ත‍්‍රිවිධ හමුදාව තියෙන්නේ දේශපාලනඥයින්ට බැලමෙහෙවර කරන්න නොවෙයි – සජිත් පේ‍්‍රමදාස

කාන්තා පරපුරට, යෞවන පරපුරට සේම නුපන් දරුවාගේ සිට වැඩිහිටි පරපුර දක්වා දැවැන්ත ආර්ථික සංවර්ධන ව්‍යායාමයක් දියත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා යැයි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

පුත්තලම නගරයේ පැවැති ජන රැළියේදි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙසේද කීය.

ඕනම දෙයක් තහනම් කරන්න කලින් ජනතාව ජිවත් වෙන්නේ කොහොමද කියලා සොයා බලනවා. එපමණක් නොව මිනිස්සුන්ගේ ජිවිකාවට විසදුමක් දිලා තමයි අනෙක් කටයුතු කරන්නේ. ආණ්ඩුවේ ප්‍රධාන වගකිම රටේ ජනතාව ජිවත් කරවිමයි. ඒ වගකිම රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස භාර ගන්නවා. ඒ වගේම මේ ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය ක්‍රියාත්මක වෙනවා. විවිධ වගාවන් ක්‍රියාත්මක වෙනවා. මේ රටේ කෘෂි කර්මාන්තයට වෙනත් කිසිම ආණ්ඩුවක් නොදුන් හයියක් අපි ලබා දෙනවා. පොල් වගාව රබර් වගාව තේ වගාව සුළු අපනයන බෝග වගාව වී වගාව එළවළු පළතුරු වගාව හේන් ගොවිතැන කරන හැම ගොවියාටම නොමිලේ පොහොර ලබා දෙනවා.

රටේ ජාතික ආරක්ෂාව අපි ශක්තිමත් කරනවා. රටේ ජාතික ආරක්ෂාව යුද්ධය දිනපු වැඩකාරයට අපි බාර දෙනවා. ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙනුයි වසර තිහක කුරිරු යුද්ධය අපි ජයග්‍රහණය කළේ. කොටි ත්‍රස්තවාදීණ් විනාශ කරලා අපි රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත්තා. ජාතික ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ත්‍රිවිද හමුදාව සන්නද්ධ කරනවා. නිවීන යුද උපකරණ ලබා දෙනවා. අලුත් පුහුණුව ලබා දෙනවා. බුද්ධි අංශයත් ආරක්ෂක අංශයත් නිර්දේශපාලනීකරණය කරලා දේශපාලන බලපැම්වලින් තොරව ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ නිතිය හා සාමය ස්ථාපිත කරන්න අපි කටයුතු කරනවා.

මේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගත හැකි හැම පියවරක්ම ගන්නවා. දක්ෂයන්ට තනතුරු වගකිම් බාර දිලා හැකියාව තියෙන අයට උපරිමයෙන්ම  ශක්තිය දීලා දේශපාලනීකරණයකින් තොරව ජාතික ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් ලෝකයේ සෙසු රටවල් වල බුද්ධි අංශ සමග සම්බන්ධතා පවත්වා ගෙන යන්න ඕනේ. හොඳ ජාත්‍යන්තර සඳබතාවයක් හැම රටක් සමගම පවත්වාගෙන යන්නට ඕනේ.

ජාතීන් අතර සංහිදියාව ජාතින් අතර එකමුතු භාවය ඇති කළ යුතුයි. කිසිම ජාතියක් කිසිම ආගමක් ජනසමාජයෙන් වෙන් කරන්නේ නැතුව බුද්ධාගමට මුල්තැන ලබාදෙමින් අනෙකුත් ජාතින් ආගම් ආරක්ෂා කරමින් මුළු රටම එක්සේසත් කරන නව යුගයක් අපි ස්ථාපිත කරනවා.

සුළු කොටසක් ත්‍රස්තවාදි ක්‍රියා කලාය කියලා ම්ලේච්ජ ත්‍රස්තවාදය තුලින් මිනිස් ඝාතනය කළාය කියලා අපි ලැහැස්ති නැහැ මුළු ජාතියක් මුළු ආගමක් විනාශ කරන්න. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරනවා. ඒකේ කතා දෙයක් නැහැ. ත්‍රස්තවාදයත් විනාශ කරනවා. ත්‍රස්තවාදීනුත් විනාශ කරනවා. කුඩු වෙළෙන්දොත් විනාශ කරනවා.

ඒවා කිරිමේ මුවාවෙන් ආගමික සිද්ධස්ථාන විනාශ කරන, ජාතින් විනාශ කරන ආගම් විනාශ කරන ක්‍රියාවන්ට අපේ රටේ ඉඩක් තියන්නේ නැහැ. රටේ ජාති භේදය, ආගම් භේදය, ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා රට ගිනි තියන්න හදන හැම දෙනාම අපි නීතිය හමුවට ගෙන එනවා. ඒක තමයි ජාතික ආරක්ෂාව වැඩි කිරීමේ වැදගත්ම පියවර.

ජාතින් අතර සංහිදියාව තියෙන කොට විවිධ ත්‍රස්ත ක්‍රියා කරන්න හදන කණ්ඩායම් පිළිබඳ හොඳ බුද්ධිමය තොරතුරු ලැබෙනවා. නමුත් කව්රු හරි ජන කොට්ඨාශයක් තීරණය කළොත් අපේ මාතෘභුමිය තුළ එම ජාතියට තුන්වන පන්තියේ සැලකිල්ලක් ලැබෙනවා කියලා. එතකොට එම ජන කොටස්වලට හිතෙනවා තමන්ට රටේ තැනක් නැහැ කියලා. එවිට තැනක් නැති රටක අපි මොනවා හරි නිසා විනාශකාරි ක්‍රියාවලට යනවා කියලා සුළු කොටසකට හිතෙන්න පුළුවන්. එය වැරදි සිතිවිල්ලක්. හැබැයි එහෙම හිතෙන්න හේතුව කුමක්ද එහි ආරම්භය ජාතිවාදයයි ජාති භේදයයි.

ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නට, මිලිටරි ආරක්ෂාව ජවසම්පන්න කරනවා වගේම මේ රටේ ජිවත්වන හැම ජාතියකටම, හැම ආගමකට සම්බන්ධ හැම කොනාගේම හදවතේ  හැඟීමක් තිබෙන්නට ඕනේ. මේ මාතෘභුමිය අපි රකින්නට ඕනේ කියලා. මාතෘභුමිට ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන අය ගැන තොරතුරු ආරක්ෂක අංශවලට දෙන්න ඕනේ. ඒ හැඟීම එන්නට ඕනේ. ඒක තමයි සහෝදරත්වයේ හැඟීම ඒක තමයි එකමුත් භාවයේ හැඟීම.

මම මේ රට පාලනය කරන්න යන්නේ පිරිසිදු සිතුවිලි වලින්. බුද්ධාගමේ උතුම් ප්‍රතිපත්ති වන දසරාජ ධර්මයෙන් හා මෛත්‍රියෙනුයි. බුදුන් වහන්සේ කිසි අවස්ථාවක ජාතින් ආගම් වශයෙන් වෙන් කළේ නැහැ. සියලු සත්ත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කළේ. සතා සිව්පාවාගේ සිට මනුෂ්‍යයා දක්වා හැමට ඒ පැතුම දුන්නා.

ලබන 16 දාට නිර්මාණය වන නව රජය තුළ රටේ ජනාධිපති ලෙස පිරිසිදු බෞද්ධ ප්‍රතිපත්තිවලින් මේ රට තුළ සාමය සමාදානය සංහිදියාව ඇති කරනවා. බුද්ධාගමට මුල්තැන දිලා සෙසු ආගම් ආරක්ෂා කරන නව යුගය නිර්මාණය කරනවා.

රටක ජාතික ආරක්ෂාව සපයන කොට ත්‍රිවිධ හමුදාවට පොලිසියට ආරක්ෂක අංශවලට උපරිම ශක්තිය දෙන්නට ඕනේ. ඔවුන්ට ආත්ම තෘප්තියක් ඇතිව කටයුතු කරන්න අවස්ථාව දෙන්න ඕනේ. ආරක්ෂක අංශ කියන්නේ දේශපාලඥයන්ගේ බැලමෙහෙවරකම් කරන කණ්ඩායමක් නොවෙයි. පාරේ කුණු සුද්ධ කරන කණ්ඩායම් නොවෙයි. අපේ රණවිරුව්නට ආත්ම තෘප්තියෙන් කටයුතු කරන්න අපි අවස්ථාව උදා කර දෙනවා. කිසිම දවසක රේස් කාර් පදින්නට මා මේරටේ ජනාධිපති ලෙස රණවිරුවෝ ලව්වා වැලි කොට්ට ගස්සන්නේ නැති බවට මා පොරොන්දු වෙනවා.

මගේ පියාණන් හදපු රන්වියන තිබෙන දළදා මාළිගාව ඉදිරිපිට රණවිරුවන් ලවා වැලිකොට්ට ගහලා පාරවල් වහලා රජකුමාරවරුන් කාර් රේස් පැද්ද හැටි අපට මතකයි. හැබැයි සමහරුන්ට නම් මේක අමතකයි. එවන් යුගයක් නැවත උදා වෙන්නේ නැහැ. අපේ රටේ ජනතාව නව යුගයක් නිර්මාණය කරනවා.

රටේ දුප්පත්කම නිවාරණය කරන සමෘද්ධි වැඩසටහන වගේම ජනසවියත් ක්‍රියාත්මක කරනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ උදාරතර ජනසවිය සංකල්පය ඔස්සේ රටේම දුප්පත්කම අවසන් කරනවා.

මගේ පියාණන් නිල ඇඳුමයි දිවා ආහාරයයි ලබා දුන්නා. මගේ ප්‍රතිවාදින් කණ්ඩායම දිවාආහරය කපා හැරියා. පාසල් යන දරුවන් ලක්ෂ 44 ටම නිල ඇදුම් කට්ටල දෙකයි සපත්තු ජෝඩුවයි දිවා ආහාරයයි අපි ලබා දෙනවා.

හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම කර්මාන්ත පුර හදලා ගමේ යොවුන් පරපුරට ගමේ ඉදලා රැකියා කළ හැකි අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම හැම ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයකම ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික විද්‍යාලය බැගින් ගොඩනගනවා. නව තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යව, ඉංග්‍රිසි භාෂා සාක්ෂරතාවය දුවා දරුවන්ට ගමේ ඉදගෙනම අධ්‍යාපනය හැදෑරිමේ අවස්ථාව උදාකර දෙනවා.

කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂ ව්‍යාපාර පැකේජයක් හදනවා. සහන පොලියට ණය ලබා දී අලුත් ව්‍යාපාර අරම්භ කරලා ව්‍යාපාරික ඉලක්ක වැඩසටහන යටතේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලින් ශක්තිමත් වූ දේශයක් නිර්මාණය කරනවා.

අපේ රටේ මධ්‍යම පන්තිය ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා. රටේ මධ්‍යම පන්තිය ණය බරින්, බදු බරින් බේරා ගන්නට අපි කටයුතු කරනවා. මධ්‍යම පන්තිය වෙනුවෙන් විශේෂ ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මධ්‍යම පන්තිය ආර්ථික වශයෙන් ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙල ඇතුළු සුවිශාල වැඩකොටසක් අපි සැලසුම් කරලා තියෙනවා.

කාන්තා පරපුරට යෞවන පරපුරට වගේම නුපන් දරුවාගේ සිට වැඩිහිටි පරපුර දක්වා දැවැන්ත ආර්ථික සංවර්ධන ව්‍යායාමයක් දියත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

අනාගතය සුබයි. අපේ අරමුණ පොදු ජනතාවගේ මුදල් පසුම්බියට ආදායම ගලාගෙන එන යුගයක් නිර්මාණය කරීමයි. ගමේ නගරයේ රටේ තොටේ මුදල් සංසරණය වර්ධනය වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. එතුලින් මේ රටේ ජනතාව සුවපත් කරනවා. සැපවත් කරනනවා ශක්තිමත් කරනවා.

කෙළෙහිගුණ දත් දේශපාලඥයෙක් ලෙස පුත්තලම ජනතාවගේ ප්‍රශ්නවලට අනිවාර්යයෙන්ම පිහිට වෙනවා. පුත්තලම ජනතාව දෙන ශක්තියත් සමඟ රටේ ජනාධිපති ලෙස මා මුලින්ම පුත්තලමට පැමිණ අරුවක්කාලු කසල ප්‍රශ්නය සම්පුර්ණයෙන්ම විසදන්න කටයුතු කරනවා.

Recommended For You

About the Author: Editor