ත්‍රී රෝද රථ රියදුරන්ට ‘ඇපයක් – පොලියක් නොමැතිව ලක්ෂ 3ක ණයක් ලබා දෙනවා – සජිත් පේ‍්‍රමදාස

තමා ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නොමැති සෑම උපාධිධාරියෙකුටම රැකියා ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා (02) දා ප්‍රකාශ කළේය.

ලක්ෂ ගණනක් වූ ත්‍රී රෝද රථ රියදුරන්ට ඇපයක් පොලියක් නොමැතිව රුපියල් ලක්ෂ 3ක ණයක් ලබා දෙන බව ද ඒ මහතා කීවේය.

මාවනැල්ල හා ගම්පොල පැවැති ජනරැළි අමතමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහතා මෙසේද කීය.

මාව අපේක්ෂකයා ලෙස පත් කරන්නට බෙල්ල තියපු කෙනෙක් තමයි කබිර් හෂිම් මැතිතුමා. එතුමා කළ සේවය හා මාවනැල්ල ජනතාවත් කිසිසේත්ම අමතක කරන්නේ නැහැ.

මාවනැල්ලට අලුත් ගැම්මක්, අලුත් සංවර්ධනයක් අවශ්‍යයි. 16 දාට නියත වශයෙන්ම මාවනැල්ල නගරය සුරපුරයක් කිරීමේ ගමන අරඹා තිබෙනවා සේම වඩා ශක්තිමත් ආර්ථිකයක් ජනතාවට අතරට ගේනවා.

මාවනැල්ල පුරවරයේ ඉඩම් නොමැති නිවෙස් නොමැති විශාල පිරිසක් ඉන්නවා. අපේ රටේ නිවාස වැඩපිළිවෙල අමාත්‍යාංශය හයකට බෙදලා තිබෙන වෙලාවේ 16 දායින් පසු මේ හයම එක අමාත්‍යාංශයක් යටතට ගෙන 2025 දි රටට සෙවන දෙන වැඩපිළිවෙල රටටම ක්‍රියාත්මක කරනවා.

රබර් ආර්ථිකයත්, ස්වයං රැකියා ආර්ථිකයක්, වඩු කර්මාන්ත ආර්ථිකයක් මෙහි  තිබෙනවා. මෙම ආර්ථිකයන්හි කොටස්කරුවන් වන සියලු දෙනාට රජයේ මැදිහත්වීමෙන් බදු බර අඩු කර රාජ්‍ය මුල්‍ය සහයෝගය තුළ ස්වයං රැකියා හා වඩු කර්මාන්තය ඇතුළු කර්මාන්ත ඉහල තලයකට ගෙනෙන්න කටයුතු කරනවා.

අලුත් නුවර පුජා භූමිය සංවර්ධනය කළේ මගේ පිය වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මැදිහත් විමෙනුයි. මේ වන විට මගේ මැදිහත්වීමෙන් තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. මෙරට ජනාධිපති ලෙස අලුත් නුවර උතුම් පුදබිම අංගසම්පුර්ණව වැඩි දියුණු කරලා ඉතිරි වැඩකොටසත් නිමා කරනවා.

ජාතික වශයෙන් අපි දැවැන්ත වැඩ කොටස් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. දුප්පත්කම නැති කිරීමේ සමෘද්ධි වැඩසටහන වැඩි වැඩියෙන් ශක්තිමත් කරන අතරතුර දුප්පත්කමින් පෙළෙන ජනතාව දුප්පත් කමින් මුදවිමට කටයුතු කරනවා. ඒ වෙනුවෙන් සමෘද්ධියට අමතරව ජනසවිය වැඩසටහනත් යළිත් ක්‍රියාත්මක කරනවා.

කෙටි කාලයක් තුළ අපි මෙරට දුගී දුප්පත්කම තුරන් කරන්නට කටයුතු කරනවා. මගේ පියා තමයි පාසල් දරුවන් ලක්ෂ 43 කට දිවා ආහාරය හා නිල ඇදුම් ලබා දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ රජය කාලයේ තමයි දිවා ආහාරය කපා දැම්මේ. මගේ පියාට එතුමා දරුවන් වෙනුවෙන් කරන්නට සැලසුම් කළ වැඩපිළිවෙල සම්පූර්ණ කරන්න බැරිවුණා. නමුත් ලබන 16 දා ජනාධිපතිවූ පසු මා නිල ඇදුම් කට්ටල දෙකක්, දිවා ආහාරය වගේම සපත්තු ජෝඩුවකුත් ලබා දෙනවා.

ඇයි අපි පාසල් දූ දරුවන්ව මෙතරම් ශක්තිමත් කරන්නේ. දැනුම කේන්ද්‍රකර ගත් ආර්ථිකයක් නිර්මාණය කරන්න නම් උගත් බුද්ධිමත් ජනසමාජයක් ගොඩනැගෙන්න ඕනේ. උගත් බුද්ධිමත් ජන සමාජයක් බිහි වෙන්නට නම් දරුවන් පාසල් යවන්න උනන්දු කළ යුතුයි. මගේ ප්‍රතිවාදියෝ කියනවා මේක මුදල් නාස්තියක් කියලා. නුඹලාට කෝටි ගණනක් ණය ගිණිපොලියට අරන් නෙළුම් කුළුන, නෙළුම් පොකුණ හදන්න පුළුවන් වුනා නම් මම පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දෙන්න පැකිලෙන්නේ නැහැ.

සෑම ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයක්ම මුලික කරගෙන කර්මාන්ත පුර අරබනවා. ඒ කර්මාන්ත පුරවර වැඩසටහන තුළ යොවුන් පරපුරට රැකි රක්ෂා ලැබෙනවා. බංග්ලාදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජියට යන සෘජු විදේශ ආයෝජන අපි අපේ මාතෘභුමියට රැගෙන එනවා.

අපේ යොවුන් පරපුර ඩිජිටල් විප්ලවය ගැන ලොකුවට කතා කරනවා. එය කතාවට පමණක් සිමා නොකර මහපොලොවේ ක්‍රියාත්මක කිරීමට අපි නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කරලා එහි ජාත්‍යන්තර ප්‍රමිතියට පත්වනවා. මෙහි බයෝ තාක්ෂණය නැනෝ තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය පරිගණක තාක්ෂණය නවෝත්පාදනය, ඉංග්‍රිසි භාෂා සාක්ෂරතාව වැනි දැනුමත් අපි ලබා දෙනවා. මෙම විද්‍යාලවලින් සමත්වී එළියට එන යොවුන් පරපුරට තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ආරම්භ කරනවා. නව ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කරගත් ව්‍යාපාරයක් මෙම උද්‍යානයන් හි ආරම්භ කරනවා.

අපි තරුණ ප්‍රඥප්තියක් එළි දැක්වුවා. ඒ වෙනුවෙන් ගිවිසුමකට අපි එළැබුනා. කාන්තාවන් සමග කාන්තා ප්‍රඥප්තියකට එළැබුනා. කාන්තා ප්‍රඥප්තියේ තිබෙන්නාවු සියළුම කොටස් කාලවකවානු සහිතව ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා.

ජන සමාජයේ පුංචිම මනුස්සයාගේ සිට සුළු මධ්‍යම පාන්තිකයා, රාජ්‍ය සේවකයා, විරෝධාර රණවිරුවන්, පෞද්ගලික ව්‍යාපාරිකයන්, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් සියලු දෙනා පොදු ජනතාවගේ ජනපති ලෙස පත්වූ පසු රැකබලා ගන්නවා.

මේ රටේ ජාතික ආරක්ෂාව සුරැකිම උදෙසා, නීතිය හා සාමය අකුරට ඉටු කිරීම සදහා එහි වගකීම ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙනවා. සුදුස්සාට සුදුසු තැන ලබා දෙනවා. ඒ වගේම ජාතික ආරක්ෂාව පමණක් නොව මේ රටේ දරු පරපුරට පිළිලයක් වූ කුඩු ව්‍යාපාරත් සුනුවිසුනු කරනවා. ත්‍රස්තවාදින් විනාශ කරන්නාසේම කුඩු ව්‍යාපාරිකයන් විනාශ කරනවා. ස්ත්‍රිදුෂකයන් මිනිමරුවන් ළමා අපචාරකරුවන් විනාශ කොට යුක්ති ගරුක විනය ගරුක ශිෂ්ඨ සම්පන්න ජන සමාජය බිහිකරනවා.

මේ කියන කාරණා ගැන මගේ ප්‍රතිවාදියා සමග වාද විවාද කරන්න ලොකු ආශාවක් තියෙනවා. මෙහෙම වාද විවාද කළාම රටේ ජනතාවට ලොකු ප්‍රයෝජනයක් අත් වෙනවා. එතකොට බලාගන්න පුළුවන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ වැඩසටහන කවුරුහරි ලියලා දුන්නු එකක්ද කියලා. අපේක්ෂකයාට ඒ ගැන අවබෝධයක් තියෙනවාද දැනුමක් තියෙනවාද මොළයක් තියෙනවාද බුද්ධියක් තියෙනවාද කියලා ඔක්කොම හොයලා බලන්න පුළුවන්.

මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වෙන්නේ මගේම අදහස් හා මගේම දර්ශනයයි.  එය වෙන කවුරුත් ලියපු එකක් නොවෙයි. ඒ හැම එකක් බලන්න පුළුවන් ප්‍රසිද්ධ විවාදයක් තිබ්බාම. අපේ හිතවත් මාධ්‍යයට පුළුවන් ඒ වෙලාවට පුළුවන් කෙටි රාමුවක් නොව පුළුල් රාමුවක් පෙන්නන. එතකොට ටෙලිප්‍රොම්ටර් එකේ වීදුරු කෑලි එහාට මෙහාට යනවා බලාගන්න පුළුවන්. මට නම් ටෙලිප්‍රොම්ටර්වලින් කතා කරලා පුරුදු නැහැ. මොකද සියලු කරුණු මගේ ඔලුවේ තියෙනවා. හැබැයි තවම විවාදයට එන්න ලැහැස්ති නැහැ.

කොහේ විවාද කරන්න බැරිවුනත් මේ ඓතිහාසික විවාදය මාවනැල්ලේ පවත්වන්න මම කැමතියි. තනිවම එන්න අකමැති නම් ලඟපාත තිබෙන කිහිළිකරු ටික අත්වාරු ටික අරගෙන එන්න පුළුවන්. ඕන නම් හිටපු ජනාධිපති අයියාවත් අඩගහගෙන එන්න, තනිපංගලමේ එන්න බරි කමක් තියෙනවා නම්. හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියමයි ඕන නම් රුපියල් 2500 න් පවුලකට ජිවත් වෙන්න පුළුවන් කියපු මනුස්සයවත් අරගෙන එන්න. එහෙමත් බරිනම් පවුල් ගහම අරගෙන එන්න. එය පන්දාහද, පහලොස් දාහද ,විසිදාහද කියන එක සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නොවෙයි.

මම ලැහැස්තියි මාවනැල්ල නගරයේ තනිවද ඉදලා ඒ දහ දාහද විසිදාහද කියන පිරිසට තනිවම මුහුණ දෙන්න. මහත්මා ගුණාංගවලින් ඊට මුහුණ දෙන්න ලැහැස්තියි. මෙරට රාජ්‍ය නායකයා ලෙස මම කිසිම කෙනෙකුට බයත් නැහැ. කිසිම කෙනෙකුට ණයත් නැහැ. කිසිම රටකට ණයත් නැහැ. අපේ මාතෘභූමිය මොනම හේතුවකටවත් අබමල් රේණුවකින්වත් පාවා දෙන්නේත් නැහැ.

මගේ ඔලුව පිට කරපිට වෙනත් රටවල නීති රීති ක්‍රියාත්මක කළ යුතුය යන බර නැහැ. අනෙක් අයට ඒ බර තියෙනවාද කියලා කියන්න මම දන්නේ නැහැ. කාටවත් මට ඇගිල්ල දිගු කරන්න බැහැ, ඔයා අපේ රටේ පුරවැසියෙක් ලෙස හිටියා. දැනුත් ඉන්නවා. ඔයා අපේ රටේ නීතිරිතිවලට අනුව ඉන්න ඕනේ කියලා බලපෑම් කරන්න බෑ. සජිත් ප්‍රේමදාසට එහෙම බලපෑමක් නැහැ. මොකද සජිත් ප්‍රේමදාස කියන්නේ ඔරිජිනල්ම ශ්‍රී ලංකා පුරවැසියෙක්.

අප රට තුළ ත්‍රී රෝද රියදුරන් ලක්ෂ ගණනක් ඉන්නවා. ත්‍රිරෝද රථ රියදුරන්ට ඇපයක් නැතුව, පොලියක් නැතුව ලක්ෂ 3 ක ණය මුදලක් ලබා දෙනවා. අවිධිමත් පෙර පාසැල් අධ්‍යාපනය අවිධිමත් තත්ත්වයක තියෙන්නේ. මේරටේ පෙර පාසල් 19000 ක් තිබෙනවා. ඉතිහාසෙය් ප්‍රථම වරට පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ ලබා දෙමින් සෑම දරුවෙකුටම දිවා ආහාරය ලබා දෙනවා.

රණවිරු සුබ සාධනය මා ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා පුද්ගලිකව සොයා බලනවා. රැකියා නොමැතිව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරින්ට ජනාධිපති වී මාස දෙකක් අතුළත රැකියා ලබා දෙනවා.

Recommended For You

About the Author: Editor