SL vs Nz 20-20 තරගාවලියේදී නායක ලසිත් මාලිංගගේ සැලසුම් මෙන්න…

මාලිංග 20-20 ලෝක වාර්තාවක් අභිසය

ජාත්‍යන්තර 20-20 තරග බිමේ කඩුලු 100ක් දවාලූ පළමු පන්දු යවන්නාගේ වාර්තාව අභියෙස සිටින ලසිත් මාලිංග හෙට (සැප්. 1) නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙපිල අතර පළමු 20- 20 තරගයේ දී ශ්‍රී ලංකාවට ජය හිමි කර දෙමින් සිය වාර්තාව කරා ළඟා වනු ඇතැයි ශ්‍රී ලාංකික ක‍්‍රීඩාලෝලීන් බලාසිිටිනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර 20 – 20 තරගාවලිය හෙට (01) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ තරගාවලිය සම්බන්ධයෙන් ක‍්‍රීඩකයින් සේම පේ‍්‍රක්ෂකයින් ද ක‍්‍රීඩකට් ක‍්‍රීඩා විචාරකයින් ද දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ හේතු කිහිපයක් නිසයි.

ජයග‍්‍රහණ අහේනිය

එයින් එක් ප‍්‍රධාන කරුණක් වන්නේ ශ‍්‍රී ලංකාව පසුගිය වසරක කාලය තුළ කිසිම 20-20 තරගයක් ජයග‍්‍රහණය කර නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට විස්සයි-20 තරගයක් ජයගත්තේ පසුගිය 2018 අගෝස්තුවේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති 20-20 තරගයයි. එම තරගයේදී වුවත් ජයග‍්‍රහණය සදහා ලකුණු 99ක් ලබාගැනීමට ඕවර 16කදී කඩුළු7ක් පූජා කරන්න ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

ඒ වගේම 20-20 ශ්‍රේණිගත කිරීම් ආරම්භ වූ 2012 වසරේ සිට 2015 දක්වා යුගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රමුඛම කණ්ඩායම බවට පත්ව සිටියා. ඒත් 2016දී ශ‍්‍රී ලංකා කණ්ඩායම 20-20 ශ්‍රේණිගත කිරීම් අතර 08 වැනි තැනට පත් වුණේ නවක ඇෆ්ගනිස්ථානයට පමණක් දෙවැනි වෙමිනුයි.

අනාගත ඉරණම තීරණය වන තරගාවලියක්

මෙවැනි තත්ත්වයක් තුළ, ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් පමණක් නොව ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ද දැවැන්ත අර්බුදයක් පවතින තත්ත්වයක් තුළ හෙට ආරම්භ වන 20-20 තරගාවලියට ශ‍්‍රී ලංකාවට සුවිශේෂයි.

ඒ සමග තවත් වැදගත් කරුණක් තිබෙනවා. ඒ 2020 දී ඔස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට නියමිත ශ‍්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමේ පළමු ප‍්‍රවේශය හෙටින් ආරම්භ වීමයි. 20-20 ලෝක කුසලානයට පෙර ශ‍්‍රී ලංකාවට 20-20 තරග 19කට පමණ මුහුණ දීමට සිදුවන අතර එයින් 10ක්ම ලෝක කුසලාන සංචිතයට ‘නවක ක‍්‍රීඩකයින් හදුනාගැනීමට’ භාවිත කිරීමයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අරමුණ වන්නේ. ඉන් පසුව ලැබෙන ඉතිරි තරග 09 ස්ථාවර සංචිතයක් නම්කර ගැනීමට යොදා ගැනීමයි බලාපොරොත්තුව වන්නේ.

මේ තත්ත්වය තුළ හෙටින් ආරම්භ වන 20-20 තරගාවලිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කිහිප දෙනකුගේ ඉරණම විසදීමට ද හේතුවක් විය හැකි බව පැහැදිලි කරුණක්.

මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ගේ ආකල්ප ද යම් වෙනසකට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

පසුගිය කාලයේදී කොළඹින් පිටත තරග පැවැති අවස්ථාවල ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ පුහුණුවීම් සඳහා සහභාගී වීමේදී විවිධ ප්‍රතිපත්ති අනුගමනය කළ අතර ඇතැම් පුහුණුවීම් සැසිවලට ක්‍රීඩකයන් සහභාගි වූයේ තම තමන්ගේ මනාපය පරිදියි.

ඒත් ඊයේ (30) රාත්‍රියේ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැති පුහුණුවීමේ සැසියට සංචිතයේ ක්‍රීඩකයෝ 15 දෙනාම එක්ව සිටි බව වාර්තා වෙනවා. අපට වාර්තා වන පරිදි විවේකාගාරයේදී ක්‍රීඩකයන්ගේ හැසිරිම ද වෙනස් වෙමින් තිබෙන අතර තමන්ගේ වගකීම බාරගැනීමට ක්‍රීඩකයන්ට සිදුව තිබෙන බවක් දැකිය හැකියි.

කණ්ඩායමේ සංයුතිය

දිනේෂ් චන්දිමාල්ට

ශ්‍රී ලංකා පිල අවසන් වරට දකුණු අප්‍රිකාවේදී සහභාගි වූ 20-20 තරගාවලියට එක්වී සිටි ක්‍රීඩකයන් 9 දෙනකුම හෙට ඇරැඹෙන තරගාවලියෙන් ඉවත්කර ඇති අතර නවක ක්‍රීඩකයන්ට සහ කලෙකට පසුව කණ්ඩායමට එක්වූ ක්‍රීඩකයන්ට දස්කම් අතරට පිවිසීමට කදිම අවස්ථාවක් උදාකර දී තිබෙනවා.

අවසන් වරට 2019 මුල් භාගයේ නවසීලන්තයේදී 20-20 තරගාවලියට ක්‍රීඩා කළ කුසල් ජනිත් සමඟ ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, කසුන් රාජිත සහ ළහිරු කුමාර යළි කණ්ඩායමට එක්වී සිටින අතර වනිඳු හසරංගට සහ ළහිරු මධුසංඛට ජාතික කණ්ඩායමේ දොරටු විවර වූයේ පළමුවරටයි. මැදපෙළ ශක්තිමත් කිරීමට තෝරාගෙන සිටින ශෙහාන් ජයසූරිය අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් 20-20 තරගයකට ක්‍රීඩා කළේ 2016 ලෝක කුසලාන තරගමාලාවේදීයි.

පළපුරුදු ක්‍රීඩකයන් වන ඇන්ජෙලෝ මැතිව්ස්ට කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීම කැපී පෙනෙන අතර තිසර පෙරේරා පසුගිය කාලය තුළ අසාර්ථක වීමෙන් කණ්ඩායමේ ස්ථානය අහිමිකර ගත්තා. එහෙත් මේ දෙදෙනාම 20-20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර සිටීම විශේෂත්වයක්.

තිසර පෙරේරා අටවැනි ස්ථානයේ පසුවන අතර මැතිව්ස් 23 වැනි තැනට පත්වී සිටින අතර නැවත කණ්ඩායමට ඇතුළත්වීමට බලාපොරොත්තුවෙන් පසුවන හිටපු නායක දිනේෂ් චන්දිමාල්ටත් තවම අවස්ථාවක් ලැබී නැහැ.

20-20 නායක මාලිංග කියන කතාව

මේ තත්ත්වය තුළ 20-20 නායක ලසිත් මාලිංග අද (31) පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී තම ඉදිරි සැලසුම් සහ කණ්ඩායම ගැන ඔහුගේ ස්ථාවරය මාධ්‍ය හමුවේ පැහැදිලි කළා.

“පහුගිය කාලයේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන් දක්‍ෂතා දක්වලා තියෙන්නේ මොන ස්ථාන වලද ? ඔවුන්ගෙන් මේ තරගාවලියේදී ගන්න පුළුවන් දේ මොනවාද කියන දේ අනුව පිතිකරුවන් ලයිස්තුගත කරනවා….”

“සමහර විට ඔබ බලාපොරොත්තු නොවන ක්‍රීඩකයන් ඉදිරියට එන්නත් පුළුවන්. ඒක නිසා ආරම්භක පිතිකරුවන් හෝ ඉදිරිපෙළ පිතිකරුවන් හතර දෙනා කවුරුන්ද යන්න මේ අවස්ථාවේ කිවයුතු දෙයක් නොවෙයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගෙන් උපරිමය කණ්ඩායමට ගන්න. අපි තරගාවලියට යන්නේ ඒ සැලසුමත් එක්ක” යයිද මාලිංග කිව්වා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිතිකරුවෝ 7ක් සහ පන්දු යවන්නෝ 4ක් වශයෙන් බෙදී තිබෙනවා. පිතිකරුවන් හත් දෙනා අතරේ ඕවර 4ක් බෙදී යා යුතු අතර පන්දු යවන්නන් හතර දෙනා තෝරා ගැනීමේදී වැඩි බර වේග පන්දු යවන්නන්ටද නැතහොත් දඟ පන්දු යවන්නන්ටද යන්න අවසන් මොහොතේදී තීරණය කරන බවයි මාලිංග සදහන් කළේ.

“වැඩිපුර වේග පන්දු යවන්නකු ක්‍රීඩා කරනවාද නැත්නම් දඟ පන්දු යවන්නකු ක්‍රීඩා කරනවාද කියා අපි තවමත් තීරණය කරලා නෑ. නමුත් නවසීලන්ත කණ්ඩායම දිහා බලපුවාම, ඒ ගොල්ලන් වේග පන්දු යවන්නන්ට හොඳින් පහර දෙනවා…”

“ඒ නිසා හෙට හවස ඇවිදින් බලන්න වෙනවා තණතීරුව කොයි තරම් වේලිලා තියෙනවාද කියලා. ඒ අනුව තමයි අපට තීරණයක් ගන්න වෙන්නේ”

මාලිංග 20-20 ලෝක වාර්තාවක් අභිසය

මේ අතර ක‍්‍රීඩා විචාරකයින් පවසන්නේ 20-20 වැඩිම කඩුලුලාභියා බවට මෙම තරගාවලියේදී ලසිත් මාලිංග පත්වනු ඇති බවයි. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ අලුත්ම දත්ත අනුව පාකිස්තානයේ සහීඞ් අෆ්රීඩි 20-20 අන්තර්ජාතික කඩුළු 98ක් දවාගෙන පළමු ස්ථානයේ සිටින අතර 20-20 කඩුළු 97ක් දවාගෙන සිටින ලසිත් මාලිංග දෙවැනි ස්ථානයේ සිටිනවා. ඒ අනුව හෙටින් ආරම්භ වන තරගාවලියේදී මාලිංක තව කඩුළු දෙකක් දවා ගතහොත් වැඩිම 20-20 කඩුළුලාභියා වන අතර මෙම තරගාවලියේදී කඩුළු 3ක් දවාගත හොත් 20- 20 අන්තර්ජාතික තරගවලදී කඩුළු 100ක් දවාගන්නා පළමු පන්දු යවන්නා වීමේ ලෝක වාර්තාව ලසිත් මාලිංගට හිමිවෙනවා.

මේ ගැන මාලිංග අද පළ කළේ මෙවැනි අදහසක්,

‘‘මම කඩුළු 100ක් දවාගන්නවාද එක කඩුල්ලක් දවාගන්නවාද කියන එක වැදගත් නෑ. මොකද මගේ ක්‍රිකට් ජීවිතයේදී සෑම කඩුල්ලක්ම එක වගේ වටිනවා. ඒත් හෙට තරගයේදී මට කඩුළු 3ක් දවාගන්න පුළුවන් නම් මම හිතනවා හෙට තරගය ජයගන්න පුළුවන් කියලාත මගේ සන්ධිස්ථානවලට වඩා මට වැදගත් වෙන්නේ තරගය ජයග්‍රහණය කරන එකයි’’ මාලිංග විශ්වාසනීය ලෙස ප‍්‍රකාශ කළා.

පසුගිය ටෙස්ට් තරගාවලිය පහසුවෙන් 1/0ක් ලෙස ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වුණේ පසුගිය කාලය පුරාම මැදපෙළ පිතිකරුවන් දැක්වූ අසාර්ථකකම නිසා බව ප‍්‍රකට විවේචනයක්. මේ තත්ත්වය තුළ 20-20 තරගාවලිය ඔවුන් ද තම ස්ථාවරභාවය රැුක ගැනීමට අවස්ථාවක් වන බව කිසිදු සැකයක් නෑ.

ලංකා සංචිතය
ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්,  ජෙෂහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර සහ ළහිරු මධුෂංක

නවසිලන්ත සංචිතය
ටිම් සවුති (නායක), ටොඞ් ඇස්ටල්, ටොම් බෘස්, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම්, ලොකී ෆර්ගසන්, මාටින් ගප්ටිල්, ස්කොට් කුග්ලෙජන්, ඩැරිල් මිචෙල්, කොලින් මුන්රෝ, සෙත් රේන්ස්, මිචෙල් සෑන්ට්නර්, ටිම් සෙයිෆර්ට්, ඉෂ් සෝධි සහ රොස් ටේලර්

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor