ගොවිතැන මඟහැර ගිය ‘ගොවි ප‍්‍රතිපත්ති’

එළැඹෙන ජනාධිපතිවරණය රටේ තීරණාත්මකය. ඒ රටේ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ වාර්ගික සහජීවනය ඉදිරි දශකයේදී කොයිබටද? යන්න තීන්දු වන්නේ මෙම ජනාධිපතිවරණය හමුවේ පොදු ජනයා ගනු ලබන තීන්දුව මත හෙයිනි.

ජනතා කැමැත්ත මත වගකීම පැටවීමට මත්තෙන්, විසිවන දශකය තුළ රට කරපින්නාගෙන යාමට මේසා උත්සාහ දරන ජනාධිපති අපේක්ෂකයින්ගේ දැක්ම පිළිබඳ සලකා බැලීම වැදගත්ය. ඇත්ත වශයෙන්ම, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සැබෑවටම ස්ථාපිත කිරීමේ වුවමනාව පෙරදැරි කරගත් ජනාධිපති අපේක්ෂකයකු ප‍්‍රධාන ධාරාවේ පක්ෂ තුළ නැත.

ගෙවෙන මැතිවරණ සංක‍්‍රාන්ති යුගයේ පොදු ජනයාට ඇත්තේ හුදු තෝරා ගැනීම් කිහිපයක් පමණි. ඒ ජාතිවාදී වියරුවෙන් ඔද වැඞී මව්බිම ”සුළු ජාතික භීතියෙන්” රැක ගන්නවාද, නැත්නම් වාර්ගික සහජීවනයෙන් යුතුව මව්බිම ලෝකය ඉදිරියේ ඔසවා තබනවා ද යන්න හරිහැටි තීන්දු කිරීමය. 2019 ජනාධිපතිවරණය හමුවේ මානවවාදී දේශපාලන වුවමනාවන් වෙනුවෙන්, දේශපාලන ස්ලෝගන් නැත. ඒ වෙනුවට ජාතික ආරක්ෂාව, දුප්පතාට තැන දීම වැනි පොදු ජනතාවගේ මනදොළ ක්ෂණයෙන් සුඛිත මුදිත කළ හැකි යෝජනා ගොන්නක් මැතිවරණ වේදිකාවේ හළන අපේකෂකයින්ගේ දැක්ම බෙහෝදුරට කෙටිය. ඒ මැතිවරණය ජයග‍්‍රහණය කිරීම දක්වා පමණි.

දකුණේ සිංහල ජනයා අතර ජනප‍්‍රියව සිටින, හරියටම කිව්වොත් කවදත් ජනප‍්‍රිය පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය මහතා විසිවන දශකය උදෙසා යෝජනා කරන්නේ කුමක්ද? ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, වාර්ගික බෙදීම් තහවුරු වන, නොඉවසීම ප‍්‍රගුණ කරන සහ ජාතිවාදය මහපොළොවේ තහවුරු කෙරෙන, 2015න් පසු යටපත් කරගෙන සිටි බහුතරයේ අඳුරු බලවේගයන් අවදි කරවන ප‍්‍රතිපත්තීන්ය. ඊට ප‍්‍රතිවිරුධ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ද සුභසාධනවාදය තහවුරු කෙරෙන රටේ බහුතරයක් දෙනා වන දුප්පතුන් අවදි කර මන්මත් කරවන යෝජනා මතු කරන්නේය. ”හොඳ” දේ වෙනුවට ”අඩු නපුර ” තෝරාගන්නට මේ මැතිවරණයේදී පොදුජනයා පෙළගැසිය යුත්තේ එහෙයිනි

අද රටේ සියයට අසූවක් දෙනා අඩු ආදායම්ලාභීහුය. ඒ අතර ගොවි ජනතාව බහුතරයකි. ඒ අතරිනුත් බහුතරය බෝ නොවන රෝගවල ගොදුරුය. එනයින් ඔවුහු තම කුඹුරු ඉඩම් උගස් කර තම බිමේම කුලීකරුවන් වී දිවි ගෙවති. රසායනික ගොවිතැන දශක පනහක් තුළ ඔවුන්ට උරුම කරදී ඇත්තේ එපමණකි. ගොවි ජනතාව අතර විශේෂයෙන්ම රටට බත සපයන වී ගොවීන්ගේ ජීවන අරගලය සම්බන්ධයෙන් ප‍්‍රධාන ධාරාවේත්, විකල්ප ධාරාවන්හීන් ජනාධිපති අපේක්ෂකයින් තේරුම් ගැනීම බරපතළ ඛේදයකි.

අනුරාධපුරයේ පොදුජන පෙරමුණේ මංගල රැුළියේදී එහි අපේක්ෂක ගෝඨාභය මහතා සපථ කළේ ”පෝර නොමිලේ” යනුවෙන්ය. ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ කාබනික පොහොරවලට තැනක් ලබා දෙන බවට ප‍්‍රකාශ කර තිබුණද, රසායනික පෝර නොමිලේ දෙන විට කාබනික ගොවිතැනට ගොවීන් ආකර්ෂණය වන්නේ නැත. එපමණක්ද? ඉනික්බිතිව සිංහ සෙයියාවෙන් වේදිකාවට බට සජිත් පේ‍්‍රමදාස මහතා ද එයම ගොවි ජනයා ඉදිරියේ රිපීට් කළේය.

ගොවි බිමිවල උන්නතිය වෙනුවෙන් ඇති ඉහළම මැදිහත්වීම ඔවුන්ට අනුව නම් එයය. අවාසනාවට මේ ඛේදවාචකය ඇසින් දකින ජවිපෙ ඒ ඉදිරියේ නිහඬ පිළිවෙතකය. මේ මැතිවරණ සමයේ නිහඬ වීම තරම් අන් කිසිවක් භයානක නැත. රටේ බහුතරයක් වන ගොවි පවුල්වල මනාප රැුක ගනු වස්, ජවිපෙ ඒ භයානකම අන්තය තෝරා ගෙන තිබේ. විකල්ප පිළිබඳ විශ්වාස තබන්නන් ඒ ගැන විමසිලිමත් වන්නේනම් මැනවි


අද ඔබ රජරට දොරකඩට යන්නේ නම්, ගෙයක් ගෙයක් පාසා සිටින්නේ වකුගඩු රෝගීන්ය. වකුගඩු අකර්මණ්‍ය වීමට අමතරව, විවිධ වර්ගයේ පිළිකා රෝගයන්ගෙන් පෙළෙන්නෝ හිසේ කෙස් ගානට ඔබට හමුවනු ඇත. ඒ දෙකෙන්ම එකවර පීඩා විඳින්නෝ ද එමටය. මෙය අසත්‍යය නම්, ආසියාවේ විශාලතම වකුගඩු රෝහල රජරට තැනෙන්නේ නැත. මහරගම අපේක්ෂා පිළිකා රෝහලට රජරටින් දිනපතා එන යන ලංගම බස් ගණන සංඛ්‍යාවෙන් විශාල වන්නේ නැත.

මේ ඇත්ත තත්ත්වය වසන් කරන්නට ගොවි ජීවිතවලට සුදු පිරුවට හෙළා, ගොවීන් රජ කරවන්නට ගොවි බිමට උඩින් යන ජනාධිපති අපේක්ෂකයින්ගේ අපේක්ෂා ඇත්ත වශයෙන්ම පසුගාමීය. රටේ සිවිල් ව්‍යාපාර මේ සැබෑ ඛේදවාචකය පිටු දැකීම වෙනුවෙන් මැදිහත් වුවද, ප‍්‍රධාන සාධකය හමුවේ කළ මෙහෙවර පාවා දෙන්නේය. එනම් දේශපාලන පක්ෂ ඒවායේ අයිතිය තහවුරු කරන හෙයින් ඉන් මහ පොළොවට අත්වන සුගතියක් නැත. එහිදී ඔවුන්ද ගොවි ජනතාව දකින්නේ ඡුන්ද ගණනින් මිස, ජාතියට බත සපයන්නට ගොස් ඔත්පොළ වූවන් ලෙස නොවේ. එහෙයින් විකල්ප ධාරාවේ අපේක්ෂකයින් ද ඇත්ත ප‍්‍රශ්න වෙනුවට ගොවීන්ගේ ඡුන්ද මල්ල රක්ෂා කිරීමට මාන බලති. රටේ ගොවි ජනතාවගේ ඡුන්ද ගැන සංවේදී වන අයට ඔවුන්ගේ ජීවන ගැටලූ මඟ හැරී ඇති සැටියෙකි.


නමුත් මේ ගැන කතා කරන්නෝ බහුලය. මැතිවරණ අතර කාලයේදී මේවා ගැන පර්යේෂණ කරන විද්වතුන් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඒ පර්යේෂණ මැතිවරණ හමුවේ හුදු පෞද්ගලික ලාභය උදෙසාම පාවා දෙති. එක් උදාහරණයක් ගතහොත්, රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක් සමඟ රජරට ගොවි ජනතාවගේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණ නිබන්ධනය සැබැවින්ම අනර්ඝ එකකි.

එය දෙස් විදෙස් විද්වතුන් අතර ද ප‍්‍රචලිතය. එය සිවිල් බුද්ධිමතුන් අතරත් රටේ පොදු ජනයා අතරත් ”වකුගඩු සටන” නමින් දොරට වැඩි සිංහල කෘතිය ඉතා වටිනා කෘතියක් ලෙස භාරගෙන තිබේ. එහි සඳහන් වන්නේ රජරට ගොවි ජනතාව බහුල වශයෙන් කෘෂි රසායන සහ රසායනික පොහොර භාවිත කිරීම නිසා පළමුව පස රෝගී වී ඉනික්බිතිව ගොවීන් වකුගඩු රෝගීන් බවට පත් වෙමින් සිටින බවයි. එය වසර ගණනාවක් පුරා සිදු කළ පර්යේෂණාත්මක සංග‍්‍රහයක් වන අතර, ඒ තොරතුරු අද ලෝකයම පිළිගෙන ඇත.


එහෙත් ඔහු ඒ මහා දැනුම් සම්භාරය, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ ”පෝර නොමිලේ” යෝජනාව ඉදිරියේ කුණු කොල්ලයට ඇද දැම්මේය. තමා විසින්ම නිෂ්පාදනය කළ දැනුම බල දේශපාලන ආශාවන් ඉදිරියේ හෑල්ලූ කරන විද්වතුන්ගෙන් මහ පොළොවට ඇති ඵලය කිම? මේ ආකාරයේ විද්වතුන්ගේ නාම ලේඛනයක්ම ලබාදිය හැකි වුවත් එය පසුවට තබමි. මේ උදාහරණය පමණක් මැතිවරණ හමුවේ ඇතැම් විද්වතුන්ගේ භූමිකාව තේරුම් ගැනීමට ප‍්‍රමාණවත්යැයි සිතමි.


මේ දිවයින වූකලී කෘෂිකාර්මික රටක් වුවත් ඇත්ත වශයෙන්ම කෘෂිකාර්මික ජාතික ප‍්‍රතිපත්තියක් නැත. කාලෙන් කාලෙට ගොවි ජනතාව බෙදා ගැනීමට අර අඳිනවා මිසක, ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කිරීම හෝ කෘෂි බෝග ආහාර කරගන්නවුන්ගේ නීරෝගීභාවය තකා කිසිවකු පිඹුරුපත් අඳින්නේ නැත. මැතිවරණ හමුවේ අපේක්ෂකයින්ට අත දිග හැර වියදම් කරන බහුජාතික සමාගම්වලට හෝ ලෝභ නැතිව රැුවටෙන ගොවි ජනතාවට අත තියන්නට ඔවුන් සටන් පාඨ තනන්නේ නැත. මැතිවරණ වේදිකාවේ ”පෝර නොමිලේ” යැයි කියන විට එකී සමාගම් බිලියන ගණනින් අපේක්ෂකයින් වෙනුවෙන් වියදම් කරනවා ඇත.

කෘෂි රසායන, රසායනික පොහොර සමග එම සමාගම් බටහිර ඖෂධ ද ගෙනෙන්නේය. ගොවි බිමට කෘෂි රසායනික සමඟ ගොවීන්ට බෙහෙත්… මේ මාෆියාව පරදන්නට කලින් කලට පැමිණෙන මැතිවරණ ඉඩ දෙන්නේ නැති බව සපථ කරන මැතිවරණය ”2019 ජනාධිපතිවරණය” ය. ඒ මන්දයත් ප‍්‍රධාන ධාරාවේ දේශපාන පක්ෂ සමඟ ඊනියා මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මානවවාදී කතා කියමින් සිටින ජවිපෙත් ඊට සමාගාමීව සිතීමට එළිපිටම පටන් ගෙන ඇති හෙයිනි.


ජවිපෙන් පුරවැසියන් බලාපොරොත්තු වන්නේ ලාභ අපේක්ෂාවන්ට යට නොවුණු මානවවාදයකි. මහ පොළොවේ සැබෑ අගතීන්වලට ආමන්ත‍්‍රණය කිරීමට බැරි නම්, ඔවුන් විකල්ප වේදිකාවෙන් බැස ගොස් රටේ ප‍්‍රධාන ධාරාවේ වේදිකාවට නැඟ ගත යුතුය. මැතිවරණ හමුවේ එකී නොකී සියල්ලෝ තමන්ගේ ගොවි ප‍්‍රතිපත්ති තනන්නේ රටේ ගොවි ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න මඟ හැර ගොස් වීම තුළ, එළැඹෙන විසිවන දශකය ”රෝගීන්ගේ දශකයක්” වනු ඇත.

පවිත‍්‍රා රූපසිංහ – රාවය/ 2019 නොවැම්බර් 04, දින ජාතික හා කාලීන අවශ්‍යතාව සලකා සම්පූර්ණ ලිපියම (ප‍්‍රධාන ඡුායාරූපය වෙනස්කර ඇත* පළ කරන ලදි – ප‍්‍රධාන සංස්කාරක

Recommended For You

About the Author: Editor