ලංකාවේ මිනිස්සුන්ට ‘රහට’ කන්න දෙන්න හදපු ‘කීරි සම්බා’ අද ‘සුපිරි’ මාෆියාවක්

‘කීරි සම්බා’ ලොවට බිහිකළ ‘ධනපාලයන්ගේ’ හෘද සාක්ෂියට කන් දෙන්න

“ දැන් මේ ‘සුපිරි’ කියල වචනයක් දාගෙන හාල් වලට. සාමාන්‍ය එකට වඩා රුපියල් පනහක් හැටක් වැඩියි සුපිරි එක. මම හදපු හාල් දැන් මටම කන්න වෙලා රුපියල් 150 ගානේ අරගෙන. මේකටද අපි සම්බා හැදුවේ. නාඩු උනත් සම්බා උනත් ගොවියා හලන්නේ එකම දාඩිය. මේ විදියට බත්කන මිනිස්සුන්ව ගසාකන අනාගතයක් එයි කියල එදා හිතුන නම් අපි ඕව හදන්නේ නෑ”

සුදු වෙන්න පාහිනකොට ඉතුරු වෙන්නේ පිටි විතරයි

කීරි සම්බා හදපු කාලේ ඉන්දියාවට දුන්න නම් එහෙන් ගෙනත් ලාබෙට කන්න තිබුණා

අපේ වැඩිහිටියෝ 3/2ක්ම කෑවේ රට හාල්

දහස් ගණන් පාරම්පරික වී ප‍්‍රභේද මෙරට ඇති බව කීම අතිශයෝක්තියක්

කීර්තිමත් සහල් අභිජනන විද්වතකුගෙන් පසුගිය දිනෙක මා හට තේරුම් ගැනීමට තරමක් අපහසු දුරකථන ඇමතුමක් ලැබුණි. අපගේ ලිපි නිතිපතා කියවන, අවශ්‍ය විටකදී ගුරුහරුකම් දෙමින් අපව පෝෂණය කරන හෙතෙම ආචාර්ය එම්. පී ධනපාල යි.

1996 දී කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාව විසින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම මෙහෙයක් ඉටුකරනලද විද්‍යාඥයාට හිමිවන සම්මානයත්, 2014 දී එවකට සිටි ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් වෙතින් ජනාධිපති සම්මානයත්, 2018 වසරේ පැවැත්වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සමුළුවේදී කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කල මෙහෙය උදෙසා ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සම්මානයත් තම අයිතියට නතුකරගත් මෙම ජ්‍යෙෂ්ඨ විද්වතාගේ දුරකථන ඇමතුමෙන් කියවුනේ, චෝදනාවක්ද, පැමිණිල්ලක්ද, දුක්ගැනවිල්ලක්ද යන්න පැටලුම් හැර දැනගත යුතු නිසාම ඔහු හමුවෙන්නට තීරණය කලෙමි. හෙන පිපිරෙමින් මහ වැසි ඇදහැලෙනා පසුගිය සෙනසුරාදා දිනෙක එතුමන් වෙසෙනා පූගොඩ නිවසට ගොඩවැදුණු මට, එළියේ හෙන හඬ මදිවාට ගෙතුළ තුලද හෙන පිපිරෙනවා සේ දැනින. ආචාර්ය ධනපාලයන්ගේ හඬ ඒ තරමට ආවේගශීලීය.

“දැන් මේ ‘සුපිරි’ කියල වචනයක් දාගෙන හාල් වලට. සාමාන්‍ය එකට වඩා රුපියල් පනහක් හැටක් වැඩියි සුපිරි එක. මම හදපු හාල් දැන් මටම කන්න වෙලා රුපියල් 150 ගානේ අරගෙන. මේකටද අපි සම්බා හැදුවේ. නාඩු උනත් සම්බා උනත් ගොවියා හලන්නේ එකම දාඩිය. මේ විදියට බත්කන මිනිස්සුන්ව ගසාකන අනාගතයක් එයි කියල එදා හිතුන නම් අපි ඕව හදන්නේ නෑ.”

 ‘සුපිරි’ යෙදුම බහුලවම ලාංකික ජනවහරේ භාවිතයට පැමිණියේ සුපිරි වෙළඳසැලේ ආගමනයත් සමගිනි. විවෘත ආර්ථික ප්‍රතිපත්ති වලට අප අනුගත වූ 80 දශකයේ මුල් භාගයේදී බිහිවූ ඒවා ඇත්තටම සුපිරි සේවයක් පාරිභෝගිකයාට සලසා දුනි. බෝංචි කරලක්, අල ගෙඩියක් ගත්තත් තමාට උවමනා ප්‍රමාණයම, තම අතින්ම තෝරාගනිමින්, අන්තිම සතයට තක්සේරුකර මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා පමණක් නොව, පරිසරයට අනාගත බරක් වුවත් බඩු ටික දමාගෙන යන්නට සවිමත් සිලිසිලි මල්ලක්ද ගැනුම්කරුවෙත නොමිලේම ලබා දීමට ඔවුන් පියවර ගනී. බඩු මල්ල ලොකු වැඩිනම් සේවකයෙක් පැමිණ වාහනයටද එය පටවා දෙන්නේය.

වැසි වැටෙන්නේ නම් ආරක්ෂක නිලධාරියෙක් කුඩයක් ඇල්ලීමට වුවත් සූදානමින්ය. පාරිභෝගිකයාද සුපිරි වචනය වෙනුවෙන් අමතරව ගෙවූ රුපියල් කීපය වෙනුවෙන් විඳි පහසුව සම්බන්ධයෙන් තෘප්තිමත්ව ගෙදර යයි. මහනුවර සිට මෙතැනට එත්දී අතර මග කඩයක් ඉදිරිපිට සවිකළ බෝඩ් ලෑල්ලක ‘සුපිරි බුලත්විට’ යනුවෙන් ලියා තිබුනාද මතකය. බුලත් හපයත් සුපිරියට හැපෙන්නේ නම් බත් කට සුපිරි වෙනවාට ධනපාල මැතිඳුන්ගෙන් ඇයි මේතරම් සද්දයක් ?   

ලංකාවේ සහල් විප්ලවය සිදුකල මිනිසුන්ටත්, එය නොකලානම් හොඳයි කියා සිතෙන්නට පටන්ගෙන ඇත්තා සේය. ගවයාගේ පිටෙහි වූ තුවාලයේ වේදනාව කපුටාට දැනෙන්නේ නැත. එය දැනෙන්නේ ගවයාටමය. සහලට වී ඇති ව්‍යසනය හමුවේ වේදනා විඳින්නේත් ධනපාලලාගේම හදවත්ය. ඔවුන් ඒ කාලේ මේ ටික කරද්දී පර්යේෂණ දත්ත විශ්ලේෂණය කරන්නට ඇතැම් විට කැල්කියුලේටරයක්වත් ඔවුන් සතුව තිබුනේ නැත. 

අහවල් ප්‍රභේදය සෑදුවේ මමය, එම වර්ගය මාගේය යයි පවසන මමත්ව මානසිකත්වයකින්ද ඔවුන් ඉදිමී සිටියේ නැත. දෙපයේ සෙරෙප්පු දෙකක්වත් නැතිව, ආයතනයේ ප්‍රධානියාත් සමග කොටකලිසම් හැඳ, තොප්පි දමාගෙන, කුකුලා හඬලද්දී මඩට බසින බතලගොඩ සේනාවට තේ විවේක, කෑම පැය ආදිය ලබා නොදී හිරු අවරට යන දවස් ඕනෑතරම් තිබුණි. ඒ ශ්‍රමය අපතේ ගියාදෝ යයි මැවිසිලි නගමින් කෑ ගසන්නටවත්,  එම රෙජිමේන්තුවේ සිටි භටයින් අතරින් දැනට ජීවමානව සිටින එකම පුද්ගලයා ආචාර්ය ධනපාලයන්ය. එබැවින් ඒ හඬට අප සවන්දිය යුතුය. එහි සාරය සමාජය විසින් උරාගත යුතුය.

20 වෙනි සියවස ආරම්භ වනවිට ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් තිබුනේ නැත. එහෙත් 1902 දී පේරාදෙණියේදී කෘෂිකර්ම ප්‍රදර්ශනයක් නම් පවත්වා තිබේ. නුගවෙල දිසාව විසින් ලංකාවේ ඇති වී මාදිලි 300 ක් එදින ප්‍රදර්ශනයට තබා තිබුණි.

ඊට වසර දෙක තුනකට පසුව ලංකාවේ ගොවීන් අතර වගාකෙරෙන වී වර්ග ගැනද විපරමක් කර ඇති අතර, එතැනදී ගොවීන් අතර ගැවසෙන වී වර්ග ලැයිස්තු ගතකර ඇත. එම ලයිස්තුවේ තිබී ඇත්තේ නම් 168 ක් පමණය. එනම් ලක් පොළොවේ මාදිලි 300 ක් තිබුනද ඇත්තටම කෙත සරුකරන්නට දායක වී ඇත්තේ ඉන් අඩකට මඳක් වැඩි ගණනකි.

“මොලගොඩ කියල කෘෂිකර්ම නිලධාරි මහත්මයෙක් තමයි මේ විස්තර ඉදිරිපත් කරලා තියෙන්නේ. 20 වෙනි සියවස ඇරඹෙද්දී තත්වය එසේ වුවත් මේ නිලධාරියා 1924 දී ලියූ ලිපියේ සඳහන් වෙනවා එම වසර වනවිට ගොවීන් අතර වී වර්ග 567 ක් තිබුනා කියලා. තවත් වාර්තාවක් හදලා තියනවා ඩන්කන් ද සොයිසා කියලා කෙනෙක් 1944 වසරේදී. ඔහු ලැයිස්තු ගත කරලා තියෙන්නේ මෙරට තිබෙන ‘ඇල් වී’ නොහොත් ගොඩ වී වර්ග. එතන තියෙන්නේ 42 යි. ඔය ටික තමයි ලංකාවට නිදහස ලැබෙන කාලය වෙනකොට ලංකාවේ තිබිලා තියෙන්නේ. ඔක්කොම ගත්තත් 609 යි නේ. ඉතින් කොහේද මේ 2000 ක් 3000 ක් තිබුනා කියන්නේ.”

වී පර්යේෂණක්ෂේත්‍රයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම විද්‍යාඥයා එවර පහර දෙන්නේ සමාජයේ අරටුබැස ඇති තවත් විශ්වාසයකටයි. අන්තර්ජාලය බැලුවත්, දේශයේ ජෛව විවිධත්වය ඇඟ තුලට කාවද්දා ගත් කෙනෙක්ගෙන් ඇසුවත්, දැනගන්නට ඇත්තේ ලංකාද්වීපය තුල වී වර්ග 2000 කට වඩා තිබෙනා බවයි. වැඩිදුර යාමට අවශ්‍ය නොවේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ගන්නෝරුවේ පැලැටි ජාන සම්පත් ආයතනයේ බීජ සුරකින ශීත කාමරවලද දහස් ගණනින් වී ප්‍රභේද අන්තර්ගගත වේ.

මේවා දකිනා අසනා කෙනෙක් වැඩිදුර හාරා අවුස්සා බලන්නේ නැතිව දහස් ගණනෙන් ඉලක්කම් හසුරුවා වාර්තා ලියනවා විය හැකිය. එහෙත් වසර සියයක් ඇතුලත සොබාදහමේ බලපෑමෙන් එක රටක් තුලදී, එකසිය ගණනකින් පටන්ගෙන මෙතරම් සංඛ්‍යාවක් නව මාදිලි බිහිවෙනවා යයි සිතීම නම් මිත්‍යාවකි.

නව ප්‍රභේදයක් ස්වභාවිකව බිහිවන්නේ විකෘතියක් සිදුවීමෙන් හෝ වෙනස් දෙමාපියන් අතර අභිජනනයකින් වන අතර එතැන් සිට උපදින දරුවන් පරම්පරා කීපයක් තිස්සේ පරිසරයේ තේරීමට හසුවන නිසා  පරිසරය ජයගත නොහැකි නව ජනිතයින් කිසිවෙක් ඉතිරි වන්නේ නැත. වැඩිපුර සිදුවන්නේද මෙම තුරන් වීමමය. එසේනම් නව මාදිලි බිහිවීම යනු බොහොම හෙමින් සිදුවෙන ක්‍රියාවලියකි.

“ජාන සම්පත් මධ්‍යස්ථානයේ ගොඩාක් මාදිලි තියෙනවා තමයි. සමහර ඒවා විදේශයන්ගෙන් ලැබුන ඒවා. අපේ පර්යේෂණ ස්ථානවලත් දිගටම මේ දෙමාපියන් මිශ්‍රකිරීම බලෙන් සිදුකරවලා අලුත් මාදිලි හදනවා. ඒවායිනුත් එහෙමත් එකක් තමයි වගා කන්න ගණනාවක් තිස්සේ තේරීමකට හසුකරලා අන්තිමට නව ප්‍රභේදයක් හැටියට එලියට දාන්නේ. ඉතින් ඔය අතර මගදී සටනෙන් ඉවත්කෙරෙන මාදිලිත් අංකයක් දාල ජාන සම්පත් මධ්‍යස්ථානයේ ගබඩාවට යවනවා. ඒවා තබා ගැනීමත් වැදගත්. පසු අවස්ථාවක ඒවායේ තිබෙන ලක්ෂණ මිශ්‍රණයත් ඕනෑ වෙන්න පුළුවන්නේ.”

ආචාර්ය ධනපාල පෙන්වා දෙන්නේ දහස් ගණනින් අංක වැටී නව මාදිලි එකතුවෙන ආකාරයයි. එසේ වුවත් මිනිසාගේ මැදිහත්වීමක් නොමැතිව බිහිවෙන නව මාදිලියක් පරිසරය ජයගෙන ස්ථායීවීම නම් සොබා දහමට එතරම් පුරුදු, සුලභ සිදුවීමක් නොවේ. ගොයම් ගස ඉතා ලඟින් මිනිසාව අසුරුකරනා බැවින් විවිධ පළාත්වලදී එකම ගොයම් ගස නොයෙක් නම් වලින් හැඳින්වීම ඉතා සුලභ සිදුවීමකි.

පළාතේ දේශගුණය අනුව හෝ වැවෙන ස්ථානයේ පසෙහි තත්වය මත හෝ ඒවාහි රූපාකාරයද මඳක් එහාමෙහා වී තිබීම ඒවාට අලුතින් නමක් ලැබීමට සුදුසුකමක්ද වන්නේය. නම් දමන කවුරුවත් මේවාහි ජාන සංයුතිය විවරණය කර නම් තබන්නේ නැත. විද්වතුන් තුල තිබෙනා තන්හාවට කවුරුන් විසින් හෝ ගෙනවිත් දෙන රූපාකාරයෙන් වෙනස් පැලෑටියක් ඉවත දමන්නේද නැත.

“මම ඉස්සර බතලගොඩ වැඩකරන කාලේ හැම කන්නයටම එහෙ තිබුණු මාදිලි සේරෝම පොඩි පොඩි පාත්තිවල වගා කරලා ‘අලුත්’ කරනවා. මොකද ඒ කාලේ ගබඩා කරලා තියාගන්න ජාන බැංකු තිබුනේ නෑනේ. නිකන් තිබුනොත් බීජ විනාශ වෙනවනේ. ඒ වගාවේදී මම නිතරම දකිනවා වෙන වෙන මාදිලි වශයෙන් නම් ගහල තිබුනට දාපු පාත්ති හැම එකකම ගොයම් එක කාලේදී පඳුරු දානවා. එකටම පූදිනවා. එක දවසෙම අපි ගොයමුත් කපනවා. ඒ කියන්නේ මේ සේරෝම එකයි. ඔය කාලේදී මම එක දවසක් ඉඟිනිමිටියේ කුඹුරක නියරක් දිගේ ඇවිදගෙන යනකොට ටිකක් වෙනස් වී ගහක් දැක්ක. මේක සුවඳයි. මම ගලවාගෙන ඇවිත් ‘ඉඟිනිමිටිය’ කියල නමක් දාල බතලගොඩ වැවුව. හුඟක් කල් යනතුරු ඒ අය අතර එය භාවිතා උනා ‘ඉඟිනිමිටිය’ කියන නමින්. ඔය විදියට තමයි නම් සේරෝම වැටිලා තියෙන්නේ. දහස් ගණනින් නම් දාගෙන හිටියට ඔතන වැඩිහරියක් තියෙන්නේ ඩුප්ලිකේට්ස් (අනුපිටපත්).”

ආචාර්ය ධනපාල පෙන්වාදෙන කරුණු විග්‍රහ කලවිට සැක පහළවන්නේ සාම්ප්‍රදායික, පාරම්පරික, දේශීය හෝ වෙනයම් සිත් කාවදින නමක් දමාගෙන ලස්සනට අසුරා, ගිනි ගණනට විකිනුවාට, පාරිභෝගිකයා වැයකරන මුදලට සරිලන පෝෂණ වටිනාකමක් මෙම සහල් වලට තිබේද යන්නයි.

සහල් පැකට්ටුවේ සඳහන් කර ඇති පෝෂණ හෝ ඖෂධීය ගුණය, කවුරුන් විසින් කොතැනකදී කුමන ක්‍රමවේදයන් ඇසුරෙන් විශ්ලේෂණය කෙරුවාද යන්න දැනගැනීමට පාරිභෝගිකයාට අයිතියක් තිබුනත්, ඒවා ගැනද කිසිදු සඳහනක් නැත.

දසමහ යෝධයින් කෑවේ මේවා යයි කියමින් ඇති හැකි ඇත්තෝ පමණක් නොව අමාරුවෙන් උපයා ගන්නෝද ගිනි ගණන් ගෙවා විවිධ නම් යටතේ අසුරා ඇති සහල් වර්ග මිලදී ගනිති. ව්‍යාපාරිකයින්ගේ අතමිට සරු කරති.

විචාරාත්මකව නොසිතන්නේ වංචාකාරයෙකි. විචාරාත්මකව සිතන්නට බැරිනම් හෙතෙම මෝඩයෙකි. විචාරාත්මකව සිතන්නට බියවන්නේ නම් ඒ වහලෙකි. ඔබ මේ ත්‍රිත්වයට අයත් නොවන්නේ නම් ඉහත කියූ දෑ තේරුම් ගැනීමේ අපහසුවක්ද නැත.

ආචාර්ය ධනපාල ඇතුළු බතලගොඩ නඩය, මේ පැරණි වී වර්ග අතහැර වැඩි දියුණු කල මාදිලි හදන්නට පියවර ගත්තේත්, ඒ හරහා මෙරට සහල් විප්ලවයක් සිදුකෙරුවේත්, එය එකල ජාතික අවශ්‍යතාවයක් වූ බැවිනි. ඇත්තටම අපේ වැඩිහිටියන් හැමෝම බඩ පිරෙන්නට එදා දේශීය බතක් කෑවානම් මේ විද්වතුන් සහල් විප්ලවයකට කර ගසන්නේ නැත.   

පැරණි වී වර්ග ගොවියා විසින් වැපිරූ 1945 සමයේදී මෙරට ජනගහනය ලක්ෂ හැටහය හමාරකි. එය අද සිටිනා ප්‍රමාණය මෙන් තුනෙන් එකකටත් වඩා අඩුය. එහෙත් අපට කන්නට ඇති පමණ සහල් දේශීයව නිපදවූයේ නැත.

1945 දී ලංකා කෘෂිකර්ම සංගමය මගින් පලකරන ලද විශේෂ ලිපියක මෙරට වී වගාවේ ඉදිරි දිශානතිය මෙසේ වියයුතු යයි සඳහන්ව තිබේ. එම යෝජනා සකස්කර තිබුනේ මෙරට සිටි සුදු ජාතිකයින්ය. අපගේ නිෂ්පාදනය මෙම ජනගහනයෙන් ප්‍රමාණවත් වන්නේ තුනෙන් එකකට බවත්, ඉතිරි තුනෙන් දෙක පිටරටින් ගෙනවිත් ජනතාවගේ කුස පිරවිය යුතු බවත්, එම ලිපියේ නිර්දේශයන් ලෙස සඳහන් කර තිබුනේ වෙනත් කල හැකි දෙයක් සුද්දාට නොපෙනුන නිසා විය හැකිය.

එසේ නම් එදා තිබුණු සාම්ප්‍රදායික හෝ පාරම්පරික යන නමින් හඳුන්වන වී වගාවෙන් ලැබූ දෑ ප්‍රමාණවත් වූයේ රටේ මිනිස්සුන්ගෙන් ලක්ෂ 22 ක් පමණවූ පිරිසකගේ බඩ පිරවීමට පමණය. ඉතිරි කට්ටිය කෑවේ පිටරටින් ගෙනෙනා මිල්චාඩ්ය. නැතිනම් ‘සුදුහාල්’ ය.

හේතුව දැනගන්නට ඕනෑම නම් එදා සිට අදටත් නොකඩවා පලවෙන දිවයිනේ පැරණිතම කෘෂිකර්ම සඟරාව වන ‘ට්‍රොපිකල් ඇග්රිකල්චරිස්ට්’ හි හතලිස් ගණන් වල පලවූ පිටපතක් පරිශීලනය කල හැකිය. ඒ හැම එකකම අවසන් පිටුවල දිවයිනේ වී අස්වැන්නේ විස්තර අන්තර්ගත කර තිබුණි.

ගොවියා එදා ලබාගෙන තිබුනේ අක්කරයකට බුසල් 15 ක් පමණවූ සාමාන්‍ය අස්වැන්නකි. ලක්ෂ 22 ක සොච්චම් ජනතාවක්වත් ඔය තරමින් කාලා හිටියා මදිද? ආචාර්ය සේනාධීරලා, ධනපාලලා නව වී වර්ග බිහිකරමින් අක්කරයක වී අස්වැන්න බුසල් 120 කට නැග්ගූ නිසා අප සහලින් ස්වයංපෝෂණය වූවෙමු. එහි අයිතිය මගේ ආණ්ඩුවට යයි කටමැත දොඩවන්නවුන් ඔහේ හිටපුවාවේ. ධනපාලලාට ඔවුන් හා ආරෝවක් නැත. එහෙත් එතුමාණන් හට යම් සිත් තැවුලක්ද තිබේ.

“බතලගොඩ කණ්ඩායම කල්පනා කළා ‘සම්බා’ හදන්න. මොකද මේකට හොඳ ඉල්ලුමක් තියෙනවා. අස්වැන්න නම් ටිකක් අඩුයි. ඒ පාඩුව මගහැරෙන්න රුපියල් දෙක තුනක් වැඩි මිලකට විකුනුවහම හරිනේ. ඒ කාලේ සම්බා සේරුව රුපියල් අටයි. අපි මුලින්ම බී.ජී. 11 කියන පළමු සම්බා වර්ගය නිදහස් කළා 1970 දි. එතකොට සම්බා මිලත් ටිකක් අඩු උනා. බී.ජී. 12-1 කියල එකකුත් හැදුවට සීත බොල්වීම වගේ අඩුපාඩු තිබුන නිසා නිදහස් කෙරුවේ නෑ. මේ සේරෝම මාස හතර හමාරක් වයස යන වී වර්ග. පස්සේ අපි තීරණය කෙරුවා මාස තුන හමාරේ කෙටිකාලීන ඒවා හදන්න. එතකොට යල මහ දෙකම කරදරයක් නැතුව ගොඩ ගියහැකි. ඒකේ ප්‍රතිපලයක් හැටියට තමයි ‘කීරි සම්බා’ ආවේ. මේකේ නම බී.ජී. 360. ගොවියෝ තමයි කීරි සම්බා නම දාගෙන තියෙන්නේ හාල් ඇටේ දෙපැත්තට උල්හැඩ නිසා. අස්වැන්න පොඩ්ඩක් අඩු නිසා අපි නිදහස් නොකර ටික කලක් තියාගත්තා. අන්තිමට එලියට දානකොට අපි හිතුවේ සාමාන්‍ය සම්බා වලට වඩා රුපියල් 5 ක් විතර වැඩිවෙයි කියලා. දැන් කොහොමද වැඩේ ! කීරි විතරක් නෙවෙයි සුපිරි ත් වෙලා. කිලෝ එක 150 ට වත් නෑ.”

කීරි සම්බා වැඩිපුරම වවන්නේ මහවැලි සී කලාපයේ ගිරාඳුරුකෝට්ටේ, දෙහිඅත්තකණ්ඩිය වැනි ප්‍රදේශ වලය. එහි ගොවීන් සමග වසර 12 කට වඩා වැඩිකලක් ඇසුරු කරමින් මා හටද රැකියා අත්දැකීම් තිබේ. ඔවුහු කීරි සම්බා වවනවා කියා වැඩිපුර යමක් කරන්නේ නැත. බිම් සැකසුම, වැපිරීම, පොහොර යෙදීම, රෝග පාලනය පමණක් නොව ගොයම පාගා හුළංකර බැත ගෙට ගැනීමද සාමාන්‍ය ක්‍රමයටමය. අස්වැන්නේ සුළු අඩුවක් වේ නම් ධනපාල මහතා පවසන ආකාරයට රුපියල් පහ හයක අතිරේක සන්තෝසමකින් අහිංසකයා සෑහීමකට පත්වන්නේය. ඒ හැරුණුවිට කීරි සම්බා වැපිරුවා කියා ඔහුගේ පැල් කොටයේ වහලට උළු තැබුවේවත්, බිමට ටයිල් ඇතිරුවේවත් නැත. මඩ සෝදා ගත්තත් මේ රටේ නම් කිසිදා රජවෙන්නට බැරි වී ගොවියා අමුඩය ගසාගෙන තවමත් වෙල මැද්දේය.

එළියේ තවමත් මහ වැසි වසී. ඉඳහිටවත් ටක්කෙටම හරියන කාලගුණ අනාවැකියට අවනත වූවාසේ එක පිට එක හෙන පුපුරයි. ආචාර්ය ධනපාලයන්ගේ බෝම්බ ප්‍රහාරයද නවතින පාටක් නැත.

“පාරිභෝගිකයාගේ පැත්ත බලන්නකෝ. ‘සුපිරි’ කියල නමක් දාගෙන රුපියල් 50 ක් විතර ගසා කනවා. මොකක්ද ඔකේ සුපිරි කම. පෝෂණය වැඩිද, අපි කොහොමත් ගෙනත් දෙතුන් පාරක් සෝදලා උයනවා. මට කනගාටු අපිම හදපු හාල් අපිටම කවනවා 150 ගානේ මේවා සුපිරි කියල. අපි නොදන්න, ඒ ගොල්ල දන්න, සුපිරි කම මොකක්ද ඕවයේ තියෙන. අපි ඕව හැදුවේ ලංකාවේ මිනිස්සුන්ට කටට රහට හොඳට කන්න. ගොවියාට ඔය සල්ලි යනවනම් ඒත් කමක් නෑ. දැන් මට හිතෙනවා අනූ ගණන්වල ඔය කීරි සම්බා හදපු කාලෙම ඕක ඉන්දියාවට දුන්නනම් අද අපි හැමෝම ඉන්දියාවෙන් ගෙනත් කීරි සම්බා කනවා අඩුගානට. මේ ගසාකෑම එතන නෑනේ.”

මෙතුමානන්ගේ දැක්ම කෙතරම් කාලෝචිතද, සාධාරණද කියා සිතෙන්නේ සාවධානව අසා සිටිද්දීය. ඉන්දියාවෙන් ගෙන්වන පොන්නි සම්බාද බැලූ බැල්මට සුපිරිය. කළු ඇට නැත, සහල් ඇට කැඩී නැත, ගල් දහයියා යනාදී කිසිවක් නැත. ඇත්තටම එදා ඉන්දියාවට සාම්පලයක් දුන්නානම් රුපියල් සියයටත් අඩුවෙන් අපි අද කන්නේ පොන්නි සම්බා නොව සුපිරි කීරි සම්බාය.

කීරි සම්බා වැවුවා කියා ගොවියාට අතිරේක සම්පතක් අත් නොවන්නේ නම්, රටේ මිනිස්සුන්ට සාධාරණ මිලකට බත් කටක් අනා කන්නට නොහැක්කේ නම් ‘සුපිරි’ වචනය වෙනුවෙන් සහල් කිලෝවකට වැයකරන රුපියල් 50 කට වැඩි මුදල යන්නේ කොහාටද? එම පැනය මම එදා ධනපාල ශූරීන්ගෙන් ඇසුවේ නැත. එයට හේතු දෙකකි. එකක් වන්නේ මෙරට සහල් විප්ලවයට කරගැසූ විද්වත් බලඇණියේ දැනට ඉතිරිව සිටින එකම චරිතය, දුෂ්ඨ සමාජයේ නොමනා ක්‍රියාකාරකම් හමුවේ තවදුරටත් නොසන්සුන් කරවීමට තිබූ අකමැත්තයි. අනෙක් හේතුව වන්නේ එම පැනය ඇසුවා නම් මහ රෑ වෙද්දීවත් එතුමාගේ දේශනාව අවසන් නොවේවියයි මා සිත තුල වූ බරපතල සැකයයි.

සනත් එම්. බණ්ඩාර

Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre, Gannoruwa, Peradeniya

Recommended For You

About the Author: Editor