ආර්ථිකයේ ඊයේ සහ අද ‘ඇත්ත ඇති සැටියෙන්’ මංගල හෙළි කරයි

පාර්ලිමේන්තුවේ දී 2020 වර්ෂය සඳහා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරමින්   ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කළ කථාව

ගරු කථානායකතුමනි,

මේ රටේ ජනතාව තමන්ගේ ස්වෛරී ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉතා වැදගත් ජනාධිපතිවරණයක් ආසන්න මොහොතක පාර්ලිමේන්තුව ඇමතීමට ලැබීම ගැන මම සතුටුවෙනවා.  දේශපාලන වාද විවාද මැද වුවත් රටේ ආර්ථිකය වෙනුවෙන් ඉටු කළ යුතු වැදගත් කාර්යභාරයක් මේ මොහොතේ අප වෙත පැවරිලා තියෙනවා.

සාමාන්‍යයෙන් වසරක් පාසා ඉදිරි මූල්‍ය වර්ෂයට අදාළ අයවැය වාර්තාව වසරාවසානයේ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීම වැදගත් සම්ප්‍රදායක්.  නමුත් එයට විකල්පයක් ලෙස අතුරු සම්මත ගිණුමක් මගින් කෙටි කාලයක් සඳහා මුදල් වෙන්කොට අදාළ වර්ෂයේ දී අයවැය ඉදිරිපත් කිරීම මෙයට පෙර ද සිදුකර තිබෙනවා. 

ඇත්තෙන්ම ඉතිහාසය ගත්තොත් 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම මෙහි මුල්ම අවස්ථාව ලෙස දක්වන්නට පුළුවන්.  නමුත් මෑත කාලයේ 1995, 2002, 2010 වගේම පසුගිය වර්ෂයේත් මෙවැනි අතුරු සම්මත ගිණුම් මගින් මුදල් වෙන්කර ගැනීම් සිදු කළා.  අමාත්‍ය මණ්ඩලය 2020 වසරේ මුල් මාස හතර වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර මුදල් වෙන්කර ගැනීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

පසුගිය වර්ෂයේ දී 2019 අයවැය ඉදිරිපත් කිරීමට දින කීපයක් තිබිය දී ඔක්තෝබර් 26 දින (එනම් තවත් දින තුනකින් එය වසරක් පිරෙනවා) ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයක් මගින් නීත්‍යානුකූල බලය හිමිව තිබූ අපේ රජය පෙරළා දමා බලෙන් අනීතික ආණ්ඩුවක් පිහිටුවීම සිදු කළා. 

එදා අපි දැක්කා මේ රටේ විශාල ජන බලවේගයක් ගොඩනැඟිලා ඒ කුමන්ත්‍රණකාරී දේශපාලන නායකත්වයට තමන්ගේ කූඨ සැලසුම් අකුලාගෙන යන්න සිදු වුණා.  එදා ජනතා බලයත්, අධිකරණයේ ස්වාධීන තීන්දුත් නිසා මේ රටේ ජනතාවගේ පරම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමට හැකි වුණා.  රටේ ව්‍යවස්ථාව මූලික නීතියේ පදනම බව කුමන්ත්‍රණකාරීන්ට පිළිගන්න සිදුවුණා.   

අපි එදා පාර්ලිමේන්තුවේ දී සිදු වූ ක්‍රියාදාමය යම් තරමකට නැවත මතක් කරගැනීම ඉතා වැදගත් වෙනවා.  ගරු කථානායකතුමාට එරෙහිව මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළම විශාල මැරබලයක් ක්‍රියාත්මක වුණා.  මිරිස් කුඩු ගැහුවා, පොත්වලින් ගැහුවා, දුරකථන සම්බන්ධතා කැඩුවා.    ගරු කථානායකතුමාගේ ආසනයට වතුර වත්කළා, කථානායකතුමාගේ ආසනය පෙරළා දැමුවා.  පාර්ලිමේන්තු බලයට ඉතා අමනෝඥ ආකාරයෙන් නිග්‍රහ කළා.  මටනං පුදුමයි ඒ පිරිසම අද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාව ඉදිරියේ කිඹුල් කඳුළු හෙළනවා.

නමුත් ගරු කථානායකතුමනි,

එදා ඔබතුමා පෙන්වූ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇති නොසැලෙන කැපවීමත්, පාර්ලිමේන්තුවේ අභීත නායකත්වයත්, ඒ වගේම රටේ නීතියේ ආධිපත්‍යය ජයගැනීමත් නිසා ඒ අවාසනාවන්ත කෙටි කාලපරිච්ඡේදය අතීතයේ කළු පැල්ලමක් පමණක් බවට පත්වුණා.  ඇත්තෙන්ම ඒවාට කොටස්කරුවන් වූ පිරිස් අද නැවතත් ජනතා අයිතීන් පිළිබඳ කථා කිරීම මටනං පුදුමයක්.  ඔවුන් ව්‍යවස්ථාවට අභියෝග කළා මෙන්ම ඔවුන් එදා රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල කළ බවත් අපි අමතක කරන්න නරකයි.

ඇත්තෙන්ම එදා කුමන්ත්‍රණය කරපු අය අපේ ආණ්ඩුව අවුරුදු හතරක් තිස්සේ අමාරුවෙන් ගොඩනඟා ගත් විදේශ වත්කම් ඩොලර් මිලියන 1000 ක් විතර දින 51ක දී නැතිනාස්ති වෙන තැනට කටයුතු කළා.  එදා 4% කට  ආසන්න වූ දළ දේශීය නිෂ්පාදන වර්ධනය කුමන්ත්‍රණ කාලය හමාර වන විට 1.8% ට පහළ ගියා.  රුපියල මාසයක් තුළ 3% කින් කඩාවැටුණා.  එදා රුපියල කඩාවැටෙද්දී ඒක අතින් අල්ලලා නවත්තන්න ද කියලා කුමන්ත්‍රණ ආණ්ඩුවේ ආර්ථික විශාරද බන්දුල ගුණවර්ධන ඇහුවා.   

කොහොම වුණත් අපි ඔක්තෝබර් කුමන්ත්‍රණය ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව හා නීතියට අනුව පරාද කරලා නීත්‍යානුකූල රජය නැවතත් පිහිටුවලා අතුරු සම්මත ගිණුමක් මගින් 2019 මුල් මාස 04 සඳහා මුල්‍ය වියදම් වෙනුවෙන් එදා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත්තා. 

ගරු කථානායකතුමනි මෙවරත් 2020 මුල් මාස 04 සඳහා 2020 ජනවාරි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි අතුරු සම්මත ගිණුම් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.  මා ගරු පාර්ලිමේන්තුවේ අනුමැතිය ඒ සඳහා ඉල්ලා සිටිනවා.

ගරු කථානායකතුමනි,

අපි රටක් ලෙස ඉදිරියට යාමට නම් වර්තමානයේත්, අතීතයේත් සිදු වූ දෑ කුමක්දැයි හොඳින් අවබෝධ කරගත යුතුයි.  ඉතා සාර්ථක ආර්ථික සංවර්ධන ඉලක්කයන් හඹායමින් සිටි අපගේ ආණ්ඩුවට පහුගිය අප්‍රේල් මාසයේ  අවාසනාවන්ත පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන්ගේ ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදුවුණා.  එදා අහිංසක සිවිල් ජනතාවට එරෙහිව කළ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා ජීවිත ගණනාවක් අහිමිවුණා විතරක් නෙමෙයි සමස්ත ආර්ථිකයට දැඩි කම්පනයක් ඇති කළා. 

ඇත්තෙන්ම 2019 මුල් කාර්තුවේ දී 3.7%ක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළත්, ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථික වෘද්ධියේ පසුබෑමක් ඇති වුණා.  විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කටයුතු ඇතුළු සේවා අංශවලට දැඩි පීඩනයක් ගෙන එනු ලැබුවා.  එහි සෘජු හා වක්‍රාකාර බලපෑම් රටේ ආර්ථික ක්‍රියාකාරකම් යම් මට්ටමකට අඩපණ කරන්නටත් බලපෑවා.  රාජ්‍ය ප්‍රතිපත්තිවල නිසි මැදිහත්වීමක් පාශ්චාත් පාස්කු ක්‍රියාකාරකම් නිසි ලෙස කළමනාකරණය කිරීමත් නිසා ආර්ථිකයේ සම්පූර්ණ කඩාවැටීමක් කිසිසේත් සිදුවුණේ නෑ.

විදේශ ණය ගෙවීම් පිළිබඳ විශාල බරක් අප රජය මත පැටවුණත් සාර්ථකව  එම අභියෝගයන්වලට මූණ දීමට අපට හැකියාව ලැබුණා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් සහයෝගීතා අවබෝධය මත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලියක් 2016 වසරේ සිට අපි සාර්ථකව ක්‍රියාවට නංවමින් සිටිනවා.

අප විසින් මූල්‍ය විනයක් ඇතිව දියත් කළ ප්‍රතිපත්තිමය වෙනස්කම් නිසා දශක හයකට පසු 2018 වසරේ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා වුණා. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6% ක් තරම් ඉහළ අගයක් ගත්තා.  කෙතරම් අභියෝග පැවතියත් ඉතා සාර්ථික ආර්ථික කළමනාකරණයක් යටතේ මේ වසරේත් එම අතිරික්තය අපි බලාපොරොත්තු වෙනවා.  එතුළින් රාජ්‍ය ණය ඒකරාශීවීම අඩු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර නිසා අඩපණ වූ සංචාරක ව්‍යාපාරයට අපි  සහන පැකේජයක් ලබාදුන්නා.  විශේෂයෙන්ම හෝටල් කර්මාන්තයේ ණය පොළී ගෙවීම් රජය දරාගැනීම මෙන්ම, එම අංශයේ අවශේෂ ක්‍රියාකාරී අංශ ගණනාවකටත් අපි සහන ලබාදුන්නා.  “සංචාරක පොඩ්ඩෝ” සහන ණය ක්‍රමය යටතේ පොළී රහිතව රුපියල් ලක්ෂ 05 දක්වා  එම අංශයේ සුළු ව්‍යාපාරිකයින්ට අතහිත දුන්නා.

සංචාරක ක්ෂේත්‍රයෙන් අය කළ එකතු කළ ආදායම් මත බද්ද 15% සිට 5%ක් දක්වා අඩු කළා. ඒ වගේම බදු කිසිවක් නොගෙවා ආරක්ෂිත උපකරණ ආනයනය කිරීමටත් අපි ඔවුන්ට සහන ලබාදීලා තියෙනවා.  මීට අමතරව සංචාරක අංශයට අනුබද්ධිත අනෙකුත් සේවා අංශවල නියැලෙන්නන් වෙත ණය සහන ලබාදීමට සියලුම වාණිජ බැංකු කටයුතු කළා. 

සංචාරක අංශයේ සහන පැකේජ ප්‍රතිලාභීන්

  ණය යෝජනා ක්‍රමය ණය ප්‍රතිලාභීන් වටිනාකම(රු.මිලියන)
1 “ජය ඉසුර” ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් ණය සහන 210 4,942.6
2 හරිත ණය (Green Loan) ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් ණය සහන 16 44.6
3 විශේෂ කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය (Special Working Capital Loan) 90 6,164.5
4 “සංචාරක පොඩ්ඩෝ” ණය යෝජනා ක්‍රමය 1,067 466.7
5 බැංකු නොවන මූල්‍ය සමාගම් විසින් ලබාදුන් ණය සහන 1,321 5,002

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අංශ ගණනාවක් ඔස්සේ ව්‍යවසායක සහන ණය වැඩසටහන් 21කට වැඩි ප්‍රමාණයන් ක්‍රියාත්මක වෙනවා.  මේ වෙන කොට 2019 වර්ෂයේ ලබාදී ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය ප්‍රමාණය ව්‍යාපෘති 60,000 ක් වෙනුවෙන් රුපියල් බිලියන 97 ද ඉක්මවා තිබෙනවා.

ගරු කථානායකතුමනි,

මේ සියලු පසුබෑම් හා අභියෝග මැද වසරේ සමස්ත ආර්ථිකයේ වර්ධනය 3% ක පමණ ප්‍රමාණයක රඳවා ගැනීමට හැකිවේ යයි මා බලාපොරොත්තු වෙනවා.  අවුරුදු ගණනාවක් පහුගිය රජය විසින් ගොඩ ගැසූ ණය කන්දක පොළියත්, වාරිකත් ගෙවීම මේ රජයට විශාල බරක් බවට පත්වුණා.  අපි දැනටත් ගෙවන ජාත්‍යන්තර ණයවලින් 72% වඩා ගෙවන්නේ පසුගිය රජය ලබාගත් ණය සඳහායි.  ඒ හේතුවෙන් අප සිහින මැවූ ආර්ථික වෘද්ධියත්, සංවර්ධනයත් රටට අත්කර ගැනීමට නොහැකි තරමේ ණය බරක් රජය මත පැටවී තිබුණා. (ඇමුණුම I)

මෙතරම් විදේශ ණය ලබාගනිමින් රට තුළ සිදු වූයේ කුමක්දැයි මා නැවත මතක් කරන්න කැමතියි.  එදා ලබාගත් ණයවලින් රටපුරා හැදුවේ කාටවත් වැඩක් නැති මහා පරිමාණ සුදු අලි ව්‍යාපෘති.  ඒවායින් ගත්ත කොමිස්වල වාසිය එදා පාලකයො සාක්කුවට දාගත්තා.  එහෙත් රටට කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නොලැබෙන ව්‍යාපෘති ගාණක් රටට ඉතිරි වුණා.  මා වියදම් වූ ගණන් හිලව් කීපයක් දළ වශයෙන් ඉදිරිපත් කරන්නම්.

ආයතනය රුපියල් මිලියන
මත්තල ගුවන් තොටුපොළ 50,000
හම්බන්තොට වරාය 210,600
සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය 3,950
රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය 800
සූරියවැව තොරතුරු තාක්ෂණ උද්‍යානය 750
හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව 5,526
නෙළුම් කුළුණ 189,000
හයට් හෝටලය 21,600

ඔන්න හදපු ව්‍යාපෘති.  අද වෙනකම් රජයට කිසිදු ආදායමක් නොලැබෙන සම්පූර්ණ සුදු අලි.  අපේ රජය හම්බන්තොට වරාය නැවත අවාසියක් නොවෙන විදිහට චීන සමාගමක් සමග සාකච්ඡා කරලා ප්‍රතිආයෝජන ව්‍යාපෘතියක් බවට පත්කළා.  ඒ හැරුණු කොට අනික් සියල්ල විශාල දූෂිත ගනුදෙනු බව කාටත් පෙනී යනවා.

හයට් හෝටලයේ කාමරයක් හදන්න රුපියල් මිලියන 82 ක් යද්දි ලෝකයේ හොඳම හෝටලයක් වන Shangri-La එකට ගිහින් තියෙන්නේ එක කාමරයක් හදන්න දළ වශයෙන් රුපියල් මිලියන 45 යි.  අද වෙනකම් අපිට හයට් හෝටලයේ කිසිදු වාණිජ ක්‍රියාකාරකමක් කරන්න බැරි තරමට ජනතා මුදල් ගිලල ඉවරයි.  තවත් බිලියන ගාණක් වියදම් කරන්න වෙනවා.  මෙතරම් රජයේ මුදල් කාබාසිනියා කරලත් නැවත වතාවක් සුපුරුදු දූෂිත ක්‍රියාදාමයේ යෙදෙන්න සමහරුන්ට තියෙන බලාපොරොත්තු නැති කරගෙන නැති බව පැහැදිලියි.          

ගරු කථානායකතුමනි, මේ සියලු ණය කන්දරාව ගෙවමින් අපේ රජය පහුගිය අවුරුදු 04 ක කාලය තුළ විශාල ජනතා හිතවාදී සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව මං මතක් කරන්න කැමතියි.  විශේෂයෙන්ම 2015 මංගල අයවැයෙන් එදා අප රජය රුපියල් 10,000/- ක දීමනාවක් රජයේ සේවකයන්ගේ මූලික වැටුපට එකතු කිරීමට තීරණය කළා.  එම දීමනාව ලබන වසර වන විට  පියවරෙන් පියවර වැඩි වෙමින් ඇවිත් රාජ්‍ය සේවක වැටුපේ කොටසක් බවට පත්වෙලා ලබන ජනවාරි වන විට ඔවුන් නොසිතූ ප්‍රමාණයකින් ඉහළට ගියා. 

ඒ විතරක් නෙමෙයි අපි අවුරුද්දක් පාසා රාජ්‍ය සේවක වැටුප් වැඩි කරමින් 2020 මුල වන විට 2015 ලැබූ වැටුප් මෙන් 250% තරම් ප්‍රමාණයකට රාජ්‍ය සේවක වැටුප් වැඩි කරලා තියෙනවා.  මෙය සිදු කළේ වසර හතරක් ඇතුළත.     මෙවැනි ප්‍රතිලාභයක් ඉතිහාසයේ හිටපු කිසිම රජයකට එතරම් කෙටි කාලයකින් ජනතාව වෙත ලබාදෙන්න බැරිවුණා.  (ඇමුණුම II)

මම වෘත්තීන් වශයෙන් වෙන් වෙන්ව දක්වන්නේ නෑ.  නමුත් රජයේ සේවකයන්ගේ ජීවන මට්ටම් මේ වෙනකොට පහුගිය වසර 04 ඇතුළත පෙරළිකාර ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ඉතා පැහැදිලියි.  ඒ විතරක් නෙමෙයි ගරු කථානායකතුමනි, අපි රජයේ සේවයේ මෙතෙක් ආණ්ඩු ගණනාවක් අමතක කරලා හිටි විශ්‍රාමිකයන්ගේ වැටුප් සැලකිය යුතු මට්ටමකින් මේ වසරේ ජූලි මාසයේ සිට ඉහළ දැම්මා.  විශ්‍රාමික රජයේ සේවකයින් විශාල පිරිසක් තමන්ගේ ජීවන බර අඩුකිරීම ගැන ස්තුති කරමින් මා වෙත පුද්ගලිකව පවා ලිපි එවා තිබෙනවා.  (ඇමුණුම III)

අපි එවැනි ජනතා හිතවාදී රජයේ සේවකයන්ට සහන දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ අභියෝග රාශියක් මැද්දෙ.  මෙතරම් විශ්‍රාම වැටුප් වැඩිවීම් සිදුවුණත් ජනතාවගේ ජීවන වියදම පහුගිය වසර 04 ක කාලයක් තිස්සේ සමස්තයක් ලෙස අඩුවෙලා තියෙනවා.  අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බොහොමයක මිල 2014ටත් වඩා දැන් අඩු බව මා ඉතා සංතෝෂයෙන් මතක් කරන්න කැමතියි.  මේ වෙනකොට දකුණු ආසියාවේ අඩුම උද්ධමන වේගයක් පවතින රටක් බවට ලංකාව පත්වුණා.  දළ වශයෙන් 4% උද්ධමනයක් දැන් පවතිනවා.

එදා ජනතාව ජීවන වියදම දරාගන්න බැරුව පාරට ආවා.  රජයේ සේවකයන් මාසෙ අන්තිමට වැටුප අරගෙන ණය ගෙවීමටත් ගෙදර දොරට වුවමනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගන්නත් මුළු මුදලම වියදම් කරා.  වක්‍ර බදු වැඩිකරලා ජනතාවගේ කෑමෙන් බීමෙන් හැකිතාක් බදු අයකරා.  

පසුගිය රජය කාලේ රටේ  උද්ධමනය 22% දක්වා ඉහළ ගිය අවස්ථා තිබුණා.  භූමිතෙල් ඉල්ලලා පාරට බැහැපු මීගමු ධීවරයන්ට වෙඩි තිබ්බා.  වතුර ඉල්ලපු රතුපස්වල ජනතාව මැරුවා.  උද්ඝෝෂණ කරපු කටුනායක වෙළඳ කළාපයේ තරුණයන් ඝාතනය වුණා.  2015 පස්සේ අපි ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරා.

2014 දී රාජ්‍ය ආදායම තිබුණේ රුපියල් බිලියන 1,195 ක්.  එය අප රජය විසින් 2019 වන විට රුපියල් බිලියන 2,357 දක්වා ඉහළ නැංවූවා..  එතුළින් සෞඛ්‍ය වගේම සුබසාධන වියදම් වාර්ෂිකව දිගින් දිගටම වැඩි කිරීමට අපට හැකිවුණා.

2014 දී උපයන විට ගෙවීමේ බද්ද හෙවත් PAYE බද්දට යටත්වීමේ බදු සීමාව තිබුණේ රුපියල් 62,500 ක්.  අපි ඒ සීමාව රුපියල් ලක්ෂය දක්වා වැඩි කළා.  එයින් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ලක්ෂ පහක් පමණ සේවක පිරිසක් PAYE බදුවලින් නිදහස් වුණා.  ඒ වගේම 2002 ආරම්භ කරපු 10% VAT බද්ද 2005 අවුරුද්දේ දී රාජපක්ෂ රජය 20% දක්වා වැඩි කළා.  ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ VAT බද්දට යටත් කළා.  2015 දී අපේ රජය අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල VAT බද්දෙන් නිදහස් කළා.

ගරු කථානායකතුමනි, දැනට වක්‍රබදු වර්ග 22 ක් විතර තියෙනවා.  අපි ඒවා සම්පූර්ණයෙන් අවම කරලා තීරුබදු, VAT බදු, නිෂ්පාදන බදු වැනි  කීපයකට සීමා කරලා බදු ක්‍රමය සරල කිරීමේ කටයුතු සිදු කරමින් ඉන්නවා.  ඒ වගේම ආනයන මත පනවන විවිධ තීරුබදු වර්ග (PARA TARIFF) සම්පූර්ණයෙන් ඉවත් කරනවා.

තත්ත්වය මෙසේ තිබිය දී ගෝඨාභය රාජපක්ෂ VAT බද්ද 8% දක්වා අඩුකරන්න කථා කරනවා.  ඒක කළොත් රජයට ලැබෙන රුපියල් බිලියන 530 ක වාර්ෂික ආදායමින් රුපියල් බිලියන 450 ක් අහිමි වෙනවා.  මං විපක්ෂයෙන් අහන්න කැමතියි එහෙම කපලා මුදල් හොයන්නෙ ආයෙ පාරක් රට ණය කරලද කියලා.  

එදාට වඩා දෙගුණෙකටත් වඩා වැටුප් ගන්න අපේ හෙද හෙදියෝ, පොලිස් නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, කාර්යාල කාර්ය සේවක සේවය වගේම පරිපාලන සේවයේ නිලධාරිවරුන්, වෛද්‍යවරුන් වගේ සියලුදෙනා වැඩි වැඩියෙන් සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණයට යොමු වී තිබෙනවා.  එයින් පෙන්නුම් කරන්නෙ ජනතාවගේ ජීවන මට්ටමත්, ක්‍රයශක්තිය නැත්නම් වියදම් කිරීමේ හැකියාවත් අපේ රජය යටතේ ඉහළ ගොස් තිබෙන බවයි. 

එසේ දුන් වැටුප් සහනවලට අමතරව අප තවතවත් රජයේ සේවකයන් වෙත අනුග්‍රහය ලබාදෙනවා.  මං ඉන් කීපයක් පහත දක්වනවා.

  1. එදා සිටි පාලනය හමුදාව පෙන්නලා පවුල් පාලනයක් ගෙන ගියා.  ඔවුන්ට බොරු පොරොන්දු දුන්නා.  ඒ අයගේ කාලෙදි ජනාධිපතිවරයා හම්බුවෙන්න වත් හමුදාවෙ අයට අවස්ථාව දුන්නෙ නෑ.  අපි හමුදා වැටුප් වැඩි කළා.  ඒ වගේම අවුරුදු 20 කට පස්සෙ ත්‍රිවිධ හමුදාවල දීමනා වැඩිකළා.  කමාන්ඩෝ දීමනාව, නිල ඇඳුම් දීමනාව, ගෙවල් කුලී දීමනාව සහ යහපැවැත්මේ දීමනාව පසුගිය ජූලි 01 සිට වැඩි කළා.  ආබාධිත සෙබළුන් වගේම මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ගේ ඉල්ලීම් සලකලා බලලා අපි ඔවුන්ට ජීවත්වෙන තාක් කල් සම්පූර්ණ වැටුප ගෙවන්නත් සති කීපයකට කලින් තීරණය කළා.
  1. ඒ වගේම දිවා රෑ අව් වැසි නොතකා විශාල සේවයක් කරන පොලිස් නිලධාරීන් පහුගිය රජය අමතක කළා.  අපි ඔවුන්ගේ වැටුප් 238% කින් වැඩි කළා.  මීළඟ දෙසැම්බර් මුල ඉඳලා දින 14 සංයුක්ත දීමනාව වෙනුවට දින 20 නව දීමනාවක් ලබාදීමට මා කටයුතු කරනවා.
  1. රජයේ සේවකයන්ගේ ආපදා ණය උපරිම සීමාව රුපියල් 250,000සිට රුපියල් 350,000/- දක්වා අපි වැඩි කරනවා.  ඒ සඳහා ගෙවිය යුතු පොළිය 4.2% සිට 3% දක්වා අඩුකරනවා.
  1. රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩලවලට මෙතෙක් කල් පාපැදි මිලදී ගැනීමට ලබාදුන් රුපියල් 6,000/- මුදල  10,000/- දක්වා ඉහළ නංවනවා.  එහි ණය වාරික පොළියත්  4.2% සිට 3%  දක්වා අඩුකරනවා.
  • කාර්යාල සේවක සේවයේ නිලධාරීන්ට වාර්ෂික නිල ඇඳුම් දීමනාව රුපියල් 4,000/- සිට 5,000/- දක්වා වැඩිකරනවා.
  • ජාතික රක්ෂණ භාර අරමුදලේ දායකත්වය ලබා සිටින රජයේ සේවකයන්ට වසර තුනකට වරක් ලබාදෙන රුපියල් 5,000/- ඇස් කණ්ණාඩි දීමනාව රුපියල් 8,000/- දක්වා අපි වැඩි කරනවා.
  • රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවය, රියදුරු සේවය, කළමනාකරණ සේවා නිලධාරීන් වෙත වසරකට අවම වශයෙන් දින පහක අනිවාර්ය පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් අපි දියත් කර තිබෙනවා.
  • ජනතාව අතර ගැවසෙමින් විශාල සේවයක් කරන ග්‍රාම නිලධාරීන්ගේ දීමනා අපි පසුගිය වසරේ සිට වැඩි කළා.  ඔවුන්ගේ කාර්යාල දීමනා මහනගර සභා සහ නගර සභා ප්‍රදේශවල රුපියල් 1,500/-  දක්වාත්,  ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල රුපියල් 1,000/- ක් දක්වාත් දෙගුණයකින් වැඩි කළා.  රටපුරා සිටින 14,022 ක් වන ග්‍රාම නිලධාරීන්ට එයින් ප්‍රතිලාභ ලැබෙනවා.  ඔවුන්ගේ ගමන් වියදම් බලප්‍රදේශය තුළ රුපියල් 200/- සිට 600/- දක්වා ද, ඉන් පිටත රුපියල් 500/- සිට 1,000/- දක්වාත් ඉහළ දැම්මා.  වාර්ෂික ලිපිද්‍රව්‍ය දීමනාව රුපියල් 1,000/- සිට 1,500/- දක්වා වැඩිකළා.  එමෙන්ම නිල ඇඳුම් දීමනාව රුපියල් 4,300/- දක්වා වැඩි කළා.  දැනටමත් ඔවුන්ට ගෙවන සන්නිවේදන දීමනාව සහ ගමන් වියදම් දීමනාව එකතු කොට රුපියල් 5,000/-  පොදු දීමනාවක් ලබාදීමට ක්‍රියා කළා.

ගරු කථානායකතුමනි, අපි රජයේ සේවකයන්ට මේ සියලු සහනයන් ලබාදෙන්නේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයත් මහජන සේවයනුත් ඉතා උසස් තත්ත්වයකට පත්කර ගැනීමටයි.  ඒ නිසා සියලු රජයේ සේවකයන්ගෙන් ජනතා මුදලින් ඔවුන් ලබාගන්නා මේ අතිවිශාල වැටුප් වැඩිවීම් සහ දීමනා සහන වෙනුවෙන් දැඩි කැපවීමෙන් සහ දූෂණයෙන් තොරව රාජ්‍ය සේවය ඉටු කරන මෙන් මා ඉල්ලා සිටිනවා.

කුමන රජයක් බලයේ සිටියත් දේශපාලන අරමුණු වෙනුවෙන් සමහරුන්ගේ පුද්ගලික පටු අරමුණු වෙනුවෙන් වෘත්තීය සමිති නාමයෙන්  රටේ සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම මා හෙළා දකිනවා.  අපි එය පක්ෂ භේදයෙන් තොරව ප්‍රතිපත්තිමය පදනමකින් හෙළා දැකිය යුතුයි.  අපි දැක්කා පහුගිය සති කීපයේ විවිධ අංශවල අසාමාන්‍ය වැඩ වර්ජන.  මෙවැනි තත්ත්වයන් ඉදිරියේ දී වළක්වා ගනිමින් ක්‍රියා කිරීමට වගබලා ගතයුතු බව මගේ අදහසයි.  මහජනතාවගේ බදු මුදලින් යැපෙන ආයතන ජනතාවට වගකිවයුතු බව අපි පිළිගත යුතුයි.

ගරු කථානායකතුමනි,

මෙවැනි පසුබිමක් යටතේ මා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරමින් පහත යෝජනා සඳහා අනුමැතිය ඉල්ලා සිටිනවා.  2020 පළවෙනි මාස හතරක කාලය සඳහා පුනරාවර්ථන හා මූලධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1,470 කුත්, අත්තිකාරම් ගිණුම් වෙනුවෙන් තවත් රුපියල් බිලියන 05ක් සඳහා අනුමැතිය ඉල්ලා සිටිනවා.  2020 වර්ෂය සඳහා විසර්ජන පනතක් මගින් මුදල් අනුමත කරගැනීමේ දී මෙකී වියදම් එම විසර්ජන පනත යටතේ සිදු කළ වියදම් ලෙස සලකා එයට අන්තර්ග්‍රහණය කරනවා.  අදාළ වියදම් සඳහා වූ විස්තර යෝජනාවට අමුණා තිබෙනවා.

ගරු කථානායකතුමනි, 2020 පළමුවෙනි මාස 04 ක කාලයේ දී රාජ්‍ය ආදායම් ලෙස රුපියල් බිලියන 745 ක ප්‍රමාණයක් බලාපොරොත්තු වන අතර, එම කාලය සඳහා රුපියල් බිලියන 721 ක මුදලක් ණය ලෙස ලබාගැනීමට ද රජය බලාපොරොත්තු වෙනවා.

මෙකී අතුරු සම්මත ගිණුමට මෙම ගරු සභාවේ අනුමැතිය අපේක්ෂා කරමින් මාගේ වචන ස්වල්පය අවසන් කරනවා.

Recommended For You

About the Author: Editor