NPP Rally: ජනතාව රවටන කඳවුරු ‘දෙකම එකට තබා’ පරාජයට පත්කළ යුතුයි – අනුර දිසානායක

”සජිත් පාර්ලිමේන්තුවට ගියේ 2000දී. මමත් පාර්ලිමේන්තු ගියේ 2000දී. දෙන්නාගේම පාර්ලිමේන්තු ජීවිතවලට අවුරුදු 19යි. සජිත් ප්‍රේමදාස, ගෝඨාභයගේ නම කියපු එක තැනක් පාර්ලිමේන්තුවේ හැන්සාඞ්වල පෙන්වන්න”

ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (01) හලාවත නගරයේ පැවති ජාතික ජන බලවේගයේ ප‍්‍රචාරක රැුළියේදීයි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

මැතිවරණ වේදිකා දෙස බලනවිට අපිට අලුත් පාලකයෙක් අලුත් පාලනයක් පේන්නේ නැහැ. නත්තල් පප්පලා වගේ දකින දකින දේ දෙනවා කියන දෙන්නෙක් ඉන්නවා.

ගොවි මහත්තුරු ළඟට ගියහම පොහොර නිකම් දෙනවා කියනවා. රැස්වීමේ ළමයි ඉන්නවා දැක්කොත් කියනවා, ඉස්කෝලේ ළමයින්ට කිරි වීදුරුවක් දෙනවා කියලා. ගැබිණි මව්වරු දැක්කොත් කියනවා පෝෂණ මල්ලක් දෙනවා කියලා. උපාධිධාරීන්ට රස්සා දෙනවා කියනවා. ධීවරයා හමුවුණාම ඉන්ධන සහනාධාරයක් දෙනවා කියනවා.

එතකොට මෙච්චර කල් ආණ්ඩු කළේ කවුද?

රාජපක්ෂලා අවුරුදු 10ක් ආණ්ඩු කළා. සජිත්ලා අවුරුදු 05ක් ආණ්ඩු කළා. දැන් මැතිවරණ වේදිකාවලට ඇවිල්ලා නත්තල් පප්පලා වගේ අරවා දෙනවා, මේවා දෙනවා කියනවා. දැන් අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ ඡන්දවලදි මේ ගොල්ලෝ දුප්පත්කම අලෙවි කරනවා. රටේ ජනතාව දුප්පත්භාවයට පත්කරලා ඡන්දවලදී දුප්පත්කම විකුණනවා.

අපි ඔබ සැම හමුවෙන්නට ආවේ, ඒකට නොවෙයි. හඳෙන් හාල් ගෙනත් දෙන බවට දුන්  පොරොන්දු, ධාන්‍ය රාත්තල් 08ක් දුන් පොරොන්දු 3.50ට පාන් දෙන පොරොන්දු අපි දෙන්නේ නැහැ. අපි තමුන්නාන්සේලා හමුවෙන්න ආවේ දුප්පත්කම විකුණන දේශපාලනය වෙනුවට දුප්පත්කම තුරන් කරන දේශපාලනය ආරම්භ කරමු කියන්න. මේක තනිකෙනෙකුට ඉන්ද්‍රජාලික බලයකින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. විහාර මහා දේවිලා, දුටුගැමුණුලා ඇවිල්ලා මේ වැඬේ කරයි කියලා නැවත රැවටෙන්න එපා.

අපිට මේ රට බාරදෙන්න. සහතික වශයෙන් අපි රට හදනවා

රට හදනවා කියන්නේ මේ වේදිකාවේ ඉන්න අපි සියලුදෙනා එකතුවෙලා වේදිකාව ඉස්සරහා ඉන්න ඔබත් එක්ක එකතුවෙලා කරන සාමූහික ප්‍රයත්නයක්. තනි මිනිහෙකුට ඕන නම් කරන්න පුළුවන් වෙන්නේ පිට්ටනියකට ගිහිල්ලා කරණම් ගහන්න. මේ රට හදන්න අපිට දෙන්න කියලා ඉල්ලන්නේ සමූහයක් හැටියට ඇවිල්ලයි. අපිට මේ රට බාරදෙන්න. සහතික වශයෙන් අපි රට හදනවා. සැකයක් තියාගන්න එපා.

හදන්නේ කොහොමද? ඉස්සෙල්ලාම නීතිය සාධාරණව ඉටුකරන්න ඕනැ. දේශපාලන බලපෑම් නැත්නම් ඕනෑම අපරාධයක් සොයා ගන්න අපේ පොලිසියට පුළුවන්. ඊළඟට වංචා දූෂණය නවත්වන්න ඕනෑ. මේ වෙනකොට ආර්ථික  සංවර්ධනය මනින සියලුම නිර්ණායකවලින් රට දුප්පත් වෙලා. පාලකයෝ පොහොසත් වෙලා තියෙන්නේ වංචා, දූෂණ නිසා. අපි මේක නවත්වනවා. අපිට විතරයි මේ වැඬේ කරන්න පුළුවන්.

හොරකම් කරපු ජනතාවගේ සියලුම දේවල් ආපහු පවරාගන්නා බවටත් සහතික වෙනවා. අපිට 16 වැනිදා බලය දෙන්න. 17 වැනිදා මගේ පළමු ප්‍රකාශය වෙන්නේ මාස දෙකක් ඇතුළෙ ස්වේච්ඡාවෙන් ඇවිත් හොරකම් කරපුවා භාරදෙන්න කියලයි. අපිට පලිගන්න වුවමනා නැහැ. එහෙම භාර දුන්නේ නැතිනම් සියලු දේපළ පවරා ගන්න පාලනයක් අපි ස්ථාපිත කරනවා.

ඇමතිවරයෙන් නඩත්තු කරන්න ජනපදයක් නඩත්තු කරන තරම් වියදමක් යනවා

චීනයේ කෝටි 135ක විතර ජනතාවකට ඇමති මණ්ඩලය 27යි. අපේ රටේ  ජනගහනය කෝටි දෙකයි. ඇමතිවරු 100 පැනලා. ඇමතිවරයෙක් කියන්නේ ජනපදයක් නඩත්තු කරන්න දරන වියදම නාස්ති කරන කෙනෙක්. ඇමතිවරයාට වාහන, ඊට අමතරව කාර්ය මණ්ඩලයේ 05දෙනෙකුට වාහන. කාර්ය මණ්ඩලයට 15දෙනෙක් පත්කරගෙන රුපියල් 50,000/- ගණනේ පඩි ගෙවනවා. ඇමතිට දුරකථන දෙනවා. කාර්ය මණ්ඩලයේ 05කට දෙනවා. ඇමතිට කොළඹින් ගෙයක් දෙනවා. ලයිට් බිල ගෙවනවා. වතුර බිල් ගෙවනවා. වීරවංස ඇමති කාලේ ඇමති ගෙදර ලයිට් බිල ලක්ෂ 21යි. කෙහෙලිය රඹුක්වැල්ලගේ ඇමතිගෙදර ලයිට් බිල ලක්ෂ  19යි. දැනුත් එහෙමද කියලා බලන්න ඕනැ.

ඇමතිවරයෙක් නඩත්තු කරනවා කියන්නේ මේ වගේ ගත්තාම ජනපදයක් නඩත්තු කරන්න යන වියදමක්. අපි මේ සියලු වියදම් කපනවා. අපේ පාලනයක ඇමතිවරු උපරිම 25යි. නියෝජ්‍ය ඇමතිවරු 25යි. අපේ රට හදන්නේ එහෙම.

මන්ත‍්‍රී විශ‍්‍රාම වැටුප නතර කරනවා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අවුරුදු 5ක් ගියහම විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. අවුරුද්දට දවස් 4යි පාර්ලිමේන්තු යන්න ඕනැ. මාස තුනට එක දවසක් ගියහම ඇති. අවුරුදු 5ටම දවස් 20යි. විශ්‍රාම වැටුපක් ලැබෙනවා. හලාවත ධීවර ජනයා මහ මුහුදක් එක්ක පොරබදමින් අවුරුදු 30-40ක් ධීවර රස්සාව කරනවා. විශ්‍රාම වැටුපක් හම්බ වෙනවාද? ගොවි ජනතාව අවුරුදු 70-75 වෙනකම් හේන කුඹුර එක්ක පොරබදනවා. විශ්‍රාම වැටුපක් හම්බ වෙනවාද? හැබැයි මන්ත්‍රීවරයාට අවුරුදු 5කට දවස් 20ක් පාර්ලිමේන්තු ගියාම විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. සාධාරණද?

අපට බලය දෙන්න. මේ විශ්‍රාම වැටුප මුළුමනින්ම නතර කරනවා. රටක් හදන්න එහෙමයි.

හේමා ප්‍රේමදාස මුළුමනින්ම නඩත්තු කරන්නේ මහජන මුදලින්. හිටපු ජනාධිපතිවරුත් ඒ වගේ. මේ ගොල්ලන්ව මහජන මුදලින් නඩත්තු කරන්න ඕන නැහැ. රට දුප්පත්; පාලකයෝ පොහොසත් කියලා මම කිව්වේ මෙන්න මේ වගේ තත්වයක් ගැන අවධානය යොමු කරන්නයි.

රට ගොඩනගන්න නම් නීතියේ ආධිපත්‍ය ගොඩනැගිය යුතුයි

රට ගොඩනඟන්න නම්, නීතියේ විධානය තහවුරු කිරීම, වංචා – දූෂණ නැවැත්වීම වගේම මහජන ආරක්ෂාව තහවුරු කිරීම කරන්න ඕනෑ. ජාතික සමගිය ගොඩනැඟීම, සිංහල, දෙමළ, මුස්ලිම් අන්‍යෝන්‍ය විශ්වාස සහ ගරුත්වය තහවුරු කිරීම, අත්‍යවශ්‍ය සාධකයක්. ඒ වෙනුවෙන් එක් එක් ජනවර්ගයක් ඇතුලේ ගොඩනැඟෙන අන්තවාදී කණ්ඩායම්වලට ඉඩදිය යුතු නැහැ. කිසිදු අන්තවාදී දේශපාලනයක් වේදිකාවට නොගත යුතුයි.

අපි ඔබ සැමට එක සහතිකයක් දෙනවා කිසිදු අන්තවාදී දේශපාලනයක් අපි උපයෝගී කර ගන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ සමාජය ඇතුලේ අන්තවාදයන් පරාජයට පත්කිරීම ඒ ජනතාවගේ කාර්යභාරයක්.  ඊට අමතරව මහජන ආරක්ෂාව තහවුරු කරන්න පොලිසිය හිටියහම ඇති. ආරක්ෂක ලේකම්ලා, ජෙනරාල්ලා, කරන්නේ දේශපාලන වේදිකාවේ අපිට භයක් හදලා ඒ භය විසඳන්න ඒගොල්ලෝ පත්කර ගන්න කියන එකයි. එහෙම ආරක්ෂාවකින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. ඒ නිසා මහජන ආරක්ෂාව තහවුරු කරන්න ඔය අනෙක් කිසිවෙකුට බැහැ. එය කළ හැක්කේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමෙන් පමණයි.

මේ රට ගොඩනැගීම පිළිබඳව කරුණු කිහිපයක්

මේ රට ගොඩනැගීම පිළිබඳව කරුණු කිහිපයක් මම ඉදිරිපත් කරන්නම්. පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනමඩුව, කරුවලගස්වැව ප්‍රදේශවල ඉතාම දුප්පත් ජනතාවක් ඉන්නේ. ඒ වගේම හලාවත නගරයෙන් ඇතුළට යනකොට අඩු පහසුකම් සහිත ජනතාවක් ජීවත් වෙන්නේ. පුත්තලම විශාල සම්පත් තිබෙන දිස්ත්‍රික්කයක් හැටියට ගැනෙන්නේ නැහැ. හැබැයි අපි හරියට හොයලා බැලුවොත් සම්මත් ආකරයක් තිබෙන දිස්ත්‍රික්කයක්.

මූන්දලමෙන් පටන්ගෙන උතුරු පැත්තට ගියොත් ලංකාවේ හොඳම ලුණු නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි  වසරකට අපි කෝටි 25ක ලුණු ආනයනය කරනවා. පාලවිය ප්‍රදේශයේ හොඳම තත්වයේ සිමෙන්ති කම්හලක් අපිට තිබුණා. ඒක විකුණලා දැම්මා. අද සිමෙන්ති ආනයනය වෙනුවෙන් වසරකට කෝටි 7000ක් වැය කරනවා. පොල් ත්‍රිකෝණයේ විශාල පංගුවක් පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරනවා. ඒ වගේම මැටි ආශ්‍රිත කර්මාන්ත, කොහු කර්මාන්තය, වගේම කෘෂිකර්මාන්තයත් පුත්තලම් කලපුව ඇතුළු විශාල මුහුදු තීරයක් අයිති දිස්ත්‍රික්කයක්.  සංචාරකයන් සඳහා තල්මසුන් බලන්න පුළුවන් ඉතාම හොඳ පරිසරයක් තිබෙන දිස්ත්‍රික්කයක්. බත්තලංගුණ්ඩුව ඇතුළු දූපත් 14ක් අයිති දිස්ත්‍රික්කයක්.  

ඒ වගේම බෞද්ධ, කතෝලික, ඉස්ලාම් ආගම් අදහස ජනතාවගේ විවිධත්වයක් තිබෙන දිස්ත්‍රික්කයක්. ඉතාම උසස් සංස්කෘතික පසුබිමක් තිබෙන මේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය පැත්තෙන්, දුප්පත්භාවය පැත්තෙන් විශාල ප්‍රශ්න තිබෙන දිස්ත්‍රික්කයක්. අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න තිබෙනවා.

සම්පත් තිබුණත් ජනතාව දුප්පත්කමින් වෙළිලා තියෙන්නේ ඇයි?

අපේ රටේ ඉස්සන් කර්මාන්තයේ ඉල්ලුම මෙටි්‍රක් ටොන් 50,000 දහසක් පමණ වෙනවා. හැබැයි නිෂ්පාදනය කරන්නේ මෙටි්‍රක් 7500යි. ජනතාවගේ ජන ජීවිතය එක්ක සමීප කර්මාන්ත ගණනාවක් දියත්කරන්න පුළුවන් දිස්ත්‍රික්කය දුප්පත්භාවයේ පතුලටම හෙළා තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආර්ථිකය උසස් කිරීම සඳහා අවශ්‍ය සැලැස්මක් දියත්කරන බවට අපි සහතික වෙනවා. මත්ස්‍ය සම්පත, සංචාරක කර්මාන්තය, ඉතා හොඳින් වර්ධනය කරන්න පුළුවන්.

මේ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ඉතාලි ගිහින් අවුරුදු 7 – 8ක් වැඩකරලා යම් මුදලක් හොයාගෙන මේ රටට එනවා. ඇවිල්ලා ව්‍යාපාරයක් කරන්න උත්සාහ කරනවා. හැබැයි සිද්ධ වෙන්නේ අවුරුදු හත අටක් දුක්මහන්සියෙන් සොයාගත්ත සල්ලි නිරපරාදේ විනාශවෙලා ආයෙ ඉතාලි යන්න සිද්ධ වෙනවා. මේක ඛේදවාචකයක්. මේ රට ඉස්සරහට යන්න නම්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විශාල ප්‍රමාණයක් බිහිවෙන්න ඕනැ. ඒ වැනි පිරිසක් බිහිකරන එක ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තියයි.

අපි ගොඩනඟන සමාජයේ ආර්ථික ඉංජින් එක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්

අපේ රටේ විශ්වවිද්‍යාලවල 70%ක් විතර ඉන්නේ ශිෂ්‍යාවෝ. හැබැයි රැකියාවල නියුක්තව ඉන්නේ 31%යි. උපාධියක් අරගෙන බොහෝ දෙනෙකුට ගෙදර මුරකරන්න වෙලා. හැබැයි එයාට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් බවට පත්කරන්න  හොඳ සැලැස්මක් දෙන්න ඕනෑ. අපි ගොඩනඟන සමාජයේ ආර්ථික ඉංජින් එක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්. අපේ ඉලක්කය බවට පත්වන්නේ ලෝක වෙළඳපොළට නිෂ්පාදනයන් අපනයනය කිරීමයි. ඉතාලියෙන් සල්ලි ටිකක් අරගෙන එනකෙනා, අධ්‍යාපනය ලබලා ගෙදර ඉන්න කාන්තාව, වගේම අලුතින් ගොඩනැඟෙමින් සිටින තරුණයා කියන පාර්ශ්ව තුන එකතු කරලා නව ව්‍යාවසායකයන් අපි බිහිකරනවා.

කරනවා නම් ලංකාවේ ගොඩක් දේවල් තිබෙනවා. මේ වෙනුවෙන් විදේශ රටවල තිබෙන අපේ තානාපති සේවය වාණිජ ඉලක්ක හඳුනාගැනීමට යොමු කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලෝක වෙළඳපොළේ කොටසක් අත්පත් කරගන්න පුළුවන් මේ තුළින්. ඒ තුළින් පුත්තලම් දිස්ත්‍රික්කයේ සම්පත් ප්‍රයෝජනයට අරගෙන පුබුදුවන වැඩපිළවෙළක් අපි ක්‍රියාත්මක කරනවා.

මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න සල්ලි කොහෙන්ද

71 වසරක් මුළුල්ලේ පීඩාවට පත්කර සිටින පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාව ගොඩනැඟීම සඳහා නිවැරදි දැක්මක් සහිත ශක්තිමත් වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න සල්ලි කොහෙන්ද කියල අහන පිරිසක් ඉන්නවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ අත්‍යවශ්‍යම ප්‍රමුඛ කරුණු වෙනුවෙන් ණය ගන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති සඳහා ලෝකයෙන් 1%ක පොලියට ණය ගන්න පුළුවන්. හොරකම නාස්තිය නතර කරලා සල්ලි සොයාගන්නත් පුළුවන්. ඒ නිසා කවුරුවත් සල්ලි සොයාගැනීම ගැන සැකයක් තියාගන්න එපා.  

ඒ ගොල්ලන්ට ලක්ෂ 10ක් යන වැඩය අපි ලක්ෂ 05ටත් වඩා අඩුවෙන් ක්‍රියාත්මක කරනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න හොඳම උගතුන් බුද්ධිමතුන් පිරිසක් ජාතික ජන බලවේගය වටා එකතු වී ඉන්නවා. ඇමතිවරුත් එක්ක හැප්පිලා මහජන මුදල් බේරගත්තු ගණකාධිකාරීවරුන් අපිත් එක්ක ඉන්නවා.

ගණකාධිකාරී වසන්ත මහත්තයාට චෙක්පත්වලට අත්සන් කරන්න කියලා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇමතිවරයා කීවා. බෑ කිව්වම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අස්කළා. ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නඩු කියලා වැඬේ හරියට කළා. ක්‍රීඩා ඇමතිගේ හොර චෙක්වලට අත්සන් නොකර සටන් කළේ එහෙමයි. සීමා නිර්ණය කොමිසමේ සභාපති අශෝක පීරිස් මහත්මයා මේ වේදිකාවේ ඉන්නවා. ඒ වගේම අපේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ අනිල් ජයන්ත මහත්මයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ ආචාර්යවරයෙක්. ඊට අමතරව ජනතාවගේ සමගිය නිර්මාණය කරන්න පුළුවන් හොඳම කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. එහෙනම් දැන් එක ප්‍රශ්නයයි අහන්න තිබෙන්නේ. අපිට බලය නොදෙන්න අපේ තියෙන ඇදය මොකක්ද? ඒ නිසා අපිට මේ රට ගොඩනඟන්න අවස්ථාව දෙන්න.

අපි ජනතාවගේ වේදනාව හදපත්ලෙන්ම දන්නවා

අපි ජනතාවගේ වේදනාව හදපත්ලෙන්ම දන්නා, ඒ වේදනාව විඳදරාගන්න මිනිස්සු එහෙම කණ්ඩායමකට විතරයි මේ රට ගොඩනඟන්න පුළුවන්. අපේ අඩුවක් තියෙනවා නම් තියෙන්නේ ඒ ගොල්ලෝ ලොකු පවුල්වල. අපි පොඩි පවුල්වල අය වීම. රෝයල්, සෙන්ට්තෝමස් ගිය කට්ටිය, එංගලන්තේ ඉගෙන ගත්ත කට්ටිය, නැත්නම් පැරණි වලව්වලින් පැවතගෙන එන කට්ටිය. අපි ගමේ අහිංසක පවුල්වල ඉපදුණු, කුඩා ගෙපැලවල්වල ජීවත් වුණු මිනිස්සු. ඒගොල්ලෝ සහ අපි අතරේ තිබෙන වෙනස ඔන්න ඕකයි.

අපි අපේ පන්තියේ පාලනයක් ගොඩනඟාගම්මු. පන්තියේ මිනිස්සු පාලන බලයට ගේමු. අපේ පන්තියේ පාලනයක් ගොඩනඟාගන්නේ නැතිතාක් කල් අපේ පන්තියේ මිනිස්සු මේ රටේ පාලනයට ගේන්නේ නැතිතාක් කල් මේ රට ගොඩනඟන්න බැහැ.

රාජපක්ෂලාට යළි බලයක් එන්න තරමේ බලයක් නිර්මාණය කළේ ජනතාව නොවෙයි

2015 ජනාධිපතිවරණය පැරදිලා, බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ මහගෙදරට ගියා. මහින්ද රාජපක්ෂ පැරදිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය චමල් රාජපක්ෂගේ ගෙදරදී මෛත්‍රීපාලට දෝතින්ම දුන්නා. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ගෙදර හිටපු අලි ටික පනාගොඩ හමුදා කඳවුරට භාරදීලා, මෝරු ඇතිකරපු මාලු ටැංකිය දාලා මිරිහානේ ගෙදරට ගියා. එහෙව් රාජපක්ෂලාට යළි බලයක් එන්න තරමේ බලයක් නිර්මාණය කළේ ජනතාව නොවෙයි. ජනතාව ඡන්ද බලයෙන් ඔවුන්ව පරාජය කළා. නමුත් රාජපක්ෂලාව ආරක්ෂා කළේ මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක, සජිත් ප්‍රේමදාස වගේ අය. දැන් ඇවිල්ලා කියන්නේ රාජපක්ෂ පරාජය කරන්න බලය දෙන්න කියලා. පරාජය කරපු රාජපක්ෂලාට හුස්ම දුන්නේ රනිල්, මෛත්‍රී, සාගල, සජිත්.

සජිත් පාර්ලිමේන්තුවට ගියේ 2000දී. මමත් පාර්ලිමේන්තු ගියේ 2000දී. දෙන්නාගේම පාර්ලිමේන්තු ජීවිතවලට අවුරුදු 19යි. සජිත් ප්‍රේමදාස, ගෝඨාභයගේ නම කියපු එක තැනක් පාර්ලිමේන්තුවේ හැන්සාඞ්වල පෙන්වන්න. ගෝඨාභය පරාජය කරන්න එන සජිත් අවුරුදු 19ක් මොනවාද කළේ? හලාවත ධීවරයන්ට වෙඩි තියනකොට කථා කළේ සජිත්ද? නැහැ. ඒ ධීවරයන් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂට චෝදනා කරමින් කථා කළේ අපි. රතුපස්වලදී හමුදාව දාලා ජනතාවට වෙඩි තියනකොට ගෝඨාභයගේ නම කිවුවාද? දර්ගාවලදී, අලුත්ගමදී, මුස්ලිම් ජනතාවට පහර දෙනකොට සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ගෝඨාභයට චෝදනා කළාද?

මේ රටේ අද තියෙන්නේ රාජපක්ෂලා පරාජය කරන එක විතරක් නොවෙයි

රාජපක්ෂලා එක්ක ඉතාම කුළුපගව කටයුතු කළ එක්සත් ජාතික පක්ෂය එකට තබා පරාජය කිරීමයි මේ වෙලාවේ ජනතාවගේ වගකීම. රාජපක්ෂලාගේ නඩුවලින් ඒ අයව බේරාගත්ත විදිහ මම දන්නවා. ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමෙන් බේරාගන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. මේ ගොල්ලෝ අපිට බෙදිලා පෙන්නුවාට එකම පන්තියේ කුළුපග මිතුරන්. ඒගොල්ලෝ එකිනෙකා එකිනෙකාට ආරක්ෂාව සපයනවා. එකිනෙකා රහසේ මුණගැහෙනවා. ඒ නිසා රාජපක්ෂලා විතරක් නොවෙයි අනෙක් කඳවුරත් දෙකම එකට තබා පරාජයට පත්කළ යුතුයි.

අන්න ඒ වෙනුවෙන් නොවැම්බර් 16 වැනිදා අපි තීන්දුවක් අරගෙන ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදෙන්න. ඒ වෙනුවෙන් සියලු දෙනාටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. 

පොරොන්දුවලට නොරැවටී රට ගොඩනඟන ප්‍රතිපත්ති මාලාව ජයග්‍රහණය කරවන්න

ජාතික විද්වත් සංවිධානයේ නියෝජිත, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන අබේරත්න

පසුගිය ජූලි මාසේ 14 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සංවිධාන රාශියක් එකතු වී ජාතික ජන බලවේගය පිහිටුවා ගත්තා. මේ රටට අවශ්‍ය කරන නව දේශපාලන  බලවේගයක ආරම්භක පියවර තැබුවා. ජාතික විද්වත් සංවිධානය මේ බලවේගයේ එක සංවිධානයක්.

අවුරුදු දෙකකටත් අධික කාලයක් ජාතික විද්වත් සංවිධානය මේ රටේ බරපතළ අර්බුද පිළිබඳව සාකච්ඡා කර, විසඳුම් දහයක් සහිත යෝජනාවලියක් සම්පාදනය කළා. ඒ ප්‍රතිපත්ති මාලාව, පසුගිය පෙබරවාරි 19දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සමාජ ගත කළා. අගෝස්තු 18 වැනිදා ගාලුමුවදොර පිටියේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා හැටියට අනුර කුමාර දිසානායක සහෝදරයා ඉදිරිපත් කරනු ලැබුවේ මෙවැනි පුළුල් පසුබිමක් සහිතවයි.

මේ රටට  පාරිසරික සංරක්ෂණ ක්‍රමවේද නිසි පරිදි අනුගමනය කරමින් වෙරළබඩ තීරය ආරක්ෂා කරන ධීවර කර්මාන්තයක් ස්ථාපනය කිරීම ගැන ප්‍රතිපත්ති මාලාවේ මූලික වශයෙන්ම අවධානය යොමුකර තිබෙනවා. අවුරුදු 70කට වැඩි කාලයක් තිස්සේ රට පාලනය කළ කණ්ඩායම් දෙකම ධීවර කර්මාන්තය ලෝකයේ ඉහළ තාක්ෂණය සමග ඉහළ ආදායමක් ලබාගත හැකි තත්වයක් නිර්මාණය කර නැහැ.

මුහුදු තීරයෙන් ඇතුළට යනකොට ගොවි ජනතාව මුහුණ දී සිටින තත්වයත් ඉතාම ඛේදනීයයි. වන සතුන් සමග පොරබදා රැකගෙන වෙළඳපොළට ඉදිරිපත්කරන කෘෂිකාර්මික නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නැහැ. අපේ ප්‍රතිපත්ති මාලාවේ ධීවර කර්මාන්තයත්, කෘෂිකර්මාන්තයත් මුලික කරගෙන නිෂ්පාදන කර්මාන්ත ඇතිකරන්නේ කොහොමද කියලා කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

විශේෂයෙන්ම ධීවර, ගොවි ජනතාවගේ දූ පුතුන් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වීමට අපේ ප්‍රතිපත්ති මාලාවේ මූලිකත්වය දී තිබෙනවා. වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%කට සමාන මුදලක් අධ්‍යාපනයට වෙන්කරන්න කියලා දිගුකාලයක සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැටියට අරගල කරමින් සිටිනවා. මේ රටේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කළ හැක්කේ මේ තුළින් පමණයි. ඒ වගේම ජනතාවගේ නිරෝගිමත් ජීවිතයකට සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස්කර තිබෙනවා.

ප්‍රවාහනය, සංස්කෘතිය, ක්‍රීඩා, ක්ෂේත්‍ර ගැනත් අපේ ප්‍රමුඛ අවධානය යොමුකර විසඳුම් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මේ ජනාධිපතිවරණයේදී වෙනත් අපේක්ෂකයන් අතීතයේදී වගේම පොරොන්දු මලු අරගෙන ඇවිත් තිබෙනවා. ඒ පොරොන්දුවලට නොරැවටී රට ගොඩනඟන ප්‍රතිපත්ති මාලාව ජයග්‍රහණය කරවීමට ඒ මගින් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය ගොඩනැඟීමට මේ 16 වැනිදා ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක සහෝදරයාට ඡන්දය ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. හිතවතුන්, ඥාතීන් සියලු දෙනාම මේ වෙනුවෙන් පෙළගස්වන ලෙස ආරාධනා කරනවා. 

නැතිව ගිය සතුට දරුවන්ට ලබාදීම වෙනුවෙන් අනුරට ඡන්දය දෙන්න

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ස්ටීවන් ප්‍රනාන්දු

ඉදිරි මැතිවරණයෙන් පසු ජනතාවට සතුට උදාකරදීම සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂාවේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා අපි හැමදෙනාම එකතු වී සිටිනවා. නොයෙකුත් බාධක අවහිරතා මැද්දේ ඔබ සැම මේ ඇවිත් සිටින්නේ අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්මයි.

මම මේ වේදිකාවට අලුත් චරිතයක්. මෙතෙක් එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක්වී සිටි, සියදහස් ගණනක් අපේක්ෂාවේ අපේක්ෂකයා වටා එක්රොක් වෙමින් සිටිනවා. මෙම ස්ථානයට සහභාගි නොවුණත් හලාවත  ආසනයේ සෑම ගම්මානයක් සිසාරාම විශාල පිරිසක් ජාතික ජන බලවේගය වටා එක්රොක් වෙමින් සිටිනවා.

වසර 71ක් කාලය තුළ විවිධ බලාපොරොත්තු ඇතිව විවිධ පක්ෂවලට ඔබේ ඡන්දය පාවිච්චි කරන්න ඇති. නමුත් මේ ජනාධිපතිවරණයේදී අපේක්ෂාවේ අපේක්ෂකයා කෙරෙහි විශාල ආදරයක් ඇතිවී තිබෙන බව ඔබ සැමටත් මටත් ප්‍රකාශ කරන්න දැන් කාලය එළඹිලා. අපේ අම්මා, තාත්තා නිසා මම අවුරුදු 31ක් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීව හිටියා.

දේශපාලනය පිළිබඳව නිවැරදිව තේරුම් ගන්න බැරිව, නිසි ගමන්මඟ සොයා ගන්න බැරිව, යහපතේ දිසාව සොයාගන්න බැරිව හිටියා. අවුරුදු 71ක් පුරා ආණ්ඩු 15ක් හදලා, ඒ ආණ්ඩුව හදලා මාසයක් යන්න ඉස්සෙල්ලා අපිට සිද්ධ වුණේ බැන බැන පාරේ ඇවිදින්න පමණයි. මම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය කරලා, මේ රටේ ජනතාවට සතුට උදාකර දිය නොහැකි වූ නිසා, අද මම ජාතික ජන බලවේගයත් සමග එකතු වුණා.  

මේ රටේ ජනතාවට සතුට උදාකරදීම අපේක්ෂා කරන මිනිහෙක් හැටියට මේ රටේ ආදරණීය මව්වරුන්ගෙන්, පියවරුන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින්නේ එකම දෙයයි. 2019 නොවැම්බර් 16 වැනිදා උදෑසන මේ දක්වා තමුන්නාන්සේලාට නැතිව ගිය ලෝකය, තමුන්නාන්සේලාට නැතිව ගිය සතුට අපි සියලු දෙනාගේ දරුවන්ට උදාකරදීම සඳහා ඡන්දය පාවිච්චි කරන්න කියා ඉල්ලා සිටිනවා.

මමත් මේ ආසනයේ ජීවත්වෙන ධීවරයෙක්. ගෙවීගිය කාලය තුළ බලයේ සිටි ආණ්ඩු ධීවරයාට සැලකුවේ කොහොමද කියලා, අපි දන්නවා. වර්තමාන රජය නියෝජනය කරන ධීවර ඇමතිවරයා සමග එක වචනයක්වත් ධීවර සංගම් නියෝජනය කරමින් කථා කරන්න අවස්ථාව දුන්නේ නැහැ.

අද ඉන්න කැබිනට් ධීවර ඇමතිවරයා සූඩයා, සාලයා, බලයා, කෙළවල්ලා හඳුනන්නේ නැහැ.  අනික් පැත්තෙන් වැව්වල ජිවත්වන හුංගා, කාවයියා, හඳුනන්නේ නැති ධීවර ඇමතිවරයෙක්. එහෙම නම්, මේ රටේ ධීවර කර්මාන්තය ගෙනයන්නේ කොතනටද කියන එක ඉතා පැහැදිලියි. මේ වගේ විවිධ විෂයයන් විනාශ මුඛයට ඇදැදැමූ පාලනයෙන් රට මුදවා ගන්න 16 වැනිදා ඡන්දය පාවිච්චි කරන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපේ අනාගත පරපුරට ජයග්‍රහණ ලබාදිය හැක්කේ අනුර කුමාර දිසානායක මැතිතුමා ජයග්‍රහණය කරවීමෙන් පමණයි.

ජනතාව දේශපාලන වේදිකාවලට කන් දෙන්නේ ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ වැඩපිළිවෙළ නිසයි

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍ය කමිටු සාමාජික, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ

ජනාධිපතිවරණයේ අවසාන සති දෙක අපි ගෙවමින් සිටිනවා. මේ වෙනකොට ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කෙරෙමින් තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා තැපැල් ඡන්දදායකයාට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට දැම්මේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කළා කීවාට, කොහෙවත් පේන්නත් නැහැ.

හැබැයි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාව කොටස් කොටස් වශයෙන් ඊට සුදුසු ප්‍රදේශවලදී එළිදක්වා අවසානයේ සමස්ත වැඩපිළිවෙළ කොළඹ පදනම් ආයතනයේදී එළිදැක්වූවා. මේ රටේ උගතුන්, වියතුන් දැන් ඒ ගැන ලියන්න කියන්න පටන්ගෙන තිබෙනවා. මේ රට ගොඩනැගීමේ එකම වැඩපිළවෙළ තිබෙන්නේ අපේ අනුර දිසානායක සහෝදරයාට විතරයි කියලා ඒ අය කියන්න ලියන්න පටන්ගෙන තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදුණාට පස්සේ කිව්වේ මට වැරදුණා, මම ෆයිල් ටික තියන් හිටියා, කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හොරකම, වංචාව නවත්වනවා කියලා, නොකියන්නේ ඇයි කියලා ඇහුවාම, පොහොට්ටුවට ඡන්දේ දෙන්න ඉන්න අය මුහුණ නරක් කරගන්නවා.

එතුමාගේ වේදිකාවේ ඔක්කෝම ඉන්නේ වැලිකඩ හිරගෙදර ඉන්න ඕන මිනිස්සු. එතුමාටත් නඩු නවයක් තිබෙනවා. ඒ අය ගැන අනුමත නොකරන්න බොහෝ පිරිසක් ජාතික ජන බලවේගය වටා එකතුවෙමින් ඉන්නවා. ඒ වගේම මේ වේදිකාවට ගොඩවී ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ හොරු අල්ලපු නැති එකට විරුද්ධව නැගී සිටින මහජන නියෝජිතයන්. අද හලාවත ජනතාව එකතුවෙලා කියන්නේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය වටා රොද බඳිමින් ඉන්නවා කියන පණිවිඩයයි.

සජිත් ප්‍රේමදාස මහත්තයා වේදිකාවේ එක එක කතා කියනවා. අපේ රට අත්සන් කරලා තිබෙන විදේශීය රාජ්‍ය ගිවිසුම් නැවත සලකා බලන බව කියනවා. ඒ කියන අතර, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇමෙරිකාවත් එක්ක “මිලේනියම් චැලේන්ජ්” කියන ගිවිසුම අත්සන් කරන්න වෙලාවක් බලමින් ඉන්නවා.

ජනාධිපති අපේක්ෂකයා එකක් කියනකොට එයාගේ පක්ෂ නායකයා තව එකක් කියනවා. මේ අය විශ්වාස කරන්න පුළුවන්ද? සජිත් ප්‍රේමදාස මහත්තයා අනුරාධපුරයට ගිහිල්ලා සියලුම ගොවීන්ට පොහොර නොමිලේ දෙන බව කියනවා. ඒකට ජනාධිපතිකම ඕන නැහැ. කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමත කරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන්. අනික් පැත්තෙන් ජනතාවගේ මුදලින් දවසකට රුපියල් කෝටි දෙකක් ජනාධිපතිවරයාට අනුමත කරන පරිපූරක ඇස්තමේන්තුවට සජිත් ප්‍රේමදාස අත උස්සනවා. එළියට ඇවිල්ලා කියනවා ජනාධිපතිවරයාගේ වියදම් පාලනය කරනවා කියලා. එකක් කියනවා. එකක් කරනවා.

මේ රටේ ජනතාව දේශපාලන වේදිකාවලට කන් දෙන්න පටන්ගෙන තිබෙන්නේ, ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ වැඩපිළිවෙළ නිසයි. ඔවුන් කල්පනා කරන්නේ තමන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්නවලට ඇත්ත උත්තර දෙන්නේ කවුද කියලයි. මේ තත්වය හඳුනාගත්ත අපේ අම්මා, තාත්තාට සහෝදර, සහෝදරියන්ට 16වැනිදා දක්වා ඉටුකරන්න කාර්යභාරයක් තිබෙනවා.

මේ ඡන්දයේදී තාමත් නිවැරදි දේ සොයාගන්න බැරිව සිටින අසල්වාසීන්, ඥාතිමිත්‍රාදීන් දැනුවත් කිරීමේ කාර්යභාරය ඉටුකරන්න ඕනැ. මේ රට ගොඩනඟා පොදු ජනතාවගේ ජීවිත ගොඩනඟන්න කැපවුණු අනුර දිසානායක සහෝදරයා ගැන කරුණු පැහැදිලි කරන්න ඕනැ. ඉදිරිපත් කර තිබෙන වැඩපිළවෙළ ගැන කරුණු ඉදිරිපත් කරන්න ඕනැ.

රට ගොඩනැගීමට ජාතික ජන බලවේගය වටා එකතු වී ඉන්න උගතුන් බුද්ධිමතුන් ගැන පැහැදිලි කර දෙන්න ඕනෑ. හොඳ කැප්ටන් කෙනෙක් එක්ක හොඳ ටීම් එකක් ඉන්නවා. රට ගෙනියන්න ඕනෑ දිසාව සොයාගන්න මාලිමාව ලකුණින් ඉදිරිපත් වී සිටිනවා. ඒ නිසා දැන් මේ දක්වා ජාතික ජන බලවේගය වටා ඒකරාශී නොවූ පිරිස් ඒකරාශී කරගෙන ජයග්‍රහණය කරවන්න අත්වැල් බැඳගන්න කියලා ඉල්ලා සිටිනවා.

Recommended For You

About the Author: Editor