ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාව පුහුණු ශ්‍රමිකයන් සිටින රටක් බවට පත් කරන බව අගමැති කියයි

ආර්ථිකය නවීකරණය කර ඉදිරියට යෑම සඳහා පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම අරමුණවී තිබෙන්නේ ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාව පුහුණු ශ්‍රමිකයන් සිටින රටක් බවට පරිවර්තනය කිරීම බව පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (31) පෙරවරුවේ කුලියාපිටියේ නාරංගල්ල ප්‍රදේශයේ රුපියල් මිලියන 2500 ක් වැය කරමින් ඉදිකිරීමට යෝජිත තාක්‍ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“තාක්‍ෂණ ගුරුවරු වෙනුවෙන් අද කුලියාපිටියේ ආරම්භ කළ විද්‍යා පීඨය අධ්‍යාපනය නවීකරණය කිරීමත් ඒ තුලින් ආර්ථික නවීකරණයේ වැදගත් පියවරක් බව කිව යුතුයි.

මගේ පරමාර්ථය වී තිබෙන්නේ තව අවුරුදු 10 ක් තුළ මෙරට නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් ඇති රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමයි. කොරියාව, ජපානය වැනි රටවල නුපුහුණු ශ්‍රමිකයන් නැහැ. ඒ රටවල සියලූ ශ්‍රමිකයන් පුහුණු ශ්‍රමිකයන් බව කිව යුතුයි.

පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීමේ තවත් පියවරක් ලෙස පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ විශාලම කාර්මික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඔරුගොඩවත්තේ ආරම්භ කළා. ඉදිරි වසර කිහිපය තුළ මෙවැනි ආයතන ගණනාවක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙන බව කිව යුතුයි.

අපේ අරමුණවී තිබෙන්නේ නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට වෘත්තීය පුහුණු ශ්‍රම බලකායක් ඇති කිරීමයි.”

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එදා විද්‍යා පීඨ සංකල්පය ඇති කළ බවත් ඒ යටතේ විසිවැනි විද්‍යා පීඨය කුලියාපිටියේ අද ආරම්භ කළ බවත් එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව පසුගිය වසර කිහිපය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් විප්ලවීය වෙනසක් සිදු කළ බව පෙන්වාදුන් අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපනය සඳහා මෙතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කළ කිසිදු ආණ්ඩුවක් මෙරට බිහිවී නැති බව සිහිපත් කළේය.

Recommended For You

About the Author: Editor