උතුරේ රෝගීන් දකුණේ රෝහල්වලට ‘ප‍්‍රවාහනය කළ යුගය’ අපි අවසන් කළා – සෞඛ්‍ය ඇමැති රාජිත

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම පිණිස වවුනියාව මැතිවරණ කොට්ඨාසයේ ව්‍යාපාරික හා තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (02) පස්වරුවේ පැවැත්විය.

මෙම අවස්ථාවට එක්වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙසේ අදහස් දක්වන ලදි.

 “අද දකුණේ මෙන්ම උතුරේ ද සෞඛ්‍ය  සේවා සංවර්ධනය කිරිමට අපි පියවර ගෙන තිබෙනවා. රෝගීන් දකුණේ රෝහල්වලට ප්‍රවාහනය නොකර උතුරේ රෝහල්වල දීම අවශ්‍ය ප්‍රතිකාර සේවාවන් ලබාදිය හැකි පරිදි සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය කර තිබෙනවා. මානව හා භෞතික සම්පත් එම රෝහල් වලට ලබා දී තිබෙනවා.”

“ද්‍රවිඩ, මුස්ලිම්, වතුකරයේ, සහ අනෙකුත් දේශපාලන පක්ෂ සියල්ල එකතු වෙලා ලොකු සන්ධානයක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ විසින් ගොඩනැගුවා. ඒ අනුව හංසයා ලකුණින් මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් පත් වන සජිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය ලබාදෙන්න කියා ඉල්ලා සිටිනවා.

එදා ත්‍රස්තවාදි ප්‍රහාරයක් හේතුවෙන් මියගිය සජිත් ප්‍රේමදාස මහතාගේ පියා සිංහල, දුවිඩ, මුස්ලිම් සියලු ජනතාව සමග එකට එක්ව හිටියා. හැම ආගමකට, ජාතියකටම එතුමා සැළකුවා. එතුමාගේ පුතා අද ජනාධිපතිවරණට එක්වෙලා සිටිනවා. එතුමා උතුරේ විශාල නිවාස යෝජනා  ක්‍රම වවුනියාව, මුලතිවු, කිලිනොච්චි, යාපනය වැනි හැම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කළා. එසේ කළේ මේ පළාත් වල  දුප්පත් ජනතාව වෙනුවෙන්.”

“අපි 2015 පොරොන්දු වුණ ඔබලාගේ අයිතිවාසිකමක් වන නිවාස හා ඉඩම් ලබාදීම මෙම ජයග්‍රහණයත් සමග ඉවර කරන්න පුළුවන් වෙනවා. තමුන්නාන්සේලාගෙන් ලබාගත් ඉඩම් ඔක්කොම තමුන්නාන්සේලාට ලබාදෙන්න බැරි වුණා. තමුන්නාස්සේලාගේ දේශපාලන සිරකරුවන් සියලු දෙනා නිදහස් කරන්න බැරි වුණා. නිදොස් අය අපි නිදහස් කළා. නමුත් ‍ ඔබලාගේ නිවාස ගැටලුවට පිළියම් යොදමින් නිවාස සියල්ල හදලා දෙන්න බැරි වුණා.

නමුත් අපි මේ සැරේ ඔබලාගෙන් ඉල්ලන්නේ ඒ වගේම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ ලබන අවුරුදු 05 ඇතුලත මුල් අවුරුදු 02 තුල දී තමුන්නාස්සේලාගේ සියලුම නිවාස ව්‍යාපෘති හදලා ඉවර කරලා තමුන්නාන්සේලාට අයිති සියලුම ඉඩම් තමුන්නාන්සේලාට ලබලා දීලා ආරක්ෂාව සදහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය තබාගෙන අනෙක් සියලුම ඉඩම් තමුන්නාන්සේලාට නිදහස් කරලා ඒ මූලික අයිතින් තමුන්නාන්සේලාට ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට.

මේ පිළිබදව දීර්ඝව ද්‍රවිඩ සන්ධානයත් එක්ක අපි කථා කළා. ඔවුන් අපිත් එක්ක වාද විවාද කරමින් ඒ අයිතීන් වෙනුවෙන් කථා කළා. වැඩ කළා. හෙට දවසේ දී එතුමන්ලා මේ වවුනියාවේ දී තීන්දුවක් ගන්නවා මේ ජනාධිපතිවරණයේ දී ඔවුන් ක්‍රියා කරන්නේ කොහොමද කියලා.  ගිය සැරේ සියයට 90 කට වැඩි ජන බලයක් අපිට ලබාදුන්නා. එදා බයෙන් සැකෙන් ඔබලා ඡන්ද පොලට ගියේ. රාජපක්ෂ ආණ්ඩුව ඒ තරම් මර්දනය ක්‍රියාත්මක කළ නිසා.

අද බොහොම නිදහස්ව මේ මැතිවරණය පැවැත්වෙනවා. බයවෙන්න දෙයක් නැහැ. ඔබලාගේ ඡන්ද අයිතිය අපි ලබාදීලා තිබෙනවා.  අපි උතුරු පළාතට කළ සේවාව හේතුකොට ගෙන මෙවර ගියවරට වඩා ඡන්ද ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. සජිත් මහතා ජයග්‍රහණය කරනවා කියන්නේ මේ රටේ ජාතික සමගිය, සංහිහිදියාව, අයිතිය ජයග්‍රහණය කරනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම හමුවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක යන අමාත්‍යවරුන් මෙන්ම උතුරු පලාත් ජනතා නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

Recommended For You

About the Author: Editor