‘ශ‍්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත – එක්ව ගමන යමු’ සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දකී

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ‘ශ‍්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත – එක්ව ගමන යමු’ මහනුවර ක්වීන්ස් හෝටලයේදී අද (31) එළිදැක්වීම සිදු වුණා.

‘සජිත් සමාජ විප්ලවය’ ලෙස නම් කර ඇති මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද පෙරවරුවේ ප‍්‍රථමයෙන් පිළිගැන්වූයේ මල්වතු – අස්ගිරි මහා නා හිමිවරුන් වෙතයි.

ඉන් අනතුරුව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මහනුවර ක්වීන්ස් හෝටලයේදී එළිදැක්වීම සිදු වුණා.

‘සජිත් සමාජ විප්ලවය’ නම් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකසා ඇත්තේ විශේෂ කරුණු 20ක් ඔස්සේයි.

විශ්වීය විශ්ව විද්‍යාල අධ්‍යාපනයක්, විශ්වීය සෞඛ්‍ය ආරක්‍ෂාවක්, ආගමික අන්තවාදය සහ ප‍්‍රචණ්ඩත්වය නොඉවසන ප‍්‍රතිපත්තියක්, මත්ද්‍රව්‍ය සහ දූෂණ නොඉවසන ප‍්‍රතිපත්තියක් යන කරුණුද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස විසින් අද එළිදැක්වූ සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇතුළත්ව තිබෙනවා.

සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමෙන් අනතුරුව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකල අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙලෙස උත්සව සභාව ඇමතුවා.

මේ අවස්ථාව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුලු නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නායකයින් සහභාගීවී සිිටියා.

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් විශේෂිත කරුණුවල කෙටි සාරාංශයක් පහත පළ වෙනවා.

1- දරාගත හැකි මිලගණන් සහ ඉහළ ගුණාත්මක ජීවිතයක් : නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යාරක්ෂාව, ප‍්‍රවාහනය සහ විදුලි සංදේශනය කාටත් දරාගත හැකි අන්දමින්, ඉහළ ගුණාත්මක පෞද්ගලික අංශයේ රැකියා ඔස්සේ ඉහළ වැටුප්

2- සැමට සෙවණ : 2025 වසර වනවිට නිවාස හිමි සමාජයක්. ඉඩම් බලපත‍්‍රලාභීන්ට ඉඩම් හිමිකම.

3- සැමට විශ්වීය පෙර පාසල් අධ්‍යාපනයක් : නිදහස් අධ්‍යාපනය පෙර පාසල දක්වා පුළුල් කෙරේ. 

4- විශ්වීය විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් : පාසලින් පිටවන සෑම පුද්ගලයෙකුටම විශ්වවිද්‍යාල උපාධියකට, වෘත්තීය සුදුසුකමකට හෝ වෘත්තීය පුහුණුවකට අවස්ථා

5- විශ්වීය සෞඛ්‍යාරක්ෂාවක් : නොමිලේ බෙහෙත්, නිදහස් වෛද්‍ය පරීක්ෂණ සහ සත්කාර සැඟවුණු ගාස්තු රහිතව. වයස අවුරුදු 35ට වැඩි සැමට නොමිලේ වෛද්‍ය පරීක්ෂාවක්. ගර්භණී මව්වරුන්ට තවත් සහන

6- වගකියන නායකත්වයක් : දූෂණයෙන් හා බැඳියා පිළිබඳ ගැටුම් නැති ඇමැති මණ්ඩලයක්. ඥාති සංග‍්‍රහයට තිත. නෑදෑයින්ට රජයේ පත්වීම් නැහැ.

7- මත්ද්‍රව්‍ය සහ දූෂණ නොඉවසන ප‍්‍රතිපත්තියක් : ඉක්මණින් නීතිමය කි‍්‍රයාමාර්ග. දණ්ඩනයට ලක්කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සමාවක් හෝ දඬුවම් අඩුකිරීමක් නැහැ.

8- ආගමික අන්තවාදය සහ ප‍්‍රචණ්ඩත්වය නොඉවසන ප‍්‍රතිපත්තියක් : නිවසේදීත්, ආගමික ස්ථානයේදීත් සැමටම බියෙන් තොර ජීවිතයක්.

9- ශක්තිමත් සහ සුහුරු ජාතික ආරක්ෂක මූලෝපායක් : ජාතික ආරක්ෂාව නීතියෙන් තහවුරු කර, නිසි පුද්ගලයන් නිසි වගකීම්වලට.

10- රාජ්‍ය අංශයට ගරුත්වය : ජාත්‍යන්තර අත්දැකීම් ලැබීම සඳහා රජයේ සේවයට ශිෂ්‍යත්ව. රාජකාරි වගකීම තුළ ගත් කි‍්‍රයාමාර්ගවල ගැටලූවකදී නීති සහාය.

11- ජනතාවගේ රජයක් : ලේඛන, අවසර පත‍්‍ර හා බලපත‍්‍ර අන්තර්ජාලයෙන්.

12- මූල්‍ය වෙළඳපොළ : නව ජාතික සංවර්ධන බැංකුවක්. වරාය නගරයට ආයෝජකයන් ආකර්ශනය කරගැනීම සඳහා තරගකාරී බදු ව්‍යුහයක්.

13- කාන්තාවන් දිරිගැන්වීම  : කාන්තා ප‍්‍රඥප්තිය කි‍්‍රයාවට නැංවේ. පළාත් සභාවලට, පාර්ලිමේන්තු සහ ජාතික ලැයිස්තුවටත් කාන්තාවන් වෙනුවෙන් 25%ක කෝටාවක්. කාන්තාවන්ට සුරක්ෂිත පොදු ප‍්‍රවාහනයක්.

14- කුඩා ව්‍යවසාය බලසතු කිරීම : මාසික වෙළඳාම රුපියල් මිලියන 4ට අඩු සියලූ ව්‍යාපාර වැට් බද්දෙන් නිදහස්.

15- ගොවීන් බලසතු කිරීම : ගොවි සමුපකාර හරහා ගොවීන්ට නොමිලේ බිත්තර වී සහ පොහොර.

16- පරිසරය සහ බලශක්තිය : අලි-මිනිස් ගැටුමට සහ කසල කළමනාකරණයට පාරිසරික වශයෙන් පිළිගත හැකි ප‍්‍රජා කේන්ද්‍රීය විසඳුම්. 2040 වසර වනවිට 100%ක්ම පුනර්ජනනීය බලශක්ති වෙත නැඹුරුවීමට සැලසුම්.

17- ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය දිරිගැන්වීම : රු. බිලියන 10ක ජාතික අවදානම් ව්‍යවසාය ප‍්‍රාග්ධන අරමුදලක්. රු. බිලියන 10ක ජාතික නවෝත්පාදන අරමුදලක්.

18- වෙළඳපොළට සූදානම් තරුණ ජනගහනයක් : තරුණයන්ගේ සන්නිවේදනය, භාෂාව, තාක්ෂණය සහ මෘදු කුසලතා වර්ධනය කිරීම සඳහා සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ‘විශිෂ්ටතා මධ්‍යස්ථාන’

19- සංක‍්‍රමණික ශ‍්‍රමිකයින් ඇගයීම : තානාපති කාර්යාලවලින් සහන නිවාස ණය, වැඩිකළ තීරුබදු දීමනා සහ නීති ආධාර ලබාගැනීමේ පහසුව.

20- පොදු ප‍්‍රවාහනය : බස් නවීකරණය, දුම්රිය විද්‍යුත්කරණය, සැහැල්ලූ දුම්රිය පද්ධතියක් සහ සුහුරු වාහන කළමනාකරණ පද්ධතියක් සමග බහුවිධ පොදු ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියක්.

Recommended For You

About the Author: Editor