොවියාටම එපාවී ලත් තැනම ලොප් වී යා හැකිය. නැතහොත් ඔහු අතින් අවභාවිතයට ලක්වී, ක්‍රමයෙන් ගොවි ජනතාව අතින්ම ප්‍රතික්ෂේප වීමක් වුවද සිදුවීමට ඉඩ ඇත.

මැදිහත්කරුවෙකු වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමමේන්තුවේ සේවය ගොවියා අබියසට පැමිණිය යුත්තේ මෙන්න මේ වෙලාවටය. චමිල ලාගේ අදහස් ගමට පැමිණි අමුත්තන්ගේ කියමන් සමග සංකලනය වී ගොවි දෙසවනට කාන්දු විය යුත්තේද මේ තත්වය යටතේදීය. අතීත උරුමය ඔස්සේ අපට කෙතරම් පැරණි කාර්යක්ෂම වාරි ශිෂ්ඨාචාරයක් හිමිව තිබූවත්, විපරිත පරිසරයේ හිතුවක්කාර කාලගුණය මෙල්ල කරන්නට නම්, මෙම විද්වත් මැදිහත්වීම අත්‍යවශ්‍ය සාධකයක් වේ.

            “හෝස් බටේකින් ගහ මුලට වතුර දාන ක්‍රමයේ තව පියවරක් ඉදිරියට ගිය තත්වය තමයි ‘වතුර මල්’ මගින් උඩින් ඉසීම. ගොවීන් මේ ක්‍රමයට කැමතියි. පැලයේ ඉහල ඉඳලාම තෙමෙන නිසා ඒ අයගේ හිතටත් සතුටක් තියෙනවා වගාවට හොඳට වතුර ලැබුන කියලා. කෘතීම වැස්සක් ආකාරයෙන් ජලය ලැබීම පලිබෝධ මර්දනයටත් උදව් කරගත හැකියි. මිරිස් වල සුදුමැස්සා පාලනයට මේ ක්‍රමය උදව් වෙනවා. උදේ කාලය තුල ‘වතුර මල්’ වැඩකලොත් හුළඟ අඩු නිසා ජල හානියත් අඩුයි. දහවලට ගොඩනැගෙන පාංශු උෂ්ණත්වයත් සමනය වෙනවා.”

            චමිල පෙරේරා එසේ පැහැදිලි කරන්නේ ‘වතුර මල්’ ක්‍රමයේ ප්‍රතිලාභයන්ය. බිම දිගේ වතුර ගෙනගොස් වගාවට ජල සම්පාදනය කරද්දී තිබෙන 30%-40% කාර්යක්ෂමතාවය, ‘වතුර මල්’ ක්‍රමය වෙතට යනවිට 60%-70% ක් තරමට උසස් වී ඇති බව ඔහු ගේ අදහසයි. දියුණු රටවල ‘වතුර මල’ මගින් වාරි ජලය බෙදාහරින අතර තුර එම ජල ප්‍රභවයට මිශ්‍රකර පලිබෝධනාෂකද බෝගයට ඉසින බව අප අමතක කලයුතු නොවේ. ඇතැම් විට දියර පොහොර වර්ගද ඒ සමග යවනු ලබයි. පිටේ එල්ලාගත් තෙල් ටැංකියෙන්වත්, ඇඟේ හලාගන්නේ නැතිව වස දියර ටික ඉහ ගන්නට සංයමයක් නැති අපේ ඇත්තෝ දැන්ම ඒ ගැන විපරම් නොකලාට කමක් නැත. අවස්ථාවේ හැටියට වතුර ටික බෙදා ගත්තත් ඇති වාගේය.

“ඔන්න ඔතන තමයි මම කිව්වේ මේ ක්‍රම වල අවභාවිතය කියල. එක ගලකින් කුරුල්ලෝ දෙතුන් දෙනෙක් හෙලා ගන්න තිබෙන අවස්ථා අපි භාවිතයට ගන්නේ නෑ”

            චමිල ගේ නෝක්කාඩුව සාධාරණය. අප තාක්ෂනය දෙස බලන්නේ බිය සැක මුසු බැල්මකිනි. ඒ නිසාම එයට අවතීර්ණ වීමේදී ඇති අස්ථාවර භාවය නිසා වරදින අවස්ථාද වැඩිය. ඉන්දියානුවන්ට අපට වඩා ජලයේ වටිනාකම මේ වන විට දැනී තිබේ. ඒ නිසා ඔවුන් ‘වතුර මලෙන්’ කෙරෙනා විසිරුම් වාරි රටාවෙන්ද ඉදිරියට ගොස් දැන් නැවතී ඇත්තේ බිංදු ජල තාක්ෂනය සමගයි. ඒ මගින් පැලෑටිය මුලට වතුර දමන්නේ බිංදුවෙන් බිංදුව නිසා අපතේ යාමක් නැති තරම්ය. ගණනය කිරීම් වලට අනුව ජල සම්පාදන කාර්යක්ෂමතාවය 90% ක් පමණ වේ. වතුර බේරෙන්න ගහකොළ නොතෙමුනාට, පොලොව මඩවෙන්න වතුර නොහැලුනාට වගාවට අවශ්‍ය මුළු ජල ප්‍රමාණය බිංදුවෙන් බිංදුව හෝ ලැබී තිබේ.

“වියලි කලාපයේ වතුරේ බොහෝ තැන් වල තිබෙන්නේ කිවුල් ජලය. වගා ළිං වලින් ජලය ගැනීමේදී මේ තත්වය ප්‍රබලයි. බිංදු ජලසම්පාදන උපකරණ ටික දිනක් යද්දී මේ නිසා අවහිර වෙලා ජල කාන්දුව අඩපන වෙනවා. එතකොට උපකරණයට බැනල වැඩක් නෑ. ගොවීනට මේවා බෙදන අය ඇතැම්විට මේ ටික කියන්නේ නෑ. තවත් දෙයක් තමයි ප්‍රධාන නලයෙන් පැලවෙතට යන කුඩා නල හෙවත් ‘විසර්ජක’ පිටතින් ගලවා පිරිසිදු කර නැවත සවිකළ හැකි තත්වයේ ඒවා විය යුතුයි. එතකොට තමයි පද්ධතියට දිගුකාලීන පැවැත්මක් තිබෙන්නේ. එක ගමක, එක තැනක මෙවැනි කට්ටලයක් සාර්ථකව ටික කලක් වැඩ කෙරුවොත්, අනෙකුත් ගොවීන්ටත් එය ඕනෑ වෙනවා. ඒ නිසා තමයි හඳුන්වාදීමේදී වගාබිම ගැනත්, හොඳ අවබෝධයකින් හඳුන්වාදීම කලයුත්තේ. වැරදි උපකරණය වැරදි තැනකට හඳුන්වල දුන්නොත් බිස්නස් එකත් එතැනින්ම ඉවරයි.”

            චමිල පෙරේරාගේ අදහස නම් බිංදු ජල පද්ධතියක් දරන්නෙකු වගාවට පොහොර දැමීමද ඒ හරහා කරන්නට උනන්දු විය යුතු බවයි. එතනින් නවතින්නටද ඔහුගේ සූදානමක් නැති බව පෙනේ. මෙවැනි සූක්ෂම ජල සැපයුමකදී අනිවාර්යයෙන්ම විදුලි බලය හෝ ඉන්ධන වැයවීමක් ඇති බව පෙන්වන ඔහු ඒ වෙනුවට සූර්ය බල ශක්තියද ඈඳා ගතයුතු බව යෝජනා කරන්නේය. ජලය පොම්පකිරීමට සූර්ය ශක්තිය යොදා ගැනීම දැන් ලොව පුරා ප්‍රචලිත ක්‍රමවේදයක් බැවිනි.

            මීට වසර 60 කට පමණ පෙර ඇමරිකාවේ විසූ ඉංජිනේරුවෙකු, නිමැවුම්කරුවෙකු වශයෙන් නමක් දිනාසිටි චාර්ස් ෆ්රෑන්ක්ලින් කෙටරින් කල ප්‍රකාශයක් මගේ මතකයට නැගේ. ඔහු විවිධ නිපැයුම් වෙනුවෙන් ලැබූ පේටන්ට් බලපත්‍ර 186 ක හිමිකරුවෙකි. තාක්‍ෂණය අද මෙන් දියුණු නැති එකලදී වුවත් ඔහු පැවසුවේ තත්පරයකින් පහෙන් එකක කාලයකින් ලොව කොතැනකට හෝ පණිවිඩයක් යැවිය හැකි වුවත්, එය මිනිසාගේ හිස මත සිට ඇතුලට යැවීමට අවුරුදු ගණනක් ගතවිය හැකි බවයි. ජල පිරිමැස්ම වෙනුවෙන් ජනිතවූ නව තාක්ෂණයේ පණිවිඩයට එසේ නොවන්නේ නම් අගනේය. පණිවිඩය මේ වන විටත් ගොවියාගේ හිස මතය. දිය පොදක් ඉල්ලා මලානික පැලෑටි නගන විලාපය අපට ඇසෙන්නට පෙර, එය ගොවියාගේ හිස තුලට කාන්දු වන්නේ නම් සදෙව්ලොවද එතැනය.

සනත් එම්. බණ්ඩාර

B.Sc.(Botany), M.Sc. (Systematic Botany) UPLB​Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

Recommended For You

About the Author: Editor