මට ඕනෑ වුණේ ‘විප්ලවයක්’- සචිනි රණවක

සචිනි රණවක රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇති ‘සංගීතේ‘ ටෙලිනාට්‍යයේ මහීගේ සංගීත කණ්ඩායමේ අමායා නම් චරිතයෙන් රංගනයට පිවිසෙන සචිනි රණවක මේ වන විට ජන ප්‍රසාදයට පත් නවක රංගන ශිල්පිනියන් අතරට එක්ව ඇත. නිත්‍ය ඩ්‍රම්ස් වාදන ශිල්පිනියක වන ඇය, ඩ්‍රම්ස් වාදනයෙන් උපාධියක් හිමි කර ගැනීමට කොළඹ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන්නීය.

Image result for sachini ranawaka photos

 ඔබේ ගම්පළාත?

මම ඉපඳුණෙත්, දැන් පදිංචිවෙලා ඉන්නෙත් බොරලැස්ගමුවේ. අම්මා, තාත්තා මතුගම. ඔවුන් පසුකාලීනවයි බොරලැස්ගමුවේ පදිංචියට ඇවිත් තියෙන්නේ.

පවුලේ විස්තර කිව්වොත්?

මගේ පවුලේ ඉන්නේ තාත්තා, අම්මා, අයියා සහ මම. තාත්තා ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙක්.

ඔබ අධ්‍යාපනය ලැබුවේ?

නුගේගොඩ ‘Louvre‘ ජාත්‍යන්තර පාසලින් අධ්‍යාපනය ලැබූ මම, 7 වසරෙන් පස්සේ නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ හැදෑරුවේ කොළඹ විශාඛා විද්‍යාලයෙන්.

මොනවද ඔබ හදාරපු විෂයයන්?

මාධ්‍ය හා සන්නිවේදනය, නාට්‍ය හා රංග කලාව, සංගීතය.

පාසලේදී ඔබ කලා කටයුතුවලට සම්බන්ධ වුණා ද?

පාසලේදී පැවැත්වෙන විවිධ ප්‍රසංගවලට මම හැමවිටම වාගේ ප්‍රමුඛතාවය දීලා සම්බන්ධ වුණා. ඩ්‍රම්ස් වාදනයට, ගායනය වගේම නර්තනයටත් සමස්ත ලංකා මට්ටමින් ඒකල, සමූහ, ශාස්ත්‍රීය ගායන හා නාට්‍ය රංගන, නර්තන තරගවලින් ජයග්‍රහණය ලබා තිබෙනවා. සංගීතවේදී දර්ශන රුවන් දිසානායක සර් ‍අපේ පාසලේ විවිධ ප්‍රසංගවලට හැමවිටම වාගේ පුහුණුවීම් කරන්න ආවා. ඔහු මට ලොකු සහයෝගයක්, ශක්තියක් ලබාදීලා මේ ක්ෂේත්‍රයේ ඉදිරියට ගත්තා.

ඔබේ උසස් අධ්‍යාපන කටයුතු කොහොමද?

මම කොළඹ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබනවා. උපාධිය කරන්නේ ඩ්‍රම්ස් වාදනයෙන්. මම හිතන්නේ මං තමයි ලංකාවේ ප්‍රථම වතාවට ඩ්‍රම්ස් වාදනයෙන් උපාධියක් ලබාගන්නේ කියලා. ඊට අමතරව පියානෝව වාදනය, ශාස්ත්‍රීය හා බටහිර ගායනය පිළිබඳවත් මම හදාරනවා.

Image result for sachini ranawaka photos

ඔබ ඩ්‍රම්ස් වාදනයම තෝරා ගත්තේ ඇයි?

ඩ්‍රම්ස් වාදනයට මම ගොඩක් ආසයි. ගෑනු ළමයෙක් සාමාන්‍යයෙන් මේක තෝරාගන්නේ නෑ තමයි. ඒ වුණත් මට ඩ්‍රම්ස් වාදනය පැත්තෙන් වෙනසක් විප්ලවයක් කරන්න ඕනෑ වුණා.

ඔබ කාටහරි අභියෝග කරනවද?

මට එහෙම කරන්න උවමනාවක් හෝ අදහසක් නෑ. මේ ඩ්‍රම්ස් වාදනය පැත්තෙන් තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා. මම හරි ආසාවෙන් කැමැත්තෙන් ඉන්නවා මහින්ද සිල්වා මහතාව හමුවෙන්න. මට එතුමාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පවා තියෙනවා.

සංගීතේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

Image result for sachini ranawaka photos

මම දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගයේ 7 වන වටයට සහභාගිවෙලා ටිකෙන් ටික 10 වන ස්ථානය දක්වා ඉදිරියට ආවා. සංගීතේ ටෙලිනාට්‍යයේ රංගනයට එක්වෙන්න කියලා දෙරණේ ලක්සිරි මහතා ආරාධනා කළා. දෙරණේ සෑම පුන් පොහෝ දිනයකම විකාශනය වන චිත්‍රපටයකට මම මුලින්ම රංගනයෙන් දායක වුණා. සංගීතේ නාට්‍යයේ රඟපාන්න ලැබුණේ ඉන්පසුවයි. එහිදී රජිකා අක්කා, සුධීර, සුරංග අයියලා හමුවුණා. එම නාට්‍යයේ රචක සමන් එදිරිමුණි අයියා ඇතුළු සියලුම දෙනා මම ගෞරවණීයව මතක් කරනවා. හැමදෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා.

සංගීතේ නාට්‍යයට අමතරව රංගනය හා ගායනයට අවස්ථාව ලැබිලා තියෙනවා ද?

සංගී‍තවේදී දර්ශන රුවන් දිසානායක මහත්මයාගේ “ගොවි තාත්තා” චිත්‍රපටයට ප්‍රථම වරට මම ගීත ගායනයෙන් හා රංගනයෙන් දායක වෙනවා. මගේ ආදරණීය රසිකයන්ට මගේ හැකියාව ඉන් දැකගන්න පුළුවන්. මේ චිත්‍රපටයේ මම පිටිසර ගමක දුප්පත් ගෑනු ළමයකුගේ චරිතයක් නිරූපණය කරනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් හතරකට දායක වුණා. පසුබිම් ගීත දෙකකටත් රංගනයෙන් දායක වුණා. මේ කලා නිර්මාණවලට දායක වුණේ හරිම කැමැත්තෙන්. මම හෙමින් ගමනක් යන්න කැමැති කෙනෙක්. මගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ වෙලා නැති නිසා මට හොඳ ගමනක් යන්න කාලය තියෙනවා.

එතකොට ගායනය පැත්තෙන්?

මම 2012 දී විශාරද විභාගය කළා. අලුතින් මගේම ගීත දෙකක් කළා. “ආදරයේ කුසුම” ගීතය මෑතකදී එළිදැක්වූවා. එය යූ ටියුබ් හරහා නැරඹිය හැකියි. එහි පද රචනය – අමිල තේනුවර, සංගීතය – දර්ශන රුවන් දිසානායකගේ.

අනාගත බලාපොරොත්තුව?

ෙඅධ්‍යාපන කටයුතුත් කරගෙන යන අතරේ හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් කාලය වෙන් කරගෙන සම්බන්ධ වෙනවා. හොඳ දක්ෂ රංගන ශිල්පිනියක්, ගායිකාවක් වීමටත්, සංගීතයෙන් ඩ්‍රම්ස්වාදනය පැත්තෙන් යමක් කරන්නත් අනාගතයේදී විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වීමේ බලාපොරොත්තුවකුත් මට තියනවා.

ඔබට අතහිත දුන් අය ගැන මතක් කළොත්?

මගේ තාත්තා පාලිත රණවක, අම්මා ශ්‍යාමලී ප්‍රියංකා, අයියා ෂෙහාන් රණවක ඇතුලු මගේ ගුරුවරුන් හිතවතුන් සියලුම දෙනාගේ සහයෝගය මට ලැබුණා. ඒ උපකාර හා දිරිගැන්වීම් නිසයි අද මම මෙවැනි තැනක ඉන්නේ. මගේ හැකියාවෙන් උපරිම ඵල නෙලා ගන්නට මා අදහස් කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ධෛර්යය පමණයි.

Recommended For You

About the Author: Editor