NPP Press: ප්‍රතිපත්තිමය ‘අවබෝධයකින් යුතුව’ ඡන්දය පාවිච්චි කරන්න – ටිල්වින් සිල්වා

ප්‍රතිපත්තිමය අවබෝධයකින් යුතුව ඡන්දය පාවිච්චි කරන ලෙස රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ අද (29) බත්තරමුල්ල හි පිහිටි අවකාශ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, මහින්ද රත්නායක, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ජාතික සංවිධායක නජා මොහොමඩ් මහතා, ජාතික විද්වත් සංවිධානයේ නියෝජිත, නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ඇතුළු පිරිසක්ද මෙහිදී අදහස් දැක්වූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා…

“ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තැපැල් ඡන්දදායකයන් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සහ මතු වී තිබෙන වෙනස් කරුණු සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පැත්තෙන් කරුණු පැහැදිලි කිරීමට මෙම මාධ්‍ය හමුව සංවිධානය කළා.

මෙවර ජනාධිපතිවරණයට අපේක්‍ෂකයන් තිස්පස් දෙනෙක් ඉදිරිපත් වී සිටියත්, ප්‍රධාන අපේක්‍ෂකයෝ තුන්දෙනෙක් විතරයි බලය සඳහා සටන් වැදී සිටින්නේ. ඔවුන් වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිත කිරීම වෙනුවෙන් මේ මස තිස්එක් වැනිදා සහ නොවැම්බර් පළමුවැනිදා පැවැත්වෙනවා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, අනුර කුමාර දිසානායක සහෝදරයා ඉතාමත් ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන යමින් සිටිනවා. උතුර, නැඟෙනහිර ඇතුළු මුළු රට ම ආවරණය වන පරිදි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ම ජනතාවන් ඒකාබද්ධ කර ගත් ප්‍රතිපත්තිමය දේශපාලනයක් අපි සාකච්ඡා කරමින් යනවා. ඒ නිසා වසර හැත්තෑඑකකට පස්සේ පුළුල් ප්‍රතිපත්තිමය අවබෝධයක් සහිතව මේ වර ඡන්දය භාවිත කරයි කියලා, විශේෂයෙන් ම රාජ්‍ය සේවකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.

මේ වන විට අපේ රටේ රාජ්‍ය සේවය එක්තරා ප්‍රමාණයකට අනතුරක තියෙන්නේ. මේ දක්වා ආණ්ඩුව නියෝජනය කළ සජිත් ප්‍රේමදාස මහත්තයාටත්, අනෙක් පැත්තෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාටත් තැපැල් ඡන්ද ඉල්ලා සිටින්න මේ අයට සදාචාරාත්මක අයිතියක් නැහැ කියලා අපි හිතනවා. රාජ්‍ය සේවය දිය කර හරිමින්, රාජ්‍ය සේවක අයිතීන් කප්පාදු කළ අය තමයි, මේ දෙපිරිස ම.

මේ මොහොත වන විටත් රාජ්‍ය සේවකයන් කිසියම් අයිතිවාසිකම් ප්‍රමාණයක් භුක්ති විඳිනවා නම්, කිසියම් වරප්‍රසාද ලබාගෙන තිබෙනවා නම්, ඒ වමේ ව්‍යාපාරය සහ වෘත්තීය සමිති විසින් දුෂ්කර කොන්දේසි යටතේ සටන් කර ලබා ගත් ඒවා. අද වනවිටත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව, උසස් වීම් පටිපාටිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, විශ්‍රාම වැටුප් කප්පාදුව වාගේ අයිතීන් කප්පාදු කිරීම දිගින් දිගට ම සිදු කරමින් තිබෙනවා.

ඉතිහාසයේ දිනාගෙන තිබෙන අයිතිවාසිකම් පවා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවෙන් කප්පාදු කර ඇති නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාටත් රාජ්‍ය සේවක ඡන්දය ඉල්ලන්න කිසි ම අයිතියක් නැහැ. තව පැත්තකින් උපාධිධාරීන්ගේ උද්ඝෝෂණ නිසා සංවර්ධන නිලධාරීන් බඳවා ගත්තා. නමුත්, ඉතා සුළු වැටුපකට නිකම් තියාගෙන ඉන්නවා මිස නිශ්චිත වගකීම් පවරලා නැහැ. රැකියාලාභී උපාධිධාරීන් මුහුණ දෙන ගැටලුවක් ඒක.

මීට අමතරව පෞද්ගලික අංශයේ විශේෂයෙන් වතු කම්කරුවන්ගේ රුපියල් දහසක වැටුප් අරගලය මේ වෙන කොටත් විසඳලා නැහැ. එහෙම තියෙද්දී සජිත් මහත්තයා රුපියල් එක්දහස් පන්සියයක දෛනික වැටුපක් දෙන බව කියනවා. හැබැයි, ඔහු ඉන්න ආණ්ඩුවෙන් රුපියල් දහසවත් දෙන්නේ නැහැ. මේ ආණ්ඩුවත්, කලින් ආණ්ඩුවත් දෙක ම පෞද්ගලික අංශයේ ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්. දෙක ම සූදු කෙළින්න කොටස් වෙළෙඳපොළට යොදවන්න උත්සාහ කරමින් ඉන්නවා. මේ විදියට පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන්, රාජ්‍ය අංශයේ වෙන්න පුළුවන් වැඩ කරන ජනතාවට යමක් ලබා දෙනවා වෙනුවට දිනාගෙන තිබෙන අයිතීන් පවා කප්පාදු කරමින් යනවා.

මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුවත්, මේ ආණ්ඩුවත් රාජ්‍ය සේවකයන් අයිතිවාසිකම් ඉල්ලන කොට අඩුම ගාණේ සාකච්ඡාවක්වත් ලබා නොදෙන තත්ත්වයක් දිගට ම තියෙන්නේ. සාකච්ඡාවක් ගන්නත්, මහ පාරට බැහැලා පෙළපාළි යන්න ඕනෑ වුණා.  පොලිසිය, හමුදාව පැත්තෙන් ගත්තත්, ඔවුන්ගේ දුක්ගැනවිලිවලට ඇහුම්කන් දී නැහැ. ඡන්දයක් ආවා ම මහින්ද රාජපක්‍ෂ මහත්තයලාට රණවිරුවෝ මතක් වෙනවා. සජිත් මහත්තයාට පොලිසියේ මහත්වරුන්ගේ බටා එක මතක් වෙලා තියෙනවා. ඒ බටා එක දෙන්න සජිත් මහත්තයා ජනාධිපති වෙන්න ඕනෑ නැහැ. ආණ්ඩුවේ වගකිව යුතු ඇමතිකමක් දරනවා. ඒ නිසා දෙන්න තිබුණා. ඒකෙන් පේන්නේ, තමන්ගේ දේශපාලන වැඩවලට කම්කරුවන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ ප්‍රශ්න යොදා ගන්නවා මිස ඇත්ත උත්තර ලබා දෙන්න මේ දෙගොල්ලන් ම සූදානම් නැහැ.

රජයේ සේවකයන්ට පීඩා කරපු, සතුරුකම් කරපු කණ්ඩායම් දෙකක් තමයි, ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාත්, සජිත් ප්‍රේමදාස මහත්තයාත් නියෝජනය කරන්නේ. අනෙක් පැත්තෙන් රාජ්‍ය සේවකයන්ට කිසියම් ම හෝ අයිතිවාසිකමක් දිනා දී තිබෙන්නේ, වමේ ව්‍යාපාරය ඇතුළු ප්‍රගතිශීලී සංවිධානවලින් ගෙන ගිය අරගල මඟිනුයි. අපේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුව තුළ ඔවුන් වෙනුවෙන් විශාල හඬක් නඟලා තියෙනවා.

පොලිසියේ වෙන්න පුළුවන් වෙනත් රාජ්‍ය සේවාවේ වෙන්න පුළුවන් වතු කම්කරු අංශයේ වෙන්න පුළුවන් ඒ හැම තැනක ම සටන් කර යමක් දිනා දී තිබෙන්නේ අනුර දිසානායක සහෝදරයා. රජයේ සේවකයා මේ ගැන කල්පනා කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. රාජ්‍ය සේවය කප්පාදු කරපු දිය කර හැරීමට උත්සාහ කරපු අය ඡන්දයක් ඉල්ලන කොට හොඳින් කල්පනා කළ යුතු බව අපි හිතනවා. ඒ නිසා මේ කණ්ඩායම් දෙක ම ප්‍රතික්‍ෂේප කර රාජ්‍ය සේවක අයිතීන් වෙනුවෙන් හැමදා මත් කටයුතු කරපු අනුර දිසානායක සහෝදරයාට ඡන්දය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

ඒකාධිපති පාලකයෙක් එනවා නම්, ජනතාව නිඳිගන්වන පාලකයකුට ඊට මුහුණ දෙන්න බැහැ

ජාතික ජන බලවේගය නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, මහින්ද රත්නායක මහත

“ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළේ අනතුරට හෙළා ඇති ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න කියලා විශාල භීතියක් මවලයි. ඇත්තට ම ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළපු බොහෝ සිද්ුධීන් නිර්මාණය කළේ ඒ ගොල්ලෝ. සහරාන් වගේ අය බිහි කරමින්, ජාතිවාදය, ආගම්වාදය ඇති කිරීමට මුලපිරුවේ ඒ ගොල්ලෝ. ඒක මර්දනය කරන්න ඡන්දය ඉල්ලන එක තේරුමක් නැති වැඩක්. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ කණ්ඩායම ඉල්ලන්නේ, ගෝඨාභය රාජපක්‍ෂ දරුණු පාලකයෙක් බිහි වීම පරාද කරන්න ඡන්දය දෙන්න කියලයි.

සමාජයේ මනෝභාවය භීතියෙන් ඇළලී ගිය ගමන් ම ඒ සමාජයේ බිහි වන පාලකයන් දරුණු පාලකයන් බවට පත් වෙනවා. ජාතික ජන බලවේගය ඉල්ලා සිටින්නේ, එවැනි කවර හෝ කුරිරු පාලනයක් බිහි වීම වළක්වා ගැනීමට ජනතාව සවිබල ගන්වන ලෙසයි. මේවාගේ පාලකයන් සම්බන්ධ අනතුර වළක්වා ගන්න පුළුවන් වන්නේ සමාජය සංවිධානය කිරීමෙන් විතරයි. එක්දහස් නවසිය අසූවේ වැඩ වර්ජනයේ සිට බිඳවැටුණු මේ සමාජ ව්‍යාපාරය ගොඩනඟා ගැනීම සඳහායි අපි මේ සටනට අවතීර්ණ වුණේ. මේ වන විටත් එහි සාර්ථකත්වයක් ලබලා තියෙනවා.

අපි මේ මැතිවරණ ව්‍යාපාරයට එන කොට ප්‍රධාන අපේක්‍ෂකයෝ දෙන්නයි හිටියේ. නමුත්, සති දෙකක් ඇතුළත තුන් කොන් සටනක් බවට පත් කරන්න හැකි වුණා. ජනතාව ඒ දක්වා පෙළගැස්වූවා. ඒ නිසා මේ බලවේගය ආපස්සට හරවන්න පුළුවන් එකක් නොවෙයි කියලා කවුරුත් පිළිගන්නවා.

මේ අවස්ථාවේ අපි කල්පනාකාරී විය යුතුයි. ජාතික ජන බලවේගය දිය කර හරින්න භීතිය තව තව වපුරලා, ඡන්ද කඩා ගන්න බලන උත්සාහයන් තියෙනවා. අපි කියන්නේ, ඒකාධිපති පාලකයෙක් එනවා නම්, ජනතාව නිඳිගන්වන පාලකයෙක් පිටිපස්සේ ගිහිල්ලා, ඒකට මුහුණ දෙන්න බැහැ. ජනතාව අවදි කරලා, එළියට ගන්න පුළුවන් නායකයෙක් ඕනෑ. ඒ වෙනුවෙන් බලවේගය මේ වෙන කොටත් අපි ගොඩනඟලා ඉවරයි. තව තවත් ශක්තිමත් කරන්න විතරයි තියෙන්නේ.

එක්සත් ජාතික පක්‍ෂය ගෙනාපු සමාජ-ආර්ථික වැඩපිළිවෙළ ම මහින්ද රාජපක්‍ෂලාත් ක්‍රියාත්මක කළා. ඒ නිසා විරුද්ධ පක්‍ෂයේ කාර්යභාරය ඉටු කළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් විතරයි. අර්ථසාධක අරමුදල පික්පොකට් ගහන්න ලෑස්ති වෙන කොට ඒකට විරුද්ධව කටුනායක කම්කරුවන් නැඟී සිට එය පරාජය කළා. ජාතික ආරක්‍ෂාවේ නාමයෙන් හමුදාව, පොලිසිය ශක්තිමත් කළත්, අවසානයේ ජනතාවට විරුද්ධව ඒවා යොදවනවා. රතුපස්වල දී සිද්ධ වුණේ ඒකයි. ඒ නිසා ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන ලෙසත්, අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවන ලෙසත් අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීමට ජාතික ජන බලවේගය පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා

ජාතික ජන බලවේගය නියෝජනය කරන යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ජාතික සංවිධායක නජා මොහොමඩ් මහත

“මුලින් ම ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන කොට ලොකු රැල්ලක් ඇති වේවි කියලා ඒ ගොල්ලෝ බලාපොරොත්තු වුණා. නමුත්, ඒක එහෙම වුණේ නැහැ. නමුත්. අනුර කුමාර සහෝදරයා අපේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන කොට මේ දක්වා රට පාලනය කළ දෙගොල්ලට ම අභියෝගයක් වන ලෙස කැපී පෙනුණා.

සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙලත් බලාපොරොත්තු වුණේ, බිම් මට්ටමේ විශාල රැල්ලක් ඇති වෙයි කියලා. නමුත්, ඒකත් වුණේ නැහැ. හැබැයි, සහෝදර අනුර කුමාර දිසානායක අගෝස්තු දහඅට වැනිදා පටන් ගත් ප්‍රචාරය ඉතාමත් ශක්තිමත් වෙලා දවසින් දවස සියලු ම ජන කොටස් එකතු වෙමින් සිටින බව අපි දකිනවා.

මේ නිසා සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්‍ෂ දෙගොල්ලන් ම වැටෙන්න පටන්ගෙන තිබෙන බව පේනවා. මේ වන විට විශේෂයෙන් ම තුන්කොන් සටනක් නිර්මාණය වෙලා සියයට පනහක් කාටවත් ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. දැන් අපට තියෙන්නේ, මේ ශක්තිය තව තවත් වර්ධනය කර ගන්න. ජාතික ජන බලවේගය වටා කණ්ඩායම් තිස්දෙකක් එකතු වෙලා රට පුරා යමින්, ඒ ශක්තිමත් කිරීමේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල අපි රැස්වීම් කීපයක් පැවැත්වුවා. මුස්ලිම් සමාජය ප්‍රගතිශීලී දේශපාලන අරමුණු වෙනුවෙන් ඉදිරිපත් නොවන බවට මතයක් මේ දක්වා තිබුණා. හැබැයි, නායකයෝ අවස්ථාවාදී දේශපාලනය කළාට මුස්ලිම් සමාජය එහෙම නැහැ. විශ්වාස කරන්න පුළුවන් විකල්පයක් බිහි වී තිබෙන බව දැනුණා ම මුස්ලිම් ජනතාව අනුර කුමාර දිසානායක සහෝදරයා වටා විශ්වාසයෙන් එකතු වෙමින් ඉන්නවා.

ඔහු ඉදිරිපත් කරන ප්‍රතිපත්තිය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව පිළිගනිමින් ඉන්නවා. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේ දී නැඟෙනහිර පළාතේ ලොකු වෙනසක් සිදු වී තිබෙනවා. ඒක ඉතාමත් සුවිශේෂී කාරණාවක්. ගෝඨාභය කඳවුර කියන්නේ, ජාතික ආරක්‍ෂාව අනතුර වළක්වන්න ඡන්දය දෙන්න කියලයි. අනෙක් පැත්තෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා සහ ඔහු වටා සිටින මුස්ලිම්, දෙමළ පක්‍ෂ නායකයන් කියන්නේ, ගෝඨාභය එන එක වළක්වන්න සජිත්ට ඡන්දය දෙන්න කියලයි.

රටේ ණය බර, සෞඛ්‍යය, අධ්‍යාපනය වාගේ කිසි ම ප්‍රශ්නයකට උත්තර ඒ ගොල්ලන් ළඟ නැහැ. නමුත්, ජාතික ජන බලවේගය ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. නීතියේ ආධිපත්‍යය ඇති කිරීම, ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීම, දූෂණයෙන් තොර භීෂණය නැති යහපත් පාලනයක් ගොඩනඟන්නේ කොහොම ද කියලා පැහැදිලි සහ ගැඹුරු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ නිසා අවුරුදු හැත්තෑඑකක් අසමත් තත්ත්වයට පත් කරපු මේ රට බේරා ගන්න හැකියාව තියෙන එක ම බලවේගය නියෝජනය කරන අනුර කුමාර දිසානායක සහෝදරයා වටා සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රගතිශීලී කණ්ඩායම් එකතු වී සිටිනවා. ඒ වාගේ ම අපි ඉල්ලා සිටිනවා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටින පාක්‍ෂිකයන්ගෙන් ඔබ අතරමං නොවී ජාතික ජන බලවේගයට එකතු වෙන්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා. ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට ගැළපෙන එක ම වේදිකාව ජාතික ජන බලවේගයේ අනුර දිසානායක සහෝදරයා නියෝජනය කරන බව නැවතත් දන්වා සිටිනවා. ඒ වටා ඔබ සියලු දෙනා එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.”

තමන්ට සංවේදී ම මාතෘකා එක්ක ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ හඳුනා ගන්න

ජාතික ජන බලවේගය නියෝජනය කරන ජාතික විද්වත් සංවිධානයේ නියෝජිත, නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා

“ජාතික ජන බලවේගයත්, පොදුජන පෙරමුණත් මේ වෙන කොට ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කර තිබෙනවා. වෙනදා තිබුණු ජනාධිපතිවරණවලට වැඩිය මේ වර වෙනසක් තිබෙනවා. ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිමය දේශපාලනය නිසා අනෙක් අයටත් සුපුරුදු පොරොන්දු දේශපාලනය පැත්තකට දාලා, ප්‍රතිපත්ති ගැන කතා කරන්න සිදු වෙලා. ඒ අයට ප්‍රතිපත්ති ගැන තියෙන නුහුරුභාවය පෙන්නුම් කරමින් තිබෙනවා.

අධ්‍යාපන ප්‍රතිපත්තිය, කෘෂිකාර්මික ප්‍රතිපත්තිය, සෞඛ්‍ය ප්‍රතිපත්තිය වාගේ සමස්ත ජනතාවට බලපාන කරුණු රැසක් ආවරණය වන පරිදි සකසා තිබෙන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රජයේ සේවකයන්ට වැදගත් වෙන්නේ ඇයි කියලා කල්පනා කිරීම වැදගත්. සුදුසුකම් අනුව සාමාන්‍යයෙන් අවුරුදු විසිපහක දී රාජ්‍ය සේවයට බැඳෙනවා. අවුරුදු තුනක් ගියා ම සේවය ස්ථිර කෙරෙනවා. ස්ථිර වුණා ම මූලික වශයෙන් නිවාස ණයක් ගන්න පෙළැඹෙනවා. ඒ ණය විශ්‍රාම ගන්න දවස දක්වා ම ගෙවන්න සිදු වෙනවා. එතකම් රජයේ සේවකයන්ව මූල්‍ය ආයතනයකට බැඳලා තියෙන්නේ.

මේ ණය බර නිසා සංස්කෘතික ජීවිතය, පවුල් ජීවිතය, සමාජ ජීවිතය ගත කළ යුතු රසවින්දනාත්මක ජීවිතය යන සියල්ල ණය බර නිසා ඇහිරෙනවා. ලක්‍ෂ දහහතරක් පමණ ඉන්න රජයේ සේවකයන් මේ ණය බරෙන් මුදා ගන්නේ කොහොම ද? රජයේ සේවකයන් කිසි ම කෙනකුට ලැබිය යුතු වැටුප ලැබෙන්නේ නැහැ. ජීවත් වෙන්න අසීරු ආර්ථික පරිසරයක් මේ රටේ නිර්මාණය වෙලා. අපේ රටේ තියෙන්නේ, ලාභ උපයන රාජ්‍ය සේවයක් නොවෙයි. රාජ්‍ය සේවය කියන ආයතනය නඩත්තු කරන්න විධිමත් ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෑ. මේ විධිමත් ප්‍රතිපත්තිය ඇතුළේ තමයි, විධිමත් ආර්ථිකයක් හදා ගන්න ඕනෑ. ඒ තුළ පමණයි, රාජ්‍ය සේවකයාගේ වැටුප ලැබීමට නියමිත තත්ත්වයෙන් ලැබෙන්නේ.

පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුලින් ම තිබෙන්නේ, ගෝඨාභය සහ මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ඡායාරූප. පසුගිය අවුරුදු දහයක් පුරා පාලන බලයේ හිටියේ, මහින්ද රාජපක්‍ෂ මහත්තයා. ඔවුන්ගේ තිබෙන අලුත්බව මොකක් ද? මේ අවුරුදු හැත්තෑඑක පුරා ම අනුගමනය කරපු ක්‍රියාමාර්ග මිස වෙනත් කිසි ම අලුත් දෙයක් නැහැ. ඔවුන් සියලු ම දෙනා ආර්ථික, සමාජයීය හෝ අනෙක් ඕනෑ ම අංශයකට සාධනීය බලපෑමක් කරන්න එකතු කරලා තියෙන්නේ මොනවා ද? එහෙම දකින්න කිසි ම දෙයක් නැහැ.

එදා වාගේ ම රාජ්‍ය සේවකයා අදත් කෝචිචියේ, බස් එකේ එල්ලිලා යනවා. මෙන්න මේකට උත්තරය තමයි, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ. මම ඉස්සෙල්ලා කියූ, ඔවුන්ට ප්‍රතිපත්ති දේශපාලනයේ නුහුරුබව කියන්න හොඳ ම උදාහරණය ශාන්තිකර්මවේදීන්. පහසු ආකාරයට ශාන්තිකර්ම කරන්න උපකරණ දෙනවා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ, දුම්මලවලට, පන්දම්වලට, ඉලත්තට්ටුවලට, සාම්බ්‍රානිවලට ටැක්ස් ෆ්‍රී කරන්න පුළුවන්. ඔවුන් කියන්නේ මේක නොවෙයි ද? මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න මේවා ද? ඊ ළඟ අවුරුදු පහේ රට පාලනය කරන්න අපේක්‍ෂා කරන කෙනෙක් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ද මේවා ? කරුණාකරලා, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති දිහා බලන්න.

ලංකා ඉතිහාසයේ මුල් ම වතාවට අපේ කාන්තා ප්‍රතිපත්තිය ඔසප් නිවාඩු ලබා දෙන්න පිළිඅරන් තිබෙනවා. කාන්තා ඇමතිවරියන් අපේ රටේ හිටියා, තවමත් ඉන්නවා. නමුත්, මේ කිසි ම කෙනකුට ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය බරපතළව බලපා තිබෙනවා. සනීපාරක්‍ෂක තුවා භාවිත කරන්නේ රාජ්‍ය සේවයේ නියුතු කාන්තාවන්ගෙන් සියයට තිහක් පමණයි. මේ කාරණා සම්බන්ධයෙන් විවිධ තලවල සොයාබැලීම් කර තිබෙනවා. නමුත්, කවුරුවත් මේ ගැන සාකච්ඡා කර නැහැ. අපි පළමුවැනි වතාවට කාන්තා ප්‍රඥප්තියත් එක්ක මෙය මූලික කරුණක් වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

රටේ ජනගහනයෙන් සියයට පනස්තුනක් කාන්තාවෝ. ඒ වාගේ ම විදේශ විනිමය ඉපැයීමේ ඇඟලුම්, වතු, විදේශ රැකියා කියන ප්‍රධාන මාර්ග තුනේ ම සාතිශය බහුතරය කාන්තාවන්. ඒ නිසා ඔවුන් සම්බන්ධ ගැටලු අපි සුවිශේෂී වශයෙන් සලකා බලා තිබෙනවා. මේ ආදී වශයෙන් ප්‍රතිපත්තිමය දේශපාලනයේ පියවර ගණනාවක් අපි තබා තිබෙනවා. දරුවෙක් ඉස්කෝලේ දා ගන්න, ආර්ථිකයේ වංචා, දූෂණ අවම කිරීම වාගේ කරුණු කීපයක් හරි සලකා බලලා, ඒ තුළින් තමන්ට සංවේදී ම මාතෘකා එක්ක ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ හඳුනා ගන්න කියලා විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ තුළින් ඔබේ දරුවා වෙනුවෙන් මේ රට ගොඩනඟන ජාතික ජන බලවේගයේ ‘මාලිමාව’ ලකුණ ඉදිරියේ ඡන්දය ලකුණු කර අනුර දිසානායක සහෝදරයාව බලයට පත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. විශේෂයෙන් රජයේ සේවකයා කියන්නේ, මේ රට ඉදිරියට තල්ලු කරගෙන යන මූලික බලවේගය නිසා මේ පිළිබඳව කල්පනා කර ක්‍රියා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ බුද්ධිමත් තීරණය ඔබ ක්‍රියාත්මක කර මූලික ආදර්ශය ලබා දෙයි කියන විශ්වාසය අපට තිබෙනවා.”

ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

“මේ ආණ්ඩුව පටන් ගත්ත ගමන් ම රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දහදාහකින් වැඩි කළේ දිගු කාලයක සිට ම ජනතා විමුක්ති පෙරමුණ සහ අනෙකුත් වමේ ව්‍යාපාර අරගල කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනුයි. ඇත්තට ම ඒක කළෙත්, එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට වඩා ඊට පෙර තිබුණු තාවකාලික ආණ්ඩුවයි.

ඔවුන්ට මේක නොදී යන්න බැරි තත්ත්වයට බලපෑම් ඇති කර තිබුණා. ඉතිහාසය පුරා ම වැඩ කරන ජනතාවගේ යම් කිසි හෝ අයිතියක් ලබා දී තිබෙන්නේ, ආණ්ඩුවලට එල්ල කළ දැවැන්ත පීඩනයන් නිසායි. උදාහරණයක් හැටියට උපාධිධාරීන්ට රැකියා ලබා දුන්නේ, තමන්ගේ කැමැත්තෙන් නොවෙයි. විශාල උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කළ නිසයි. වමේ ව්‍යාපාර, ප්‍රගතිශීලී ව්‍යාපාර ශක්තිමත් වුණොත් තමයි, රජයේ සේවකයන්ගේත්, ජනතාවගේත් අයිතීන් ලබා ගන්න හැකි වෙන්නේ. රජයේ සේවකයන් සම්බන්ධයෙන් රුපියල් දහදාහක වැටුප් වැඩිවීම ගැන කතා කළාට වතු කම්කරුවන් දවසක වැටුප රුපියල් දාහක් ඉල්ලලා, ඒක දෙන්න පොරොන්දු වුණත්, තාමත් ක්‍රියාත්මක කළේ නැති බවත් අමතක නොකළ යුතුයි.

රාජ්‍ය සේවයේ යෙදී ඉන්න නිලධාරීන් විටින් විට ඔවුන් මුහුණ පාන ගැටලු හමුවේ අදහස් පළ කර තිබෙන බව අපි දකිනවා. අපි ඒවා බරපතළ ලෙස ගණන් ගත යුතු නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුව පරාජයට පත් කරන්න විශාල ම බලපෑම් කළේ ජනතා විමුක්ති පෙරමුණේ අපි. ඔවුන්ගේ වංචා, දූෂණ හෙළි කරමින්, අප සතුව තිබුණු තොරතුරු පැමිණිලි විදියට එෆ්.සී.අයි.ඩී. එකට, සී.අයි.ඩී. එකට අල්ලස් කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. ඒවා ගැන පරීක්‍ෂණ කෙරෙන ආකාරය ගැන පසුවිපරම් කළා මිස කිසි ම මොහොතක අනවශ්‍ය බලපෑම් කරන්න ගියේ නැහැ. දැන් පතුරුවමින් තිබෙන භීතියට සාමාන්‍ය ඡන්දදායකයන් විතරක් නොවෙයි, රජයේ නිලධාරීන්, මාධ්‍යවේදීන්, වෙනත් විවිධ වෘත්තීන්වල නියුතුව සිටින අය විවිධ ආකාරයේ ප්‍රකාශ කරනවා. ඒ ගැන පැහැදිලි අවබෝධයක් අපට තිබෙනවා.”

Recommended For You

About the Author: Editor