දියවැඩියාව, මව් කුසේ දරුවාටත් බලපාන හැටි!

කාන්තාවන් දියවැඩියා රෝගයෙන් පෙළීම අජීවී දරු උපත්වලට ප්‍රධාන හේතුවක් විය හැකි බව අලුත්ම සමීක්ෂණයකින් හෙළි වී ඇත.

දියවැඩියාවෙන් පීඩා විඳින මවක් අජීවී දරුවකු බිහි කිරීමට ඇති ඉඩකඩ, නිරෝගී මවක් අජීවී දරුවකු බිරු කිරීමට වඩා හතර ගුණයකටත් වඩා අධික මට්ටමක පවතින බව එම සමීක්‍ෂණ වාර්තාව පවසයි.

ගර්භනී සමයෙහි කාන්තාවකගේ රුධිරයේ සීනි මට්ටම අධි මාත්‍රාවක පැවැත්ම අජීවී දරු උපත්වලට හේතු වියහැකි අනතුරුදායක කාරණයක් බවත් එම වාර්තාවේ දැක්වෙයි.

ඉහත කී සමීක්ෂණය සිදුකළ ‘ග්ලාස්ගෝ’ සරසවියේ පර්යේෂකයන් ස්කොට්ලන්තයේ දියවැඩියාවෙන් පෙළෙන මව්වරුන් හාර දහසකට ආසන්න සංඛ්‍යාවක වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන ඇත.

දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවන්ගේ උසට සරිලන බර දැක්වෙන දර්ශකය (BMI) මෙහිදී ඉතා තීරණාත්මක කාරණයක් වන බවත් සමීක්ෂකයෝ පෙන්වා දෙති.

දියවැඩියාව සහිත මව්වරුන් විසින් ප්‍රසූත කරන ලද එවැනි අජීවී බිළිඳු උපත්වලින් තුනෙන් එකක්ම වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ කරන ලද කාල පූර්ණයත් සමඟ සිදුව ඇති බවත් එම සමීක්ෂකයන් විසින් සොයාගනු ලැබ ඇත.

“දරුවන් ප්‍රසූත කරනු ලැබීම සඳහා කාන්තාවන්ට ඇති හොඳම කාලය තුළ (එය වයස අවුරුදු විස්ස සහ තිස්පහ අතර කාලය යයි සැලකෙයි) ශරීරයේ බර සහ රුධිරයේ සීනි මට්ටම ශුභවාදී තත්වයක පවත්වා ගැනීම සඳහා හොඳම ක්‍රමෝපායයන් හඳුන්වා දීම අතින් සෞඛ්‍ය සත්කාරක වෘත්තිකයන් විධියට අපට තීරණාත්මක වගකීමක් පැවරෙනවා. එවැනි පසුබිමක් තුළ කාන්තාවක් සැලසුම් සහගතව හෝ එසේ නැතිව ගැබ් ගත්තොත්, ඔවුන් ඊට මුහුණ දීමට හොඳ තත්වයකයි ඉන්නේ. එතකොට අසතුටුදායක ප්‍රතිපල සඳහා ඇති අවදානම අවම කර ගන්න පුළුවන් වෙනවා” ග්ලාස්ගෝ සරසවි සමීක්ෂණයේ නියමුවරිය වන වෛද්‍ය ෂරෝන් මැකින් (Dr Sharon Mackin) පවසයි.

“දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවන් මෙය සිතේ තබා ගැනීම වැදගත්. ඉක්මනින් පිළිසිඳ ගැනීමක් ගැන සැලැස්මක් නොමැති තත්වයක් යටතේ වුනත්, ඔවුන්ට දරු ගැබක් පිළිසිඳ ගැනීමට පෙර සුදුසු සායනික උපදෙස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා” වෛද්‍ය ෂරෝන් මැකින් වැඩිදුරටත් සඳහන් කරයි.

වෛද්‍යවරිය තවදුරටත් මෙසේ උපදෙස් සපයයි.

“දියවැඩියා රෝගය සහිත කාන්තාවන් ඔවුන්ගේ සායනවලට යා යුතුයි. ඔවුන් ගැබ් ගෙන ඇති බව තහවුරු වූ වහාම අපට ඔවුන් පරීක්ෂා කරලා කල්තබාම උදව් වෙන්න පුළුවන්”

පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ දරු ප්‍රසූත දහසක අජීවී දරු උපත් අනුපාතය 16.1 ක් විය.

1998 සහ 2016 අතර කාලය තුළ ස්කොට්ලන්තයේ මව්වරුන් 3,847 දෙනෙකු විසින් ප්‍රසූත කරන ලද බිළිඳුන් 5,392 ක් ‘ග්ලාස්ගෝ’ සරසවි සමීක්ෂකයන් විසින් හඳුනා ගනු ලැබ ඇත.

ඔවුන්ගේ නිරීක්ෂණ අනුව,නිරෝගී මවරුන්ට සාපේක්ෂව, පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත මවක් සජීවී බිළිඳකු ප්‍රශූත කිරීමට වඩා අජීවී බිළිඳකු ප්‍රසූත කිරීමට ඇති ඉඩකඩ තුන් ගුණයකටත් වඩා වැඩි අතර, දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත මවක් අජීවී බිළිඳකු ප්‍රශූත කිරීමට ඇති ඉඩකඩ යටත් පිරිසෙන් එහි හතර ගුණයක් වෙයි.

පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ දරු ප්‍රසූතීන් දහසක අජීවී දරු උපත් අනුපාතය 16.1 ක් විය.

ඒ අතර, දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ දරු ප්‍රසූතීන් දහසක අජීවී දරු උපත් අනුපාතය 22.9 ක් විය.

පොදුවේ සමස්ත මව්වරුන්ගේ ප්‍රසූතීන් සංඛ්‍යාව ගත්විට දරු උපත් දහසකට අජීවී දරු උපත් අනුපාතය දහසකට 4.9 ක් විය.

අජීවී දරුවන් ප්‍රසූත කළ පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත කාන්තාවන් ඔවුන්ගේ ගර්භනී කාලය පුරාම රුධිරයෙහි පැවතිය යුතු සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා සීනි පැවති අය වෙති.

ඒ අතරම, ගැබ් ගැනීමට පෙර රුධිරයේ සීනි මට්ටම දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ අජීවී දරු ප්‍රසූතීන් පිළිබඳව වඩාත් වැදගත් පුරෝකථනයක් වෙයි.

වැඩිම බර සහ අඩුම බර සහිත දරු උපත් ඉතා දැඩි අනතුරුදායක තත්වයක වූ බව ‘Diabetologia’ සඟරාවේ පළ කරනු ලැබ ඇති සමීක්‍ෂණ වාර්තාවෙන් කියැවෙයි.

එක්සත් රාජධානියේ දියවැඩියා ආයතනයේ (Diabetes UK) පර්යේෂණ සන්නිවේදන අංශයේ ප්‍රධානී වෛද්‍ය එමිලි බර්න්ස් (Dr Emily Burns) මෙසේ පවසන්නීය.

ගැබිණි මව්වරුන් රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමේ වැදගත්කම

“දියවැඩියාවෙන් පෙළෙන බොහෝ මව්වරුන් ගර්භනී කාලයේ සෞඛ්‍ය සම්පන්නව සිටින අතර, නිරෝගී දරුවන් ප්‍රසූත කරනවා. ඒත් මේ සමීක්‍ෂණ ප්‍රතිපලය මගින් වැදගත් කරුණක් යලිත් පෙන්වා දෙනවා. ඒක තමයි, දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවන් ගැබ් ගැනීමක් බලාපොරොත්තු වෙනවනම්,රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කර ගැනීමට එම කාන්තාවන්ට උදව් වීමේ වැදගත්කම.සංකීර්ණ තත්වයක් ඇතිවීමේ අන්තරාය අවම කර ගැනීමට එවැනි වැඩ පිළිවෙලක් අවශ්‍යයි”

“දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත අධි ස්ථූලභාවයෙන් යුක්ත කාන්තාවන්ගේ එම අතිරේක බර අඩුකර ගැනීමත් ප්‍රසූතයේ දී නරක ප්‍රතිපල අවම කර ගැනීමට ඉවහල් වෙන බව සමීක්ෂණය මගින් පෙන්වා දී තිබෙනවා” වෛද්‍ය එමිලි බර්න්ස් (Dr Emily Burns) සඳහන් කරයි.

වෛද්‍යවරිය වැඩිදුරටත් මෙලෙස පවසන්නීය.

“ගර්භනී සමයෙහි ගැටලු සහගතභාවයන් අතින් වැඩිම අනතුරුදායක මට්ටමක පසුවන්නේ කවුරුන්ද යන්න සහ වැඩියෙන්ම උදව් අවශ්‍ය කරන අයට සහයෝගය දීම සහතික කර ගැනීමට වඩාත් හොඳ ක්‍රමවේදයක් සොයා ගැනීමට පර්යේෂණ කළ යුතුව තියෙනවා”

Full test copied by BBC Sandesaya, 2019 අගෝස්තු 3

Recommended For You

About the Author: Editor