කුණු කන්ටේනර් නඩුව: ‘රස පරීක්ෂක වාර්තාවක් ලබා දිය නොහැකි බව’ රජයේ රස පරීක්ෂකවරයා කියලා

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත බහාලුම් පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් ලබා දිය නොහැකි බව රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අද (4) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා මේ බව දැනුම් දුන්නේ මේ සිද්ධිය පිළිබඳ ගොනු කර ඇති රිට් පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ කැඳවනු ලැබුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ දීමෙන් පසු අධිකරණය ඇමතු සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ මෙය ජාතික වැදගත්කමින් යුත් ගැටලුවක් බැවින් මේ පිළිබඳ රස පරීක්ෂක වාර්තා ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් කරුණු සහිත වාර්තාවක් අධිකරණයට ලබා දිය යුතු බවයි.

ඉන්පසු ඒ පිළිබඳ පෙත්සම්කාර පාර්ශ්වය ප‍්‍රති උත්තර ලබා දිය යුතු බවත් ඒ පිළිබඳ නියෝගය දෙසැම්බර් 13 වැනිදා ප‍්‍රකාශ කරන බවද අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා අභියාචනාධිකරණය හමුවේ කියා සිටියා.

රිට් පෙත්සම දෙසැම්බර් 13 වැනි දින යළි කැඳවන ලෙසද නියෝග කළ අභියාචනාධිකරණය මෙම සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල අඩංගු බහාලුම් දිවයිනේ අභ්‍යන්තර ප‍්‍රදේශවලට රැගෙන යාම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන එදින දින දක්වා දීර්ඝ කිරීමට නියෝග කළා.

Recommended For You

About the Author: Editor