මුහුදු වැලි පැකට් හෙට සිට වෙළෙඳ පොළට

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සෝදාහල මුහුදුවැලි අලෙවි කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඇසුරුම් කළ වැලි පැකට් වෙළෙඳ පොළට හඳුන්වාදීම වත්තල, කෙරවලපිටිය ප්‍ර‘දේශයේ පිහිටි එම සංස්ථාවට අයත් සෝදා හලන ලද මුහුදුවැලි ඇසුරුම් මධ්‍යස්ථානයේදී හෙට (01දා) දින සිදුකිරීමට නියමිතය.

ඒ අනුව රුපියල් මිලියන 400ක පමණ වියදමින් ඉදිකරන ලද මෙම මධ්‍යස්ථානයද මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 08.00ට විවෘත කෙරෙනු ඇති අතර, කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි ඉදිකිරීම් ද්‍රව්‍ය අලෙවි සැල් වෙත වැලි ඇසුරුම් බෙදාහැරීමද එහිදී සිදුකිරීමට නියමිතය.

ඉතා පහසුවෙන් මිලට ගැනීමේ හැකියාව ඇති මෙම ඉදිකිරීම් සඳහා නිර්දේශිත මෙම වැලි පැකට්ටුවක (කිලෝ ග්‍රෑම් 50) මිල රුපියල් 220ක් වන අතර, මෙහි නියමු ව්‍යාපෘතිය ලෙස බස්නාහිර පළාත තුළ ප්‍රථමයෙන් වැලි පැකට් බෙදාහැරීමට  ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු යොදා තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් එම සංස්ථාවේ සභාපති මෙන්ම අදාළ ව්‍යාපෘතියේද සභාපතිවරයා වන රොෂාන් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ,

“මෙම වැලි ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සඳහා යොදාගැනීමට යෝග්‍ය වන බවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ඉංජිනේරු ද්‍රව්‍ය පර්යේෂණාගාරය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කාර්මික තාක්‍ෂණ ආයතනය, මොරටුව කටුබැද්ද විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අධ්‍යයනාංශය යන ආයතන විසින් සහතික කර තිබෙනවා.

ඒ වගේම ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේද ප්‍රමිති සහතිකය ලබා තිබෙනවා. අප සංස්ථාවේ කෙරවලපිටිය ප්‍රධාන වැලි සංචිත භූමියේ පිහිටි ප්‍රධාන අලෙවි සැලෙන් සහ කැලණිය – මුදුන් ඇග, නාවල- කිරි මණ්ඩල මාවත, දෙහිවල- අත්තිඩිය, රාජගිරිය- අඹගහ හන්දිය හා හංවැල්ල යන ස්ථානවල පිහිටි අලෙවි මධ්‍යස්ථාන 05 හරහා වැලි තොග වශයෙන් අලෙවි කිරීම මේ වනවිටත් සිදු කරනු ලබනවා. ඒ අනුව ඉදිරි මාස 12ක කාලය තුළදී බස්නාහිර පළාතේ තවත් ස්ථාන 12ක නව වැලි විකුණුම් මධ්‍යස්ථාන පිහිටු වීමට කටයුතු සූදානම් කර තිබෙනවා” යනුවෙනි.

Recommended For You

About the Author: Editor