කවුරු විරුද්ධ වුණත් ‘කාන්තාවන්ගේ සෞඛ්‍ය පහසුකම්’ නංවනවාමයි – සජිත් පේ‍්‍රමදාස

කාන්තාවන්ගේ සෞඛ්‍යමය තත්ත්වය ඉහළට ගේන්න සැලසුම් ඉදිරිපත් කරද්දි සිය ප්‍රතිවාදියා හා ඔහුගේ කණ්ඩායම ඊට විරුද්ධ වන්නේ මන්දැයි ජනතාවට පිළිතුරු දිය යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

හාරිස්පත්තුවේ පැවැති ජනරැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හාරිස්පත්තුව හල්ලොලුව බස් නැවතුම් පොල අසල පැවැති ජනරැළියේදි මෙසේද කීය.

සුළු අපනයන භෝගවන සාදික්කා, කරාඹුනැටි, ගම්මිරිස් වගාවන්වලින් තමයි මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ජිවිකාව කරගෙන යන්නේ. අපේ රටේ හැම භෝගයකටම අපේ රටේ ආයතන දෙපාර්තමේන්තු තිබුණත් සුළු අපනයන භෝග සඳහා අපේ රටේ ඒකට රාජ්‍ය ආයතනයක් නැහැ. ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ලංකාවේ සුළු අපනයන භෝගවගාකරුවන් වෙනුවෙන් වෙනමම අධිකාරියක් පිහිටුවනවා. ගම්මිරිස්, සාදික්කා, කරාඹු නැටි වැනි භෝගවලට සහතික මිලක් ලබාදීලා මේ කර්මාන්ත කරගෙන යන සියළු දෙනාගේ ජන ජීවිතය ශක්තිමත් කරනවා.

කෘෂිකර්මාන්තයේදි සුළු අපනයන භෝගවගාව ගත්විට වැදගත් පණිවුඩයක් ගොවින්ට දෙන්න තිබෙනවා. අපි අපේ රටේ කෘෂිකර්මාන්තයට ඉතිහාසයේ පළමු වතාවට දැවැන්තම ජාතික වැඩසටහන ආරම්භ කරනවා. එමගින් රටේ ආහාර නිෂ්පාදනය ඉහළට ගන්නවා. රටේ ආහාර අවශ්‍යතාවය අපේ රටේ ගොවි පරපුරෙන් පමණක් සපයා ගන්නට අපි සැලසුම් සකස් කරනවා. පිටරටින් අපට බවභෝග ආනයනය කරන්න අවශ්‍ය නැහැ. අපේ රට තුලින්ම දේශිය ඉල්ලුමට සැපයුම සකසන්න අපට පුළුවන්. ඉන් නතර නොවි අතිරික්තය අපට පිටරට යවන්න පුළුවන්.

මෙරට නිපදවිය හැකි දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වනවා. කටුවැල්බටු පවා පිටරටින් ගෙන්වනවා. කටුවැල් බටු මෙරට වගා කරන්න බැරිද… රටක් ලෙස අපට බැරිද දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය කටුවැල්බටු මෙරට හදන්න අපට ඇත්තටම පුළුවන්. එම නිසා අපි කෘෂිකර්මාන්ත ක්ෂ්‍රේත්‍රයේ හැම වගාවක්ම ඉහලට ගේනවා. ඒ සැලැස්ම තුළ වී වගාව, එළවළු පළතුරු වගාව, ගොඩභෝග වගාව, සුළු අපනයන භෝග වගාව, තේ පොල් රබර් වගාව යනාදි හැම වගාවකටම 16 දා ජයග්‍රොහණයත් සමඟ නොමිලේ පොහොර ලබා දෙනවා.

මෙරට ඉතිහාසයේ කිසිම දවසක මහා වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් නොමිලේ පොහොර දීලා නැහැ. නමුත් අපි ඒ යුතුකම ඉටු කරනවා. යුතුකම ඉටු කරන්නේ රටේ ජාතික ආහාර විප්ලවයක් ක්‍රියාත්මක කරන්නයි.

මේ බලප්‍රදේශයේ පවතින ජල ප්‍රශ්නයට විසදුම් දෙන්න වැඩපිළිවෙලවල් ආරම්භ කර තිබෙනවා. රටේ ජනාධිපති ලෙස මෙම ජල ව්‍යාපෘතිය විවෘත කරන්න මා එනවා. කළුගල් කර්මාන්තය, රතිඥ්ඤා ආශ්‍රීත ව්‍යාපාර විවිධ ප්‍රශ්න නිසා චක්‍රලේඛ හරහා පැනවු නීතිරිති රෙගුලාසි තුල මේ කර්මාන්ත වලට අගතියක් වී තිබෙනවා.

ජනාධිපතිවරයා ලෙස මා වගකිම් බාරගත්තාට පසු මේ තිබෙන්නාවූ සීමාවන් ලිහිල් කරලා පරිසරයට අහිතක් නොවන ලෙස හානියක් නොවන ලෙස කළුගල් කර්මාන්තයත් රතිඥ්ඤා කර්මාන්තයත් නගා සිටුවන්න කටයුතු කරනවා.

ජාතික වශයෙන් අපි වැදගත් කටයුතු රාශියක් කරන්න යනවා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරි දින කිහිපයේදි ජනතාවගේ නිවසට ලැබෙනවා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදලා තියෙන්නේ අවුරුදු 25 ක මාගේ දේශපාලනයේ නිරතවූ අයෙකු ලෙසයි. මෙරට ජන සමාජයේ පුංචිම මිනිහගේ සිට මුළු ජන සමාජයම ආවරණය වන පරිදි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය හදලා තියෙනවා.

මගේ අත්දැක්ම් මත ජනතාව සමග නිරන්තරයෙන් ජිවත් වූ පුද්ගයෙකු ලෙස පොඩි මිනිසාගේ දුක කදුළ වේදනවා මම දන්නවා. පොඩි මිනහගේ දාඩිය සුවද මම දන්නවා. මෙරට සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගෙන ඉතා වැදගත් ඓතිහාසික ප්‍රතිපත්තිමාලවක් ඉදිරිපත් කරන්න මට හැකිවුනා.

මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බලනවිට ජනතාවට තේරෙයි මා ඉදිරිපත් කරන වැඩසටහන මොකක්ද කියලා. රටේ දුප්පත්කම නැති කරන සමෘද්ධි ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කොට ඊට වැඩි වැඩියෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. සැමදා අප දුප්පත්කම ගැන කතා කර කර ඉදලා වැඩක් නැහැ. දුප්පත්කමින් මිදෙන්න ශක්තිමත් කෙටිකාලින විසදුමක් අවශ්‍යයි.

සමෘද්ධි වැඩටහනට වැඩි වැඩියෙන් මුදල් වෙන් කරන අතරතුර රණසිංහ ප්‍රේමදාසගේ ජනසවිය වැඩසටහනත් යළි ආරම්භ කොට දුප්පත්කම තුරන් කිරීමේ ඉලක්කය අපි දියත් කරනවා.

මෙරට පාසල් යන දූ දරුවන්ට නිළ ඇදුම් ලබා දුන්නේ දිවා ආහාර ලබා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමායි. මගේ ප්‍රතිවාදි දේශපාලන කල්ලිය තමයි පාසල් දරුවන්ගේ දිවා ආහාරය අහෝසි කළේ. අපි තුන් ආකාරයකින් පාසල් දූ දරුවන් 44 ලක්ෂයකට දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

දැනුම මත කේන්ද්‍ර වූ ආර්ථිකයක් බිහි කරන අතර ජනසමාජයේ උගතුන් බුද්ධිමතුන් බිහි කරන්නට නිර්මාණය කරන්නට අපි කටයුතු කරනවා. මෙරට ජනතාව 16 දාට පොඩි මිනිසාගේ යුගය බිහි කරනකොට පාසල් දරුවන් 44 ලක්ෂයටම නිළ ඇදුම් කට්ටල දෙකයි. දිවාආහරයයි සපත්තු කුට්ටමයි ලබා දෙනවා.

අපේ රටේ යොවුන් පරපුරට හොඳ අනාගතයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි කර්මාන්ත පුර ආරම්භ කරනවා. මේ ආසනයට කර්මාන්ත පුර 3 ක් ලබා දෙනවා. එමගින් රැකියා නොමැති තරුණ තරුණියන්ට ගමේම, නගරයේම හිද රැකියා කිරීමේ අවස්ථාව උදා වෙනවා.

ඩිජිටල් විප්ලවයක් ක්‍රියාත්මක කරන්න යෞවන යෞවනියන් කැමැත්ත දක්වනවා. හැමෝම දකිනවා තමන්ගේ අයිපෝන්වලින්, වට්ස්ඇප් පණිවුඩවලින්, වයිබර් පණිවුඩවලින්, ට්විටර් පණිවුඩවලින්, මුළු ලෝකයම ඉදිරියට යන ආකාරය. අපේ තරුණ තරුණියන්ටත් ආශාවක් තිබෙනවා  ලෝකයේ ක්‍රියාත්මක වන ඩිජිටල් විප්ලවය අපේ රටේ මහපෙලෙවේත් ක්‍රියාත්මක කරන්න. එම නිසා අපේ රටේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම නව තාක්ෂණ විද්‍යාලයක් හදන්න අපි කටයුතු කරනවා.

එමගින් ඩිජිටල් තාක්ෂණය, නැනෝ තාක්ෂණය, පරිගණක තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, ජිව තාක්ෂණය හා ඉංග්‍රිසිභාෂා සාක්ෂරතාවය තරුණ තරුණියන් වෙත ලබා දෙනවා. ජාත්‍යන්තර මට්ටමේ නවීන තාක්ෂණ උද්‍යානත් ආරම්භ කරනවා. තාක්ෂණ විද්‍යාලයෙන් සමත් වෙලා ඩිජිටල් තාක්ෂණය ගැන දැනුමක් ඇතුව එන යෞවන යෞවනියන්ට තාක්ෂණ උද්‍යානයේ තමන්ගේ ඩිජිටල් ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. රජයක් ලෙස අපි ඔවුන්ට මුලික ප්‍රග්ධනය ලබා දෙනවා.

මෙරට 25% ක් වු යොවුන් සම්පත වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙන්නේ හංසයාගෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාසයි. කාන්තාවන් වෙනුවෙනුත් අපි වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. මෙරට 51.8% ක් වන කාන්තාවන් වෙනුවෙන් කාන්තා ප්‍රඥප්තියක් අපි ආරම්භ කලා. තරුණයන් වෙනුවෙන් තරුණ ප්‍රඥප්තියක් අපි ඇති කලා.

කාන්තා ප්‍රඥප්තිය තුළ කාන්තා පරපුරේ ආර්ථික සමාජීය දේශපාලන අයිතිවාසිකම් මෙන්ම කාන්තාවට ලබාදියුතු සැලකිල්ල ශක්තිය සියල්ලක්ම ඇතුළත් වෙලා තියෙනවා. මෙරට දරු පරපුර රැකගන්නේ කාන්තාවනුයි. කාන්තාව අරපිරිමැස්මෙන් ගෘහයේ ආර්ථිකය කළමනාකරණය කරගෙන මෙරට ජිවය ප්‍රාණය බවට පත්ව සිටිනවා.

ඇගළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා කරන කාන්තාවන්ගේ නිෂ්පාදන පිටරට යවලා විදේශ විනිමය අතිවිශාල ප්‍රමාණයක් මෙරටට ගේනවා.මැද පෙරදිග හා අනෙක් රටවල විදේශ සේවයට යන සහෝදරියන් මව්වරුන් තමයි අපේ රටට වැඩිම විදේශ විනිමයක් රැගෙන එන්නේ. එම නිසා තමයි මම කාන්තා පරපුර වෙනුවෙන් වෙනම ප්‍රඥප්තියක් ක්‍රියාත්මක කරලා එය ක්‍රියාත්මක කරන්න සුදානම් වෙන්නේ.

පසුගිය දවසක මම කාන්තා සෞඛ්‍ය ගැන කතාවක් කිව්වා. ඒ සෞඛ්‍ය ප්‍රශ්නය හේතුවෙන් හරියාකාරව ඒ ආම්පන්න නොමැති නිසා කාන්තාවන්ගේ විශාල පිරිසකට ගැබ්ගෙල පිළිකා හැදෙනවා. වකුගඩු රෝග හැදනවා. ප්‍රජනන පද්ධතියට හානි එල්ල වෙනවා. හිතක් පපුවක් තිබෙන සමාජ සේවකයෙක් ලෙස මේ සංවේදි ප්‍රශ්නයේදි මම තීන්දු කළා අපේ රජය යටතේ නොමිලේ කාන්තාවන්ගේ සනිපාරක්ෂක අවශ්‍යතා නොමිලේ දෙන්න.

මොකක්ද අපේ ප්‍රතිවාදියෝ කිව්වේ. මගේ ප්‍රතිවාදියෝ මට මඩ ගහන්න පටන් ගත්තා. ඇයි මට මඩගහන්න පටන් ගත්තේ. මට මඩ ගහන්නේ 51.8% ක් වන කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකාවට විසදුමක් දෙන්න හදපු නිසා. වකුගඩු රෝගයට විසදුමක් දෙන්න හදපු නිසා.  ප්‍රජනන සෞඛය පද්ධතියට වැළදෙන රෝග වලක්වන්නට මම යෝජනාවක් ඉදිරිපත් කරපු නිසායි.

කාන්තා පරපුරේ ආයුෂ වැඩි කරනවාට මගේ ප්‍රතිවාදියා විරුද්ධද කාන්තාවන්ගේ සෞඛ්‍යමය තත්ත්වය ඉහළට ගේන්න හදනකොට ඇයි මගේ ප්‍රතිවාදියාගේ පොහොට්ටු කණ්ඩායම් ඒවට විරුද්ධව කතා කරන්නේ. මේවට උත්තර ඒ අය ජනතාවට දිය යුතුයි.

නායකයෙක් කියන්නේ රටේ ජනතාවට බලාපන බරපතල තියෙනවා නම් ඒවායෙන් පැන නොයා ඒවාට විසදුම් ලබාදිමයි. මගේ කතාව අසන හැම කාන්තාවකටම කියන්න කැමතියි මගේ ප්‍රතිවාදිය මේ රටේ කාන්තා පරපුරටම දැවැන්තම අපහාසය සිය ගෝලයෝ දම්මලා කළා. කාන්තාවන් ජිවත් කරවන්නට සජිත් ප්‍රේමදාස වැඩපිළිවෙලක් ඉදිරිපත් කළාම එය ඉතා පහත් ලෙස කාන්තාවන්ටත් නිග්‍රහ වෙන ලෙස විවේචනය කළා.

මට ඕනෑම විවචෙනයක් දරා ගන්න ශක්තිය ජවය තියෙනවා. නමුත් මට දුක මගේ ප්‍රතිවාදියාට මෙරට කාන්තාවන් මුහුණ දෙන ගැටළු ගැන අබමල් රේණුවක දැනුමත් අවබෝධයක් නැහැ.

දකුණේ පොහෝට්ටුවට සම්බන්ධ පළාත් පාලන ආයතනයක සභාපතිවරයෙක් ඔහු සියවෙනි කාන්තාව දුෂණය කොට එය සමරන්න උත්සවයක් තිබ්බා. එය වෙද්දි කව්ද රටේ ආරක්ෂාව භාරව සිටියේ. කාන්තාවන් සියයක් දුෂණය කරපු හැක සැමරීම ලොකු දෙයක් කර ගත්තා. කාන්තාව දුෂණය කරනවා කියන්නේ අපරාධයක්. එදා රටේ ආරක්ෂාව භාරව හිටපු බලධාරියා අහක බලාගත්තා.

කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා ගැන මේ ඇත්තොන්ට අවබෝධයක් තියෙනවාද කාන්තාවන්ගේ වකුගඩු ප්‍රශ්නය ගැන මේ ඇත්තන්ට අවබෝධයක් තියෙනවාද කාන්තාවන්ගේ ප්‍රජනන ඉන්ද්‍රියන්ට හානිවීම ගැන මෙයාලට දැනුමක් තිබෙනවාද. එයාට තියෙන දැනුම වෙන්නේ තමන්ගේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කාන්තාවන් සියයක් දුෂණය කරපු උත්සවය සමරන්න අවස්ථාව දුන්න එකයි. එපමණක් නොව හම්බන්තොට සිටි විදේශීය යුවලකගේ කාන්තාව දුෂණය කරලා සැමියා මැරුවාම ඝාතකයාව ආරක්ෂා කරපු කෙනා තමයි අද කාන්තාව ආරක්ෂා කරනවා කියන්නේ.

නැවත වරක් මෙවැනි සභාපතිවරයෙක් බිහිවුනොත් මගේ ප්‍රතිවාදියා මොකද කරන්නේ මම මොකක්ද කරන්නේ කියන දේ මම කියන්නම්. අපේ ජන සමාජයෙන් ත්‍රස්තවාදය විනාශ කරන්න සැබෑ යුද විරයා වන සරත් ෆොන්සේකා අපි ආරක්ෂාව නීතිය හා සාමය ඇමතිවරයා ලෙස පත් කරනවා.

ඔහු යටතේ ත්‍රස්තවාදයත්, කුඩු කාරයොත්, කප්පම්කාරයොත්, ස්ත්‍රි දුෂකයොත්, ළමා අපචාර කරන අයවත් විනාශ කරනවා.  වෙනස තිබෙන්නේ මා ඔවුන් විනාශ කරද්දි මගේ ප්‍රතිවාදියා ඒ අයව ආරක්ෂා කරනවා රකිනවා. මීගමුවේ තමන්ගේ දේශපාලන බලවතෙක් කුඩු තොගයක් තමන්ගේ නිවසේ තබාගෙන සිටියදි අල්ලා ගත්තා. රටේ ලොක්කා හෙලිකොප්ටරෙන් ගිහිල්ලා බදාගෙන සිප වැලදගෙන කුඩු අල්ලා ගත් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට කිව්වා කුඩු තොගය මුදා හැර වහාම බැරැක්කෙට යන්න කියලා නියෝග කළා.

මේකද ජාතික ආරක්ෂාව, මේකද අපේ දරුවන්ට දෙන ආරක්ෂාව. අද මේ රටේ කුඩු වසංගතය කාලයක් පුරාවටම ක්‍රියාත්මක වෙනවා. දශක ගණනාවක් මුළුල්ලේ ඔවුන් නිදැල්ලේ ඉන්නවා. කුඩු කාරයොයි පාලකයෝයි ඩිල් දමමින් විශේෂ කාර්ය බලකාය බැරැක්කෙට යවලා පාලකයා කුඩු කාරයා බදා ගන්නවා. කුඩු කාරයෝ සමග ඩිල් දමලා ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්ද

මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ මගේම සංකල්ප විතරයි. එයින් ටිකක් තමයි මා මෙතන කිව්වේ. ඉතින් මේ කාරණ ගැන වාදයකට එන්න කියලා මා ප්‍රතිවාදියාට ආරාධනා කළා. මොකද මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන දේ මම දන්නවා. මේවා මට වෙන කව්රුත් ලියලා දුන්නු ඒවා නොවෙයි. මගේ ආරධනාවට මේ දවස වෙනකම් විවාදයේ අභියෝගයට උත්තරයක් නැහැ. සජිත් ප්‍රේමදාසට බය නම් හිටපු ජනාධිපති අයියවත් එකතු කරගෙන විවාදය එන්න. එතුමාත් බය නම් මුළු පවුල්ගහම අරගෙන එන්න. ඒක පන්දහද විසිපන්දහද කියන එක මට අදාළ නැහැ මම එන්නේ තනිවමයි.

මට ඕනෑම දේශපාලන ප්‍රතිවාදියෙකුගේ භූමියකට ගිහිල්ලා මට වාද විවාද කරන්න පුළුවන්. මොකද මෙයින් පුද්ගලික දේවල් නොව ප්‍රතිපත්ති ගැනයි සාකච්ඡා කරන්නේ. ඒක නරක දෙයක් නොවෙයි. කව්ද දරුවන්ට උදව් කරන්නේ. ස්ත්‍රී දුෂකයන්ට දෙන දඩුවම මොකක්ද කුඩුකරයන්ව බේරුවා වගේ සභාපතිවරුන්ව බේරුවා වගේ දෙවල් ගැන කතා කරන්න පුළුවන්

අද වෙලා තියෙන්නේ එයාට කතා කරන්නත් බෑ. ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්නෙත් නෑ. හැබැයි සජිත් ප්‍රේමදාස ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙනවා වගේම බෙල්ල දෙන්නත් ලැහැස්තියි.

විදේශ මාධ්‍යවේදිනියක් යුද්ධය ගැන ප්‍රශ්නයක් ඇහුවාම ප්‍රතිවාදියා කියන්නේ මමවත් මගේ අයියාවත් යුද්ධය කළේ නෑ. යුද්ධය කළේ සරත් ෆොන්සේකා හමුදාපතිතුමා කියලායි. හැබැයි එදා සැබෑ යුද වීරයාව හිරේ දැම්මා දසවද දුන්නා. අද සත්‍ය එයාලගේ කටින්ම එළි වෙලා තියෙනවා.

රටට වින කරන රට විනාශ කරන පරදේශක්කාර බලවේගවලට දේශීය සංස්කෘතිය ගැන නොදන්න දුෂිත කම්බහොරුන්ට තනතුරු දෙන පත්විම් ලිපියට සජිත් ප්‍රේමදාස අත්සන් කරන්නේ නැහැ.

Recommended For You

About the Author: Editor