ජාතික භෞතික සැලසුම දඩමීමා කරගෙන පට්ටපල් බොරු තක්කඩි දේශපාලන ප්‍රචාරයක් සිදුවෙනවා – ඇමති චම්පික රණවක

මේකට ඇමරිකන් සැලසුමක් කියනවා නම් කියන්න තිබෙන්නේ එක්කෝ අන්තිම වංචනිකයෙකුට, නැතිනම් කිසිම දෙයක් නොදන්න මෝඩයෙකුට

මිනිස්සුන්ට බොරු බිල්ලෝ හදලා මිනිස්සු බය කරලා ඒ මත තමන් වීරයෝ වෙන්න දඟලන ඇතැම් අය ඉන්නවා

මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ ජාතික භෞතික සැලසුම පිළිබඳව අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

මහාමාර්ග, වාරිමාර්ග, ජලසම්පාදන, බලශක්ති, නාගරික සංවර්ධන ආදී රටේ  ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් මෙම ජාතික භෞතික සැලසුමට අනුකූළව තමයි සිදුවෙන්නේ. ඒවගේම නොයෙකුත් ව්‍යාපෘති සඳහා රජය, මුදල් අමාත්‍යාංශය, ලෝක බැංකුව ආදී ආයතන මගින් ආයෝජන සිදු කරනු ලබන්නේ මෙම ජාතික භෞතික සැළසුමට අනුකූලවයි. මෙම ජාතික භෞතික සැලසුම ලංකාවේ සිටින සෑම ක්‍ෂෙත‍්‍රයකම විශේෂඥ සහය ලබාගෙන, පාරිසරික, නාගරික, ජනගහනයේ උගත්කම ආදිය සහ අනාගත ආර්ථික වර්ධනය අභිලාෂ කරගෙන තමයි මෙය නිර්මාණය කර තිබෙන්නේ.  

මෙම ජාතික භෞතික සැළසුමේ කොටස් බොහොමයක් අපි සිදු කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාත සඳහා මහානගර සැලසුම නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම නැගෙනහිර වෙරළ කලාපයේ ති‍්‍රකුණාමලය අවට ප‍්‍රදේශය සඳහා එවැනිම සුවිශේෂී ජාතික භෞතික සැලසුමක් නිර්මාණය කර තිබෙනවා. ඒ කියන්නේ සුවිශේෂී සැලසුමක්. ඒ වගේම පරිසර ඇගයීමේ කි‍්‍රයාවලියකුත් එම කලාපයට සිදු කර තිබෙනවා.

මෙම දිනවල අපි විසින් සිදුකරගෙන යනවා හම්බන්තොට ඇතුළු ඇඹිලිපිටිය, තිස්සමහාරාමය අවට කලාපය සඳහා අවශ්‍ය කරන එම විධිමත් නාගරිකරණ සැලසුම. ඒ වගේම අප තෝරාගෙන තිබෙනවා යාපනය, අනුරාධපුර, මහනුවර දැනට සිදු කරගෙනය යනවා උපාය මාර්ගික නගර සංවර්ධනය ගාල්ල ආදි ප‍්‍රදේශවල.  ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා කුරුණෑගල දඹුල්ල, ති‍්‍රකුණාමලය ඒ සඳහා තෝරා ගන්න. රත්නපුර, මාතර, වැල්ලවාය, ඇඹිලිපිටිය වගේම වාලච්චේන සිට අම්පාර දක්වා වූ කලාපයත් ඒ විදිහට කරගෙන යන්න. ඒ අනුව තමයි අනාගතයේ රජයක් ආයෝජන කළ යුත්තේ. සැලසුමකට අනුව වැඩ කරනවා නම් අසංවිධාත්මක නැතිව වැය කරනවා නම් ණය බර නැතිව වෙනවා නම් මේක තමයි සැලසුම.

නමුත් මේ රටේ  අපි දැක තිබෙනවා මේ ජාතික භෞතික සැලසුම දඩමීමා කරගෙන තක්කඩි දේශපාලන  ප‍්‍රචාරකයන් කිහිප දෙනෙක් යම් යම් ප‍්‍රචාර නිකුත් කරනවා. එකක් තමයි මේ සැලසුම ඇමරිකා එක්සත් ජනපදයේ සැලසුමක් කියන එක. එය පට්ටපල් බොරුවක්. මේ සැලසුම සම්පූර්ණයෙන්ම දේශීය විශේෂඥයෝ   විසින් සකස් කරන ලද දෙයක්.

එකක් තමයි මේ ති‍්‍රකුණාමලය විකුණන්න යනවයි කියලා කියනවා. ඇත්තටම මේ රටේ ති‍්‍රකුණාමලය නොහොත් අතීතර ගෝකන්න ලෝකයට විවෘත කළේ පරාක‍්‍රමබාහු රජතුමා සහ විජයබාහු රජතුමා. පොළොන්නරුවේ රාජ්‍යය පිහිටුවීමෙන් පසුව රටේ අගනගරය පොළොන්නරුවට ගෙනල්ලා මේ ආර්ථික කලාපය ගැන අදහස ඇති කර ගත්තේ එතුමන්ලා. ඒ නිසා තමයි කුරුණෑගල, පඬුවස්නුවර, දඹුල්ල ආදී ප‍්‍රදේශවල බලගතු රාජධානි ඇති වුණේ.

මේ කලාපයේ අපි ති‍්‍රකුණාමලය ගත්තහම ඒ හරහා බෙංගලිබොක්ක අවට කලාපය අති විශාල ආර්ථික කලාපයක් දැන් දියුණු වෙමින් තිබෙන. බංගලිදේශය, මියන්මාරය, ලාඕසය, කම්බෝජියාව, වියට්නාමය, කාම්බෝජියාව, චීනය ගත්තහම කුන්මින් ඇතුළු යුනෑන් ප‍්‍රාන්තය, මේ හරහා අනාගතයේ චීනයේ එක් තීරයක් එක් මාවතක් ඔස්සේ මධ්‍ය ආසියාවට යන අධිවේගී මාර්ග පද්ධතියක් තිබෙනවා.

අපි ති‍්‍රකුණාමලයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ කලාපයට ලෝකය විවෘත කරන්න. විජයභාහු රජතුමා ලෝකයට ලංකාව විවෘත කළා එම කලාපයෙන්. පරාක‍්‍රමභාහු රජතුමා විවෘත කළා එම කලාපය. නමුත් අපි ඒ පැත්ත ගැන කිසිම අවධානයක් යොමුකර නැහැ. එම නිසා අතිශය සීග‍්‍රයෙන්ම වර්ධනය වන, දියුණුවන එම ආසියාතික කලාපය බොහෝ විට බෞද්ධ අපට විශාල ලෙස සම්බන්ධිත එම කලාපය විවෘත කිරීමයි කරන්නේ. ඉතින් මේකට ඇමරිකන් සැලසුමක් කියනවා නම් කියන්න තිබෙන්නේ එක්කෝ අන්තිම වංචනිකයෙකුට, නැතිනම් කිසිම දෙයක් නොදන්න මෝඩයෙකුට. එය තමයි අප ප‍්‍රකාශ කරන්න තිබෙන්නේ.මොකද මේ හරහා අපට  මුළු නැගෙනහිර කලාපයම ති‍්‍රකුණාමලයත් සමග ගොඩනගන්න පුළුවන් පමණක් නෙමෙයි ති‍්‍රකුණාමලය කෙලින්ම සම්බන්ධ වෙනවා දඹුල්ලට සහ කුරුණෑගලට. එතකොට පරණ පඬුවස්නුවර, යාපහුව, කුරුණෑගල ඒ මුළු කලාපයට රාජ්‍යයන් සමග දියුණු උනා වගේ අපට බලගතු ලෙස දියුණු කිරීමේ හැකියාව ලැබෙනවා.

ඒ වගේම දකුණු දිග කලාපය අපි විශේෂයෙන්ම දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා අන්තර්ජාතික මුහුදු මාර්ග සහ ගුවන් මාර්ග ඇසුරු කරගෙන. මේ සියල්ල සලකා බලලා ලංකාව මධ්‍ය ආදායම් රටක සිට අධි ආදායම් රටක් කරා ගෙන යන පරමාර්ථයෙන් ඇතිකරපු දෙයක් මෙම ජාතික භෞතික සැලැස්ම. අපි සියළුම රාජ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා රටේ විද්‍යාඥයින් දෙතුන් දාහක් එකතු වෙලා නිර්මාණය කළ මෙම සැලසුම පදනම් කරගෙන ඉදිරි කාලයේ තමන්ගේ ව්‍යාපෘති සිදු කරන ලෙස. එසේ ජාතික භෞතික සැලසුමකින් නිර්ණය කරන්නේ නැතිව ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම නිසා විශාල පාරිසරික හානි විශාල මූල්‍ය හානි අපට සිදුවී තිබෙනවා.

උදාහරණයක් විදිහට මෙම ජාතික භෞතික සැලසුමින් ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කර තිබෙන දෙයක් තමයි අපගේ ප‍්‍රධාන ජනගහන කොරිඩෝව කළුතර මීගමුව හරහා ති‍්‍රකුණාමලය දක්වා සිදුවිය යුතුයි. ඒ වගේම පරිසර සංවේදී ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙන කෑගල්ල, මහනුවර, නුවරඑළිය, බදුල්ල ආදී ප‍්‍රදේශවල අති විශාල ජනගහණයක් පදිංචි වීමෙන් අනාගතයේ විශාල පාරිසරික ගැටළු පැණ නගින්න නියමිතයි. මොකද ඒවා නාය යෑම්වලට ගොදුරු වෙනවා. ඒවගේම ඒවයේ තිබෙන ජල පෝෂක ප‍්‍රදේශ විනාශ වෙනවා. ඒ නිසා හැකිතාක් දුරට ජනගහණය අනෙක් කලාපවලට යොමු කිරීම තමයි රටේ පරිසර ආරක්‍ෂාව පැත්තෙන්, ජල ආරක්‍ෂාව පැත්තෙන් උචිත වෙන්නේ කියන එක තමයි අපේ අදහස. ඒ නිසා ඊට ගැලපෙන විදිහට අපගේ සියළුම මහාමාර්ග, දුම්රිය මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් සිදුවිය යුතුයි කියන එක තමයි අපි අදහස් කරන්නේ.

ඊ ළඟට ආදායම් උපදවිය යුතුයි. කැලෑවල පාරවල් කාපට් කළාට, ගම්මානවල ඡන්ද ගැනම හිතලා වැඩ කළාට වැඩක් නැහැ මෙම ජාතික භෞතික සැලසුමට අනුව මහා මාර්ග පද්ධති සහ අනෙකුත් දෑ අපි දියුණු කළහොත් රටට ආර්ථික ප‍්‍රතිලාභ ලැබෙනවා. එහෙම නැත්නම් වෙන්නේ රට අද මුහුණ පා තිබෙන ණය තත්වයට මුහුණ දෙන එක.

ඔබතුමාලා දන්නවා ඇති ගිය අවුරුද්දේ අපේ රජයට ලැබෙන ආදායම වගේ 108% ක් ගියා ණයයි පොලියයි ගෙවන්න. මෙම වසරේදී පළවෙනි මාස 06 තුළදී භාණ්ඩාගාරයට එකතු වී තිබෙන්නේ රුපියල් බිලියන 894 යි. හැබැයි ණයයි පොලියයි තිබුණා බිලියන 1100 ක්. ඒ කියන්නේ කාටත් පැහැදිලිය ණයයි පොලියයි ගෙවා ගන්න තරම්වත් තත්වයක් අපට අද නැහැ අපේ ආදායමෙන්. හේතුව ජාතික භෞතික සැලසුමකින් තොරව තැන් තැන්වල ආයෝජනය කර මහජනතාවට එම බදුබර වැටී තිබෙන නිසා. එමනිසා අප අවධාරණය කරන්නේ රටේ විද්‍යාඥයො එයට ගැලපෙන අයුරින් සාදා තිබෙන ජාතික භෞතික සැලසුම මත ආයෝන සිදු කලා නම් මේ රටේ කිසිදු ගැටලූවක් ඇතිවෙන්නේ නැහැ කියන එක තමයි අපේ අදහස.

එම නිසා මිනිස්සුන්ට බොරු බිල්ලෝ හදලා මිනිස්සු බය කරලා ඒ මත තමන් වීරයෝ වෙන්න දඟලන ඇතැම් අය ඉන්නවා. මම දැක තිබෙනවා සමහරු කියනවා සීගිරියත් මෙම කොරිඩෝවේ තිබෙන නිසා ඇමරිකාවට විකුණන්න යනවා කියලා. මේවා පට්ටපල් බොරු. මෙය මෙරටේ විද්‍යාඥයෝ නිර්මාණය කළ ඒවා. ඔය බොරු චෝදනා කරන අයගේ නම් දරුපවුල් ඉන්නේ පිටරටවල. ඒ අතර තමයි මේ දේශපේ‍්‍රමී කතා පවත්වන්නේ. ඒ නිසා මෙයත් ඇමරිකා එක්සත් ජනපදයත් සමග අත්සන් කරන්න යෝජනා කර තිබෙන එම්සීසී ගිවිසුමත් අතරේ කිසිම සබඳතාවයක් නැහැ.

ඒ වගේම මේ ජාතික භෞතික සැලැස්ම අනාගතයේ කවර විදේශ ආයතනයකටත්, විදේශ ආයෝජකයෙකුටත් ඒ වගේම ජාත්‍යන්තර ණය දෙන ආයතනවලටත්, රජයටත් හැම කෙනාටම වැදගත් මාර්ගෝපදෙශයක්. ඒ මත තමයි ඒ අයත් අනාගතයට ආයෝජන කරන්නේ. ලෝක බැංකුවත් ඒ මත පදනම්ව තමයි දැන් ගාල්ල, යාපනය, මහනුවර කියන නගර දියුණු කරන්න ආධාර ලබා දී තිබෙන්නේ. ප‍්‍රංශය විසින් අනුරාධපුර දියුණු කරන්න ආධාර ලබා දී තිබෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව කුරුණෑගල, දඹුල්ල සහ ති‍්‍රකුණාමලය ට ආධාර දෙන්න ඉදිරිපත් වී තිබෙනවා.

ඉදිරි කාලයේදී අප මාතර සහ රත්නපුර සිදු කරන්න ප‍්‍රංශයෙන්  ආධාර බලාපොරොත්තු වෙනවා. දැන් අපි වැඩි අවධානය යොමු කරන්නේ රත්නපුරයට වඩා ඇඹිලිපිටිය දියුණු කරන්නයි. ඒ වගේම ඌව කලාපයෙන් වැල්ලවාය නගරය තමයි අප තෝරාගෙන තිබෙන්නේ ප‍්‍රධාන නාගරික මධ්‍යස්ථානය හැටියට. ඒ වගේ යම් යම් වෙනස්කම් ප‍්‍රමුඛතා තිබෙනවා අපි දකින විදිහට මෙම තිබෙන සම්පත් අනුව සිදු කළ යුතු දේවල් ලෙස. මෙහි කිසිම කුමන්ත‍්‍රණයක් හෝ කිසිම විදේශීය විශේෂඥයෙක් මේ සඳහා සම්බන්ධ වී නැහැ. මේ වගේ සැලසුමක් විදේශ අරමුදල්වලින් සිදු කරනවා නම්  අඩුම ගණනේ ඩොලර් මිලියන 100ක 150 ක වියපැහැදමක් කරන්න සිදුවනවා. නමුත් කිසිම ධනයක් නාස්ති කරන්නේ නැතිව තමන්ගේ වගකීම මත මෙම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මෙය සිදු කිරීම ගැන අපි ස්තූවන්ත වන අතර මේ පිළිබඳව නිවැරදි වාර්තාකරණයක්  බලාපොරොත්තු වනවා’ යැයි පැවසීය.  

Recommended For You

About the Author: Editor