NPP Full story: මෙතෙක් රට පාලනය කළ අයට වඩා හොඳ කණ්ඩායමක් අපට ඉන්නවා – අනුර දිසානායක

ජනාධිපතිවරණය අපේ රට වෙනස් කිරීමේ හැරවුම් ලක්‍ෂය බවට පත් කර ගන්න ටිල්වින් සිල්වා

අපි මෙතැනට එකතු වෙලා ඉන්නේ, මඩ වළ පිරිසුදු කර මල් සුවඳ මේ රට පුරා විහිදුවන්නප්‍රසන්නජිත් අබේසූරිය

අවස්ථාවාදියො තනතුරු පේ‍්‍රමියෝ මේ වේදිකාවේ නෑ ජේ. නානායක්කාර

”අවුරුදු පහකට ආසන්න කාලයක දී ඔප්පු කර තිබෙන්නේ, දෙදහස් පහළොවේ ජනතාවට දුන් කිසිදු පොරොන්දුවක් ඉටු කරන්න අසමත් බවයි. ඒ නිසා මේ පාලනය බිඳවට්ටන්න ඕනෑ. මේ පාලනය බිඳවට්ටවලා, නැවත බලයට ගේන්නේ දෙදහස් පහළොවේ පරාද කළ කට්ටියම ද? එහෙම නම්, ඒක පරාද නොකර ඉන්න තිබුණා. පරාද කිරීම හරි. ආයේ ගේන්න උත්සාහ කරනවා නම්, ඒක වැරැදියි. මේ පාලනය බිඳවැට්ටවිය යුතුයි වාගේ ම පලවා හරින ලද පාලනයට නැවත ඉඩ ලබා නොදිය යුතුයි”

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා මේ බව ප‍්‍රකාශ කළේ පසුගිය 02දා ජාතික ජන බලවේගයේ තිස්සමහාරාම ජනතා රැලිය අමතමිනුයි. එහිදී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින් කළ ‘සම්පූර්ණ කතාව’ මේ සමග පළ වෙනවා.

රටට නව පාලනයක්, නව පාලකයෙක් තෝරා ගන්න ජනතාවට අවස්ථාව ඇවිල්ලා.

මේක ඒ වෙනුවෙන් ආව පළමුවැනි අවස්ථාව නොවෙයි. වැඩි ඈතක නැතිව 2015ට ගියොත්, අපේ රටේ ජනතාවට මේ අවස්ථාව උදා වුණා. ඒ වෙන කොට තිබුණු පාලනයේ හොරකම් නතර කරයි කියලා, විශාල අපේක්‍ෂාවන් සහිතව ජනතාව අලුත් පාලනයක් හැදුවා. හොරුන්ට දඬුවම් කරයි කියලා ජනතාව හිතුවා. ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න ටික විසඳලා, රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගනියි කියලා, බලාපොරොත්තුවෙන් ජනතාව මේ පාලනය හැදුවා. එතෙක් තිබුණු විනාශකාරී පාලනය ලක්‍ෂ හැටදෙකහමාරක් ජනතාවගේ ඡන්දයෙන් පරාජය කළා.

අවුරුදු පහකට ආසන්න කාලයක දී ඔප්පු කර තිබෙන්නේ, දෙදහස් පහළොවේ ජනතාවට දුන් කිසිදු පොරොන්දුවක් ඉටු කරන්න අසමත් බවයි. ඒ නිසා මේ පාලනය බිඳවට්ටන්න ඕනෑ. මේ පාලනය බිඳවට්ටවලා, නැවත බලයට ගේන්නේ දෙදහස් පහළොවේ පරාද කළ කට්ටියම ද? එහෙම නම්, ඒක පරාද නොකර ඉන්න තිබුණා. පරාද කිරීම හරි. ආයේ ගේන්න උත්සාහ කරනවා නම්, ඒක වැරැදියි. මේ පාලනය බිඳවැට්ටවිය යුතුයි වාගේ ම පලවා හරින ලද පාලනයට නැවත ඉඩ ලබා නොදිය යුතුයි. අපි ඔබ සැම හමුවෙන්න ආවේ, නොවැම්බර් දහසය වැනිදාට අලුත් පාලනයක් ගෙන එන්න, අලුත් පාලකයෙක් අපේ රටට තෝරා පත් කර ගන්න ආරාධනා කරන්නයි. ඇයි ඒ ? මේ රට හදන්න.

රටකට වෙන්න පුළුවන් සියලු විනාශයන් මේ රටට අත්කර දී හමාරයි.

අපේ රට දුප්පත් කරලා. ණය බර, රටේ නිෂ්පාදනය කඩාවැටීම, රටේ සෞඛ්‍යය, අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් දුප්පත්. හැම පැත්තෙන් ම දුප්පත්. හැබැයි, පාලකයෝ පොහොසත්. රජයේ මුළු ආදායම ණය පොළිය, වාරිකය ගෙවන්නත් මඳි. අමතරව කෝටි දහතුන්දහස් පන්සියයක් ගිය අවුරුද්දේ ගන්න ඕනෑ වුණා, ණය ගෙවන්න.

හැබැයි, පාලකයන්ගේ ගිණුම් පිරිලා. අවුරුදු හැත්තෑඑකක් තිස්සේ කළේ රට දුප්පත්භාවයේ පතුලට දාලා, පාලකයෝ පොහොසත්කමේ හිණිපෙත්තට නැඟීම. මේ දුප්පත්භාවයට ඇදලා දාපු රට පොහොසත් රටක් බවට පත් කරන්න අපි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හදමු.

අපට එක අවස්ථාවක් දෙන්න. අපි සහතික වශයෙන් මේ රට ගොඩනඟනවා. රට ගොඩනඟන්න නම්, හොරකම, නාස්තිය නතර කරන්න ඕනෑ. එය කළ හැක්කේ, ජාතික ජන බලවේගයට විතරයි.

හොරකම් කරන ලද සියලු දේපළ යළි පවරා ගන්න පාලනයක් අපි ඇති කරනවා

තමුන්නාන්සේලා නොවැම්බර් මාසේ දාහත් වැනිදා පාලන බලය අපට ලබා දෙනවා නම්, මා කරන පළමු ප්‍රකාශය දේශපාලකයන් සහ ඉහළ නිලධාරීන් ඇතුළු සියලු දෙනා මහජනතාවගෙන් හොරකම් කරන ලද සියලු ධනය මාස දෙකක් ඇතුළත භාර දෙන්න කියලයි.

අපට කාගෙන්වත් පළිගන්න ඕනෑකමක් නැහැ. ඒ මාස දෙක ඇතුළත භාර දුන්නේ නැත් නම්, හොරකම් කරන ලද සියලු දේපළ යළි පවරා ගන්න පාලනයක් අපි ඇති කරනවා. මැති ඇමතිවරුන් නඩත්තු කරන්නට යන අතිවිශාල ධනයත්, හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කරන්න යන අතිවිශාල වියදමත් කපාහරිනවා. රට ගොඩනඟන්න හොරකම් නොකරන, නාස්ති නොකරන පාලනයකට මුලපුරන්නේ එහෙමයි.

අපේ රටට ණය ගත්තේ, අවශ්‍ය වත්කම් නිෂ්පාදනය කරන්න නොවෙයි. ගාල්ලේ ඉඳලා මාතරට රේල් පාර අධිවේගී කළා. කිලෝ මීටර් හතළිස්අටට රුපියල් කෝටි නවසියයක් වියදම් කළා. වැඬේ පටන් ගන්න කොට ප්‍රවාහණ ඇමති, ඩලස් අලහප්පෙරුම. වැඬේ අවසාන කරන කොට ප්‍රවාහණ ඇමති, කුමාර වෙල්ගම. රේල් පාර අධිවේගී කරන්න කලින් ගාල්ල-මාතර කෝච්චියට විනාඩි හතළිස්දෙකක් ගියා. අධිවේගී කළාට පස්සේ විනාඩි තිස්නවයක් යනවා කියලා, පාර්ලිමේන්තුවේ මම අපහු ප්‍රශ්නයකට කුමාර වෙල්ගම ඇමතිවරයා උත්තර දුන්නා. ඉතින්, ණය බරක් වෙන්නේ නැද්ද අපේ රට විශාල ණය උගුලක හිර කළේ මෙහෙමයි.

අපි රට ගොඩනගන්න ගන්නේ අඩු පොලී ණය පමණයි

නොරොච්චෝලේ බලාගාරය ඉදි කරන්න ණය ගත්තේ සියයට පහයි. චීන වාණිජ වෙළෙඳපොළෙන් ණය ගත්තේ සියයට හතයි. ඒ ගොල්ලෝ ගොඩක් කැමැතියි, වාණිජ වෙළෙඳපොළෙන් ණය ගන්න. හැබැයි, ශක්‍යතා අධ්‍යයන නිසි පරිදි සම්පූර්ණ කරන ව්‍යාපෘතිවලට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය දෙන්නේ සියයට දශම හතයිපහේ පොළියට. සියයට පහේ පොළියට අවුරුදු හතළිහක විතර දීර්ඝකාලීන ණය ගත්තොත්, ණය මුදල වාගේ තුන්ගුණයක් ගෙවන්න වෙනවා. හැබැයි, සියයට එකේ පොළියට ගත්තොත්, ගන්න ණය මුදලෙන් හරි අඩක් විතරයි පොලිය ගෙවන්න වෙන්නේ. අපේ පාලනයක් යටතේ රට ගොඩනඟන්න මේ වාගේ ණය තමයි ගන්නේ.

ලෝකෙම තොරතුරු තාක්ෂණ වැඩ කළ අපේ සමාගම්වලට ලංකාවේ වැඩ දෙන්නෑ

ලෝකයේ වේගයෙන් ම දියුණු වෙන්නේ, තොරතුරු තාක්‍ෂණ වෙළෙඳපොළයි. ඇමෙරිකාවේ පෙන්ටගන් යුද මධ්‍යස්ථානයේ මෘදුකාංග පද්ධතියේ කොටසක් හයි කරලා තියෙන්නේ, ලංකාවේ ‘මිලේනියම් අයිටී’ කියන සමාගම. එංගලන්ත කොටස් වෙළෙඳපොළේ මෘදුකාංග පද්ධතියෙන් කොටසක් නිර්මාණය කළේ ලංකාවේ සමාගමක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුළු ආණ්ඩුවේ ම මෘදුකාංග පද්ධතියෙන් කොටසක් හැදුවේ ලංකාවේ සමාගමක්. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මෘදුකාංග පද්ධතිය ලබා දුන්නේ සිංගප්පූරු සමාගමකට.

මේ ක්‍ෂේත්‍රයෙන් ලෝක වෙළෙඳපොළෙන් විශාල කොටසක් අපට අත්පත් කර ගන්න පුළුවන්. ප්‍රතිපත්ති හදන්න ඕනෑ මෙතැනට. ඩොලර් කෝටි එක්දහස් පන්සියයක වෙළෙඳපොළක් අපට ලෝකයෙන් අත්පත් කර ගන්න පුළුවන්. අපට සියලු ම ආනයන කරන්න අවුරුද්දකට වියදම් වෙන්නේ ඩොලර් කෝටි 1,200යි. තොරතුරු තාක්‍ෂණයෙන් විතරක් අපේ රටට විශාල වත්කමක් උපයා ගන්න පුළුවන්. චීනය ලෝකය ඉදිරියේ නැඟීසිටියේ මේ විදියට. අපේ රට ලෝකය ඉදිරියේ ශක්තිමත්, පොහොසත් රටක් කිරීමේ ආර්ථික සැලැස්මක් අපි හදලා තියෙන්නේ.

දිගින්දිගට ම සිද්ධ වෙලා තියෙන්නේ, ජනතාවගේ දුප්පත්කම විකුණන එකයි

ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගන්න පුළුවන් වෙන්නෙත්, මේ වාගේ ක්‍රියාමාර්ගවලින්. එහෙම නැතිව “සතියකට හාල් සේරු දෙකක් දෙන්නම්, ධාන්‍ය වර්ග රාත්තල් අටක් දෙන්නම්” වගේ පොරොන්දුවලට රැවටෙන්න එපා කියලා අපි ඉල්ලනවා. දිගින්දිගට ම සිද්ධ වෙලා තියෙන්නේ, ජනතාවගේ දුප්පත්කම විකුණන එකයි. අදත් ඔවුන්ගේ මැතිවරණ වේදිකාවේ ක්‍රියාත්මක කරන්නේ ඒක. දුප්පත්කම විකිණීමේ ඔවුන්ගේ දේශපාලනය නැවැත්විය යුතුයි.

අපි අපේ ආණ්ඩුවක් හදමු, දුප්පත්කම තුරන් කිරීමේ චේතනාවෙන්. අපි සැලැසුම් කරන්නේ, දුප්පත්කම තුරන් කිරීමේ පාලනයක් ගොඩනඟන්න. මේ දක්වා සමෘද්ධිය ලබපු පවුල් ලක්‍ෂ දහහතරට තවත් පවුල් ලක්‍ෂ හයක් එකතු කර ගන්න යනවා. අපේ පාලනයක් යටතේ සමෘද්ධි පවුලකට රුපියල් දහදාහක් දෙන බවට ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ දෙන්නේ, නිශ්චිත ලෙස ම ඔවුන් දුප්පත්කමෙන් ගොඩගැනීමේ වැඩපිළිවෙළක් එක්කයි. අවුරුදු පහකින් සමාලෝචනයට ලක් කර දුප්පත් අය නැවත ගොඩනැඟීමේ සැලැසුම් දියත් කරනවා.

වැඩක් කළ හැකි හොදම කණ්ඩායම ඉන්නේ අපි සමගයි

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, පාරම්පරික ගෘහ කර්මාන්තය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දක්වා ඉදිරියට ගෙන යනවා. මේ රටේ සියයට හැත්තෑවක් කාන්තාවන්ගෙන් රැකියා කරන්නේ, සියයට තිස්එකයි. ඒ නිසා මේ අය වෙනුවෙන් ව්‍යවසායක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා.
පිටරට ගිහිල්ලා, අමාරුවෙන් කීයක් හරි හොයාගෙන මෙහෙ ඇවිල්ලා, ව්‍යවසායකයෙක් වෙන්න උත්සාහ කරනවා. නමුත්, ටික කලකින් ව්‍යාපාරය වැහිලා යනවා. එහෙම නොවන දැක්මක් මේ අයට ලබා දෙන්න ඕනෑ. දත්ත, තොරතුරු, පුරෝකථන යොදාගෙන ව්‍යවසායයන් පටන් ගන්න ඕනෑ. අපේ රටේ ඉදි කිරීම් කර්මාන්තය, අපේ රටේ කිරි කර්මාන්තය, ධීවර කර්මාන්තය, විසිතුරු මල් වගාව, මීපැණි නිෂ්පාදනය වාගේ සෑම ක්‍ෂේත්‍රයකට ම ඉලක්කසහගතව සැලැසුම් මෙහෙයවන්න ව්‍යවසායකත්ව මඟපෙන්වනවා. ප්‍රමුඛතා හඳුනාගෙන ආයෝජනය කරන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වෙනුවෙන් ණය පහසුකම් ඕනෑ අයට අඩු පොළියට ණය ලබා දෙනවා.

මේ රටේ වෙළෙඳපොළට විතරක් නොවෙයි, අපනයන වෙළෙඳපොළත් ඉලක්ක කරගෙන ව්‍යවසායකයන් දිරිගන්වනවා. මේ වෙනුවෙන් අපේ විදේශ තානාපති සේවය ඉතා සැලැසුම්සහගතව යොදා ගන්නවා. ලෝකයට අවශ්‍ය වන භාණ්ඩ නිෂ්පාදනය කරන පරම්පරාවක් අපි නිර්මාණය කරනවා. අපේ රටේ ආර්ථිකයේ එන්ජින් එක බවට මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පත් කරනවා. මේ රට පොහොසත් කර ජනතාව පොහොසත් කරන්නේ ඒ වැඩපිළිවෙළෙන්.

සුනිල් හදුන්නෙත්තිට තියෙන අත්දැකීම් කාටවත් තියෙනවාද ?

මේ අවුරුදු තිහේ මුදල් ඇමතිකම් කළ හැම කෙනාට ම වඩා අධ්‍යාපනයෙන් අපේ හඳුන්නෙත්ති සහෝදරයාට සුදුසුකම් තිබෙනවා. මම මේ මුදල් ඇමති කියලා කියනවා නොවෙයි, අත්දැකීම්වලින්, භාවිතයෙන්, කැප කිරීම්වලින් ඒ බව තහවුරු කර තිබෙනවා. අපේ වසන්ත සමරසිංහ සහෝදරයා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය අනිල් ජයන්ත වාගේ විශාල කණ්ඩායමක් අපේ රටේ ආර්ථිකය ගොඩනැංවීමට දැනුම, හැකියාව සහ දක්‍ෂතාව තියෙන අය ඉන්නවා. අපේ නාමල් කරුණාරත්න සහෝදරයා, මාපලාන කෘෂි විද්‍යා පීඨයේ ආචාර්ය අබේසිංහ මහත්තයා, බතලේගොඩ පර්යේෂණ ආයතනයේ, ආචාර්ය ධනපාල මහත්තයා, ලංකාවේ මුල් වරට බාස්මතී සොයා ගත් ආචාර්ය සුමිත් වාගේ විශාල පිරිසක් කෘෂිකර්මාන්තය පැත්තෙන් ඉන්නවා.

ධීවර කර්මාන්තය, පරිසරය, සාහිත්‍ය කලා ක්‍ෂේත්‍ර මේ ඕනෑ ම පැත්තකින් මේ ජනතාවගේ ජීවිත එක්ක ගැටෙන අධ්‍යාපනයෙන් ඉහළ ම සුදුසුකම් පෙන්වූ කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. ඒ හැම දේකට ම වැඩිය ස්වේච්ඡාවෙන්, කැප කිරීම් කරන්න පුළුවන් කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා මෙතෙක් රට පාලනය කළ අයට වඩා හොඳ කණ්ඩායමක් අපට ඉන්නවා. ඒ නිසා අපට බලය දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි ඔක්කො ම එකතු වෙලා මේ රටට අලුත් පාලනයක් හදමු. සහතික වශයෙන් ම අපේ රට පොහොසත් රටක් බවට පත් කර ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගත හැකියි. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු; මැදිහත් වෙමු කියලා ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරණය අපේ රට වෙනස් කිරීමේ හැරවුම් ලක්‍ෂය බවට පත් කර ගන්න 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා

මේ ජනාධිපතිවරණය අපේ රට වෙනස් කිරීමේ හැරවුම් ලක්‍ෂය බවට පත් කර ගන්න පුළුවන්. අපේ රටේ වමේ ව්‍යාපාරය තුළ මේ තරම් මහජන සහයෝගයක් ලැබුණු ඡන්දයක් මීට පෙර තිබිලා නැහැ. ජාතික ජන බල වේදිකාව ජනතා විමුක්ති පෙරමුණට අමතරව විද්වතුන්, පරිසරවේදීන්, මාධ්‍යවේදීන්, වමේ පක්‍ෂ, ප්‍රගතිශීලී සිවිල් සංවිධාන, ගොවීන්, ධීවරයන්, කාන්තාවන්, කලාකරුවන් එකතු කර ගත් සියලුම හොඳ මිනිසුන්ගේ බලවේගය ලෙස එකතු වී ඉන්නවා. ජාතික ජන බලවේගයේ හොඳ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් අප වටා ඉන්නවා. ඊට නායකත්වය දෙන්න හොඳ අපේක්‍ෂකයෙක් ඉන්නවා. රට දිනවන්න පුළුවන් එක ම බලවේගය ජාතික ජන බලවේගය පමණක් බව දැන් ඔප්පු වී හමාරයි.

අපිට දුන්නේ ‘තිස්සමහාරාමෙන් අපි අපේ හැකියාව’ පෙන්නුවා

අපේ අනුර සහෝදරයාට විරුද්ධව අනෙක් පැත්තෙන් මේ දිස්ත්‍රික්කයෙන් ම සජිත් මහත්තයයි, ගෝඨාභය මහත්තයයි දෙන්නා ඉදිරිපත් වෙලා. ඒ ගොල්ලෝ කියන්නේ, රට හදන්න බලය දෙන්න කියලා. රට හදන්න ඡන්දය ඉල්ලන්න සදාචාරමය අයිතිය තියෙන අපේක්‍ෂකයා කවුද? ඒ බලවේගය මොකක් ද? ඒ එක ම බලවේගය ජාතික ජන බලවේගය.

අපේක්‍ෂකයා අනුර කුමාර දිසානායක සහෝදරයා. තිස්සමහාරාමයේ ජනතාව දෙපාරක් අපට බලය දුන්නා. අපි බලය ගත්තොත්, හදන්නේ කොහොම ද කියලා ඒ මඟින් පෙන්නුවා. පොළ බද්ද අයින් කරලා, කසළ ප්‍රතිචක්‍රීයකරණය කරලා, ළදරු පාසල් ඉතා ම හොඳ මට්ටමකට දියුණු කරලා ප්‍රාදේශීය සභාවක වැඩ කරන හැටි පෙන්නුවා. ජනතාව අපට රටේ බලය දුන්නේ නැහැ.

මීට කලින් රට පාලනය කළ කාටවත් රට හදන්න ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ. දැන් වේදිකාවල පැළෙන්න පොරොන්දු දෙනවා. ඔය පොරොන්දු ක්‍රියාත්මක කරලා ආවා නම්, කොච්චර ලස්සන ද? දැන් ආයේ කියනවා, රට හදන්න ආණ්ඩුවක් දෙන්න කියලා. එක්සත් ජාතික පක්‍ෂය අවුරුදු තිස්හයක් මේ රට පාලනය කළා. අවුරුදු තිස්පහක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ ආණ්ඩු රට පාලනය කළා. හදපු රට කෝ ? මහින්ද රාජපක්‍ෂ මහත්තයා අවුරුදු නවයක් රට පාලනය කරන කොට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ආරක්‍ෂක ලේකම්. රනිල් අගමැතිවරයාගේ කැබිනට් එකේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඇමතිවරයෙක්. රට හදන්න ඕනෑ තරම් ඉඩ තිබුණා. නමුත්, මේ කිසි කෙනෙක් ජනතාවට දුන් පොරොන්දු ඉටු කළේ නැහැ.

මේ දෙන පොරොන්දුවල තේරුමක්වත් ඒ ගොල්ලො දන්නේ නැහැ

ජාතික ජන බලවේගය රට හදන ප්‍රතිපත්ති මාලාවක් ජනතාවට ඉදිරිපත් කළා. මෙයට අනුව ඒ ගොල්ලොත් ප්‍රතිපත්ති ගැන කතා කරයි කියලා මුලින් අපි හිතුවා. ප්‍රතිපත්ති ගැන ඒ ගොල්ලෝ කතා කළේ දවසයි දෙකයි. දැන් තරගයට පොරොන්දු දෙන්න පටන් අරගෙන. මේ දෙන පොරොන්දුවල තේරුමක්වත් ඒ ගොල්ලො දන්නේ නැහැ. දකින දකින කෙනාට පොරොන්දු දෙනවා. කොච්චර ද කියනවා නම්, දුගී දුප්පත්කම නැති කිරීමට සමෘද්ධියයි, ජන සවියයි දෙක ම දෙනවාලු. ඔය දෙක ම එකට කරන්න පුළුවන් ද කියලා තමුන්නාන්සේලා බුද්ධිමත්ව හිතලා බලන්න.

වේදිකාවේ පොරොන්දු දෙන අයට තේරෙන්නෙත් නෑ, ඒ ඉස්සරහා ඉඳලා අත්පුඩි ගහන අයට තේරෙන්නෙත් නෑ, ඒ ගොල්ලෝ ඡන්දය ගන්නේ අපේ රටේ ජනතාවගේ දුප්පත්කම විකුණලා. ගෝඨාභය මහත්තයා වී ගොවීන්ට පොහොර නොමිලේ දෙනවා කියන කොට සජිත් මහත්තයා සියලු ම ගොවීන්ට නොමිලේ පොහොර දෙන බව කියනවා. ඒකට ප්‍රතිචාර දක්වන ෆේස්බුක් එකේ සටහනක් දාලා තිබුණා, නොමිලේ වකුගඩු දෙකකුත් දෙනවා කියලා. ප්‍රමිතියෙන් තොර රසායනික පොහොර, රසායනික ද්‍රව්‍ය නිසා භූගත වතුර විෂ වෙලා. වකුගඩු විනාශ වෙනවා. නිකම් බීපු වතුර ටිකත් දැන් සල්ලි දීලා ගන්න සිද්ධ වෙලා. දුරදක්නා නායකයෙක් නම්, කරන්න ඕනෑ ක්‍රමානුකූලව රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වීමයි. කාබනික පොහොර ආදේශ කරන්න ඕනෑ. නායකත්වයක ප්‍රතිපත්ති කියන්නේ ඒවාට.

උපදේශකයෝ හදලා දෙන කතාවේ කොළේ මාරු වුණා ම ඔක්කො ම පටලවා ගන්නවා

හමුදාවේ ඉඳලා, ඇමෙරිකාවට පැනලා ගිය ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා අයියා ජනාධිපති වුණාට පස්සේ මේ රටට ආවා. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙලා මිනිස්සු මර මරා හිටියා මිසක් වෙන මොකුත් තේරෙන්නේ නැහැ. දැන් දේශපාලනයේ දී ප්‍රතිපත්ති කතා කරන්න වෙලා. වටේ ඉන්න උපදේශකයෝ එකතු වෙලා, කතා කරන්න දේවල් හදලා දෙනවා. කතා නොකර ම ඡන්ද කරන්න පුළුවන් ද කියලා සති දෙක තුනක් තිස්සේ බැලුවා. දැන් උපදේශකයෝ හදලා දෙන කතාවේ කොළේ මාරු වුණා ම ඔක්කො ම පටලවා ගන්නවා. ආයුර්වේද විශ්වවිද්‍යාල හදලා, කෘෂිකර්මාන්තයේ අස්වැන්න වැඩි කරලා, සංචාරකයෝ දියුණු කරනවා කියන තත්ත්වයට පත් වෙලා. උපාධිධාරීන් එකතු කරපු තැනක දී කිව්වා, රැකියා නැති ආර්ථිකයක් හදනවා කියලා. විරැකියාව නැති ආර්ථිකයක් හදනවා කියන එකට ‘වි’ යන්න හැලිලා ගිහිල්ලා. ඒ නිසා දැන් නොදන්නා දේවල් හතර වටේට කිය කියා යනවා. ඒ ගොල්ලෝ ඒවා කියන්නේ, හදවතින් නොවෙයි. අපි කතා කරන්නේ, අපේ හදවතේ කැකෑරෙන ඇත්ත. ඒ ගොල්ලෝ වේදිකාවේ ඇත්ත කතා කරන්නේ නැහැ. ඒ බොරුවලට ජනතාව අහු වෙන්න ඕනෑ නැහැ.

ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලය ඉල්ලන්නේ, එතුමාට සහ වටේ ඉන්න බොහෝ දෙනකුට තියෙන නඩුවලින් බේරෙන්න. නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම්, වැලිකඩ හිරගෙදර ඉන්න ඕනෑ කට්ටිය ඡන්දයට ඇවිල්ලා ඉන්නේ. ඒ ගොල්ලෝ බලය ඉල්ලන්නේ නඩු ටික බේරා ගන්න. ජනතාවට බලපාන සමාජ ජීවිතය සම්පූර්ණයෙන් ම විනාශ කරලා, හොරකම වැඩි වෙලා. අපරාධ වැඩි වෙලා. ළමා අපචාර වැඩි වෙලා. රටේ කුඩු පිරිලා. තමන්ගේ දරුවාව පාසල් යවන්න බැරි තත්ත්වයට අපරාධ වැඩි වෙලා.

දැන් හිස්බුල්ලා මහත්තයාත්, රතන හාමුදුරුවෝත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ වේදිකාවේ

අප්‍රේල් 21 මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ පොදු මුස්ලිම් ජනතාවට විරුද්ධව විශාල පීඩනයක් ගෙන ගියා. ජාතිවාදය අවුස්සලා, ඡන්දයට එන්න ඒකෙන් පදනම හදා ගත්තා. අතුරලියේ රතන හාමුදුරුවෝ මාරාන්තික උපවාසයක් පටන්ගෙන අසාත් සාලි, හිස්බුල්ලා, රිෂාඞ් බදියුදීන් කියන අය තනතුරුවලින් වහා ඉවත් කරන්න කිව්වා. නැත් නම්, අපවත් වෙනවා කිව්වා. මේකෙන් රට කලබල වුණා. රතන හාමුදුරුවන්ට මොකක් හරි වුණොත්, ගිනි තියා ගන්නවා කියලා සමහර අය කීවා. මේ ගොල්ලෝ රට ගිනි තියන්න ගියේ. මුස්ලිම් ඇමතිවරු ඔක්කො ම ඉල්ලා අස් වුණා ම රතන හාමුදුරුවෝ නැඟිට්ටා.

දැන් හිස්බුල්ලා මහත්තයාත්, රතන හාමුදුරුවෝත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ වේදිකාවේ. හිස්බුල්ලා ඉවත් කළේ නැත් නම්, මැරෙනවායි කියපු රතන හාමුදුරුවෝයි, හිස්බුල්ලායි දෙන්න ම එක ම වේදිකාවේ. දැන් ශරියා විශ්වවිද්‍යාලයේ අප්සෙට් එකක් නෑ වගේ ද රතන හාමුදුරුවෝ ඇතුළු මේ කට්ටියට පේන්නේ ?

ඒ කාලේ කියපු වඳ කතා මතක ද? වඳ දොස්තර කෙනකුත් ඉන්නවා කිව්වා. වඳ කොත්තුත් නෑ. වඳ ඇඳුනුත් නෑ. මේ ඔක්කො ම අතුරුදන්. ඒ ඇයි ? මේ දවස්වල ඒ කතා අදින එකෙන් මුස්ලිම් ඡන්ද ගන්න බැරි වෙන නිසා. සිංහල ඡන්ද ගන්න ඕනෑ වුණා ම ජාතිවාදය අවුස්සනවා. දැන් මුස්ලිම් අය ළඟට ගිහිල්ලා, අලුත් පොරොන්දු දෙනවා. මේ කුණු වුණු දේශපාලනයට මේ රටේ ජනතාව තව දුරටත් රැවටෙනවා ද?

මේ ආණ්ඩුව කෘෂිකර්මය විනාශ කළා මහින්ද කියන කොට දුමින්ද අත්පොඩි ගහනවා

අනුරාධපුරයේ රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දුමින්ද දිසානායකත් නැග්ගා. හූ හඬ මැද්දේ කතාවකුත් කළා. මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ කතාවේ දී මේ රටේ කෘෂිකර්මාන්තය මේ ආණ්ඩුවෙන් විනාශ කළ බව කීවා. දුමින්දත් ඒ කතාවට අත්පුඩි ගැහැව්වා. මේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති, දුමින්ද. ඒ ගොල්ලන්ගේ දේශපාලනයේ හැටි ඕක. ගෝඨාභයගේ වේදිකාවේ දැන් ඉන්නේ දුමින්ද දිසානායක, එස්. බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා කියන ඇමතිකම් දරපු, රට විනාශ කළා කියන ඔය ඔක්කො ම ඉන්නේ ඒ වේදිකාවේ. ඉතින්, රට හදයි ද? විනයගරුක ආණ්ඩුවක් හදයි ද?

අලුත් ආණ්ඩු හදන්න නම්, අපේ රටේ ජනතාව ඒ ගොල්ලන්ට ඡන්දය දෙන්න එපා. කොලපාටට දුන්නත්, පොහොට්ටුවට දුන්නත් හැදෙන්නේ පරණ ආණ්ඩුවමයි. මොන ආණ්ඩුවක් හැදුවත්, තොණ්ඩමන්, රාජිත, එස්. බී., හකීම්, නිමල් සිරිපාල මේ ගොල්ලෝ ආණ්ඩුවේ ඇමතිවරු. එක ම යාළු මිත්‍රයෝ කණ්ඩායමක් ඡන්දයක් එන කොට දෙකට බෙදිලා, ඡන්දේ ඉල්ලනවා. රෝහණ සහෝදරයා ඕකට කිව්වේ, “හොරු දවාලට බොරුවට රණ්ඩු වෙනවා, රෑට එකට හොරකමේ යනවා” කියලා. අපේ ප්‍රතිපත්තිවල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා, මේ දෙපැත්තේ ම හොරු නඩය ජනතාවගේ බදු මුදල්වලින් ජීවත් වෙන විශ්‍රාම වැටුප අහෝසි කරනවා කියලා. අනෙකුත් වරප්‍රසාදත් ඉවත් කරනවා කියලා.

අපේ කෙසෙල් ගොවියා ලතවෙන කොට ‘ඩේල්’ කෙසෙල් වවලා රට පටනවා

මේ පාලකයෝ අපේ රටේ ගොවි ජනතාවට අයිති ඉඩම් ටිකත් බහුජාතික සමාගම්වලට වික්කා. අපේ රටේ ගොවියාට කෙසෙල් ටික, එළවළු ටික විකුණා ගන්න බැහැ. නමුත්, ඇමෙරිකාවේ ඩෝල් සමාගම කෙසෙල් වවලා, රට පටවනවා. අපේ ගොවියාගේ කෙසෙල් ටික අපනයනය කරන ප්‍රතිපත්තියක් මේ පාලකයෝ ඇති කළේ නැහැ. එහෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් එක ම බලවේගය ජාතික ජන බලවේගය විතරයි.

මේ ගොල්ලෝ ගත්ත ණයවල වාරික සහ පොලිය ගෙවන්න අලුතින් බදු වටයක් ගහන්න නියමිතයි. බොරු පොරොන්දු දෙන්නේ ඒ අතර. හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හැදුවා. මේවාට ගත්ත ණය ගෙවන්න ඕනෑ ජනතාව. නෙළුම් කුලුන විවෘත කරන්න ගිහිල්ලා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වේ, කෝටි 200ක් අරගෙන මේක හදන්න ආපු සමාගම අතුරුදන් වෙලා කියලා. ඒත්, රුපියල් කෝටි දෙසියහතළිහ ගාණේ මේක හදන්න ගත්ත ණය අවුරුද්දකට ගෙවන්න ඕනෑ. මේවා නවත්වන්න ඕනෑ නැද්ද? නවත්වන්න ඕනෑ, ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමේ වගකීම ඔබ සැම වෙත පැවරී තිබෙනවා.

ජනතාවගේ එකතුවෙන් පරද්දන්න බැරි බලවේගයක් නැහැ

ගෝඨාභය රාජපක්‍ෂ පරද්දන්න ඡන්දය බෙදන්න එපා කියලා කොටසක් කියනවා. ජනතාව විසින් පරාජයට පත් කළ රාජපක්‍ෂලාට නැවත එන්න පාර හැදුවේ, සජි්ත් ප්‍රේමදාස මහත්තයාලා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂලා විතරක් නොවෙයි, ඒ අයව ආරක්‍ෂා කළ සජිත් ප්‍රේමදාසලත් පරද්දන්න ඕනෑ.

ඒ වාගේ ම රට රකින්න ඕනෑ නම්, ඒකත් කරන්න පුළුවන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමෙන් විතරයි. ඕනෑ ම දුෂ්කර තත්ත්වයක් තුළ ඒ වෙනුවෙන් සටන් කළේ අපි. කවුරු රට දාලා ගියත්, අපි ගියේ නැහැ. ඕනෑ ම දුෂ්කර මොහොතක දී පවා අපි ජනතාව වෙනුවෙන් සටනේ හිටියා. ඔය වගේ දුෂ්ට පාලනයක් පෙන්නලා, අපිව බියවද්දන්න බැහැ.

අපේ රට විනාශ කරපු අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහණය, පරිසරය ගොඩනඟන්න නම්, ජාතික ජන බලවේගය විතරයි තියෙන්නේ, ඒ වාගේ ම ජාතික සමඟිය ගොඩනඟන්න හැකියාව තියෙන්නෙත්, ජාතික ජන බලවේගයට විතරයි. අපට සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් අපේ දරුවන්ට ගොඩනඟන්න ජාතික ජන බලවේගයේ ‘මාලිමාව’ ලකුණෙන් ඉදිරිපත් වී සිටින අපේ අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවන්න සෑම දෙනා ම එක්-රොක් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. 

අපි මෙතැනට එකතු වෙලා ඉන්නේ, මඩ වළ පිරිසුදු කර මල් සුවඳ මේ රට පුරා විහිදුවන්න

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය

මේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණට ප්‍රාදේශීය සභාවක බලය ලබා දීපු ගෞරවනීය ජනතාව. ඔබලා අපිට ඉගැන්නුවා; රටට ඉගැන්නුවා. මම ජාතික ජන බලවේගය වේදිකාවට ගොඩ වුණේ, ‘ජන නියමු කලාකරුවන්ගේ’ සංවිධානය වෙනුවෙන්.  සංවිධාන තිස්දෙකක් අතර ජන නියමු කලාකරුවෝ කියන්නේ, එක සංවිධානයක්. මෙහෙම යන විදියට හංසයායි, පොහොට්ටුවයි දෙකත් එකතු වෙයි ද දන්නේ නැහැ. ඒ නායකයෝ පිනුම් ගහන්න හදන්නේ වැරැදි තැනක. ඒ නිසා අපි ඒ නායකයන් ගන්නේ නැහැ.

අපි මෑතක් වන තුරු නැග්ගේ දේශපාලන වේදිකාවලට නොවෙයි, රඟහල්වල වේදිකාවලට.

ඒ වාගේ ම ටෙලිනාට්‍ය, සාහිත්‍ය නිර්මාණ ඇතුළු නිර්මාණවලින් අපි ජනතාවත් එක්ක සම්බන්ධ වුණේ. නමුත්, මේ රට අධිවේගයෙන් පරිහානියට යන එක වළක්වා ගන්න නිර්මාණකරුවන් හැටියට නිර්මාණ පමණක් කරමින් සිටීම ප්‍රමාණවත් නැති බව තේරුම් ගත්තා. ජනතාව ළඟට ගිහිල්ලා, නිසි ප්‍රවේශයක් ගන්න ඕනෑ බව අපි කල්පනා කළා. ඒ සඳහා සුදුසු දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ බව තේරුම් ගත්තා. පිරිසුදු, පැහැදිලි දේශපාලන ව්‍යාපාරය තියෙන්නේ මෙතැන. කොන්දක් තියාගෙන එතැන හිටගන්න පුළුවන් වීම ගැන අපි ආඩම්බර වෙනවා. අපි කලාවෙන් කරපු සේවයට වඩා උතුම් වූ සේවයක් දැන් කරනවා කියලා හැඟීමක් ඇති වෙනවා.

මීට අවුරුද්දකට විතර කලින් නාට්‍යයක් බලන්න යන කොට “අනේ උඹලා කියන දේවල් තේරෙන්නේ නෑ” කියලා අයින් වුණු කට්ටිය දැන් අපිත් එක්ක ජන නියමු කලාකරුවෝ සංවිධානයට එකතු වී සිටිනවා. “එදා උඹලා අපට පෙනුණේ, සත්තු වාගේ. දැන් තමයි, උඹලාව අපිට හරියට පේන්නේ” කියලා ඒ අය කියනවා.

අපිට මේ දක්වා ලැබුණු සම්මානයකට ම වඩා මේ ආදරණීය ජනතාවගෙන් ලැබෙන සම්මානය ගෞරවනීයයි. ඉස්සර අපි තේ එකක් බොන්න කඩයකට ගියා ම “කොහෙ ද ෂූටින්…” කියලා අහන්නේ. දැන් අපෙන් අහන්නේ, “කොහෙ ද මීටින්…?” කියලා. ඒ ජනතාව දන්නවා, අපි නිවැරැදි තැන ඉන්නවා කියලා. අපිට හරි ආඩම්බරයි. අපි බලාපොරොත්තු වෙච්ච වෙනස සිද්ධ වෙමින් යනවා. ලෝකය පුරා රටවල් වෙනස් කළා වාගේ මේ රටේ කළ යුතු වෙනස සිද්ධ කෙරෙමින් තිබෙනවා. ඒ බව නුවර නගරයේ දී ඊයේ අපි දැක්කා. රටේ අනෙක් ප්‍රදේශවලිනුත් අපි දකිනවා.

නිවැරැදි දැක්මක් තියෙන, නිවැරැදි නායකයෙක් එක්ක ‘මාලිමාව’ ලකුණින් නැඟීසිටින්නේ

ජනතා විමුක්ති පෙරමුණ තරම් චෝදනා වින්ද, අවලාද වින්ද, නින්දා අපහාස වින්ද, අමානුෂික ලෙස මර්දනය කරපු තවත් දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ නැහැ. ඒ කොච්චර විනාශ කළත්, යෝධ බලයක් වාගේ නැවත නැඟීසිටින්නේ ඒ බලය. නිවැරැදි දැක්මක් තියෙන, නිවැරැදි නායකයෙක් එක්ක ‘මාලිමාව’ ලකුණින් නැඟීසිටින්නේ.

මේ බලවේගය කවදාවත් සිඳ බිඳ දාලා, මර්දනය කරලා පරාද කරන්න බැරි බලවේගයක්. ඒ නිසා කවදාවත් මේ දේශපාලන ව්‍යාපාරය දිහා ඇහැක් ඇරලා බලපු නැති අය අද අතිශය ගෞරවනීය ලෙස කතා කරනවා. සද්ද නොකර සිටියාට මිනිසුන්ට හැම දේ ම දැනෙනවා.

අප තුළ තිබුණු අදීනකම පහුගිය කාලවල ක්‍රියාත්මක කළ අධ්‍යාපන, සංස්කෘතික ප්‍රතිපත්තිත් එක්ක හිස්, මොළ නැති හිතන්න බැරි මිනිස්සු කොටසක් නිර්මාණය කළ නිසා නැති වී ගියා. මේ සමාජය උඩ කොටසක් පිනුම් ගහනවා. රාජපක්‍ෂ පාලන කාලයේ මාධ්‍යවේදීන්ට දියත් කළ මර්දනය හමුවේ රටෙන් පලා ගිය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ තුළ මංජුල වෙඩිවර්ධන ලියපු කවියක් මෙහෙමයි:
“පල් හොරුනි, මල් නොවන මගේ කවි
ගල් වගේ දමා ගසනෙමි තොපට
මල් සුවඳ හමා ගිය මගේ රට
ගඳ ගහන පල් වළක් කෙරුවාට”

අපි මේ ඇවිත් ඉන්නේ, මේ රට ගඳ ගහන පල් වළක් කරපු පාලකයන්ට ආවඩන්න නොවෙයි.

වචනවලින්, ප්‍රතිපත්තිවලින්, අපේ අරමුණුවලින්, අපේ මානව බලයෙන් ගල් ගහන්නයි මේ ඇවිත් ඉන්නේ. ඔවුන් විසින් ම නිර්මාණය කරපු ගඳ ගහන මඩ වළේ ඔය හංසයො පීනන්න ලෑස්ති වෙනවා. ඔය පොහොට්ටු පුබුදුවන්න ලෑස්ති වෙන්නේ ඒ ගඳ ගහන මඩ වළේ. අපි මෙතැනට එකතු වෙලා ඉන්නේ, ඒ ජරාජීර්ණ වෙචච් මඩ වළ පිරිසුදු කරලා, අර මල් සුවඳ ආපහු මේ රට පුරා විහිදුවන්න. ඒක අපට කරන්න පුළුවන්. හැබැයි ඉතින්, එක දෙයක් තියෙනවා.

කතාවල් අහලා, “මාර කතාව” කියලා අනෙක් පැත්තට ඡන්දය දුන්නොත් වැඩක් නැහැ. “නිකම් දෙන්නම්” කියන ඒවාට රැවටෙන්න එපා. අපට නිකම් දෙන ඒවා නොවෙයි ඕනෑ කරන්නේ. අවශ්‍ය දේවල් ගන්න පුළුවන් ආර්ථිකයක් හදන පාලනයක් ඕනෑ කරන්නේ. නිකම් ගන්න අපි හිඟන්නෝ නොවෙයි කියලා, මේ පාර අපි පෙන්වන්න ඕනෑ. වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්න රටක වැඩ කරලා ලෝකයට ම කන්න දෙන්න පුළුවන් බවට පරගැති මානසිකත්වයෙන් මිදිලා, ඉදිරියට එන්න ඕනෑ. අපිට පිටුපාලා යන බොහෝ දෙනකු හිතාගෙන ඉන්නේ, ඒ ගොල්ලන්ගේ හිතේ පොහොට්ටුව තියෙනවා කියලා. නෑ. එතැන තියෙන්නේ වහල් මානසිකත්වය.

මේ වෙන කොට පාර අතුගාන මනුස්සයාගේ ඉඳලා මහාචාර්යවරයා දක්වා දේශපාලනය තේරුම් ගනිමින් ඉන්නවා

මේ වෙන කොට පාර අතුගාන මනුස්සයාගේ ඉඳලා මහාචාර්යවරයා දක්වා වහල් මානසිකත්වයෙන් මිදිලා, දේශපාලනය තේරුම් ගනිමින් ඉන්නවා. අපි දැන් අඩිතාලම දාලා තියෙනවා. අපට බැරි වුණොත්, අපේ අනාගත පරම්පරාව හරි ඒ වෙනස සිද්ධ කරයි. මිනිස්සුන්ට ඇත්ත තේරෙන දවසක් එනවා. ඡන්දය දවසට ගිහිල්ලා, කතිරේ ගහලා විතරක් මේ වෙනස කරන්න බැරි වෙයි. දෛනික වැඩකටයුතු අතරේ අඩු ම ගාණේ, පැය දෙකක්වත් මේ වෙනුවෙන් වැය කරන්න.

දහතුන් වැනිදා රෑ වෙනකම් අපි මේ ගමන යනවා. ඔබත් ඒ ගමනට එකතු වෙන්න. මිනිසුන්ගේ ඇස් පාදන එක අපේ වගකීමක්. දන්නා කියන අයට වැට උඩ ඉන්න දෙන්න එපා. මේ කරුණු පැහැදිලි කරලා දෙන්න. ඔබ බෞද්ධයෙක් හැටියට හිතනවා නම්, ඒ පින ම ඇති අජරාමර නිර්වාණය සාක්‍ෂාත් කර ගන්න. මැරෙන මොහොතට හරි ඒ සතුට විඳගන්න, ඒ අභිමානය විඳගන්න එකතු වෙන්න. මේ දක්වා රට මේ තැනට ඇදවැටිලා තියෙන්නේ, ජනතාව පත් කර ගත් මැති ඇමතිවරුන් නිසයි. ජනතාවට හරියන රටක් ජනතාවට හරි යන පාලකයන් තෝරා ගන්න එකතු වෙන්න.

බ්‍රෙෂ්ට් කවියකින් කිව්වා වාගේ අපේ රටේ අලුත් ජනතාවක් පත් වෙමින් යනවා. මේ ඉන්නේ ඒ ජනතාව. බ්‍රෙෂ්ට් ඒ කවිය අවසන් කරන්නේ මෙහෙම:
“මිනිසා කවුද වග මිනිසකු ලෙසින් දැක
පල් හොරු අමනයන් එක් කර එකට බැඳ
වනසා දැමිය යුතු කාලය එළැඹ ඇත”
දහසයවැනිදා තමයි, ඒ දිනය. අපි එදාට ඒ වැඬේ කරමු.

අවස්ථාවාදියො තනතුරු පේ‍්‍රමියෝ මේ වේදිකාවේ නෑ

’71 සහෝදරත්ව සංසදයේ ජේ. නානායක්කාර

පාසලක හිටපු විදුහල්පතිවරයකු විදියට මේ මැතිවරණය විභාගත් එක්ක සංසන්දනය කරලා කතා කරන්න හිතුවා.  එක්දහස් නවසිය තිස්එකේ සර්වජන ඡන්ද බලය ලැබුණු තැන ඉඳලා එක්දහස් නවසිය හතළිස්අටේ නිදහස ලැබෙන කොට අවුරුදු දහහතක් ගත වෙලා. නිදහසෙන් පස්සේ අවුරුදු හැත්තෑඑකක් වාර ගණනාවක දී අපි කතිරේ ගහලා තියෙනවා. මම අර කියපු විදියට පාසල් දරුවන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන තරග විභාග තුනක් තියෙනවා. පළමුවැනි එක ශිෂ්‍යත්ව විභාගය නැත්නම් අම්මලාගේ විභාගය. පළාත් පාලන මැතිවරණය කියන්නෙත්, ඒ වාගේ එකක්. ඊ ළඟට පළාත් සභා, ඊ ළඟට පාර්ලිමේන්තු මැතිවරණය, ඊ ළඟට ජනාධිපතිවරණය.

අර විභාගයක දී වාගේ එන්න එන්න ඡන්දදායකයෝ වැඩි වෙනවා

විභාගයක දී ප්‍රතිඵල නිකුත් කරනවා වාගේ ඡන්දයක දීත් ප්‍රතිඵල නිකුත් කරනවා. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව තුළ ඉන්න ජනතාව ඒ විභාගයෙන් දෙසැරයක් සමත් වුණා. ජනතා විමුක්ති පෙරමුණට බලය දෙන්න මේ අය හොඳින් විභාගයට ලිව්වා. ඒක නිසා මේ අය පාස් වුණා. අදටත් මිනිස්සු කියන්නේ, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව හොඳයි කියලා. මැතිවරණ විභාගවලට ලියන අය තානාපතිකම්, ඇමතිකම්, බලාගෙන ඉදිරිපත් වෙන්නේ. හැබැයි, මේ සංවිධානය ඇතුළේ ඉන්න කිසි කෙනෙක් වරප්‍රසාද, තනතුරු ඉල්ලාගෙන විභාගය තනියෙන් පාස් වෙන්න බලන්නේ නැහැ.

අපි බලාපොරොත්තු වෙන්නේ මේකෙන් සාමුහික ප්‍රතිඵලයක්.
පාර්ලිමේන්තු මැතිවරණ විභාගයෙන් අපිට ලැබුණු එක ප්‍රතිඵලයක් මම කියන්නම්. පහුගිය කාලේ සිංගප්පූරුවත් එක්ක ගිවිසුමක් ගැහුවා නේ. ඒකෙත් ප්‍රතිඵලය දැන් අපට ලැබෙන්න පටන්ගෙන. කොහොම ද? සිංගප්පූරුවේ කුණු මේ රටට ගේනවා. මේ ජනාධිපතිවරණයට තරග කරන්න හිටපු කෙනෙක් තමයි, කුණු ගෙන්වලා තියෙන්නේ. මෙන්න මෙහෙ ම කට්ටිය තමයි, මැතිවරණවලට ඉදිරිපත් වන්නේ.

අවස්ථාවාදියො තනතුරු පේ‍්‍රමියෝ මේ වේදිකාවේ නෑ

ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයලාට අත්වැල් ගායනා කරන වීරවංශලා, ගම්මන්පිලලා වාගේ අය ඉන්නවා. තව කට්ටියක් ඩලස් අලහප්පෙරුමලා වාගේ ප්‍රබුද්ධ ගීත කියන අයත් ඉන්නවා. හැබැයි, මේ වේදිකාවේ ඉන්න අත්වැල් ගායකයෝ කිසි කෙනෙක් තනතුරු බලාපොරොත්තුවෙන්වත්, උසස් වීමක් ගන්නවත්, වෙන වරප්‍රසාද ගන්නවත් ඉදිරිපත් වුණු අය නොවෙයි.

සජි්ත් මහත්තයාට අලුත් අත්වැල් ගායකයෝ දෙන්නෙක් ඇවිත් ඉන්නවා. සජින් වාස්, මර්වින් සිල්වා වාගේ අයත් එකතු වෙලා ඉන්නවා.
හැබැයි, ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සංවිධාන තිස්දෙකක් එකතු වෙලා ඉන්නේ, රැවටිලි බස්වලට අහුවෙලා, බොහෝ දුක් පීඩා විඳලා අලුත් විදියට හිතන, අලුත් ජනාධිපතිවරයෙක් පත් කර ගන්න. මේක සෙල්ලම් කාරණයක් නොවෙයි. හතරවැනි කාර්මික විප්ලවයට අදාළ විදියට රට සූදානම් කරන්න ඕනෑ. පෞද්ගලික ලාභ, වරප්‍රසාද ගැන කල්පනා කරන මිනිසුන්ට එතෙන්ට යන්නට බැහැ.

මේක සාමුහික ප්‍රයත්නයක්. ඔබට මතක ඇති සුනාමිය . කෝච්චිය පෙරළුවා. හම්බන්තොට, කිරින්ද සමතලා කළා. සුනාමියට එච්චර බලයක් තිබුණාට ඒ වාගේ සිය දහස් ගුණයක බලයක් මේ රටේ ජනතාව සංවිධානය වෙලා, ගොඩනඟන්න පුළුවන්. මේ මැතිවරණයෙන් පස්සෙත් අපි සංවිධානය වෙන්න ඕනෑ. ‘මාලිමා’ වමට කරකවා ගත්ත දවසක තමයි. මේ රටේ ජනතාවට සැබෑ ජයග්‍රහණය අත් වෙන්නේ. දහසය වැනිදා ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ඉදිරියෙන් ඡන්දය පාවිච්චි කරලා අලුත් රටක් හදා, හෙට දවස අපේ කර ගමු කියලා ඉල්ලා සිටිනවා.

Recommended For You

About the Author: Editor