රාජපක්ෂ කණ්ඩායම අන්තවාදය සහ ජාතිවාදය මගින් බලයට එන්න හදනවා – රනිල් වික‍්‍රමසිංහ

පාස්කු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂයේ මුස්ලිම් අමාත්‍යවරුන්ට දොස් පැවරූ රාජපක්‍ෂවරු ප්‍රධාන පොදුජන පෙරමුණ, අයි.එස්.අයි.එස්. නායකයා ඝාතනයට ලක්වීම ගැන මුණිවත රකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන්ට දොස් නැගීමට පසුබට නොවන ඔවුන් අයි.එස්.අයි.එස්. සංවිධානයට හෝ එහි නායකත්වයට හෝ දොස් පැවරීමට බිය වන්නේ ඇයිදැයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

අද (06) දින අම්පාර, සමන්තුරේ, අබ්දුල් මජීඩ් ශාලාවේ පැවැති යොවුන් හමුවක් අමතමින් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසූයේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුලූ කණ්ඩායම ශ්‍රී ලාංකේය අනන්‍යතාවය පෙරදැරි කර ගෙන රටම එකතු කිරීමට උත්සාහ දරණ අතර රාජපක්‍ෂ කණ්ඩායම ජාතිවාදය හා අන්තවාදය පෙරදැරි කර ගෙන රටම බෙදා වෙන්කර දේශපාලන බලය ලබා ගැනීමට තැත් දරණ බවය.

සංහිදියාව ආරක්‍ෂා කර ගනිමින් ත්‍රස්තවාදය පිටුදැකීමට ක්‍රියා කරන කණ්ඩායමක් සමග රට ඉදිරියට ගෙන යනවා ද, නැතිනම් ජාතිවාදය පදනම් කර ගනිමින් රට අඳුරු යුගයකට තල්ලූ කිරීමට වෙර දරණ කණ්ඩායමකට රට බාර දෙනවා ද යන්න තීරණය කිරීමේ අවස්ථාව නොවැම්බර් 16 වැනිදා උදා වී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඒ නිසා රටත්, ජනතාවත් එකමුතු කරමින් එක්ව ඉදිරියට යා හැකි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පදවියට පත් කර ගැනීම උදෙසා නොවැම්බර් 16 වැනිදා ඡන්දය ප්‍රකාශ කරන මෙන් වික්‍රමසිංහ මහතා අම්පාර ප්‍රදේශයේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියේය.

Recommended For You

About the Author: Editor