පාස්කු තේරීම් කාරක සභා වාර්තාව: ‘වැරදිකරුවන් කවුරුන්දැයි නිර්දේශ කිරීමට’ හැකියාවක් නැහැ – නියෝජ්‍ය කතානායක

‘ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් කවුරුන්දැයි නිර්දේශ කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නැහැ’ පාස්කු ඉරිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (23) පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළා.

නියෝජ්‍ය කතානායකවරයා මේ බව සදහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වාර්තාවක් සැපයීමේ අරමුණින් පිහිටුවන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු කාරක සභාවේ සාමාජිකයින් විසින් පැවැත් වූ මාධ්‍ය හමුවේදීයි.

කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට පියවර ගත්තා.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් කවුරුන්දැයි නිර්දේශ කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බවයි.

විශේෂ කාරක සභාවට පැවරුණු කාර්යභාරය වූ අතපසුවීම්, අඩුපාඩු සහ දුර්වලතා සිදුවූයේ කොතැනදැයි සොයා බැලීම අදාළ වාර්තාව මගින් සොයා බැලුණු බව නියෝජ්‍ය කාතානයකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියේ, අවස්ථා 24කදී රැස් වූ කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පුද්ගලයන් 51 දෙනෙකුගෙන් වාර්තාව සඳහා සාක්ෂි ලබා ගත් බවයි.

මෙහිදී තම කාර්ය භාරය සහ නිරීක්ෂණ ගැන වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය කතානායකවරයා,

බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතා විසින් කාතාන්කුඩි ප්‍රදේශයේ පැවති අන්තවාදී ක්‍රියා පිළිබඳ 2011 වසරේදී පළමු වරට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඉන් අනතුරුව 2013 සහ 2014 වසරවලදී ද විවිධ මුස්ලිම් ආගමික සංවිධාන ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබූ බව කාරක සභාව හමුවේ හෙළි වුණා. ඒ නිසා මේක එකපාරට වෙච්ච දෙයක් නොවෙයි. අදාළ ප්‍රහාරයට මුල් වූ සිදුවීම් දාමය දෙස ආරම්භයේ සිටම අවධානය යොමු කළ යුතුව තිබුණ බවයි අපේ නිරීක්ෂණය වන්නේ’

‘ඒ වගේම ඇතැම් අවස්ථාවල අපට දැනගන්න ලැබුණා මේ සමහර අය යුද්ධය පැවති අවදියේදී මේ අය පාවිච්චි කළා ඔත්තුකරුවන් හැටියට. ඉතින් ඒ අයට ගෙවීම් කරලා තිබුණු බව යම් යම් තැන්වල සඳහන් වුණා. ආණ්ඩු වෙනස් වීමත් සමග ඉහත කී පුද්ගලයන් දෙස දැඩි අවධානයෙන් පසු වූයේ නම් ඔවුන්ගේ ඉදිරි කටයුතු පිළිබඳ කරුණු අනාවරණය කර ගත හැකිව තිබුණා.

මෙහිදී අදහස් දැක්වූ විශේෂ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ බුද්ධි අංශ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන්ගේ අඩුපාඩු ද ප්‍රහාරයට බලාපා තිබෙන බවයි.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ආසන්න දිනවල ආරක්ෂක අංශ ගත් ක්‍රියාමාර්ග කිහිපයක්ද අදාල වාර්තාවට ඇතුලත්


2019 අප්‍රේල් 4 – එල්ලවිය හැකි ප්‍රහාරයක් පිළිබද  පළමු බුද්ධි වාර්තාව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත  ජයවර්ධනට ලැබීම
සහ අදාළ බුද්ධි වාර්තාව ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට යොමුකිරීම.

2019 අප්‍රේල් 08 – අදාළ ලිපිය බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් පොලිස්පතිවරයා වෙත යොමුකිරීම 

2019 අප්‍රේල් 09- ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී නවතම බුද්ධි වාර්තාව ආරක්ෂක ලේකම්වරයාට ලබා ගැනීමට අවශ්‍යවුව ද  රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා ලිපියකින් පසු විපරම් කිරීම පිළිබඳව දැනුම් දීම.  

2019 අප්‍රේල් 16 – කාන්තණ්කුඩි ප්‍රදේශයේ යතුරු පැදියක් පුපුරායාම 
2019 අප්‍රේල් 18 සහ 19  – සහරාන්තතේ අනුගාමිකයින් විසින් ප්‍රහාරයක් සිදුකරන බවට තොරතුරු ලැබුණද එය සිදුවන දිනයක් පිළිබඳව නිශ්චිතව අනාවරණය නොවීම.

2019 අප්‍රේල් 20 පස්වරු 7.30  – රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා හෙට දිනයේ දී භයානක සිදුවීමක් ඇතිවිය හැකි බවට පොලිස්පතිවරයාට අනතුරු ඇඟවීම. පොලිස්පතිවරයා විසින් සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අනතුරු ඇඟවීම පිළිබඳ දැනුම්දීම

2019 අප්‍රේල් 21 පෙරවරු 6.45 – රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා අනතුරු ඇඟවීම යළි දැනුම්දීම. ප්‍රහාරය එල්ලවිය හැක්කේ කතෝලික දේවස්ථානවලට නොවන මෙතෝදිස්ත දේවස්ථානවලට බව ආරක්ෂක ලේකම්වරයාට දැනුම්දීම. තමා බෞද්ධ බවත් මෙතෝදිස්ස දේවස්ථාන පිළිබද තමන්ට අවබෝධයක් නැති බව ආරක්ෂක ලේකම්වරයා පැවසීම. 

2019 අප්‍රේල් 21 – ප්‍රහාරය එල්ල වීම

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිය වාර්තාව මගින් වහා අවධානය යොමුවිය යුතු නිර්දේශ 08ක් ද ඉදිරිපත් කර තිබෙනවා

1. ආරක්ෂක සහ බුද්ධි අංශයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ

2. ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම

3. ආගමික අන්තාවාදයේ නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව

4. අධිකරණ ප්‍රමාද සම්බන්ධයෙන් කටයුතු කිරීම : නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම

5. වහාබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව

6. මාධ්‍ය වාර්තාකරණය, ව්‍යාජ පුවත් සහ අවධානය යොමුකළ යුතු අනෙකුත් ක්ෂේත්‍ර

7. දේශපාලකයන්/ජනතා නියෝජිතයන් වගවීමට සැලැස්වීම

8. නැගී එන අන්තවාදය මැඩලීම පිණිස අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ

පාස්කු ඉරිදා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව කියවීම සඳහා  මේ යොමුවට පිවිසෙන්න.

Recommended For You

About the Author: Editor