වරාය නගරය සියයට සීයයක් ශ‍්‍රී ලාංකිකයි – ඇමති චම්පික රණවක

මේ සියල්ලම අද ශ‍්‍රී ලංකා රජයේ නාගරික සංවර්ධන අධිකාරියට අයිති වස්තුවක්. ඒ අනුව සින්නක්කරව හෝ වෙනයම් ආකාරයකට, කිසිම ආකාරයකට විදේශිකයන්ට කිසිම මූලික අයිතියක් නැහැ, මූලික අයිති ශ‍්‍රී ලංකා රජයට

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ වරාය නගර ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම පිළිබඳව සහ එහි ප‍්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එම මාධ්‍ය හමුව අද(01) දින බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. 

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව විශාල විරෝධතා, උද්වේගකර ආකාරයේ ප‍්‍රතිචාර ඇති වුණා. මෙම වරාය නගරය පිළිබඳ අදහස මුලින්ම ඇතිවුණේ 2001-2002 රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යතුමාගේ කාලයේ සෙස්මා නැමති සැලසුමෙන්.  ඊට කලින් කලම්බු මෙට්රො පොලිටන් ප්ලෑන් එක මගින් දැන් තිබෙන වරාය ඇතුළේ පැරණි ජැටිය අයින් කර අලූත් ජැටි හදලා වරාය නගරයක් නිර්මාණය කිරීමට සැලසුමක් තිබුණා.

මුහුද ගොඩකර වරාය නගරය නිර්මාණය කිරීමේ අදහස ආවේ 2001-2002 කාලයේදී. ඒ සැලසුම අනුව තමයි චයිනා කන්ස්ට‍්‍රක්ෂන් කොමියුනිකේෂන් කොන්සෝටියම් කියන ආයතනය ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් ආයෝජනය කර මෙම වැඩපිළිවෙල ආරම්භ කළේ. එනමුත් එය විරෝධතා නිසා සහ රජයේ වෙනස්වීම නිසා ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට නොහැකි උනා.

මෙමගින් රටේ ස්වෛරී අයිතියක් විදේශිකයන්ට පැවරෙන්න යන බව තමයි ප‍්‍රධාන චෝදනාව වූයේ රටක් ඇතුලේ තව රටක් පවත්වාගෙන යනවාය කියලා.

දෙවන කාරණය ලෙස මෙම ගොඩකිරීමේ කි‍්‍රයාවලියට විධිමත් පරිසර අධ්‍යනයක් සිදු කර තිබුණේ නැහැ. ඒ නිසා මෙම ගොඩකිරීමට අවශ්‍ය කළුගල් සහ වැලි ගැනීමේදී රටේ පරිසර පද්ධතියට භයානක හානියක් සිදුවන්න යනවා කියන ගැටළුව.

තුන්වන කාරණය ලෙස අවට කලාපයේ ජීවත්වන ධිවර ජනතාව සහ අනෙකුත් අයගේ සමාජ ජීවිතයට එල්ලවීමට නියමිතව තිබෙන විශාල බලපෑම්, බාධක ඒ පිළිබඳව විධිමත් සමාජ අධ්‍යනයක් සිදුකර නැහැ කියන චෝදනාව.

හතරවනුව ජාත්‍යන්තර වශයෙනුත් සැකමුසුකම් ඇතිවුණා මෙය එක්තරා ආකාරයක යුධ කඳවුරක් ලෙස පාවිච්චි වෙනවාද, කිබුටිවල වගේ ඉන්දියානු සාගරයේත්. එහිදී අපි ජාත්‍යන්තර ගැටළුවලට මුහුණ දෙන්න යනවාද කියන ප‍්‍රශ්නය. පස්වන කාරණය වශයෙන් මෙතන කාර් රේස්, කැසිනෝ, විවෘත ගණිකා ව්‍යාපාරයක් පවත්වා ගැනීමට උත්සාහ කිරීමක් වැනි චෝදනාත් මෙහි ඇතුළේ ඇති සැලසුමෙහි තිබෙන බවට සමාජයේ සැහෙන කතා බහට ලක්වුණා.

නමුත් 2014 වරාය අධිකාරියත් සමග කි‍්‍රයාත්මක කිරීමට ගිය මෙම ව්‍යාපෘතිය රජය මගින් නාගරික සංවර්ධන අධිකාරියට භාර දීමට කටයුතු කළා. ඒ අනුව අප විසින් ආදාල චීන සමාගම සමග සාකච්ඡුා කර මෙම ගිවිසුම නිශ්චිතව වෙනස් කළා.සින්නක්කරව ඉඩම් ලබාදීමට තිබූ වගන්ති ඉවත් කර සියලූම ඉඩම් ශ‍්‍රී ලංකා රජය සතු විය යුතුයි කියලා තීරණය කළා. ඒ වගේම දෙන ලද ඉඩම් 99 අවුරුදු බදු හැටියට ලබාදීමටත්, සියළුම ඉඩම් රජය සතු කර ගැනීමටත් අප තීරණය කළා.

දැනට ගොඩකර තිබෙන වරාය නගර භූමි ප‍්‍රදේශය වන හෙක්ටයාර 269 ක් වගේම කෘතිමව සාදා තිබෙන ජල තටාංගනය ඇතුළු ප‍්‍රදේශය ගත්තහම හෙක්ටයාර 446කට ආසන්න ප‍්‍රමාණයක්. ඒ කියන්නේ අක්කර 1000 කට ආසන්න ප‍්‍රමාණයක්. මේ සියල්ලම අද ශ‍්‍රී ලංකා රජයේ නාගරික සංවර්ධන අධිකාරියට අයිති වස්තුවක්. ඒ අනුව සින්නක්කරව හෝ වෙනයම් ආකාරයකට, කිසිම ආකාරයකට විදේශිකයන්ට කිසිම මූලික අයිතියක් නැහැ, මූලික අයිති ශ‍්‍රී ලංකා රජයට.

රජය මගින් ජනාධිපතිතුමාගේ විශේෂ නියෝගයක් මගින් එය නාගරික සංවර්ධන අධිකාරියට පසුගියදා පවරනු ලැබුවා. ඒ අනුව මෙම ඉඩම මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක්. ඉදිරි සංවර්ධන කටයුතු අපි එකඟතාවය ඇති කරගෙන ඇති පරිදි ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට අනුකුලව සිදුකරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

එම ගිවිසුමේ තවත් වගන්ති කිහිපයක් අපි වෙනස් කරනු ලැබුවා. ඒ අනුව වසර තුනක් යන තුරු රජයට මෙහි ඉඩම් පාවිචිච් කිරීමට නොහැකිය කියන නියෝගය සම්පූර්ණයෙන් ගිවිසුමෙන් ඉවත් කරනු ලැබුවා.  අපට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා මෙහි ඉඩම් සංවර්ධනය සඳහා යොමු කරන්න. පියවරෙන් පියවර එම කටයුතු අපි සිදු කරනු ලබනවා. රජය, නාගරික සංවර්ධන අධිකාරිය පැත්තෙන් අපි ඉඩම් කොටස් තුනක් ඉදිරි කාලයේදී අන්තර්ජාතික පාසලක්, රෝහලක්, ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවක් සහ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ආයෝජකයින් කැඳවීම් කරනු ලබනවා.

ඒ වගේම මෙම නගරයට අපි අරමුණක් ලබාදුන්නා නගරය තුළ මූල්‍ය නගරයක් හැටියට. ඒ අනුව මූල්‍ය නගරය ගොඩනැගීමේ වගකීම චයිනා හාබර් සමාගමට පැවරී තිබෙනවා. ඒ ඉඩම් අපි නුදුරේදීම බදු ආකාරයට ලබාදෙනවා. ඒ වගේම අපි ගොඩකරන්න එක පරිසර අධ්‍යනයක් සිදු කළා. නියෝග හැත්තෑගණනක් අපි මෙම සමාගමට නිකුත් කරනු ලැබුවා අනිවාර්යයෙන්ම ගොඩකිරීම් සිදු කිරීම සඳහා. කොළඹ ගිලාබසිනවා ආදී නොයෙකුත් කටකතා පතුරුවනු ලැබුවා විවිධ පාර්ශව මගින්. එනමුත් අපේ දේශීය ඉංජිනේරුවන් ඇතුළු ව්‍යාපෘති ඉංජිනේරුවන් විසින් මෙහි කටයුතු සාර්ථකව නිම කරනු ලැබුවා.

මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීම සඳහා අපි තවත් පරිසර අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. ඒ අනුව එහි ඉදිකිරීම් කටයුතුත්  ඕන  ඕන විදිහට සිදු කරන්න බැහැ එම අධ්‍යනයේත්, මධ්‍යම පරිසර අධිකාරියෙත් නියෝගවලට අනුව සිදුකළ යුතුයි. 

ඒ වගේම 2014 රාජපක්ෂ ගිවිසුමෙන් අපට තවත් බර කොන්දේසියක් දාලා තිබුණා මෙහි සියලූ නඩත්තු කටයුතු ලංකා ආණ්ඩුවෙන් සිදු කළ යුතු බවට.  මේ සඳහා විදුලි බලමණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, කැළි කසළ, මලාපවහන වශයෙන් රජයත් විශාල ආයෝජනයක් සිදු කළා. එම ආයෝජනයේ ප‍්‍රතිලාභ රජයට ලැබිය යුතුයි. නමුත් අවසානයේ එමගින් එම නඩත්තු කටයුතු රජයටම පවරනු ලැබුවා. දැන් එහෙම නැහැ, රජයත්, පුද්ගලික අංශයත්, එයට අදාල ආයෝජකයනුත් සම්බන්ධ සමාගමක් මගින් තමයි එහි විය පැහැදම් කරන්නේ. රජයට කිසිම ආකාරයක ඍජු බරක් පැනවෙන්නේ නැහැ.

හම්බන්තොට වරාය වගේ ජනතාවගේ බදු මුදල්වලින් වැනසෙන්න තිබූ දෙයක් අපි බරපතල අයුරින් බේරාගෙන රජයේ භාණ්ඩාගාරයට බරක් නොවන තත්වයට පරිවර්ථනය කළා. ඒවගේම මෙය මාස 18 ක් නවතා තිබූන නිසා ඩොලර් මිලියන 175 ක වන්දියක් අදාල සමාගමට ගෙවන ලෙස දන්වා සිටියා. නමුත් අපි එය සාකච්ඡා කර ඉඩම්වලින් එම කටයුත්ත සිදු කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම මෙහි ෆර්මියුලා වන් කාර් රේස් යන්න පථයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබුණා. අපි එය මෙරට ජනතාවට මෙන්ම විදේශීය ජනතාවට විවෘත පොදු උද්‍යානයක් නිර්මාණය කළා. ගෝල්ෆේස් පිටිය වගේ කිහිප ගුණයක් විශාල උද්‍යානයක් ලබන වසර වන විට එය පරිහරණය කිරීමට අවස්ථාව උදාවෙනු ඇත. 

ඒ වගේම අපි කලින් සැලසුම් කර නොතිබූ කාරණා කිහිපයක්, එනම් පොදු ප‍්‍රවාහනය අපි ඇතුලත් කරනු ලැබුවා. ඒ අනුව අපගේ සැහැල්ලූ දුම්රිය සේවාව මේ නගරය හරහා ඉදිවෙනවා. ඒ වගේම මේ නගරයට උතුරින් අපි මෙරට අධිවේගී මාර්ග පද්ධතියට පිවිසුම් මාර්ගයක් සකස් කරනු ලබනවා. එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. එය ඉදිවූවාට පසුව ගුවන්තොටුපලේ සිට වරාය නගරයට මිනිත්තු 15 කින් ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා.

ඊ ළඟ පියවර මේ නගරය කොල්ලූපිටිය දෙසට ගෙනයාම සඳහා මුහුද අයිනෙන් යන මැරයින් ඩ‍්‍රයිව් එකට යා කිරීම. එමගින් අපට විශාල වාසියක් අත්වෙනවා. එහිදී ගෝල්ෆේස් පිට්ටනිය මීටර් 30 කින් මුහුද දෙසට  ගෙනයනවා. එයට යටින් මෙම මාර්ගය දිව යනවා. දැනට මෙම පසේ වටිනාකම පමණක් රුපියල් බිලියන 506 ක් වෙනවා. මොකද විකිණිය හැකි ඉඩම් ප‍්‍රමාණය හෙක්ටයාර් 179 ක්. අදාල යටිතල පහසුකම් සමග තව අවුරුද දෙකකින් හෝ තුනකින් ශ‍්‍රී ලංකා රජයට සහ මෙම සමාගම ඇතුළු සියලූ දෙනාට මෙම ඉඩම ටි‍්‍රලියනයකට වඩා වටින ඉඩමක්. නාගරික සංවර්ධන අධිකාරිය 2015 කලින් ඉතිහාසයේ හැමදාම කළේ නිකං ලබාදෙන එක. අපි තරඟකාරී පදනමට ඉඩම් ලබාදීම යෝජනා කර ක‍්‍රියාත්මක කළා.

කවුරු මොනවා කිව්වත් කොළඹ වාතාශ‍්‍රය හොඳයි, ජලතලයේ ගැටළුවක් තිබෙන්නේ. ජලතලය අපි ක‍්‍රමයෙන් පිළිසකර කරගෙන යනවා. අපට තව තැන් කිහිපයක් තිබෙනවා, උතුරු කොළඹ කිඹුලා ඇල ප‍්‍රදේශය ඇතුළු තැන් කිහිපයක්. ඒ සියල්ල ඉදිරි කාලයේදී සකස් කළ පසු කොළඹ නගරය ඉතාමත් විධිමත් නගරයක් වෙනවා. මොකද අපේ අවට කලාපයේ ලෝකයේ තිබෙන දූෂිතම නගර 15 තිබෙන්නේ මේ දකුනු ආසියානු කලාපයේ. කොළඹ පමණයි සෞඛ්‍ය සම්පන්න නගරයකට තිබෙන්නේ. ඒ නිසා අපට විශාල ආයෝජන හැකියාවක්, විශාල විදේශ සංචාරක පිරිසක් ඇද ගැනීමේ හැකියාව මේ වරාය නගරයෙන්  ලැබෙනවා. ඒ වගේම මෙමගින් විශාල ආලෝකයක් රටේ පොදු සංවර්ධනයටත් ලැබෙනවා.

විශේෂයෙන්ම සඳහන් කරන්න තිබෙන්නේ ජනතාවට අයිති නොවී විදේශිකයන්ට පාවා දෙන්න ගිය බිම්කඩක් වලක්වලා ඒ සමස්ථයම කාගෙත් ගෞරවයට පාත‍්‍රවන විදිහට අවසන් කරන්න ලැබීම විශාල ජයග‍්‍රහණයක්. මේ රටේ මිලියන 22 ජනතාවට ලැබුණු බලගතු දායාදයක් මේ පසුගිය ඉතිහාසය තුළ.

හැමදාම කළේ සංවර්ධනයේ නාමයෙන් ජනතාව ණය බරට ලක්කිරීම සහ ජනතාවට බරක් දෙන එක. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල වැනි ලොකු සංවර්ධන කෙරුවාවල් හැම එකකින්ම උනේ රටේ ජනතාව ණය වීමයි. නමුත් රටේ ජනතාවට සංවර්ධනයකින් ධනයක් ලැබිච්ච බලගතු අවස්ථාවක්, විදේශිකයන් සතුවීමට ගිය දෙයක් දේශය සතු කරගැනීම ජනතාවට ලබාදීම හැකි උනා යැයි පැවසීය.

Recommended For You

About the Author: Editor