MCC ගිවිසුම ජනතාවට වාසි සහගත නම් ඇයි ‘හොරෙන් අත්සන් කරන්නේ ? – ටිල්වින් සිල්වා

වර්තමාන ආණ්ඩුව විසින් අත්සන් කිරීමට යන සහස්‍ර අභියෝගතා සංස්ථා ප්‍රදාන ගිවිසුම (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් -MCC ) පිළිබඳව සමාජය තුළ සංවාදයක් මතුව තිබෙනවා. මෙම මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේ, මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහායි.

සහස්‍ර අභියෝගතා සංස්ථාව ඇමරිකානු එක්සත් ජනපදය පදනම් කරගත් ආයතනයක්. එය ලෝකයේ රටවල් ගණනාවක් සමග ගිවිසුම්වලට එළඹ තිබෙනවා. මේ වන විට එම ආයතනය ලංකාවට අ.ඩො. මිලියන 480ක මුදලක් ප්‍රදානයක් ලෙස දීමට එකඟතාව පළ කර තිබෙනවා. ඒ, ප්‍රවාහන ව්‍යාපෘති ක්‍රියාකාරකම් වෙනුවෙන් ඩො. මිලියන 350ක් සහ ඉඩම් ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා ඩො.මි. 67ක් වශයෙනුයි.

ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙම ගිවිසුමෙන් රටට ප්‍රතිලාභ රැසක් ඇති බව කියනවා. විපක්ෂයේ අය එය ඉතා හානිදායක බව කියනවා. කෙසේ නමුත් මැතිවරණයක් අබියස ආණ්ඩුව මේ ගිවිසුම අත්සන් කිරීමට දරන කලබලය පිළිබඳව බලවත් සැකයක් උපදිනවා. මෙම ගිවිසුම පිළිබඳව ජනතාව සමග සංවාදයකින් තොරව අත්සන් තැබීමට උත්සාහ දැරීම ගැටලුසහගතයි. ආණ්ඩුව කියන පරිදි මෙම ඉතා වාසිසහගත නම් ජනතාවට රහසේ අත්සන් තැබීමට යාම පිළිබඳව සැක උපදිනවා.

ජනතාව සමඟ හෝ අවම වශයෙන් මහජන නියෝජිතයින්ගෙන් සැදුණු පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකර, එය තුළ ප්‍රමාණවත් සංවාදයකින් තොරව ගිවිසුමට අත්සන් කිරීමට යාම වැරදියි.

මෙයට පෙර ආණ්ඩුත් විදේශීය රටවල් හා ආයතන සමග රටට හානිකර ගිවිසුම්වලට එළඹුණේ ජනතාවට රහසිනුයි; අවම වශයෙන් ගිවිසුමේ අඩංගුව කැබිනට් මණ්ඩලයට පවා හෙළිදරව් නොකරමිනුයි. අපේ රටේ ආණ්ඩුවල ගිවිසුම් අත්සන් කිරීමේ ඉතිහාසය එබඳු සැකසහිත එකක්.

බොහෝ ගිවිසුම්වල ප්‍රකාශිත අරමුණුවලට වඩා ඔබ්බට ගිය අරමුණු තිබෙනවා. විශේෂයෙන් අධිරාජ්‍යවාදී වුවමනාකම් තිබෙන්නේ සැඟවීගෙනයි.

මේ ප්‍රදානයෙන් කොටසක් ලංකාවේ ඉඩම් අයිතිය නිරවුල්කිරීමට හා ඉඩම් දත්ත පරිගණක ගත කිරීමට වෙන් කොට තිබෙනවා. රාජ්‍ය, පෞද්ගලික, කැලෑ ආදී වශයෙන් ලංකාවේ සියලු ඉඩම් පිළිබඳ දත්ත විදේශීය ආයතනයක් සතුවීම ගැටලු සහගතයි. එය රටේ ස්වෛරීත්වයට බලපාන කරුණක්ද වනවා. එබැවින් මේ ගිවිසුම පිළිබඳ පුළුල් සංවාදයක් රටට අවශ්‍යයි.

අපේ රටේ ඉඩම් ආණ්ඩු විසින් ජනතාවට රහසේ බහුජාතික සමාගම්වලට, විදේශීය සමාගම්වලට විකුණා දැමූ ඉතිහාසයක් අපට තිබෙනවා. කොළඹ ගාලු මුවදොර පිටියට යාබද හමුදා මූලස්ථානය පිහිටි ඉඩම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ශ්‍රැංගිලා හෝටලයට විකුණා දැමුණා. සෝමාවතිය අවට අක්කර 5000ක් ඩොල් සමාගමට දුන්නා. දැන් මේ ගිවිසුම මගින් ඉඩම් අයිතිය පිළිබඳ ගැටලු නිරවුල් කිරීම හොඳ දෙයක් ලෙස පෙන්වූවත් ඉඩම් වෙළඳ භාණ්ඩයක් බවට පත්වීම, බහුජාතික සමාගම්වලට ජනතාව සතු ඉඩම් මිලදී ගැනීමට ඇති බාධා ඉවත් වීම අවදානමක් මතු කරනවා.

අපේ රටේ ඉතිහාසයේ ආණ්ඩු විසින් විදේශයන් සමග විවිධ ගිවිසුම්වලට එළඹ තිබෙනවා. 2007 වසරේදී එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇමරිකානු එක්සත් ජනපද තානාපති රොබට් ඕ බ්ලේක් ඇක්සා (ACSA ) නම් යුද ගිවිසුමකට අත්සන් තැබුවා. එමගින් ඇමරිකානු හමුදාවලට මෙරට වරායන් ගුවන්තොටුපළවල් වසර 10කට පාවිච්චි කිරීමට අවසර දුන්නා.

දැන් ගෝඨාභය කඳවුරේම සිටින වාසුදේව නානායක්කාර වරක් අපේ විජිත හේරත් සහෝදරයා සිටි සංවාදයකදී පිළිගත්තේ එම ගිවිසුම හොර ගිවිසුමක් බවයි. අප එවකට වගේම වසර 10කට පසු එම ගිවිසුම නැවත අලුත් කිරීමටත් විරෝධය පළ කළා. නමුත් වත්මන් ජනාධිපතිවරයා එම ගිවිසුම නැවත වරක් දීර්ඝ කිරීමට කටයුතු කළා.

ඇමරිකා එක්සත් ජනපදය අපේ රටේ දේශපාලනයට මැදිහත් වෙමින් සිටින බව රහසක් නෙමෙයි. ඔවුන් විවිධ අවස්ථාවල ඒ වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරනවා, ප්‍රදානයන් ලබා දෙනවා, කොන්දේසි ඉදිරිපත් කරනවා, තමන්ගේ පුරවැසියන් මෙරට ජනාධිපතිවරුන් කරන්න හදනවා.

ඉන්දියාව සමග අත්සන් කළ සප්තා (SAFTA) ගිවිසුම මගින් රටට අත්වී තිබෙන්නේ බරපතළ අවාසිදායක තත්වයක්. එට්කා ( ETCA) නමින් අත්සන් කිරීමට උත්සාහ කළ ගිවිසුමද ගැටලු සහගතයි. මෙවැනි තත්වයක් තුළ ජාතික මැතිවරණයක් අබියස ජනතාවගේ අවධානය වෙනතක යොමු වී තිබියෙදී ගිවිසුමකට අත්සන් තැබීමට උත්සාහ දැරීම ගැටලුවක්. එසේම එය සදාචාර විරෝධී කටයුත්තක්. පාරදෘෂ්‍යභාවය, වගවීම ගැන නිතර කියන ආණ්ඩුව ජනතාවගේ ඇස් වසා විදේශීය ආයතනයක් සමග ගිවිසුමකට යාමට අප විරෝධය පළ කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

මේ ගිවිසුම අත්සන් තබා පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව කිවුවත් එය ප්‍රායෝගික නැහැ. ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව අහෝසි කිරීම දුෂ්කරයි. වන්දි ගෙවීමට සිදුවිය හැකියි, රාජ්‍යතාන්ත්‍රික සබඳතා පළුදු විය හැකියි. අත්සන් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සිදුකරන සංවාදයක් ඵල රහිතයි. ඒ නිසා අපි අවධාරණය කරන්නේ අත්සන් කිරීමට කලබල වෙන්න එපා කියන එකයි. ආණ්ඩුව කියන පරිදි හොඳ ගිවිසුමක් නම් කලබල වීමක් අවශ්‍ය නැහැ.

ත්‍රීකුණාමලය දක්වා දිවෙන මාර්ග පද්ධතියක් සහිත ආර්ථික කොරිඩෝව 2011දී මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ සකස් කළ ජාතික භෞතික සැලැස්මේ කොටසක්. විපක්ෂයේ ඇතැම් වාචාල දේශපාලකයින් මෙන් ජනතා විමුක්ති පෙරමුණ නිසි ලෙස අවධාරණය කරගැනීමෙන් තොරව කරුණු දක්වන්නේ නැහැ.

ජාතික භෞතික සැලැස්ම සහ මේ ගිවිසුම අතර අතර සම්බන්ධයක් නැති බව කියන්න බැහැ. නමුත් පදනමකින් තොරව මේ සියල්ල එකට එකතු කර ප්‍රබන්ධයක් නිර්මාණය කිරීමෙන් ආණ්ඩුවට මෙහි සැබෑ වගකීමෙන් නිදහස් වීමට අවස්ථාවක් සැලසෙනවා. මේ ගිවිසුමේ ඇත්ත අනතුර සැඟවීමට ඉඩදීම වැරදියි.

ජනතාව විසින් පාලකයන්ට රටවල් සින්නක්කර ලියා දී නැහැ. ජනතාව සමග සංවාදයකින් තොරව විදේශයන් සමග ගිවිසුම්වලට යාම වැරදියි. ට්‍රෝජන් අශ්වයා වගේ මතුපිට හොඳ වගේ පෙනුණාට අභ්‍යන්තරයේ අනතුරක් තිබිය හැකියි. හොඳම දේ ජනතාව සමග කරගන්නා සංවාදයකින් අනතුරුව තීරණයක් ගැනීමයි.

Recommended For You

About the Author: Editor