Voice of දියවන්නා SLPP: ගෝඨාභය දිනන එක ‘සක්කරයටත්’ නවත්වන්න බෑ

සටහන ගජබා නාහගවත්ත

ගෝඨාභයගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන ජනරැලි මාලාවක් පසුගිය ඉරිදා මාතලේ දිස්ත්‍රික්කයේ දී පැවැත්විණි. ප්‍රථමයෙන් පැවැත්වුණේ මාතලේ නගරයේ ජනරැලියයි. රැළිය සංවිධානය කර තිබුණේ රෝහණ දිසානායක විසිනි. තරමක වැසි ඇද වැටුණත් විශාල ජනකායක් එම රැලියට එක්ව සිටියහ.

මාතලේ ජනතාවට කිසිදා නොලැබෙන විරල අවස්ථාවක්

මාතලේ නගරයේ පැවැති රැලියෙන් පසුව ගෝඨාභය රත්තොට බලා ගියේය. අනතුරුව නැවතත් මාතලේ බලා ආවේ දිවා ආහාරය ගැනීමටය. රෝහණගේ බිරිය විසින් දේශීයත්වයට මුල්තැන දෙමින් රසවත් දිවා ආහාර වේලක් සූදානම් කර තිබුණි. කෑම ටික රසයි කියමින් ගෝඨාභය දිවා ආහාරය ගත්තේය.

අනතුරුව එතැන සිටි මාතලේ වැසියන් සමඟ සුහදව කතාබහ කළ ගෝඨාභය ඔවුන්ට වුවමනා තරම් සෙල්ෆි ගන්නට ද ඉඩ දී සිටියේය. පසුව ලග්ගල බලා ගිය ගෝඨාභය එදිනම සවස මැදිරිගිරිය නගරයේ පැවැති ජනහමුවකට ද සහභාගී විය.

මහින්දගේ දෙමළ කතාවලට උතුරෙන් පැසසුම්

පසුගිය සතියේ පොදුජන පෙරමුණේ ජනරැලි කිහිපයක් උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්විණි. යාපනය, පේසාලේ, වාලච්චේන, මඩකලපුව, අම්පාර, කන්තලේ වැනි නගර කිහිපයකම දැවැන්ත ජනරැලි පැවැත්වුණේ මහින්දගේ සහ ගෝඨාභයගේ ප්‍රධානත්වයෙනි. අන් කවරදාටත් වඩා දෙමළ ජනතාවගේ සුවිශාල පිළිගැනීමක් මෙම සංචාරයේ දී මහින්දට සහ ගෝඨාභයට හිමිව තිබුණේය.

සියලුම රැස්වීම් ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබෙන ආකාරයක් ද දැකගන්නට ලැබුණි. විශේෂයෙන් පේසාලේ දී සහ මඩකලපුවේ දී ලැබුණු පිළිගැනීම ඉන් ඉහළම ස්ථානයක් ගත්තේය. දෙමළ ජනතාව සිටින රැස්වීම්වල දී මහින්ද සුපුරුදු පරිදි දෙමළ භාෂාවෙන් අදහස් දැක්වීම බොහෝ දෙනා අගය කළ කරුණක් විය.

රැස්වීම්වල කතා නොකරන ලෙස ප‍්‍රසන්නට දැඩි අවවාද

ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු නිසා ප්‍රසන්න මේ දිනවල ගත කරනුයේ අවිවේකී දිවි පෙවෙතකි. පසුගිය සතියේ එක් දිනක බියගම ආසනයේ රැස්වීම් 50ක් ඇමතූ ප්‍රසන්න ඊට පසුදින දොම්පේ ආසනයේ රැස්වීම් 50ක් ඇමතුවේය. දොම්පේ ආසනයේ අවසන් රැස්වීම්වලට එන විට ප්‍රසන්න සිටියේ වචනයක් කතා කර ගත නොහැකි මට්ටමකය.

ඉතා අසීරුවෙන් හස්ත සංඥා ද උපයෝගි කරගනිමින් අවසන් රැස්වීම් කිහිපයත් ඇමතූ ප්‍රසන්නට සිදුවූයේ රැස්වීම්වලින් අනතුරුව බෙහෙත් ගැනීමටය. වෛද්‍යවරයා ප්‍රසන්නට අනතුරු ඇඟවූයේ කතා කිරීමෙන් වළකින ලෙසය. එක් දිනක් හෝ රැස්වීම් කතාවල කතා කිරීමෙන් වළකින්නැයි ප්‍රසන්නගේ බිරියත් උදක්ම ඉල්ලා සිටියාය.

එහෙත් පසුදින නැවතත් ගම්පහ ආසනයේ රැස්වීම් තිබුණු නිසා ප්‍රසන්නට බිරියගේ හෝ වෛද්‍යවරයාගේ ‍ඉල්ලීම ඉටු කරන්න ලැබුනේ නැත. “මෙච්චර වැඩ තියෙද්දි කොහොමද කතා නොකර ඉන්නේ? මිනිස්සු බලන් ඉන්නේ අපේ කතා අහන්න” යැයි කී ප්‍රසන්න රැස්වීම්වලට සහභාගී වූයේය.

පාස්කු ප‍්‍රහාරය ගෝඨා පිටින් යවන එජාප සැලසුමක්

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් මහින්දගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී පැවැත්විණි. එතැනදී සාකච්ඡාවට ලක් කෙරුණේ ජනාධිපතිවරණයේ ඉදිරි මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙනි. එක්සත් ජාතික පක්ෂය විසින් ගෙනයන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ පරාජය කිරීම ගැනත් එහිදී කතාබහට ලක්විය.

පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මහින්දගේ නිවසේ දී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් පිරිසක් සාකච්ඡාවක නිරත වෙමින් සිටියහ. විමල්, කෙහෙළිය, ප්‍රසන්න, මහින්දානන්ද, උදය ඇතුළු කණ්ඩායමක් එහි සිටියහ. ඔවුන්ගේ සාකච්ඡාවට මුල්ව තිබුණේ පාස්කු ප්‍රහාරය ගෝඨාගේ පිට පැටවීමට දැරෙන තැතක් සම්බන්ධයෙනි.

“අයි. එස්. අයි. එස් කාරයෙක් විදියට පුද්ගලයෙක් අන්දලා ව්‍යාජ වීඩියෝවක් කරන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වී‍ඩියෝව තුළින් පාස්කු ප්‍රහාරයේ වගකීම ගෝඨාභයගේ පිට පටවන්නයි මේ  අය සාකච්ඡා කරලා තියෙන්නේ” කෙහෙළිය පැවසීය.

“ඔව් ඔව් අපිටත් ඒ ආරංචිය ලැබුණා. රුපියල් කෝටි අටක් ද කොහෙද ඒකට ගෙවලා තියෙනවා කියලත් දැනගන්න තියෙනවා. ගෝඨාභයගේ උපදෙස් පිට අයි. එස් එකෙන් පාස්කු ප්‍රහාරය කළා කියලා ඇඟවෙන විදියටයි ඒක කරලා තියෙන්නේ” විමල් කීවේය.

ආණ්ඩුව පාස්කු ප‍්‍රහාරකයින් ආරක්ෂා කරනවා

“ආණ්ඩුව දන්නවා පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් තමන්ට මිදෙන්න බැහැ කියලා. මිනිස්සු පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවත් එක්ක කේන්තියෙන් ඉන්නේ. මේ රටේ බහුතරයක් මේ වතාවේ ඡන්දය දෙන්නේ ජාතික ආරක්ෂාව ගැන හිතලයි. ඒක වළක්වන්න තමයි ආණ්ඩුව මේ වගේ නිවට වැඩ කරන්නේ” ප්‍රසන්න පැවසීය.

“පාස්කු ප්‍රහාරය ගැන හොයන්න පත් කරපු තේරීම් කාරක සභාවත් බොරුවක් කළේ. ඒකේ ආණ්ඩුවේ කිසිම කෙනකුට චෝදනා නැගිලා නැහැ. ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ බුද්ධි අංශ ප්‍රධානීන්ට චෝදනා එල්ල කරලා තියෙනවා. මේකෙන් පේනවා ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් ආරක්ෂා කරන්න මහන්සි වෙනවා කියලා” උදය කීවේය.

“පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් සියලුදෙනාම ඉන්නේ සජිත්ගේ වේදිකාවේ. රිෂාඩ්ලා, හකීම්ලා වගේ අන්තවාදීන් ළංකරගෙන ඉන්න ගමන් පාස්කු ප්‍රහාරයේ වගකීම අපේ කරට දාන්න හදනවා. ඕවා කරලා මිනිස්සු රවට්ටන්න බැහැ දැන්” ප්‍රසන්න කීවේය.

සජිත්ගේ පිලේ ඉන්න සේරම බොරු කුමන්ත්‍රණවලට කප් ගහපු අය

“සජිත්ගේ පිලේ ඉන්න සේරම බොරු කුමන්ත්‍රණවලට කප් ගහපු අය. එක්සත් ජාතික පක්ෂයේම අය අපට කතා කරලා කියනවා මේ වගේ හිරිකිත වැඩ තමයි සජිත්ගේ කැම්පේන් එකේ කෙරෙන තරමක් කෙරෙන්නේ කියලා” කෙහෙළිය පැවසීය.

“මංගලලාගේ මඩ කැම්පේන් මේ පාර හරියන්නේ නැහැ. ඒ වගේම ජනාධිපතිවරණයෙන් ගෝඨාභය මහත්තයා ජයග්‍රහණය කළාට පස්සේ පත් කෙරෙන පුර්ණ බලැති කොමිසම මගින් පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් සියලු දෙනාම හෙළි වෙන හින්දා අපි ඕකට කලබල වෙන්න ඕනෙත් නැහැ” උදය පැවසීය.

පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රය හෙල්ලුම් කෑ මෙම මඩ වී‍ඩියෝව පිළිබඳ හෙළිදරව් කෙරෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කතෝලික මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මීගමුවේ දී පැවැත්විණි. ලන්සා, අරුන්දික, සුදර්ශනී සහ සනත් නිශාන්ත මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ. සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන් තේ බොන අතරතුරේ මේ ගැන වැඩිදුරටත් කතාබහ කරමින් සිටියහ.

මේ පාර කතෝලික ඡන්ද එජාපයට ලැබෙන්නේ නෑ

“පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපේ ආසනවල කතෝලික ඡන්ද සේරම එක්සත් ජාතික පක්ෂයෙන් ගැලවුණා. මිනිස්සුන්ට ගොඩක්ම කේන්ති ගියේ ප්‍රහාරය එල්ල වෙන එක දැන දැනත් ආණ්ඩුව නිසි පියවර අනුගමනය නොකිරීම නිසයි. ඒ විතරක් නෙමෙයි ප්‍රහාරයෙන් අපේ මිනිස්සු මැරිලා ඉන්නකොට අගමැති ප්‍රමුඛ ඇමැති මණ්ඩලය සිනහා වෙමින් මාධ්‍ය සාකච්ඡාවලට එක්වෙච්ච ආකාරය නිසා දැන් අපේ මිනිස්සුන්ට ඇතිවෙලා තියෙන්නේ පිළිකුලක්” ලන්සා පැවසීය.

“ආන්ඩුව දන්නවා කතෝලික ඡන්ද මේ වතාවේ එයාලට ලැබෙන්නේ නැහැ කියලා. ඒ හින්දා තමයි මේ වගේ මඩ වීඩියෝ හද හ‍ද ප්‍රහාරයේ වගකීමෙන් මිදෙන්න යන්නේ. පාස්කු ප්‍රහාරයට ගෝඨාභය සම්බන්ධයි කියන එක තරම් තවත් විහිලුවක් නැහැ” අරුන්දික කීවේය.

“කතෝලික මන්ත්‍රීවරුන් විදියට අපිට යුතුකමක් තියෙනවා මේ වගේ කුමන්ත්‍රණ හෙළිකරන්න. නැත්නම් ඊළඟ අවුරුදු පහතේ අපේ මිනිස්සුන්ට වෙන්නේ බෝම්බ කන්න” ලන්සා පෙන්වා දුන්නේය.

“ආණ්ඩුව අඩු ගාණේ ප්‍රහාරය ගැන පරීක්ෂණවත් හරියට කළේ නැහැ. වගකිවයුත්තන් ඇමැති මණ්ඩලයේ ඉන්න කොට ඒ අය ඉවත් කරලා තමන්ගේ පිරිසිදුකම පෙන්නුවේ නැහැ. දැන් මොන දේ කළත් ජනතාවගේ හිත්වල තියෙන සැකය අරින්න බැහැ” සුදර්ශනී කීවාය.

ගෝඨාභය මහත්තයාගේ ජයග්‍රහණය වළක්වන්න සක්කරයාටවත් බැහැ

“ගෝඨාභය මහත්තයාගේ ජයග්‍රහණය වළක්වන්න සක්කරයාටවත් බැහැ. රටේ ආරක්ෂාව ගැන හිතන බුද්ධිමත් ජනතාව ඉන්නේ ගෝඨාභය එක්කයි. මිනිස්සු දන්නවා කියන දේ කරන කරන දේ කියන නායකයෙක් කියලා. ඒ නිසා මහින්ද මහත්තයාට තියෙන ජනප්‍රසාදයත් එක්ක ගෝඨාභය මහත්තයා මේ පාර වැඩි ඡන්දෙන් ජනාධිපති වෙනවා” අරුන්දික කීවේය.

“ඒක හරි. සජිත්ට ගෝඨාභය මහත්තයාගේ කිට්ටුවටවත් එන්න ලැබෙන්නේ නැහැ. සජිත්ට වෙන්නේ ලංකා ඉතිහා‍සයේ අඩුම ඡන්ද ගත්තු ජනාධිපති අපේක්ෂකයා වශයෙන් දේශපාලනයට සමුදීලා ගෙදර යන්නයි” සනත් පැවසීය.

Recommended For You

About the Author: Editor