Sp Press JPP: ‘මාලිමාව’ ඉදිරියේ ඡන්දය ලකුණු කිරීමෙන් වෙනසට මුලපුරන්න – අනුර කුමාර දිසානායක

ජාතික ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුවක් අද (4) පැවැත් වුණා. ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම විද්වත් හමුව සදහා ජාතික ජන බලවේගයට සම්බන්ධ විද්වතුන් විශාල පිරිසක් සහභාගී වුණා. එහිදී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු විද්වතුන් කළ ‘සම්පූර්ණ කතා’ මේ සමග පළ වෙනවා.

අපේ රටේ පැවැත්වෙන මේ ජනාධිපතිවරණයේදී තීරණාත්මක හැරවුම් ලක්ෂයක් රටට අත්කරදීමේ හැකියාවක් තිබෙන බව අප සිතනවා. පසුගිය අගෝස්තු 18 වැනි දින ගාලු මුවදොර පිටියේදී ජාතික ජන බලවේගයේ මහජන රැලියක් පවත්වමින් ජනාධිපතිවරණයට තරග වදින බවත් තරග වදින්නේ කවුද යන්නත් ජනතාව හමුවේ ප්‍රකාශයට පත්කළා. එතැන් සිට ගම්නියම් ගම් පුරා යමින් ජනතාව මුණගැසෙමින් කරුණු පැහැදිලි කරමින් ඉන්නවා.

අද මේ රටේ තියෙන්නේ විකාරරූපී දේශපාලනයක්

මේ රටේ අද තිබෙන දේශපාලනයේ විකාරරූපී නාඩගම් තත්වයෙන් මුදාගෙන ඉහළට ගැනීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. පහත් පිළිකුල් කළ යුතු දේශපාලන සංවාදය එම තත්වයෙන් මුදාගත යුතුව තිබෙනවා. එය කළ හැකි වැදගත් ස්ථානයක් වී තිබෙන්නේ මේ ජනාධිපතිවරණයේදී දේශපාලන ප්‍රතිපත්ති මූලික කරගත් සංවාදයක් ගොඩනැගීමයි. රටත්, ජනතාවත් හෙළා තිබෙන  දේශපාලන ප්‍රපාතයෙන් ගොඩගත හැක්කේ මේ ප්‍රතිපත්තිමය සංවාදය තුළින් පමණක් බව අපේ විශ්වාසයයි. මේ නිසා ජනාතවගෙන් බලය ලබාගෙන අප ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති කිහිපයක් පිළිබඳව කෙටි හැඳින්වීමක් මේ අවස්ථාවේදී කරනවා.

අප ඉදිරිපත් කර තිබෙන්නේ ‘දේශයේ අපේක්ෂාව’ යනුවෙන් නම් කළ, ශක්තිමත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. දුප්පත්භාවයෙන් රටත්, ජනතාවත් මුදාගන්නේ කෙසේද? ඒ වෙනුවෙන් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් අපි ඉදිරිපත්කර තිබෙනවා. රටක ආර්ථිකය මනින සියලුම මිනුම්දඬුවලින් මේ වන විට අප පහත්ම අඩියට  තත්වයට වැටී තිබෙනවා.”

විශාල ණය කන්ද, විදේශ වෙළඳාමේ බරපතළ හිඟය, රුපියල කඩා වැටීම, රාජ්‍ය ආදායම හීනවීම වගේ හැම පැත්තකින්ම මේ බව තහවුරු වී  තිබෙනවා. ගෙවී ගිය අවුරුදු 71 තුළ සමස්තයක් හැටියට රට දුප්පත්කමේ අන්ත ප්‍රපාතයට වැටී අවසන්. එක යුගයකදී ඉහළ සාධනීය තත්වයන් පෙන්නූ දත්ත පවා අද පතුළටම වැටිලා. එයින් රටත්, ජනතාවත් ඉහළට ඔසවා තැබීම අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අරමුණයි.

මේ වෙනකොට සමෘද්ධි සහනාධාරය ලබන දුප්පත් පවුල් ලක්ෂ 20ක් සිටිනවා. මේ ජනතාවට තිබෙන  මූලිකම ප්‍රශ්නය මුදල් නැතිකම විතරක් නොවෙයි. සමාජයෙන් කොන්වීම, ගෞරවය නැති වීම, සාධාරණ අයිතිවාසිකම් නොලැබීම වගේ තත්වයන් රැසකට මුහුණදී තිබෙනවා.
මේ නිසා මුළු සමාජයම සමස්තයක් වශයෙන් විශාල පීඩනයකින් පසුවෙනවා.

විශේෂ අවධානය යොමුකළ යුතු සමාජ තීරු පිළිබඳව

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ සමස්ත සමාජයත්, ඒ වගේම ඒ සමාජයේ විශේෂ අවධානය යොමුකළ යුතු සමාජ තීරු පිළිබඳවත් මූලිකත්වයේලා සැලසුම් සකස්කර තිබෙනවා. ආබාධ සහිතවූවන්, රෝගීන්, වැඩිහිටියන්, ළමුන් හා කාන්තාවන් වැනි සමාජ තීරු ගැන විශේෂ අවධානය යොමුකර තිබෙනවා. උදාහරණයක් හැටියට අන්ධ කෙනෙකුට කියවා තේරුම්ගත හැකි පරිදි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයම වාචිකව වෙබ් අඩවියෙන් ශ්‍රවණය කළ හැකි පරිදි සකස් කර තිබෙනවා.

අනෙක් පැත්තෙන් අපේක්ෂාභංගත්වයට පත්වී සිටින තරුණ පරපුර එයින් මුදා ගැනීමේ මූලික අවධානය අපේ ප්‍රතිපත්ති තුළ තිබෙනවා. කාන්තාවන් සම්බන්ධයෙන් සහ ළමුන් සම්බන්ධයෙන්ද ඒ වගේමයි. අපේ දරුවන් මේ තරගකාරී අධ්‍යාපන පීඩනයෙන් මුදා ගැනීමේ ව්‍යුහාත්මක අධ්‍යාපන වෙනස්කම් අපි සිදුකරනවා.

ඒ වගේම සෞඛ්‍යය, අධ්‍යාපන, ප්‍රවාහනය වගේ සේවාවන් ලබාගැනීමේ හැකියාව තමන්ගේ පොකට් එකේ තරමට තීරණය කරන රටක් වෙනුවට අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගත හැකි පරිදි රාජ්‍යයේ මැදිහත්වීම සැලසුම්සහගතව යොදවනවා.

අද රාජ්‍ය සේවකයාත්, රජයේ සේවය ලබන්නාත් යන දෙදෙනාම අතෘප්තියෙන්

අද රාජ්‍ය සේවකයාත්, රජයේ සේවය ලබන්නාත් යන දෙදෙනාම අතෘප්තියෙන් ඉන්නේ. ඒ නිසා රාජ්‍ය අංශයේ සේවාවන් පෞද්ගලික අංශයට විකුණා දැමීම වඩාත් හොඳ බවට ජනතාව තර්ක කරන තත්වයකට පත්වෙලා. මේ තත්වයෙන් රාජ්‍ය සේවය මුදාගෙන ජනතාව වෙනුවෙන් සාධාරණ සේවා සැපයීමේ තත්වයට අපි පත්කරනවා.

රාජ්‍ය සේවයේ කඩාවැටීම අපේ රටේ අධිකරණ ක්‍රියාවලියෙන් ඉතාම පැහැදිලි වෙනවා. නඩුවක් විභාග කර තීන්දුව ලබාදීම දීර්ඝ ක්‍රියාවලියක කොටසක්. ඒ අධිකරණ ක්‍රියාවලිය අකාර්යක්ෂම, අලස, ඇල්මැරුණු තත්වයකට පත්වෙලා. මෙහි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීම අපේ මූලික අරමුණයි.

ඒ වගේම මහජන ආරක්ෂාව තහවුරු කෙරෙන ජාතික සමගිය ගොඩනැගීම, විශේෂ අවධානය යොමු කළ තවත් ක්ෂේත්‍රයක් උතුර-නැගෙනහිර ජනතාව ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් හෝ කතෝලික, බෞද්ධ, හින්දු, ඉස්ලාම් භේදයක් නැතිව සහෝදරත්වයක්, සහජීවනයක් සහිත සමාජයක් අපේ රටේ බිහිකළ යුතුයි. ජාතික ජන බලවේගය ගොඩනැගීමට පෙර ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි මේ සම්බන්ධයෙන් විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කරමින් සිටියා.

JPPට බලය ලබාගත හැක්කේ පොදුජනතාවගේ දායකත්වයෙන් පමණයි

ජාතික ජන බලවේගයට බලය ලබාගතත හැක්කේ පොදු ජනතාව ඒ වෙනුවෙන් දක්වන දායකත්වයෙන් විතරයි. අප ඉල්ලා සිටිනවා මේ ජනාධිපතිවරණයේදී අපට බලය ලබාදෙන්න කියලා. ජනතාව මේ දක්වා පාලකයන් වෙනස් කරන්න උත්සාහ කළා. පාලකයන් හොඳ මිනිසුන් බවට පත්කරන්න උත්සාහ කළා. නමුත් වැඩක් වුණේ නැහැ. දැන් ජනතාව වෙනස් වෙන්න ඕනෑ. ඔබ ඒ වෙනස ඔබ තුළ ඇතිකරගෙන ඒ වෙනුවෙන් පාලනයක් ගොඩනඟන්න ඕනෑ. ජනතාව වෙනස්වීම පිළිබඳ ඒ නිර්භීත අධිෂ්ඨානශීලී ක්‍රියාමාර්ගය නොවැම්බර් 16 වැනිදා ජාතික ජන බලවේගයේ ‘මාලිමාව’ ලකුණ ඉදිරියේ ඡන්දය ලකුණු කිරීමෙන් මුලපුරන්න, කියලා අපි ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

අපි මේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ හුදු ආණ්ඩු පරිවර්තනයකට නොවෙයි. සමාජ පරිවර්තනයකට. සමාජ පරිවර්තනයක් සිදුවෙන්නේ දශකවලින්, සියවස්වලින්. ඒ පරිවර්තනය 1, 2, 3, 4 වගේ අනුක්‍රමිකව සිදුවන දෙයක් නොවෙයි. දේශපාලනයේ පිමි ලෙස සිදුවන දෙයක්. උදාහරණයක් හැටියට 2014 සැප්තැම්බර් මාසයේ විතර මහින්ද රාජපක්ෂ බලයෙන් පහකෙරෙන බව කිසිවෙකුත් විශ්වාස කළේ නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිවෛන බවක් විශ්වාස කළේ නැහැ. නමුත් 2015 ජනවාරි 08 වැනි දින ඒ දේ සිද්ධ වුණා.

මේ වෙනකොට දේශපාලන පිම්මකට අවශ්‍ය කරන සාධක පෙළගැසී තියෙනවා. මොනවද ඒ සාධක?

ජනතාවට මේ විධිහට තවදුරටත් යන්න බැහැ කියලා තහවුරු වී තිබෙනවා. ඒ වගේම පාලකයන්ට තවදුරටත් මේ විධිහට යන්න බැහැ කියලා තහවුරු වී තිබෙනවා. මේ මූලික සාධක දෙක සම්පූර්ණ වුණාම සමාජය ඇතුළෙන්ම පරිවර්තනයකට විශාල ඉඩකඩක් නිර්මාණය වෙනවා. අප විශ්වාස කරනවා අපේ රට ඒ තත්වයට පත්වෙලා තියෙනවා කියලා.

අපේ රටේ ඡන්ද දායකයන් බහුතරය නූතන තාක්ෂණය පළල් වීමත් එක්ක තාමත් එකතු වී නැහැ. නමුත් මේ වෙනකොට විද්‍යුත් මාධ්‍ය නාලිකාවලට වඩා දේශපාලනයේදී සමාජ මාධ්‍ය සක්‍රීය වී තිබෙන බව පැහැදිලියි. විද්‍යුත් නාලිකාවලට දේශපාලන පක්ෂ තිබෙනවා වගේම දේශපාලන පක්ෂවලටත් මාධ්‍ය නාලිකා තිබෙනවා. මේ මෙවලම්වලට තවදුරටත් දේශපාලනය තුළ ඉඩ-කඩ විවෘත වෙනවාට වඩා සමාජ ජාල තුළට වේගයෙන් නැඹුරු වීමක් දකින්න පුළුවන්. හැබැයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනතාව අතරට ගෙනයාමේ මේ මාධ්‍යයන්ට වඩා ප්‍රමුඛ කරගෙන තිබෙන්නේ මේ රටේ ජනතාව සමග මුහුණට මුහුණ කතාබහ කරමින් පැහැදිලි කිරීමයි. අපේ ප්‍රබලම මාධ්‍ය ජනතාව සමග ගොඩනඟා ගන්නා මේ මුහුණට මුහුණ සංවාදයයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවධානය යොමුකර තිබෙනවා. 1978 හඳුන්වාදුන් මේ ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය කර, දැන් විකෘති තත්වයක තිබෙන්නේ. විශේෂයෙන්ම 19 වැනි සංශෝධනයෙන් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ශක්තිමත් වුණා වගේම යම් බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය වීමත් සිදුවී තිබෙනවා.

19 වැනි සංශෝධනය සම්මත කරගත්තේ සංක්‍රාන්තික කාලයකට. දැන් එතැනින් ඔබ්බට යන්න අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවය වඩාත් ප්‍රබලව දැනී තිබෙනවා. අප යෝජනා කරන අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධ මූලික පදනම පොදු ජනතාව භාෂා, ආගම්, ග්‍රාමීය, නාගරික කිසිදු භේදයකින් තොරව පාලනයේ සම හවුල්කරුවන් බවට පත්කර ගැනීමයි. අද සිද්ධ වෙන්නේ ජනතාව ඡන්දය පාවිච්චි කිරීමේදී පාලනයේ ක්‍රියාකාරිකයෙක් බවට එක මොහොතක පත්වීම විතරයි. අපේ ව්‍යාවස්ථාවක් යටතේ ජනතාව පාලනයේ සම පංගුකරුවෙකු බවට අඛණ්ඩව පත්කර ගන්නවා. උදාහරණයක් හැටියට යම් ප්‍රදේශයක නිශ්චිතව විසඳා ගත යුතු ආර්ථික හෝ සමාජීය ගැටලු පවතින අවස්ථාවක ඒ ගැන විශේෂ අවධානය යොමුකර ජනසභා ඒකක පිහිටුවා ගැනීම දක්වන්න පුළුවන්.

දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තිය ඔවුන් වෙත සමාජ යුක්තිය ක්‍රියාත්මක කරමින් නිදහස් කළ යුතු බවයි. මෙතන නීතිමය තත්වයකට වඩා විශේෂ තත්වයක් තිබෙනවා. උදාහරණයක් හැටියට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබලම සාධක තුන වූ අවිආයුධ, මුදල් ජාත්‍යන්තර සම්බන්ධතා කියන කරුණු තුනම සම්පූර්ණ කළ කුමරන් පද්මනාදන් කිසිදු අධිකරණයකට ඉදිරිපත් නොකර නිදහසේ ඉන්නවා. නමුත් එල්.ටී.ටී.ඊ. හැඳුනුම්පතක් ළඟ තිබූ තරුණයෙක් අත්අඩංගුවට අරගෙන ඒ හැඳුනුම්පතට අත්සන් කළ දයා මාස්ටර් එළියේ නිදහසේ ඉන්නවා. මේ වගේ තත්වයක් යටතේ සමාජ යුක්තියේ පදනම ඔවුන් සියලුදෙනා නිදහස් කළ යුතුයි. ඒ වගේම, යම් පිරිසක් අත්අඩංගුවේ ඉන්නවා ඔවුන්ට අධිකරණයකින් උපරිම දඬුවම් නියම කළත්, අවුරුදු 07ක් සිරදඬුවම් ලැබීමට යටත් විය හැකි අය. නමුත් මේ වන විට අවුරුදු 20ක් රිමාන්ඞ් භාරයේ තබා තිබෙනවා. මෙවැනි තත්වයන් නිවැරදි කළ යුතුයි.

අධ්‍යාපන ප්‍රතිපත්ති කමිටුව වෙනුවෙන්,  ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු දෙමින්

අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ මුලික ඉලක්කය දරුවන්ගෙන් 50%ක් වත් උසස්  අධ්‍යාපන අවස්ථාව තහවුරු කිරීමයි. පාසල් අධ්‍යාපනය තුළ වෘත්තීයමය කේන්ද්‍රීයවද, ශාස්ත්‍රීය වශයෙන්ද උසස් අධ්‍යාපනයට තිබෙනා ඉඩකඩ වඩාත් දියුණු කළ යුතුයි. මේ වෙනුවෙන් සමස්ත අධ්‍යාපන ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීම අපේ අරමුණයි.

දැන් උසස් අධ්‍යාපන අවස්ථා හිමිවී තිබෙන්නේ සීමිත පිරිසකට. නමුත් මේ අධ්‍යාපන ලබාදීමේ වගකීම සම්පූර්ණයෙන්ම රජයට පැවරෙනවා. යම්කිසි කෙනෙක් තමන්ගේ රුචිකත්වය මත පෞද්ගලික අංශයෙන් උසස් අධ්‍යාපනය ලබාගන්න කල්පනා කරනවා නම්, ඒ අයිතියට බාධා කරන්නේ නැහැ. හැබැයි අද තියෙන්නේ රාජ්‍ය අධ්‍යාපනයේ අවස්ථා අහිමිවීම නිසා, පෞද්ගලික අංශයට යොමුවීමයි.

අපේ ප්‍රවේශය අධ්‍යාපනයේ වගකීම රජයේ වගකීමක් කර ගන්නවා වගේම අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නොවිය යුතුයි කියන එකයි. අපේ ප්‍රතිපත්තිවල මූලිකම පදනම මානව සම්පත සංවර්ධනය කිරීමයි. දියුණු මානව සම්පතක් අපේ රටේ ආර්ථිකයේ පදනම හැටියටත් ගෙන ක්‍රියාකරනවා.

අනුර කුමාර දිසානායක සහෝදරයා පිළිතුරු දෙමින්

අපේ රටේ ණය උගුල නිර්මාණය වුණේ ටි්‍රලියන 11ක් ණය ගත්තත් වත්කම් නිර්මාණය කළ නැති නිසා. වත්කම් නිර්මාණය කර තිබෙන්නේ ටි්‍රලියන 1.8කට. මේ නිසා කෙන්යාව වගේ රටවල්වලත් ලංකාවේ ණය උගුල උදාහරණයකට ගෙන සාකච්ඡා කරන තත්වයකට පත්වී තිබෙනවා. අපේ මූලික අරමුණ අවුරුදු 7ක් 8ක් තුළ ප්‍රමුඛ සහ ඵලදායී ව්‍යාපෘති හඳුනාගෙන අවශ්‍ය යටිතල පහසුකම් සපයා දී ආර්ථික නිෂ්පාදන ඉහළ නංවා ක්‍රමිකව ණය උගුලෙන් ගැලවීමයි. මේ සඳහා අපේ මූලික ආර්ථික උපාය මාර්ගය ජනතාව ගමෙන් නගරයට කැඳවීම නොවෙයි. ඔවුන් ගම තුළම තබා නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගෙන ජාතික ආර්ථිකයත් ජනතාවගේ ආර්ථිකයත් ඉහළට ගැනීමයි. මේ වෙනුවෙන් ගමට අතශ්‍යවශ්‍ය සංනිවේදන සහ ප්‍රවාහන පහසුකම් සංවර්ධනය කරදෙනවා.
.————
අද අපේ රටේ කෘෂිකර්මාන්තයේ මූලිකම අර්බුද දෙකක් තිබෙනවා. ගොවීන්ට යහපත් ජිවන තත්ත්වයක් ගොඩනඟාගැනීමට ප්‍රමාණවත් ආදායම් ලැබෙන්නේ නැහැ. අනික් පැත්තෙන් පාරිභෝගිකයාට ස්ථාවර මිලකට  කෘෂි නිෂ්පාදන ලබාගන්නත් බැහැ. මෙන්න මේ ප්‍රශ්න දෙකටම අපේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තුළින් පිළිතුරු ලබාදෙනවා. ගොවීන්ගේ ආදායම් වැඩිකරන්න අපේ රටේ ජෛව විවිධත්වයක් සහිත බීජ සම්පත වැඩි දියුණු කරනවා. අද මැලේසියාවෙන් ආනයනය කරන බීජ වෙනුවට මේ රටේ නිෂ්පාදනය කරගත හැකි වැඩි දියුණු කළ බීජ යොදාගෙන ගොවි ජනතාවගෙන් එක කොටසක් බීජ නිෂ්පාදකයන් බවට පත්කරනවා. ඒ වගේම මනා ජල කළමනාකරණයක් තුළින් කන්න තුනක් ගොවිතැන් කිරීමට අවස්ථාව ලබාදෙනවා. අනික් පැත්තෙන් ගොවීන් මුහුණ දෙන බරපතළම ප්‍රශ්නය තුන්වෙනි පරම්පරාවට ඉඩම් නොමැතිකමයි. නමුත් බහුජාතික සමාගම්වලට අක්කර දස දහස් ගණනකින් ලබාදී තිබෙනවා. මේවා ලබාගෙන තුන්වෙනි පරම්පරාවේ ගොවීන්ව ශක්තිමත් කිරිමට යොදවනවා. පසු අස්වනු නාස්තිය අවම කිරීමත් අපේ කෘෂිකාර්මික ප්‍රතිපත්තයේ මූලික ඉලක්කයක්.
————
අපේ තරුණ පරපුරේ අපේක්ෂා එදාට වඩා අද සංකීර්ණ විවිධ තත්වයට පත්වී තිබෙනවා. එදා තිබුණු පරණ, චාම් අවශ්‍යතා වෙනුවට එය වෙනස් තලයක තිබෙන්නේ. මේ නිසා නීරස, කටුක ජීවිතයක් ලබාදෙනවා වෙනුවට නව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උන්මාදයක් තරුණ පරම්පරාව තුළ ඇති කිරීමට පියවර ගන්නවා. ඒ තුළින් ආර්ථික සංවර්ධනයට තරුණ පරපුර යොදාගන්නවා වගේම සාම්ප්‍රදායික රජයේ අපේක්ෂාවෙන් ඔවුන්ව මුදාගෙන නුතන ලෝකය සමග ගැලපෙන තරුණයෙක් නිර්මාණය කිරීම අපේ අරමුණයි.
——–
අපි හඳුනාගෙන ඉන්නේ කලාව, සාහිත්‍යය කියන්නේ හුදු රසවින්දන මෙවලමක් විතරක් නොවෙයි. සමාජයේ ඉදිරියට ගෙනයාමේ මෙවලමක් විධිහටයි. මේ වන විට බිඳවැටී තිබෙන සමාජ සම්බන්ධතා මානව සම්බන්ධතා නැවත ගොඩනඟා ගැනීමට කලාව, සාහිත්‍යය විශාල කාර්යභාරයක් ඉටුකරන මෙවලමක්. මිනිසුන් තෙතමනයක් සහිත, ආධ්‍යාත්මයන් ගොඩනැඟීම කලා සාහිත්‍යයේ මූලික කාර්යභාරයක්. මෙන්න මේ පදනමේ අපි කලා සාහිත්‍ය ක්ෂේත්‍රය වැඩිදියුණු කරනවා.
————
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය පැනවීමෙන් උත්තර සොයන්න බැහැ. අද සිදු වී තිබෙන්නේ ධනවත්, බලවත් අයට නීතිය ක්‍රියාත්මක නොවීමයි. මත්ද්‍රව්‍ය ජාවාරම මේ තරම් විනාශකාරී වර්ධනයක් අත්කරගෙන තිබෙන්නේ මේ නිසයි.  මත්ද්‍රව්‍ය ආනයන කරන ජාවාරම්කරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනෙන්නේ නැහැ. ඔවුන් දේශපාලන බල අධිකාරියෙන් ආරක්ෂාව ලබාගෙන දිගටම මේ ජාවාරම කරගෙන යනවා.
———-

සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුව වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පිළිතුරු දෙමින්

අද සෞඛ්‍ය සේවය නගරයට කේන්ද්‍රගත වෙලා තිබෙන්නේ. පෞද්ගලික වගේම රාජ්‍ය අංශයත් එහෙමයි. අපේ ප්‍රතිපත්තිය වෙන්නේ ජාතික සැලැස්මක් මත මහජනතාවට අවශ්‍ය සෞඛ්‍යය සේවා සැපයීමයි. මේ වෙනකොට සෞඛ්‍යය සේවය වෙනුවෙන් දරන වියදමම, දරමින් වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් රාජ්‍ය අංශයෙන් ලබාදෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රමිතිගත ඖෂධ පමණක් රටට ගෙන්වීම තුළින් මහජන සෞඛ්‍යය වඩාත් සුරක්ෂිත කරන්න පුළුවන්. අපේ ප්‍රතිපත්තිය ඒක. රෝහල් පද්ධතිය ග්‍රාමීය සහ ද්වීතික රෝහල් ඒකාබද්ධ කර, ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පවුලේ වෛද්‍යවරයෙක් කියන සංකල්පයත් අපේ සැලසුම්වල එක කොටසක්. ඇත්තටම දැන් තිබෙන සල්ලි නැත්නම් මිය යාමට සිදුවෙන තත්වයේ සෞඛ්‍යය සේවය කඩාවැටීමෙන් ගොඩගන්න සැලසුම් අපි සකස්කර තිබෙනවා.
————–

අනුර කුමාර දිසානායක සහෝදරයා – පිළිතුරු දෙමින්…

අද ඇමතිවරුන් පත්කරන්නේ එක් එක් පුද්ගලයන් සතුටු කරන්න දෙන අල්ලසක් විදිහට. මන්ත්‍රීවරයා රණ්ඩු කළාම නියෝජ්‍ය ඇමතිකමක් දෙනවා. නැත්නම් රාජ්‍ය ඇමතිකමක් දෙනවා. රාජ්‍ය ඇමති රණ්ඩු කළාම නියෝජ්‍ය ඇමතිකමක් දෙනවා. නියෝජ්‍ය ඇමති රණ්ඩු කළාම කැබිනට් ඇමතිකමක් දෙනවා. මේ වගේ එකිනෙකා සතුටු කිරීමේ කැබිනට් මණ්ඩලයකින් රට ගොඩනඟන්න බැහැ. අපි ඇමති මණ්ඩලය පත්කරන්නේ විද්‍යාත්මක, සංයුක්ත විෂය පථයන් අනුවයි. උපරිම ඇමති ධුර 25යි. රට ගොඩනැඟීමේ වගකීම වෙනුවෙන් කැපවුණු පුද්ගලයන් ඒ අමාත්‍යාංශවලට පත්කරනවා. අනික් හැමෝටම වඩා මේ සඳහා සුදුසුම කණ්ඩායම ජාතික ජන බලවේගය වටා එකතුවී ඉන්නවා. ඒ නිසා දේශයේ අපේක්ෂාව ප්‍රතිපත්ති සමාජ ගතකරන එය බලයක් බවට පත්කර රට ගොඩනැගීමට සියලු දෙනාටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. 

 ජාතික ජන බලවේගය මාධ්‍ය හමුව සහභාගි වූවන්

  1. රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ගණිතය පිළිබඳ මහාචාර්ය පී.ඒ. ජයන්ත පස්දුන් කෝරලේ මහතා
  2. එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක
  3. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරලත් ගණකාධිකාරී ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු මහතා
  4. ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා
  5. හිටපු අමාත්‍යාංශ ලේකම් සහ සීමා නීර්ණ අභියාචනා කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා
  6. කැළණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අධ්‍යයන අංශයේ අංශාධිපති ප‍්‍රවීන රංගන ශිල්පි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප‍්‍රියංකර රත්නායක මහතා
  7. කැළණිය විශ්විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහජන සෞඛ්‍ය අංශයේ මහාචාර්ය ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ කි‍්‍රෂාන්ත අබේසිංහ මහතා
  8. කැළණිය විශ්වවිද්‍යාලයේ කි‍්‍රස්තියානි සංස්කෘතිය පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විජිත් රොහාන් ප‍්‍රනාන්දු මහතා
  9. ජාතික ජන බලවේගයේ ලේකම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා.
  10. ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය
  11. නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය
  12. ප‍්‍රගතිශීලී ස්තී‍්‍ර එකමුතුව වෙනුවෙන් රිෂානා සිමාස් මහත්මිය
  13. කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචර්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා
  14. වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු පියල් රාජකරුණා
  15. එක්සත් වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් අධි නීතිඥ ලාල් විජේනායක මහතා
  16. යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ සභාපති එෆ්. සිරාජ් මසූර් මහතා
  17. අනුරාධ සෙරමික් ආයතනයේ කළමණාකරණ අධ්‍යක්‍ෂ මුදිත නානායක්කාර මහතා
  18. කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා

Recommended For You

About the Author: Editor