මනස සංවර කරන්නෙ සාහිත්‍යයෙන්

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ සාහිත්‍යකරුවකු වන ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම, විවිධ සාහිත්‍ය කෘති මඟින් පාඨක සමාජය තුළ සුවිශේෂ සලකුණු තැබූවෙකි. ‘ සාහිත්‍යයකරුවා දකින සමාජ සත්‍යය‘ කෘතිය ඔහු ලියූ නවතම කෘතියයි. මේ එම කෘතිය පිළිබඳ ඔහු සමඟ කළ සංවාදයකි.

• මේ ග්‍රන්ථය පළ කිරීමට යොමු වීම පිළිබඳ කතා කළොත්?

මාධ්‍යකරුවකු විදිහට මම පුවත්පත් රැසකට, විවිධ විෂයය යටතේ ලියූ ලිපිවල එකතුවක් තමයි මෙහි තිබෙන්නේ. මාධ්‍යකරුවකු සාහිත්‍යකරුවකු වුණාම, එක විෂයක් පමණක් නෙමෙයි, විවිධ විෂයය ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඒ අවබෝධය හරහා තමයි නියම මාධ්‍යවේදියකු, සාහිත්‍යකරුවකු බිහි වෙන්නේ. මේ පොත මඟින් උත්සාහ කරන්නේ, විවිධ විෂයය ගැන පුළුල් අවබෝධයක් පාඨකයා වෙත ලබා දීමටයි.

• මෙවැනි පොතක් පළ කිරීමෙන් ඔබ අපේක්ෂා කළේ කුමනාකාරයේ අරමුණු ඉටු කර ගැනීමටද?

විවිධ විෂයය ගැන අවබෝධයක් ලබා ගැනීමට පාඨකයන්ට විවිධ විවිධ පොත් පත්, පුවත්පත් පරිශීලනය කළ යුතුයි. ඒත් මෙවැනි පොතක් මඟින්, විවිධ විෂයය ගැන පුළුල් අවබෝධයක්, දැනුමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

• මේ කෘතියට ලිපි 46ක් අන්තර්ගතයි. ඒ ආකාරයට ලිපි බොහෝ ප්‍රමාණයක් එක්තැන් කරමින් මේ කෘතිය සම්පාදනය කිරීමට හේතුව මොකක්ද?

මේ කෘතියේ විවිධ විෂයික ලිපි එපමණ අන්තර්ගත කළේ, පාඨකයාට දැනුම පෘථුල කර ගැනීමට මින් මහඟු මෙහෙයක් ඉටුවේ ය යන කාරණය පෙරදැරි කරගෙනයි. ඒ අනුව, අද්‍යතන සාහිත්‍ය විඥානය සුගැඹුරු දෘෂ්ටියක පවතින්නේද? සංවේදී සමාජයකට මංපෙත් විවර කරන පොත්, උසස් සාහිත්‍ය කෘති බිහි නොවන්නේ ඇයි? නවකතාවේ හෙට දවසට සාහිත්‍යකරුවා සූදානම්ද? පරිවර්තන කාර්යයේ නියැළෙන්නේ භාෂා ඥානයෙන් පිරිපුන් ලේඛකයන්ද? සසල සිත නිසල කළ කව් කෙත අවරට ගියේ ඇයි? සිංහල කවිය යන මඟ හරිද? පොත පත පරිශීලනයෙන් සහෘදයන් දුරස් වන්නේ ඇයි? බෙන්තර සාහිත්‍ය යුගය යටපත් වුණාද? යටපත් කළාද? උසස් සාහිත්‍ය කෘති බිහි නොවන්නේ අවිචාරවත් විචාරය නිසාද? පශ්චාත් නූතනවාදය ලාංකීය භාවිතය, විශ්ව ඥානය බලපෑ පොත් පත්, අයාලේ යන පරිවර්තන සාහිත්‍ය වැනි මාතෘකා තමයි මීට අන්තර්ගත වෙන්නේ.

• අද වන විට කියැවීමේ උනන්දුව ගැන විවිධ මත පළ වෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

කෙනකුගේ විඥානය පුළුල් තලයකට පත් කරන්න පුළුවන් වෙන්නේ, පොත් පත් කියැවීම මඟිනුයි. කියැවීම මත පිහිටා කෙනකුගේ මනස සැනසීමට හැකියාව ලැබෙනවා. සංයත හා සංවර මනසක් සකසන්නට බලපාන සාහිත්‍ය කෘති මත රැඳෙන ශික්ෂණය, රටක් ආර්ථික වශයෙන් උත්තලයකට පත්වන්නට බලපානවා.

• සාහිත්‍ය පිළිබඳ විවිධ පුද්ගලයන්, එදා සිට මේ දක්වා විවිධ මත පළ කර තිබෙනවා. මේ විෂයේ දිගු අත්දැකීම් ඇති ප්‍රවීණයකු විදිහට, ඒ ගැන ඔබ හිතන්නේ කුමන ආකාරයටද?

සාහිත්‍ය කියන විෂය නැතිනම්, සමාජ සංවර්ධනයක් ඇති වෙන්නේ නැහැ. පුද්ගලයා කෙරෙහි වගේම සමාජ සංවර්ධනයටත් මේ මඟින් ලොකු බලපෑමක් කරනවා. ඒ වගේම, සමාජ පෙරළිවලටත් මේ සාහිත්‍ය දැඩි ලෙස බලපානවා.

• ඔබ දශක පහකට ආසන්න කාලයක ඉදන් ම ලේඛන කටයුතුවල යෙදෙනවා. අද වන විට සාහිත්‍ය කෙරෙහි නව පරපුරේ උනන්දුව සහ ඒ කෙරෙහි යොමුවීම ගැන ඔබට ඇත්තේ මොන වගේ අදහසක්ද?

සාහිත්‍ය විෂයට තියෙන උනන්දුව විශේෂ තැනක තියෙනවා. ඒත්, මෙහිදී නව පරපුරට නිවැරැදි මඟ පෙන්වා දිය යුතුයි. ඒ සඳහා ප්‍රවීණයන්ගේ සහය නිරතුරුවම තිබිය යුතුයි. ඒ වගේම, නව පරපුර ප්‍රවීණයන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමත් කළ යුතුයි.තමන් අතට පත්වන හැම ලිපියක්ම, පොතක්ම පරිශීලනය කළ යුතුයි. සාහිත්‍යකරුවකුට පූර්ණත්වයට පත්වන්න හැකි වෙන්නේ ඒ මඟිනුයි.

• සාහිත්‍යකරුවකු වගේ ම, සාහිත්‍ය ලෝලියකු, තම සාහිත්‍ය ජීවිතය සකස් කර ගත යුත්තේ කොහොමද.? 

උදාහරණයකට ‘හෙළයේ මහා සාහිත්‍යකරු‘ මාර්ටින් වික්‍රමසිංහ මහතා ගනිමු. ඔහු පරිශීලනය කළ පොත් පත් දහසය දහසක් පමණ ඔහුගේ නිවෙසේ පොත්ගුලේ තිබුණා. එමඟින් පැහැදිලි වෙන්නේ, මාර්ටින් වික්‍රමසිංහ කියන සාහිත්‍යකරු තම සාහිත්‍ය ජීවිතය ගොඩනගා ගත්තේ කොහොමද කියන එකයි. ඔහු පමණක් නෙමෙයි, ලොව සිටි බොහෝ සාහිත්‍යවේදීන් පොතපත ඇසුරෙන් තමයි තම සාහිත්‍ය ජීවිතය ගොඩනගා ගත්තේ. ඒ නිසා, සාහිත්‍යකරුවකු වීමට නම්, පොතපත පරිශීලනය මඟින් තව තවත් සාහිත්‍ය ජීවිතය මුවහත් කර ගැනීමට පුළුවන්. අලුතින් සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන අය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. එමඟින් තමයි ඒ අයට තම සාහිත්‍ය ජීවිතය තව දුරටත් සාර්ථක කර ගැනීමට පුළුවන් වෙන්නේ.

• වර්තමාන පුවත්පත් කලාව සහ එහි ප්‍රමිතිය ගැන ජ්‍යෙෂ්ඨයකු විදිහට ඔබේ අදහස මොන වගේද?

පුවත්පත් පිළිබඳ විවිධ අදහස් තියෙනවා. එදා, පුවත්පතක් කියලා කිව්වේ විශ්වකෝෂ වැනි පුවත්පත්වලටයි. එදා සිළුමිණ පුවත්පත හැඳින්වූයේ, සත දහයේ විශ්වවිද්‍යාලය කියලයි. ඒ තරමට පුවත්පත් සාර්ථක තත්ත්වයක තිබුණා. අද තත්ත්වය ඊට වඩා වෙනස්. මේවායේ අන්තර්ගතය, ව්‍යාකරණ ගැන අවධානය යොමුවෙනවා අඩුයි. අද පුවත්පතක් ගත්තහම, අක්ෂර, ව්‍යාකරණ වැරැදි රැසක් දක්නට ලැබෙනවා. මේ ගැන අවධානය යොමු නොවීම තමයි ඇතිවෙලා තියෙන ගැටලුව. මාධ්‍යෙව්දියෙක් වුණහම, පුවත්පතකට ලියද්දි මේ සියලු දේ ගැනම අවධානය යොමු කරලා වැඩ කරන්න ඕනැ. එහෙම වුණොත් තමයි සාර්ථක පුවත්පත් කලාවේදියකු වීමට පුළුවන්කම ලැබෙන්නේ.

• ඔබ කවිය ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්නෙක්. අද කවිය තිබෙන තැන ගැන ඔබේ අදහස මොකක්ද?

කවිය කියන්නෙ නිදහස් ආරට නෙමෙයි. ඒත් අද බොහෝ අය කවි කියලා ලියන්නෙ වාක්‍ය පෙළ ගැස්සීම් විතරයි. ඒත්, වෙන්න ඕනැ ඒක නෙමෙයි. සඳැස් කවිය තමයි කවිය කියලා සලකන්න ඕනැ. රසය, අර්ථය ඇතුළු හැම දෙයක්ම සඳැස් කවිය තුළ ඇතුළත්ව තිබෙනවා. ඒ නිසා, අප කවිය විදිහට සවිමත් කළ යුත්තේ සඳැස් කවියයි. ඒත්, මේ කවියට නූතන මාධ්‍ය තුළ ලැබෙන තැන ගැන සෑහීමකට පත්වෙන්න අමාරුයි. ඒ නිසා, මා යෝජනා කරන්නේ කවියට යළි හොඳ තැනක් ලැබිය යුතුයි වගේම, අලුත් පරම්පරාවේ අයත් කවිය වෙත යොමුවිය යුතුයි. කවිය බලවත් තැනකට පත්කළ හැක්කේ, එමඟිනුයි. කවිය කියන්නෙම ප්‍රබල මාධ්‍යයක්. එමඟින් සමාජයට පණිවිඩයක් ලබා දෙනවා. රසවින්දනයක් ලබාදෙන මාධ්‍යක් විදිහටත් කවිය හඳුන්වන්න පුළුවන්.

Recommended For You

About the Author: Editor