BOC තරුණ ව්‍යවසායකයන් 1000ක් බිහිකිරීමේ සන්ධිස්ථානය කරා ළඟාවෙමින් සිටියි

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම ක්‍රියාවට නංවන රාජ්‍ය අංශයේ ප්‍රමුඛතම බැංකු වන ලංකා බැංකුව තරුණ ව්‍යවසායකයින් දහසක් බිහිකිරීමේ සුවිශේෂී සන්ධිස්ථානය වෙත මේ වනවිට කඩිනමින් ළඟාවෙමින් සිටින බව වාර්තා වේ.

කුඩා පරිමාණ තරුණ ව්‍යවසායකයින් නගාසිටුවමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරවීම අරමුණ කරගත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම යටතේ ක්‍රියාත්මක වන ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මඟින් මේ වනවිට තරුණ ව්‍යවසායකයින් 948 දෙනෙකුට ව්‍යවසායක ණය ලබාදීමට සමත් වී ඇත.

මෙම ව්‍යවසායකයින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන අතර ඒ අනුව රුපියල් මිලියන 386 කට අධික මුදලක් මෙම ව්‍යවසායකයින් අතර ලබාදී ඇත. 2019 අගෝස්තු 13 වැනිදා ණය යෝජනා ක්‍රමය පිළිබඳව ලංකා බැංකුව මඟින් නිකුත් කළ නවතම ප්‍රගති සමාලෝචන වාර්තාව හරහා මෙම තොරතුරු අනාවරණය වේ.

මෙම ණය යෝජනා ක්‍රමය දිවයිනේ දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් ණය ලබාදී ඇත. සියලුම දිස්ත්‍රික්ක හා පළාත්වල තරුණ ව්‍යවසායකයින් අතර ණය ලබාදී ඇති අතර දිස්ත්‍රික් මට්ටමින් සහ පළාත් මට්ටමින් ණය ලබාදීමේදී රත්නපුර දිස්ත්‍රික්කය සහ සබරගමුව පළාත විසින් පිළිවෙළින් ණය 130 ක් සහ 162 ක් බෙදා දී ඇත.

උතුරු පළාත දෙවැනියට වැඩිම ණය ලබාදීමක් සිදුකර ඇති පළාත වන අතර එම සංඛ්‍යාව 148 කි. එසේම, උතුරු පළාත තුළ ණය ලබාදීමේදී ඉදිරියෙන්ම සිටින දිස්ත්‍රික්කය වන්නේ යාපනයයි. “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය දිවයින පුරා ව්‍යවසායකයින් 1000 ක් බිහිකරලීමේ සන්ධිස්ථානය කරා ළඟා වෙමින් පවතින අතර “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබන කාන්තා ව්‍යවසායකයින්ගේ ප්‍රතිශතය ආරම්භයේ සිටම ඉහළම මට්ටමක පැවතිණි.

ලංකා බැංකුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇතුළුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි මැදිහත් වීම මත මෙම ණය යෝජනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැළී සිටින සහ වයස වසර 40 කට නොවැඩි තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම් ඇපකරුවන් / රහිතව හෝ ලිහිල් ඇප සහිතව අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි. දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

Recommended For You

About the Author: Editor