නවගත්තේගම ගම්මාන 67ක් ‘වන අලින්ට සින්න වෙලා’

අලි අතර නරකම එකා ‘තනියා’ බවයි පොදුවේ පිළිගන්නේ. තනියට කිසිම අණක් ගුණක් නැති නිසා දුප්පතා, අසරණයා, අහිංසකයා කියලා ඌට වගක් නැහැ. මේ කතාවක් තනියෙක් කළ මහ විපතක් ගැනයි.

ගනිතා මහතා තම නිවස තුළ

පුත්තලම දිස්ත‍්‍රික්කයේ නවගත්තේගම ප‍්‍රදේශයට අයත් නවගත්තේගම කුරුකැටියාව ගම්මානයට පසුගිය කාලය පුරාම වන අලි තර්ජනවලට ලක්ව තිබෙනවා. ඒත් අද (6) අලුයම් කාලයේ කුරුකැටියාව ගමට කඩා වැදි ඇති ‘තනියා’ නමින් ප්‍රසිද්ධ වනඅලියා වයෝවෘද්ධ යුවලක් පදිංචිව සිටි නිවසක් සම්පුර්ණයෙන් වනසා දමා ඇති බව නවගත්තේගම අඩවි වනජීවි කාර්යාලය පවසනවා.

තමන්ට සිදු වූ අනපේක්ෂිත විපත ගැන අප සමග අදහස් දැක්වූ ගෙහිමියා වන 76 හැවිරිදි ඩබ්ලියු.පී.ටී. ගනිතා මහතා තමන් පත්ව ඇති තත්ත්වය මෙසේ හෙළි කළා.

‘වාසනාවට අපි ගෙදර හිටියේ නැහැ. අපි පන්සලේ කඨින පින්කමට ගිහින් හිටියේ. ඒ නිසා යාන්තම් ජීවිතය ගැලවුනා. මේ ගම 1982 හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහත්තයා ලංකාවේ ඉදිකරන්න ගත්ත දෙවන උදා ගම්මානයි. ගෙවල් 100ක් තිබෙනවා. අද වන විට මේ අලි නිවාස ගොඩක් අලි කඩලා. අපි අන්ත අසරණ වෙලා ඉන්නේ’

සතියකට ආසන්න කාලයක් තුළදි තනියා නැමති වනඅලියා නිවාස තුනකට හානි කර ඇති අතර එයින් කිසිදු ජීවිත හානියක් සිදුව නැති බවත් මෙම තනියා නිවෙස් වල සියලු දෑ වනසමින් වී සහ සහල් ආහාරයට සොයා සැරිසරන බව ද ප‍්‍රදේශවාසීන් තියනවා.

තම බල ප‍්‍රදේශයේ පවතින වනඅලි ගැටුම ගැන නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් හර්ෂණ ජයසිරි මහතා ද තම අදහස් පළ කළා.

‘නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයිති ග්‍රාම නිලධාරි වසම් 19න් ගම්මාන 67ක් පුරාම මේ වනවිට වනඅලි කරදරයබරපතල තත්ත්වයට පත්වෙලා තිබෙනවා. වනඅලි වගාවන් වනසනවාට අමතරව නිවාස කඩන ප්‍රමාණයත් මේ වන විට වැඩි වි තිබෙනවා. ඇත්තටම මෙය ලොකු තර්ජනයක්. වනඅලි පහර දිම් නිසා මරණ දෙකක් වෙලා තිබෙනවා. අපිට මේ වනවිට නිවාස කඩා තිබෙන එවාට වන්දි ලබා ගන්න විශාල පෝරම සංඛ්‍යාවක් ලැබිලා තිබෙනවා. අපිත් පුළුවන් තරම් ජනතාවට සහන සලසන්න කටයුතු කරනවා’

කෘෂිකාර්මික ජීවිතයක් ගත කරමින් අසීරුවෙන් ජීවත් වන මෙම ගම්වාසීන් කඩිනමින් මෙම ගැටලුවට විසදුම් අපේක්ෂා කරනවා.

ගනිතා මහතාගේ නිවස සම්පූර්ණයෙන්ම විනාශ කොට ඇති අයුරු

Recommended For You

About the Author: Editor