කැටිති යූරියා වෙනුවට ‘කණිකාමය යුරියා’ වලට පුරුදුවෙමු

නයිට්‍රජන් පොහොර වැඩිවීමෙන් හානි රැසක්

වී වගාවේ නව පොහොර නිර්දේශයන් මගින් රසායනික පොහොර භාවිතය පහල දමලා

කැටිති යූරියා වෙනුවට කණිකාමය යූරියාවලට නිර්දේශය

කණිකාමය යූරියාවලින් අස්වැන්න වැඩිවෙනවා

වැඩිදුර තොරතුරු අවශ්‍ය කෙනෙක් වේනම් 071 442 2748 අංකය අමතන්න

තම වගා කන්නය කලට වෙලාවට ආරම්භ කරන්නට අවැසි ජල සම්පත පමාවකින් තොරව ලබාදෙන මෙන් ඉල්ලා වැස්ස වලාහක දෙවියන් ඉදිරියේ කන්නලව් කල වී ගොවියා, මඩ පොහොර ටික වී වපුරද්දීම ඉස ගැනුමට ලබාදෙන්නැයි කියා බලධාරීන් ඉදිරියේ බැගෑපත්වන්නේ, ජලය මෙන්ම කෘතිම පොහොරද අද දවසේ වී ගොවිතැනට නැතිවම බැරි අංගයක් වී ඇති නිසාය.

විශේෂයෙන්ම ශාකයක වර්ධනය වේගවත්ව සිදුවෙන මුල් අවධියේදී නයිට්‍රජන් පෝෂණය නිසි පරිදි තිබීම අත්‍යවශ්‍ය තත්වයක් වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කරන ලද වැඩිදියුණු කල වී ප්‍රභේදයන්හි විභව අස්වැන්න ලබා ගැනීමට නම්, පසෙහි නයිට්‍රජන් සුලභාතාවයක් පැවතිය යුතු අතර වී අස්වැන්න මෙට්‍රික් ටොන් එකක් නිපදවීම සඳහා නයිට්‍රජන් කිලෝග්‍රෑම් 20 ක් පමණ අවශ්‍යය වේ යයි ගණන් බලා තිබේ.

වී වගාව සඳහා නයිට්‍රජන් සපයන ප්‍රධාන රසායනික ප්‍රභවය වන්නේ 46% ක් නයිට්‍රජන් සංයුතියක් දරන යූරියා වේ. අප අවට වායුගෝලයේ ඇති බහුතර වායු සංරචකය නයිට්‍රජන් වුවද, ශාක මගින් තම අවශ්‍යතාවයන් සඳහා නයිට්‍රජන් උරාගන්නේ මුල් පද්ධතිය මගින් පමණය. ඒ නයිට්‍රේට නමැති ඍන ආරෝපිත අයන වශයෙනි. මෙය පසෙහි රඳා පවතින්නේ නැතිව ඉක්මනින් සේදී ඉවත්වෙන නිසා, ශාක තම අවශ්‍යතාවය සපුරාගත නොහැකිවූ විට ඉතා පහසුවෙන් නයිට්‍රජන් ඌනතාවයට ගොදුරුවේ.

“2014 වසරේදී අපේ රටට යූරියා මෙට්‍රික් ටොන් 417,797 ක් පමණ ගෙනත් තියෙනවා. එයින් 60% ක් පමණම භාවිතා කරලා තියෙන්නේ වී වගාව සඳහා. විවිධ පාරිසරික තත්ත්ව නිසා යොදන යූරියා වලින් 70% ක් පමණ අපතේ යන නිසා කාර්යක්ෂමතාවය තියෙන්නේ 30% ක් පමණ. මේ අපතේ යාම නිසා ලොකු පරිසර දූෂණයක් සිදුවෙන බවත් අමතක කරන්න නරකයි.”

යූරියා වලින් කෙරෙන ගොයමේ නයිට්‍රජන් පෝෂණය ගැන අදහස් දක්වන්නට එකතුවූයේ අඟුණකොළපැලැස්ස මාෂ හා තෙල්බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ පාංශු විද්‍යාව පිලිබඳ ප්‍රධාන කෘෂි විද්‍යාඥ උදය රත්නායක මහතාය. බතලගොඩ හා ලබුදූවේ වී පර්යේෂනායතනයන්හි වසර හයකට වැඩි කලක් සේවය කර ඇති ඔහු පාංශු පෝෂණය පිළිබඳව මනා අත්දැකීම ඇති විද්වතෙකි.

බතලගොඩ හා ලබුදූවේ වී පර්යේෂනායතනයන්හි වසර හයකට වැඩි කලක් සේවය කර ඇති ඔහු පාංශු පෝෂණය පිළිබඳව මනා අත්දැකීම ඇති විද්වතෙකි.

යූරියා ඉතා පහසුවෙන් ජලය උරාගනී. බාහිර පරිසරයට නිරාවරණය කොට යූරියා ස්වල්පයක් තැබූවිට වායුගෝලීය ජලවාෂ්ප උරාගන්නා එය විගසින් දියවී යනු දැකිය හැකිය. මේ නාස්තිය අවමකිරීම සඳහා යූරියා නිපදවීමේදී විවිධ වෙනස්කම් හඳුන්වාදීමටද කර්මාන්තකරුවන් පියවර ගෙන තිබේ. සල්ෆර් ආවරණයක් සහිත යූරියා කැට, කොහොඹ තෙල් වැනි තෙල් වර්ගයන්ගෙන් ආවරණය කල යූරියා, කැටවල ප්‍රමාණය මිලිමීටර් 9-13 අතර විශ්කම්භයෙන් යුත් යූරියා වැනි වෙනස්කම් මීට උදාහරණ වේ. මේවා අතරින් ප්‍රායෝගිකව අප විසින් භාරගෙන මේ වනවිටත් ක්‍රියාත්මක කරන්නේ විශ්කම්භයෙන් විශාල කණිකාමය යූරියා භාවිතයයි.

“මෑතක් වෙනතුරු වෙළඳපොලේ තිබුනේ මිලිමීටර් 1 – 1.65 අතර විශ්කම්භයක් සහිත ගෝලාකාර ස්පටික වශයෙන් ඇති යූරියා ප්‍රභේද. මේවා හඳුන්වන්නේ කැටිති යූරියා කියලා. මෙය කුඹුරට යෙදුවහම ඉතා කෙටි කාලයක් තුලදී දියවෙනවා. ගොයම් ගසත් මේවා උරා ගන්නවා. පරිසරයේ තිබෙන නිසා තමාට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් තමයි මේ උරා ගන්නේ. ඒ නිසා ගොයම හොඳට කොලපාට වෙලා පත්‍ර හා වෙනත් කොටස් හොඳින් මෘදු හා මාංසල වෙනවා. ඒ නිසාම ශාකයට පහසුවෙන් රෝග බෝවෙනවා. පලිබෝධකයිනුත් වැඩිපුර බෝගයට ඇදී එනවා. ගස් මෘදු නිසා ඇදවැටීමත් වැඩියි.”

උදය රත්නායක මහතා එසේ සඳහන් කෙරුවේ, කැටිති යූරියා ප්‍රභේදයන් භාවිතා කිරීමෙන් ඇතිවෙන ආදීනවයන්ය. වගාව දැන් පලිබෝධනාශක ඉල්ලා සිටී. ප්‍රතිපලය වගාවේ නිෂ්පාදන වියදම ඉහලයාමයි. ඇදවැටීම නිසා අස්වැන්න හානිවීමක්ද බලාපොරොත්තු විය හැකි නිසා වැඩි වාසි බලාපොරොත්තුවෙන් යෙදූ යූරියා හේතුවෙන් අඩු අස්වැන්නක් ලැබීමේ අවදානමක්ද ඇත. පලිබෝධනාශක බහුලව පරිහරණය කිරීමෙන්, හිතකර කෘමීන්ද වඳවී ගොස් පරිසර සමතුලිතතාවයටද යම් බලපෑමක් ඇතිකර තිබේ. හිතේ හැටියට යූරියා යොදා පද්ධතියම අවුල්වූවා සේය.

පොහොර යනු දෙපැත්ත කැපෙන ආයුධයක් බව ගොවිජනතාව අවබෝධ කරගත යුතු කාලය එළඹ තිබේ. අනවශ්‍ය ලෙස පසට පොහොර දැමීමෙන් සිදුවන්නේ අනර්ථයක්මය. කාබනික පොහොර වුවත් හිතේ හැටියට හෝ සුලභව ලැබෙන නිසාවෙන් යෙදුවහොත්, පොස්පරස් වැනි පහසුවෙන් සේදී නොයන මූලද්‍රව්‍යයන් පසේ ගොඩනැගී ශාක වර්ධනය අඩාලවී යයි. මේ නිසා මෙය දැනගෙන යා යුතු ගමනකි. කුඩා කැට සහිත යුරියා නොහොත් කැටිති යූරියා ගොයමට යෙදීමේදී සිදුවිය හැකි තවත් අහිතකර තත්වයන් රත්නායක මහතා විස්තර කරයි.

“කැටිති යූරියා වල ජලාකර්ශක බව නිසා කුඹුරට විසුරුවා හැරීමේදීත් ඒකාකාරව කරන්න බැරිවෙන්න පුළුවන්. ගුලි වගේ එක තැනකට වැඩිපුර වැටෙනවා. එතකොට එතනට පොහොර වැඩියි. තව තැනකට මදි. නියමිත පොහොර ප්‍රමාණය දැම්මා කියල හිත හදා ගත්තත් අස්වැන්න අඩුවෙනවා.”

මේ සියලු වස්දොස් යම් පමණකට හෝ සමනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වී ගොවීන් සඳහා 2013 වසරේ සිට නව පොහොර නිර්දේශයක් හඳුන්වා දී තිබේ. එමගින් පරිසර හිතකාමී හා පොහොර භාවිතයේ කාර්යක්‍ෂමතාවය ඉහල නැංවීමේ ක්‍රමෝපායයන් ගණනාවක් හඳුන්වාදී ඇති අතර කැටිති යූරියා වෙනුවට කණිකාමය යූරියා භාවිතය දිරිගැන්වීම ඒ අතරින් වඩාත්ම කැපී පෙනේ.

මෙම නිෂ්පාදනයේ යූරියා කැට මෙතෙක් භාවිතා කල ඒවාට වඩා දෙගුණයක් පමණ විශාලය. මෙනිසා කුඩා කැට මෙන් නොව ඒකක බරක, බාහිරයට නිරාවරණය වන පෘෂ්ඨ ක්ෂේත්‍රපලය අඩු නිසා වායුගෝලයෙන් ජලය උරාගැනීමද අඩුය. මේ නිසා කුඹුරට යෙදූ පසු ඒවා දියවෙමින් පසට එකතුවන්නේ සෙමින්ය. එනම් ගොයමට අවශ්‍ය නයිට්‍රජන් වැඩි කාලයක් තිස්සේ අවශ්‍යතාවයට අනුකූලව  ක්‍රමානුකූලව ලබාදෙයි. අනවශ්‍ය පරිදි පොහොර වැඩිවී පත්‍ර දීප්තිමත්ව, මාංසල වන්නේද නැත. එවිට පෙරකී අවදානම් තත්වයන්ද මගහැරී යයි.

“අපි ළඟ පර්යේෂණ දත්ත තිබෙනවා. අවශ්‍යනම් ඉදිරිපත් කරන්න පුළුවන්. බතලගොඩදී මේ පර්යේෂණ කරලා තියෙන්නේ 2002 වගේ ඈතකදී සිරිසේන හා වික්‍රමසිංහ යන විද්වත් දෙපලක්. බී.ජී. 358 වී ප්‍රභේදය භාවිතා කරලා සිදුකල මේ අත්හදා බැලීම් වලින් සනාථවෙලා තිබෙනවා කණිකාමය යූරියා යෙදුවිට අස්වැන්නේ පැහැදිලි වැඩිවීමක් තිබෙන බව.       

රත්නායක මහතා පර්යේෂණ තොරතුරක් ඇසුරෙන් තම අදහස සනාථ කෙරුවේ එසේය. වැඩිදුර තොරතුරු අවශ්‍ය කෙනෙක් වේනම් 0714422748 අංකය යටතේ කතා කිරීමටද ඔහු සූදානමිනි.

කණිකාමය යූරියා ගබඩා කිරීමත් පහසුය. සමාකාරව ක්ෂේත්‍රය පුරා විසුරුවා හැරීමත් පහසුය. බර හා සවිය වැඩිනිසා පහසුවෙන් පස තුලට කිඳාබැස වැඩි කාලයක් පසේ රඳා තිබේ. අනවශ්‍ය නයිට්‍රජන් පොහොර ප්‍රමාණයක් පසට එකතුවීම නිසා වායුගෝලය, ජලප්‍රභව හා ජලමූලාශ්‍ර ආදිය දූෂණයට ලක්වෙන බවට ලොව පුරා සංවාදයක් ගොඩනැගී ඇති කාලයකි මේ. තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිලිබඳ එක්සත් ජාතීන්ගේ ගෝලීය වැඩසටහනට පවා සක්‍රිය ලෙස දායක වන්නට ශ්‍රී ලංකාව පසුගියදා පියවර ගත්තේ, වගා බිම්වලට වැඩිපුර නයිට්‍රජන් යෙදීම වහ වහා පිටුදැකිය යුතු බැවිනි. අප කැටිති යූරියා අතහැර කණිකාමය යූරියා වලට නැඹුරුවීමට අදිටන් කර ගනිමු. ඒ හරහා අඩුවෙන් පොහොර යොදමු. එය ගොවියාගේ මුදල් පසුම්බියට මෙන්ම පරිසරයටද විශාල සහනයකි.  

සනත් එම්. බණ්ඩාර

Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

Recommended For You

About the Author: Editor