ළමා කතාවක් ‘මී පැණි වගේ මිහිරි වෙන්න ඕනැ’ – චම්පිකා දීපානි රණසිංහ

චම්පිකා දීපානි රණසිංහ, ‘තරුණී’ පුවත්පතේ නියෝජ්‍ය කතුවරියයි. ඇයගේ ළමා කතා පොත් ත‍්‍රිත්වයක් පසුගිය දා නිකුත් වුණා. ඒ සීනිලන්තේ පැණි කූඹි රජ්ජුරුවෝ, වාසනාගේ අලුත් ඇඳුම, මහදැනමුත්තාගේ උත්තරේ යන කෘති තුන. මේ තම ළමා පොත් ගැන චම්පිකා කියන කතාව.

දශක දෙකකට අධික කාලයක් තරුණි පුවත්පතට සෞඛ්‍ය ලිපි සම්පාදනය කළ නිසා, ජනතාවට වන විපත ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. 2017 වසරට වඩා 2018 වසරේදී සියයට අටකින් බෝ නොවන රෝගීන්ගේ ගණන ඉහළ ගිහින්. එහෙම වෙලා තියෙන්නෙ, නිරන්තරවම වෛද්‍යවරුන් සහ මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කරද්දියි. වැඩිහිටියන්ට වඩා දරුවන්ට යමක් වටහා දීම පහසුයි. ඒ වගේම, මේ සුව පණිවිඩ දරුවන් මඟින් වැඩිහිටියන්ට රැගෙන යාම වඩාත් සාර්ථක ක්‍රමවේදයක්. අමු ඉරටු නැව්වට, වේළිච්ච ඉරටු නවන්න අමාරුයි වගේ, සමහර වැඩිහිටියන් නරක පුරුදුවලින් ඈත් කරන්න අමාරුයි. ඒත්, දරුවන් තුළ හොඳ පුරුදු ඇති කිරීම ඊට වඩා පහසුයි. ඒ නිසා, අනාගත පරපුර වගේම වැඩිහිටි පරපුර යහ මඟට යවන්න මේ වගේ නිර්මාණ කරන්න ඕනැ කියලා මට හිතුණා. මේ කෘති තුන බිහි වුණේ ඒ විදිහටයි. මේ වගේ අලුත් අභියෝගයක් භාර ගැනීම ගැන මල්පියලි ප්‍රකාශකයන්ට ස්තුතිවන්ත වෙන්න ඕනැ.

ළමා වියේදී, කතා මඟින් පණිවිඩයක් දීම වැදගත් වෙන්නේ කොහොමද?

අපි හැමෝටම කුඩා වියේ කියවපු කතා තාමත් මතකයි. ඒ කතාවල සමහරු තවමත් ජීවත් වෙනවා. වැඩිහිටියකු දරුවාට කතා කියලා දුන්නත්, දරුවා තනියම කතා කියෙව්වත්, ඒ කතා ඔවුන්ගේ මතකයේ රැඳෙනවා. පොත් යාළුවන් බවට පත් වෙනවා. පොත් කියවීම හොඳ පුරුද්දක්. පොතින් දෙන පණිවිඩය, සැරවැර කිරීමකට, දඬුවම් කිරීමට වඩා මතක හිටිනවා. මේ වගේ වැදගත්ම පණිවිඩ, ළමා කතා මඟින් කියා දීම වටින්නේ ඒ නිසයි. දරුවන්ගේ වැරැදි පුරුදු නිවැරැදි කිරීමට, කතාවේ වීරයාගේ චරිතය උපකාරී වෙනවා.

සෞඛ්‍ය ළමා කතන්දර ලිවීම සාමාන්‍ය ළමා කතාවක් ලිවීමට වඩා අසීරුයි නේද?

ළමා කතාවක් එක දිගට ගලා හැළෙන දිය ඇල්ලක් වගේ සුන්දර වෙන්න ඕනැ. මී පැණි වගේ මිහිරි වෙන්න ඕනැ. සුන්දරකමත්, රසවත් බවත් රැකගෙන, අණ කිරීමක්, පාඩමක් කියලා දෙනවා කියන එක නොදැනෙන්න පණිවිඩයක් දීම, පහසු නැහැ. එය කතාවට හානියක් නොකර, සියුම් විදිහට, බොහොම සූක්ෂ්මව කළ යුතු දෙයක්.

සුවසෙතට තර්ජනයක් වන මාතෘකා රැසක් මේ කෘතිවල අන්තර්ගතව තිබෙනවා. ඔබ සීනි, ලුණු, තෙල් අධික ආහාර, කඩචෝරු, ක්ෂණික කෑමවලින් වැළකී සිටීමේ, ව්‍යායාම කිරීමේ වැදගත්කම කියැවෙන පණිවිඩ ම තෝරා ගත්තේ ඇයි?

හිතකර ආහාර සහ ව්‍යායාම කිරීමේ වැදගත්කම කියැවෙන කතා පාඩමක් නොවන විදිහට දරුවන් වෙත ගෙන ඒම වඩාත් පහසුයි කියලා මට හිතුණා.

අනෙක දරුවන්ගේ සෞඛ්‍යයට වඩාත් හානිකර විදිහට බලපාලා තියෙන්නේ අහිතකර ආහාර රටාව සහ ව්‍යායාම නොකිරීම නිසයි. මේ වනවිට පළමු වැනි වර්ගයේ දියවැඩියාව, ස්ථුලතාව පාසල් වයසේ දරුවන් අතර සුලබයි. 

බෝ නොවන රෝග, ස්ථුලතාව ලෝකයටම තර්ජනයක්. ළමයින්ගේ ස්ථුලතාව, බෝනොවන රෝග වැළැක්වීම කෙරෙහි මුළු ලොවේම අවධානය යොමුවී ඇති කාලයක, මෙවැනි නිර්මාණ, බරපතළ සෞඛ්‍ය තර්ජන වැළැක්වීමට යොදා ගැනීම ලොව බොහෝ රටවල දක්නට ලැබෙන ප්‍රවණතාවක්.

ලොව මරණ ප්‍රතිශතයෙන් සියයට හැට අටකටම වාගේ වග කිව යුත්තේ බෝ නොවන රෝගයි. මව, පියා ජීවත්ව සිටියදී, වැඩිහිටි වියේදී මුහුණ දෙන රෝගවලට දරුවන් ගොදුරු වී මියයාම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. එය මානව පැවැත්මට අසුබ පෙරනිමිත්තක්. දරුවන්ගේ මේ ඉරණමට ගුරු දෙගුරුන් වගකිව යුතුයි. වැඩිහිටියන්ගේ වැරැදි ආදර්ශ නිසා, බාල පරපුර ඒ වගේ ඉරණමකට මුහුණ පා සිටිනවා. ළමයින්ගේ නීරෝගි භාවය ඉහළ නංවන ආකාරයේ ළමා කතන්දර නිර්මාණය කිරීමේ කලාවකට මුල පිරුණේ, මෙවන් වාතාවරණයක් උදාවීම නිසයි.

මේවා ස්වතන්ත්‍ර නිර්මාණ තුනට තේමා කර ගෙන තිබෙන්නේ යුග තුනක්. ඒකට හේතුව මොකක්ද?

මේ කතා තුන මගේම නිර්මාණ තුනක්.

එකක් රජ කතාවක්. අපේ ජන සමාජයේ ආදරණීය චරිතයක් වන මහදැනමුත්තා තවත් කතාවක චරිතයක්. අනෙක අද කාලයේ වෙසෙන කුඩා ගෑනු ළමයෙක් ගැන කියවෙන්නක්. ළමයි මේ වස්තු විෂය තුනටම කැමැතියි. “ සීනිලන්තේ පැණි කූඹි රජ්ජුරුවෝ “කතාවෙන් ළමයි සුරංගනා ලෝකයක් වගේ සුන්දර තැනකට ගෙන ගිහින් අධික විදිහට පැණි රස කෑමේ වරද පෙන්වා දෙනවා. “ මහදැනමුත්තගෙ උත්තරේ “ පොතෙන් වැඩි ලුණු අගුණයි කියන පණිවිඩේ දෙන්නේ ඔහුගෙ අනුවණකම හාස්‍ය රසයක් දෙන්න යොදා ගනිමින්. සුපිරි තරග වැහි වහිනවා වගේ තිබෙන කාලයක, සිඟිති කුමාරි තරගයක් ගැන කියවෙන “ වාසනාගේ අලුත් ඇඳුම “ කාලෝචිතයි කියලා හිතුණා.

වර්තමානයේ දරුවන් පොත් කියවීමෙන් ඈත් වෙලා. රූපවාහිනිය, ස්මාර්ට් ෆෝන්, අන්තර්ජාලය ඔවුන්ගේ ලෝකයේ රජ වෙලා. එවැනි කාලයක කෙතරම් වැදගත් පණිවිඩයක් ලබා දුන්නත්, ප්‍රයෝජනයක් තිබෙනවාද?

අවාසනාවකට දරුවන්ගෙන් විතරක් නෙමෙයි, මාපියන් ගෙනුත් පොත් පත් කියවීමේ පුරුද්ද ගිලිහී ගිහින්. “ පොත් තියෙන්නෙ පුස්තකාලෙනෙ “ කියන තත්ත්වයට හැමෝම පත්වෙලා. ඒ වගේ කාලයක වාර්ෂිකව සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය හොඳ උත්තේජකයක්. අඩු ගානෙ ඒ මාසයේදීවත් පොත් කියවීමට ජනතා‍වගේ උනන්දුවක් ඇති වෙනවා. තවත් හානියක් සිද්ධ වෙන්නෙ අම්මලා, තාත්තලා පාසල් විෂයය නිර්දේශයට අදාළ පොත් පමණක් ලබාදීම නිසයි. විෂය නිර්දේශයට පරිබාහිර පොතපත කියවීමේ වටිනාකම ගුරු දෙගුරුන් තේරුම් ගන්න ඕනැ. ජීවිතය දිනූ සෑම පුද්ගලයකු ම, හොඳින් පතපොත කියවූ අයයි.

දරුවන්ට කියවීමට හොඳ පොත් ලබාදීම, ජීවිතය සාර්ථක කර ගැනීමට මඟ පෙන්වීමක්. පොත්වලින් ලැබෙන අත්දැකීම් ඉතා වටිනවා. පොත් කියවන්නා මියයාමට පෙර ආත්ම දහසක ජීවත් වෙනවා කිලෙත් කතාවක් තිබෙනවානේ.

ඔබේ ඉදිරි නිර්මාණ මොනවාද?

ඉදිරියේදී දරුවන්ට පලදායක වන ළමා කතා කිහිපයක්ම නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතර ළමා ඉංග්‍රීසි පොත් දෙකක් තියෙනවා. මේ දිනවල විශ්ව සම්භාවනීය පොත් දෙකක් පරිවර්තනය කරමින් සිටිනවා

Recommended For You

About the Author: Editor