මෙරට දෙවන ජාතික රෝහල ලෙස ‘මහනුවර ජාතික රෝහල’ නම් කෙරේ

මහනුවර ශික්ෂණ රෝහල මහනුවර ජාතික රෝහල වශයෙන් අබිසෙස් ලැබීමේ ජාතික උත්සවය (ඔක්තෝබර් 30) මහනුවර රෝහල් පරිශ්‍රයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

මහනුවර රෝහල ශ්‍රී ලංකාවේ දෙවන විශාලම තෘතීයික සත්කාරක සේවා රෝහලයි. මෙම රෝහලේ ඉතිහාසය 18 වන සියවස දක්වා දිවයයි. 1861 වසරේ දී වසූරිය රෝගය සදහා ප්‍රතිකාර කිරිමට මහනුවර දෙයියන්නේවෙල ප්‍රදේශයේ කුඩා ආරෝග්‍ය ශාලාවක් ලෙස ආරම්භ වී පසුව නාගරික රෝහලක්, මහ රෝහලක් සහ ශික්ෂණ රෝහලක් දක්වා සංවර්ධනය වෙමින් අද දින මෙරට දෙවන ජාතික රෝහල ලෙසින් ඉතහාසගත වේ.

අක්කර 58 ක භූමි ප්‍රදේශයක ව්‍යාප්තව, විශේෂඥ වෛද්‍ය සේවාවන් 62 ක ප්‍රමාණයක් සපයනු ලබයි. වාට්ටු සහ විශේෂිත  ඒකක 112 කින් ද, දැඩිසත්කාර ඒකක 11 කින් ද සමන්විතව 2400 කට අධික රෝගීන් ප්‍රමාණයකට දෛනිකව නේවාසික ප්‍රතිකාර සැපයේ. බාහිර රෝගී අංශයේ දී දිනකට රෝගීන් 1100 ක් පමණ ප්‍රතිකාර සේවා ලබාගන්නා අතර සායන 40 ක් මගින් වාර්ෂිකව ලක්ෂ 10 කට අධික රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබා දීම සුවිශේෂී කරුණකි.

නවීන පහසුකම්වලින් සමන්විත රසායනාගර පහසුකම් ඔස්සේ වාර්ෂිකව ලක්ෂ 25 කට අධික රෝග නිරික්ෂණ හා පරීක්ෂණ සේවාවන් ලබාදෙයි. විකිරණ පරීක්ෂණ සේවාවන් රැසක් ද සපයනු ලබන අතර ශල්‍යාගාර 11 කින් යුක්ත වන අතර වාර්ෂිකව සිදු කරන  ශල්‍යකර්ම සංඛ්‍යාව 70,000 කට අධිකයි. කර්ණ සංඛ බද්ධ කිරීම්, විවෘත හෘද ශල්‍යකර්ම, වකුගඩු බද්ධ කිරිම් ද මෙම රෝහලේ සිදු කරන ලබන විශේෂිත සේවා වේ.

මෙරට ප්‍රථම හදවත් බද්ධය ද මෙම රෝහලේ දි සිදු කරනු ලැබීය. ශික්ෂණ රෝහලකත් ලෙස පේරාදෙනිය විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයටත්, මහනුවර හෙද විදුහලටත් අනුබද්ධව වෛද්‍ය සිසුන්, හෙද සිසුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශාල ප්‍රමාණයක් පුහුණුවීම්  සිදු කරන්නේද මහනුවර ජාතික රෝහල තුළ වීම විශේෂත්වයක්. පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණුව, රුධිර කාන්දුකරණ පුහුණුව, දැඩි සත්කාර ඒකක පුහුණුව ආදි විශේෂිත පුහුණූ වැඩසටහන් සදහා මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා කරන අතර දේශිය සහ විදේශීය සිසුන් සදහා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක විශාලම වකුගඩු ඒකකය මෙම රෝහලේ පවතින අතර, නවින රුධිර කාන්දුකරණ ඒකක 03 ක් ඔස්සේ දිනකට රෝගීන් 150 කට ආසන්න ප්‍රමාණයක් සේවා ලබා ගනියි. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්ම 1250 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සිදු කර ඇත.

ඖෂධ සැපයීමේ දී ඖෂධාගාර 05 ක් ඔස්සේ දිනකට බාහිර හා නේවාසික රෝගීන් 3000 කට අධික ප්‍රමාණයකට ඖෂධ ලබාදීම සිදු කරනු ලබයි. භෞත චිකිත්සක, වෘත්තීය චිකිත්සක, අක්ෂි චිකිත්සක, විකිරණ චිකිත්සක හා උපදේශණ සේවාවන් වැනි සේවාවන් ද සපයනු ලබයි. රෝහලේ ශීඝ්‍ර සංවර්ධනය තුළ දැනට ඉදිවෙමින් පවතින නව පිළිකා ප්‍රතිකාර ඒකකය, තැලසීමියා හා ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකය, හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය, හෙද විදුහල් අධ්‍යාපනික ගොඩනැගිල්ල වැනි ව්‍යාපෘතීන් රැසක් සුව සේවාවට එක්වීමට නියමිතව ඇත. පළාත් 09 න් පළාත් 07 ක රෝගීන්ට මෙම රෝහලෙන් සේවා සපයා ගනු ලැබිම ද විශේෂත්වයකි.

Recommended For You

About the Author: Editor